Tuesday, June 18, 2024

TISL ආයතනය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් බදාදා (ජුනි 5) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (SC SD 77/2024) ඉදිරිපත් කරන ලදී. රාජ්‍ය ප්‍රසම්පාදන‍ය සම්බන්ධ ගැටළු කිහිපයක් එම පෙත්සමට මූලික විය.  

පනත් කෙටුම්පතේ 32 වැනි වගන්තිය මගින් රාජ්‍ය ප්‍රසම්පාදනය හා සම්බන්ධ අධීක්ෂණ කටයුතු බරපතළ ලෙස දුර්වල කරන බවත්, එමගින් දූෂණ අවදානම ඉහළ නංවා සම අවස්ථාව අහිමි කරන බවත් මෙම පෙත්සම පෙන්වා දෙයි. 

මෙම පනත් කෙටුම්පත මැයි මස 10 වැනි දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර, මැයි 22 වැනි දින පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහි 32 (3) වගන්තිය මගින් රාජ්‍ය ව්‍යවසායන්ට ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලින් බැහැර වීමේ අවසරය මුදල් අමාත්‍යවරයාට සිය අභිමතය පරිදි ලබා දීමට හැකි වන අතර, 32 (4) වගන්තිය මගින් එක් එක් පළාත් සභාවට ඔවුන්ට අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකසා ගැනීමට අවසර දෙයි.   

පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 (ජනතාවගේ පරමාධිපත්‍යය) සහ 12 (සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම) යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන බවට තීන්දුවක් ලබා දෙන ලෙස TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.  

මහජන සුබසිද්ධිය අරමුණු කර ගෙන ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. 

“නිසි අනුමැතිය ඇතිව ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිවයි. එමගින් බලාපොරොත්තු වන්නේ ප්‍රමාදයන් අවම කොට ගැනීමත්, මූල්‍යමය වශයෙන් වඩාත් වාසිදායක මෙන්ම ගුණාත්මක වශයෙන් හොඳම සේවා සහ සැපයුම් ලබා ගැනීමත් ය… ශ්‍රී ලංකාවේ දැනට පවතින දූෂණය සහ අල්ලස සළකා බලන විට ඒවා වැළැක්වීමේ අරමුණින් පනවා ඇති අධීක්ෂණ හා ආරක්ෂණ යාන්ත්‍රණයන් ලිහිල් කිරීම පිළිගත නොහැක,” යනුවෙන් පෙත්සම අවධාරණය කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාව මෙම පෙත්සම මගින් උපුටා දක්වයි. රාජ්‍ය ව්‍යවසාය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂණය පැන නැගිය හැකි වැඩි අවදානම් ක්ෂේත්‍ර බව එම වාර්තාව හඳුනා ගන්නා අතර, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පොදු සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි ඉතිහාසයක් ඇති බවද එහි දැක්වේ. රාජ්‍ය ප්‍රසම්පාදනයන්හි අධීක්ෂණය, විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය එම වාර්තාව අවධාරණය කරයි. 

පනත් කෙටුම්පතින් අපේක්ෂා කරන රාජ්‍ය අරමුදල්වල වගවීම, අධීක්‍ෂණය සහ කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඉහත සඳහන් විධිවිධාන නිසි බලපෑමක් ඇති නොකරන බව TISL ආයතනය පෙන්වා දෙයි.  

නඩුව ජුනි 10 වන සඳුදා  සලකා බැලීමට නියමිතය. 

සම්පූර්ණ පෙත්සම: www.tisrilanka.org/wp-content/uploads/2024/06/SCSD772024.pdfåå

Archive

Latest news

Related news