Friday, November 22, 2024

සිරකරු ඡන්දය අයිතිය තහවුරු කිරීම සඳහා නන්දිමාල් උසාවි යයි.

ඡායාරූය: සුදෙශ් නන්දිමාල් හිමිකම් ක්‍රියාකාරිකයෙකි.

2024.07.17 දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ඌ) (1) අනුව්‍යවස්ථාව යටතේ මන්ඩාමුස් රීට් පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අතර මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් ඇතුළු පුද්ගලයන් නව දෙනෙක් වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලදී. මෙහි පෙත්සම්කරු අප කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති සුදෙශ් නන්දිමාල් ද සිල්වා වන අතර පෙත්සම්කරු විසින් සුදුකම්ලත් සිරකරුවන්ට ඡන්ද අයිතිය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත් 14 (1) (අ) අනුව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් දක්වන ලදී.

මෙහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරන ලද බන්ධනාගාරගත රැදවියන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට සුදුසු නිර්දේශ නියම කිරීමට ආඥාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද ඇත.

නීතියේ ප්‍රායෝගික දුෂ්කරතා

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 88 ව්‍යවස්ථාව ඡන්ද බලය හිමි සියලු තැනැත්තන්ට ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙන්ම ජනමතවිචාරණයකදී ඡන්දය භාවිත කිරීමට හැකි බව දක්වා තිබේ- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව යම් තැනැත්තෙකුට ඡන්ද බලය අහිමි විය හැකි ආකාර විග්‍රහ කර ඇති අතර යම් කාලසීමා යටතේ බන්ධනාගාරගතවීම මගින් ඡන්ද බලය අහිමි වීම පිළිබඳව 89 (ඈ) අනුව්‍යවස්ථාව යටතේ විග්‍රහ කරයි-
එම අනුව්‍යවස්ථාව අනුව ආකාර පහකින් බන්ධනාගාරගත කිරීමේ දඩුවම් ලබන තැනැත්තන්ට ඡන්ද බලය අහිමි වේ- එම ආකාර නම්:

1. වසර දෙකකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට මාස හයකට වැඩි කාලයක සිරදඩුවම් නියම කර ඇති විට එම දඩුවම විදිමින් සිටින අයෙක්

2. ගතවූ වසර හතක කාලය තුළ ඉහත 1)හි ආකාරයේ දඩුවමක් සම්පූර්ණයෙන්ම විඳි තැනැත්තෙකු

3. මරණ දණ්ඩනය නියම කර ඇති විට

4. මරණ දණ්ඩනය වෙනුවට මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමේ දඩුවමක් විදිමින් සිටින විට

5. මැතිවරණයක් පැවැත්වීමට අවුරුදු හතක කාලයක් තුළ ඉහත 4)හි කී සිරදඩුවම සම්පූර්ණයෙන්ම විඳි තැනැත්තෙකු

ඒ අනුව, පහත ප්‍රතිපාදන අනුව,

1. අවුරුදු දෙකකට අඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් සිරදඩුවම් ලැබිය හැකි වරදකට දඩුවම් ලබා ඇති රැදවියන්

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කොන්දේසිවලට පාත්‍ර නොවූ රැදවියන්

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කොන්දේසිවලට පාත්‍ර වුවද කොන්දේසි රහිත සමාවක් ලද රැදවියකු

4. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව යටතේ අධිකරණයෙන් වැරදිකරු වන තෙක් සියලුම තැනැත්තන් නිර්දෝශී පුද්ගලයන් වන්නේය. ඒ අනුව, සියලුම රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය තිබේ.

එනමුත් ප්‍රායෝගිකව එම අයිතිය ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් තවමත් මෙරට තුළ ස්ථාපිත කර නැත- මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනත, පරිවාර නීති හා දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග කිසිවක් සඳහන් නොකරයි.

ඡන්ද අයිතිය ලැබීමට සුදුසුකම් ලබා ඇති බන්ධනාගාර රැදවියන්

මෙරට බන්ධනාගරවල රදවා සිටින බන්ධනාගර රැදවියන් ප්‍රමාණය 30,039කි. බන්ධනාගාර දෙපාර්තමේන්තු දත්ත අනුව 2024.07.17 දින විට මෙරට සමස්ත බන්ධනාගාර තුළ රදවා ඇති දඩුවම් නොකළ හෙවත් රිමාන්ඩ් රැදවියන් ගණන 19,486ක් වන අතර 10,553 දෙනෙක් දඩුවම් ලබා ඇති රැදවියන් වේ. මෙම රිමාන්ඩ් රැදවියන් ප්‍රමාණය සමස්ත රැදවියන් ප්‍රමාණයෙන් 67%ක ප්‍රතිශතයකි. මෙම සියලු දෙනා ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලත් එහෙත් ඡන්දය භාවිතාකිරීමේ පද්ධතිගත අඩුලුහුඩුතා නිසා ජන්ද අයිතිය අහිමි වූ පුරවැසියෝ වෙති- සුදුසුකම් ලැබූ බන්ධනාගාර රැදවියන්ට ඡන්ද අයිතිය ලබා නොදීමේ තත්වය තුළ මෙරට පැවැත්වෙන සෑම මැතිවරණයකදීම නීතියෙන් සුදුසුකම් ලැබූ ඡන්දදායක පිරිසකට ඡන්ද අයිතිය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙන අතර මැතිවරණක අවසන් ප්‍රතිඵලය ගණනය කෙරෙනුයේ එම ප්‍රතිශතය මුළුමනින්ම බැහැර කරමිනි. වලංගු ඡන්දදායකයන්ට කොට්ඨාසයකට සිය වරණය අනුව සිය පාලකයා තෝරාගැනීමට අවස්ථාව නොලැබෙන මැතිවරණයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස සැළකිය නොහැකි එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතල සැකසංකා මතු කරයි.

ධනුශ්ක සිල්වා විසිනි.

Archive

Latest news

Related news