දිවංගත එච්.එල්. ද සිල්වා අනුස්මරණ සඳහා මීට දොළොස් වසකට පෙර කොළඹ පැවති උත්සවයක මුලසුන හොබවමින් හිටපු විදේශ ලේකම් එච්.එම්.ජී.එස්. පළිහක්කාර වටිනා අදහස් කීපයක් ප්‍රකාශයට පත්කළේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින්නේ රැක බලාගත් නීතිමය පාලනයක් නොව, එය බලයේ සිටිනා මිනිසුන්ගේ පාලන ක්‍රමයක් ලෙස නම් කළ හැකි බවයි.
පළිහක්කාර කියා සිටියේ නීතිමය පාලනය කෙරේ පවතින, පිරිහෙමින් පවතින ගරුත්වය විසින්, යුක්ති සහගත සමාජයක ජීවත්වීමට අපට ඇති සියලු අපේක්‍ෂා නසා දමන බවයි. ඔහු කී කාරණය හෙතෙම තවදුරටත් මෙසේ විස්තර කළේය. ‘‘එවැනි ඛාදනයකින් දණ්ඩමුක්තියට අනුව සිය හිස ඔසවන්නට ඉඩ සළසා දෙයි. සාමාන්‍යයෙන් දණ්ඩමුක්තිය පරිහානියේ ආරම්භයට අතවනයි. එයින් පාලනය කරන්නන් හෝ පාලනයට නතුවන අපි හෝ ඉතිරි නොවී පරිහානියටම ලක් වන්නෙමු. එය ශිෂ්ට සම්පන්න ජීවිතයට හා ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වෙයි. ආයෝජන වටපිටාව එයින් වළලා නසා දමයි. එසේ නොව නීතිමය පාලනය පවත්වා ගැනීමෙන් ස්වෛරිභාවය ශක්තිමත්ව, පිටතින් ඇතුළුවන පරිබාහිර වගවීම්වලට ඇති නැඹුරුතා කල්තියාම වළකාලයි. රටේ භෞමික අඛණ්ඩතාවට ඇති තර්ජනය ඉන් නසා දමා පුරවැසිබවේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ඵල රස විඳීමට සැමට පහසුකම් සළසාලයි.’’
බලයෙන් පාලනය කිරීම
“ශ්‍රී ලංකාවට, විදේශ රටවල් අතර හොඳ ප්‍රතිරූපයක් පවත්වා ගැනීමට අවශ්‍යනම්, ශ්‍රී ලංකාව රට තුළ පෘථුල ලෙස පවත්වාගෙන යා යුත්තේ මිනිසුන්ගේ පාලනය නොවේ. නීතිමය පාලනයේ පොහොසත් සංස්කෘතිය රට තුළ ඒ සඳහා පෝෂණය කළ යුතුවේ.
‘‘නීතියේ බලය’’ එසේය කියා පිළිගැනීමත් ‘‘බලයේ නීතිය’’, එපා කියා ප්‍රතික්ෂේප කිරීමත් සැමගේ යුතුකම වේ. නීතියේ බලය යන්නෙන් සමාජමය වශයෙන් පිළිගත් නීති පද්ධතියකින් හඳුන්වාදුන් සමාජ විනය අදහස්වන අතර, බලයේ නීතිය යන්නෙන් බලෙන් නම්මා ගැනීම භාවිත කර රටක් පාලනය කිරීම අදහස් වේ.’’
පළිහක්කාර නුවණින් කී දේට එවකට ශ්‍රී ලංකාව පාලනය කළවුන් කන්දුන්නේ නැත. පාලකයන් ලබා ගත්තා වූ ප්‍රතිඵල අතිශය විනාශකාරීය. මහින්ද රාජපක්‍ෂට 2015 දී බලය අහිමි වූ අතර, ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්‍ෂට ජනතාවගේ උද්ඝෝෂණ හේතුවෙන් අතරමග බලය අතහැර යන්නට සිදුවිය.
ජනතාවගේ නිදහස මැඩලීමට බලෙන් නම්මා ගැනීම භාවිත කොට බලයේ නීතියට යොමුවෙමින් රට පාලනය කළ හැකි වේය යන්න තරයේ විශ්වාස කොට වර්තමාන රජය ද එම නායකයන් දෙදෙනා අනුගමනය කරන සෙයක් පෙනී යයි.
නීතිමය පාලනයේ ලෝක දර්ශකයේ පහළ ශ්‍රේණියට වැටීම
වොෂින්ටනයේ ලෝක යුක්ති ව්‍යාපෘතිය විසින් සම්පාදනය කරනු ලබන ගෝලීය නීතිමය පාලන දර්ශකයෙන් අනාවරණ්‍ය වන පරිදි ශ්‍රී ලංකාවේ නීතිමය පාලනය පවතින්නේ අන්ත ශෝචනීය තත්වයක බව එහි අතීත වර්තාවලින් පෙනී යයි. එම දර්ශකයේ පරාමිතීන්ට අනුව හොඳම රටට එක් ලකුණක් (1) ලබාගත හැකිවන අතර නරකම රටට හිමිවන්නේ බිංදුවකි (0) විවිධ කාරණා අටක් එසේ ඇගයුම් කිරීම ඔස්සේ සමස්ත ලකුණු සංඛ්‍යාව ගණනය කරනු ලැබෙන්නේ රට තුළ නීතිමය පාලනය පවත්වා ගැනීමට අදාලව එම කාරණා උප කොටස් 44 කට වෙන් කර, කාර්ය දර්ශකය විමසා බැලීමෙන් ඒවා, ආණ්ඩු බලය, දූෂණ විරහිත බව, විවෘත පාලනය, මූලික අයිතීන්, ක්‍රමානුකූල බව සහ ආරක්‍ෂාව, නියාමන බලගැන්වීම, සිවිල් යුක්තිය හා අපරාධ යුක්තිය ඇසුරෙන් විමසා බැලේ. එකක් හැරුණු කල මේ සියලුම කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 0.5 හෝ ඊට අඩු ලකුණු ලබා තිබේ. ශ්‍රේණිගත කිරීම්වල දී නිතරම පාහේ මැද හරියේ ඉන්නා ශ්‍රී ලංකාව 2022 දී 74 වැනි ස්ථානයේ සිට 2023 දී 77 වැනි ස්ථානයට වැටී තිබේ.
වැදගත් සාධක අට
දර්ශකය සම්පාදනය කිරීමට ඉවහල් කරගන්නා සාධක අට ලෝක යුක්ති ව්‍යාපෘතිය විසින් පැහැදිලි කර තිබේ.
ආණ්ඩුවට සීමා පැනවීම
රට පාලනය කරන උදවිය කෙතරම් දුරට නීතියෙන් බැඳී ඇත්තේද යන්න බලනුයේ ආණ්ඩු බලයට ඇති කරගෙන තිබෙන සීමා මැන බැලීමෙනි. දේශපාලකයන්, ඔවුන්ගේ සහායකයන් සහ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කිරීමේ දී කෙතරම් සීමා ඇති කර ගන්නේ ද යන්නත්. එම බලය නීතියට යටත්ව වගවීමෙන් රඳවා ගන්නේද යන්නත්, මෙහිදී සලකා බැලෙන අතර, ව්‍යවස්ථාපිත හා ආයතනික යන අරමුණු දෙකම ඊට ඇතුළත් වේ. නිදහස් හා ස්වාධීන මුද්‍රිත මාධ්‍ය වැනි රාජ්‍ය බලයට නතුවන රාජ්‍ය නොවන වැරදි සොයන අංශ ද ඊට ඇතුළත් වේ. මෙම සාධකයට ශ්‍රී ලංකාව ලබා ඇති මධ්‍යම මට්ටමේ ලකුණුවලින් පෙන්වා දෙන්නේ රට පාලනය කිරීමේ දී ආණ්ඩුව මහජන මතයකට කන් නොදෙන බවයි. එම නිසා ආණ්ඩුවට ඉහළින් ජනතාවට ඇත්තේ ඉතා පහළ මට්ටමේ රජය ආම්බාම් කිරීමේ හැකියාවකි.
තෙවැදෑරුම් දූෂණය
මෙම කාරණයයේ දී, දූෂණ විරහිත භාවය උදෙසා සලකා බැලෙන දූෂණ ආකාර තුනකි. ඒවා නම්, අල්ලස, රාජ්‍ය හෝ පෞද්ගලික අවශ්‍යතා මත අනිසි බලපෑම් කිරීම, මහජන මුදල් හෝ වෙනත් සම්පත් අවභාවිතා කිරීම යන දූෂණයි. මෙම දර්ශකයේ දී, විධායක ශාඛාව අධිකරණය, හමුදාව, පොලිසිය, ව්‍යවස්ථාදායකය යන අංශ සියල්ල ආවරණය වේ. කාලයක් පුරා ශ්‍රී ලංකාව මීට අදාලව ලබා ඇති, මධ්‍යම ප්‍රමාණයටත් වඩා අඩු ලකුණුවලින් පෙනී යන්නේ, දූෂණය තුරන් කිරීමට ගන්නා ලද සියලුම ක්‍රියා මාර්ග වතුරේ ගසාගෙන ගොස් ඇති බවය.
පාලනයේ විවෘත භාවය
පාලනයේ විවෘත භාවය නම් තුන් වැනි සාධකයේ දී මැන බලනු ලබන ආණ්ඩුවේ විවෘත භාවය, රජය කෙතරම් දුරට තොරතුරු නොසඟවා බෙදා හරින්නේද?, ආණ්ඩුවේ වගවීම උසුලා ගැනීම පිණිස ජනතාව කෙතරම් දුරට ඊට අවශ්‍ය උපාංගවලින් බලගන්වන්නේද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ සාකච්ඡාවලදී මහජන සහභාගීත්වය කෙතරම් දුරට පෝෂණය කරන්නේද? යන කාරණා මත නිර්වචනය කෙරේ. මෙම සාධකයෙන්, නීතිමය අයිතීන් සම්බන්ධ තොරතුරු හා මූලික නීති කෙතරම් දුරට ප්‍රසිද්ධියට පත්කර ඇත්තේද? යන්න සහ රජයෙන් තොරතුරු ප්‍රසිද්ධියට පත්කර ඇති ආකාරයේ ගුණාත්මක බව ඇගයුම් කරමින් මැන බැලේ.
මූලික අයිතීන්
මූලික අයිතීන් නමැති සාධකයෙන් පවතින ධනාත්මක නීති පද්ධතියක්, හොඳම නීතිමය පාලනය ලෙස සැලකෙන අන්තර් ජාතික නීතිය යටතේ ස්ථාපිත කර ඇති මූලික මානව හිමිකම්වලට ගරු කිරීමට අසමත් වන්නේද? යන්නත්, නීතිමය පාලන ක්‍රමයක් ඇත්තේද? යන්න කීමට තරම් හිමිකමක් නැති නීති පද්ධතියක්ද යන්නත් හඳුනා ගැනේ.
මානව හිමිකම්වලට අදාළ වෙනත් බොහෝ දර්ශක පවතින නිසාත්, අයිතීන් පිළිබඳ පරාසයන්ට අනුකූලවේ ද යන්න නීතිමය පාලනය පිළිබඳ දර්ශකයෙන් ඇගයුම් කිරීමට නොහැකි නිසාත්, මෙම සාධකයේ දී අවධානය යොමු කරනුයේ, එක්සත් ජාතීන්ගේ විශ්වීය ප්‍රකාශනය යටතේ ස්ථාපිත කර ඇති අයිතීන්වල සාපේක්‍ෂ වශයෙන් මධ්‍යස්ථ වූ නීතිමය පාලනයට සම්බන්ධ ඊට සමීප වූ ස්ථානයක් වෙතය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ලෙස එම ප්‍රකාශනයට අත්සන් තබා ඇති නිසා එම ප්‍රතිපත්තිවලට අනුකූලවීමේ අසීරුවක් ඊට නැත.
දේපළ අයිතිය
ක්‍රමානුකූල බව හා ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් පුද්ගල ආරක්‍ෂාව හා දේපළවල ආරක්‍ෂාව මෙම සාධකයෙන් මැන බැලේ. ඕනෑම ආර්ථිකයක මෙහෙයුමට මූලිකව බලපාන මෙයට අර්ථ ශ්‍රාස්ත්‍රඥයෝ දේපළ අයිතිය ආරක්‍ෂා කිරීම යැයි කියති. මෙය නීතිමය පාලනය විසින් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අයිතීන් සහ නිදහස යථාර්ථවත් කිරීමට අදාල පෙර කොන්දේසියකි. මෙම ලකුණු සංඛ්‍යාව අනෙක් ඒවාට මදක් ඉහළින් (0.6 සහ 0.7 අතර) පවතින නිසා ශ්‍රී ලංකාවේ මෙම ලකුණු තත්වය තරමක් යහපත් වේ. එය වඩාත් හොඳ කාර්ය දර්ශනයක් පෙන්නුම් කරන රටවලට ද මදක් සමීපය.
නියාමන යොදා ගැනීම
නියාමන ක්‍රියාත්මක කිරීමේ සාධාරණත්වය හා ඵලදායී බව, නියාමන ක්‍රියාත්මක කිරීමේ සාධකයෙන් මැන බලනු ලැබේ. නීතිමය හා පරිපාලනමය යන නියාමන දෙකම, රජය තුළත් ඉන් පිටතත් හැසිරීම හැඩගන්වයි. නියාමනය කිරීමට රජය විසින් තෝරා ගනු ලබන ක්‍රියාකාරකම් හෝ එකී විශේෂිත ක්‍රියාකාරකම, මෙම සාධකය ඔස්සේ ඇගයුම් කිරීමක් නොකෙරේ. එහිදී ඊට වඩා පරීක්ෂා කර බලන්ගේ නියාමන ක්‍රියාත්මක කරන ආකාරය හා බලගැන්වෙන ආකාරයයි. ලෝක යුක්ති ව්‍යාපාරයෙන් සම්පාදනය කරන දර්ශකයෙන් හෙළිදරව් වන පරිදි මේ සම්බන්ධ ශ්‍රී ලංකාවේ අතීත වාර්තා අසතුටුදායකය. රජයේ සිටින අයට රිසි පරිදි නියාමන භාවිත කරන බව සාක්ෂිවලින් පෙනී යන අතර, ඊට විරුද්ධ වූවන්ට දඬුවම් කරන බව ද දිස්වේ.
සිවිල් යුක්තිය
සිවිල් යුක්තියට අදාළ සාධකයෙන් පරීක්ෂා කර මැන බලනු ලබන්නේ පවතින සිවිල් අධිකරණ පද්ධතිය ඔස්සේ සාමාන්‍ය ජනතාවට තම දුක් ගැනවිලි, සාමකාමීව සහ ඵලදායී ලෙස විසඳා ගත හැකිද යන්නය. සිවිල් අධිකරණ පද්ධති කෙරේ සමීප වීමේ හැකියාව පවතී ද යන්නත් මෙහිදී මැන බැලෙන අතර එය යම් යම් සමාජ කොටස්වලට විශේෂයෙන් සලකන අගතිගාමිත්වයෙන් හා දූෂණයෙන් තොර වේද යන්නත්, රජයේ නිලධාරීන්ගේ අනිසි බලපෑම්වලට යටත් වන්නේ ද යන්නත් සලකා බැලේ. එසේම උසාවිවල නඩු විභාග කිරීමේ ක්‍රියාදාම හේතු රහිත ප්‍රමාද කිරීම්වලින් තොරව පවත්වාගෙන යන්නේද? යන්න සහ තීන්දු ඵලදායී ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්නත් මෙහිදී පරීක්ෂා කෙරේ. ආරාවුල් විසඳීමේ විකල්ප යාන්ත්‍රණ වෙත ප්‍රවේශවීමේ හැකියාව, ඒවායේ අපක්ෂපාතී බව සහ ඵලදායී බව ද මෙහිදී මැන බලනු ලැබේ.
අපරාධ යුක්තිය:
අපරාධ යුක්තිය නම් සාධකයෙන් රටේ අපරාධ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම බව විමසා බැලේ. එවැනි ක්‍රමයක් නීතිමය පාලනයට අදාළ මූලිකම කාරණයක් වනුයේ ඒ ඔස්සේ දුක් ගැනවිලි නිවා දමමින් සමාජ විරෝධී වැරදිකරුවන්ට එරෙහිව සම්මුතිගත යාන්ත්‍රණය නීතිමය වශයෙන් ස්ථාපනය වන නිසාත්ය. අපරාධ යුක්තිය සම්බන්ධ ඇගයුම්, සමස්ත පද්ධතිය තුළ පොලිසිය, නීතිඥයන්, රජයේ නීතිඥයන්, විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන්ට අදාළව ද එම ඇගයුම් කිරීම කෙරේ සැලකිලිමත් වේ.
නීතිමය පාලනය නිරීක්ෂණය කිරීමේ වැදගත්කම:
මෙම දර්ශකයේ මුළු ලකුණු අතින් ශ්‍රී ලංකාව මධ්‍යම මට්ටමේ ලකුණු ලබා ගැනීමෙන් පෙනී යන්නේ ජාත්‍යන්තර සමුළුවල හා මැතිවරණ සමයේ එඩිතරව පුරසාරම් දෙඩුව ද අප රට තුළ පවතින මිනිසුන්ගේ පාලන ක්‍රමය, පළිහක්කාර වසර 12කට පෙර පෙන්වා දුන්නා සේ කඩිනමින් නිමකර දැමිය යුතු බවයි. ස්ථිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා නීතිමය පාලනයේ අගය දැන් පිළිගත යුතුව තිබේ. එය සංවර්ධනයේ ගුණාත්මක බව තහවුරු කරනු ලබන වැදගත් සාධකයක් වීම ඊට හේතුවයි.
නීතිමය පාලනය ආර්ථික සංවර්ධනයට උපකාර වන්නේ කෙසේද? රටක් නීතිමය පාලනයට ගරු කරන විට එම රට විසින් නීතිය පිළිවෙළ නිසි පරිදි පවත්වාගෙන යනු ලබන අතර, එම නීතිමය පිළිවෙළ දේපල අයිතීන් ආරක්ෂා කිරීමට සහාය වෙමින්, මිනිසුන්ට පෞද්ගලිකවත්, සාමූහිකවත් අයත් දේපල ආරක්ෂා කරනු ලබයි. මෙහි පළමු වර්ගය පෞද්ගලික දේපල හිමිකම් යනුවෙන් හඳුන්වන අතර, එය පුද්ගලයාට අයත් ද්‍රව්‍යමය දේපළ වලිනුත් ඔහුගේ බුද්ධිමය හා කායික ශ්‍රමයෙනුත් සමන්විත වේ. දෙවැනි වර්ගය රාජ්‍ය (මහජන) දේපළ අයිතීන් යනුවෙන් හැඳින්වෙන අතර, ජනතාව වෙනුවෙන් රාජ්‍ය භාරයේ ඇති දේපළ ඊට ඇතුළත් වේ. එසේම සියලුම රජයේ ඉඩම්, පොදු දේපළ රාජ්‍ය ව්‍යවසාය සහ ජනතාවට වාසි උත්පාදනය කොටදෙන සියලුම චංචල හා නිෂ්චල රාජ්‍ය දේපල ද මෙම වර්ගීකරණයට අයත් වේ.
ජනතාව වෙනුවෙන් මෙම මහජන දේපළ රජය විසින් ආරක්ෂා කළ යුතු වන අතර, ඒවා මහජනයාගේ ප්‍රයෝජනය පිණිස භාවිත වන විට එය නිසි පරිදි භාවිත වන බව තහවුරු කෙරෙන මූලධර්ම සංග්‍රහයක් එහි දී අනුගමනය කළ යුතු වේ. ඇතැම් පුරවැසියන්ට මහජන දේපළ අවභාවිත කිරීමට හෝ රාජ්‍ය ව්‍යවසාය පාඩු පිට පවත්වාගෙන යාමට ඉඩ සැලසීම, මහජන සම්පත් කොල්ලකෑමක් හා සමාන වන්නේය. එබැවින් පෞද්ගලික හා රාජ්‍ය දේපළ යන දේපළ අයිති දෙකම ආරක්ෂා කිරීම ආර්ථික සංවර්ධනය කේන්ද්‍රගත කොට සිදුවන්නකි. සමෘද්ධිමත් බව කරා ප්‍රවිෂ්ට වන ඕනෑම ජාතියකට එය දිවි පැවැත්මක් යයි කියනු ලැබේ.
සිතීමේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහස
නීතිමය පාලනය පෙනෙන්නට නැති මිනිසුන්ගේ පාලනයක්ම අනුගමනය කරන රටක්, නවීකරණය සහ නවෝත්පාදනය පිණිස මිනිසුන්ට අවශ්‍ය මූලික අයිතීන් ලබා දීමෙන් වැළකී සිටී. එම නවීකරණය සහ නවෝත්පාදනය පිණිස අවශ්‍ය වන්නේ සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහසයි. අවසාන වශයෙන් එහිදී මානව නිදහස කෙරේ සැලකිලිමත් වේ. 17 වැනි සියවසේ විසූ ඉංග්‍රීසි දාර්ශනිකයකු වූ ජෝන් ලොත් එය ‘‘නිදහස නැති තැන නීතියක් ද නැත’’ යනුවෙන් කෙටියෙන් දක්වා ඇත.
සාධාරණ නීතියේ පාලනය
නීතිමය පාලනයට වඩා මිනිසාගේ පාලනය අනුගමනය කරන මිනිසුන් ගැටලුවටම අසුවෙන සුළුය. පළිහක්කාර මේ ගැන අපට අනතුරු ඇඟවීමේ දොළොස් වසරකට පෙරාතුවයි. එයින් අප තවමත් පාඩමක් උගෙන නැති බවට සාක්ෂි එමටය.
ලෝක යුක්ති ව්‍යපෘතියේ නීතිමය පාලන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති අඩු ලකුණුවලින් මෙම අහිතකර වර්ධනය තවදුරටත් සාක්ෂාත් වේ. මෙම දර්ශකයේ පුළුල් සාධකවලින් අපට පාලනය නීතිමය පාලනයක් පමණක් නොව, සාධාරණ නීතියේ පාලනයක් විය යුතුය යන්න ද පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් බ්‍රසීලය ලබා ඇත්තේ ද ශ්‍රී ලංකාව ලබා ඇති මට්ටමේ ලකුණුය. බලධාරීන් විසින් සාධාරණ නීතිය කෙතෙක් දුරට උල්ලංඝනය කරන්නේ ද යන්නට කදිම උදාහරණ මෙයින් සපයා දෙයි.
‘‘මිතුරන්ට සැමදේ මුත් නීතිය සතුරන්ටය’’ යනුවෙන් සුප්‍රසිද්ධ කියමනක් බ්‍රසීලයේ ඇත. සතුරන්ට හා මිතුරන්ට මෙසේ දෙආකාරයකින් සලකමින් අගතිගාමී වීමෙන් යුක්තියුක්ත සමාජයක් නිර්මාණය කිරීමේදී වැළකිය යුතුවේ.
Daily FT පුවත්පතේ 2024/7/1 වැනිදා පළවූ Sri Lanka’s Rule of Men Should end to give way for Rule of (Fair) Law නම් ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ ව වසිනි. / උපුටා ගැනීම ලංකාදීප පුවත් පතෙනි