Saturday, November 23, 2024

ප්‍රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැණියක්- බණ්ඩාර මැණිකේ – චූලානන්ද සමරනායක

දේශපාලනය ගත් කළ එහි අති බහුතරයක් වීරයන් වනුයේ පුරුෂයන්ය. කාන්තාවෝ යනු ඒ පුරුෂ රැස් දහරාව යට ඔවුන්ගේ මග පෙන්වීම මත ඉදිරියට ඇදෙන ජීවී කොට්ඨාශයකි. ලංකාවේ පැරණි වමේ ව්යාපාරයන්හී මෙන්ම නව ව්යාපාරයන්හිද කාන්තා චරිත මතුව පෙනෙනුයේ ඉතා මද වශයෙනි. ලීනා අයිරින් හපුතන්ත්රී යනු අමතකව ගිය චරිතයකි. හැත්තෑ එකට සාපේක්ෂව අසූව දශකයේ සටන් මැද දිරියෙන් දේශපාලනය කළ ඒ වෙනුවෙන් දිවි අහිමි කරන ලද පිරිස් අතර කියවෙන පිරිමි නම් අතර කාන්තා චරිත අවමය. එහෙත් ඊට හේතුව එවන් චරිත නොමැතිකම නොවේ. එවැන්නන් ගැන ලියවෙන්නේ නැතිකමය. උතුරේ අරගලයටද මෙය පොදුය. එහිදීද තමිලිනී හැරුණු විට මතුවූ චරිත සංඛ්යාව අල්පය.
ඉදින් බණ්ඩාර මැණිකේ අවසන සිය දිවි සැරියෙහි පරිච්ඡේද පොතකට දිග හරින්නීය. පිටු 380ක් පුරා ඇය විසින් ලියනු ලබන ඇගේ කතාව යනු හුදෙක් ඇගේ කතාවම නොවේ. එය අපේ දේශපාලනයේ මෑත දශක ගණනාවක කතාවයි. යටපත් කරනු ලබනා කාන්තාවන්ගේ කතාවෙහි නියෝජනයයි. දැඩි උත්සාහය සහ කැපවීමත්, අදිටන්සහගත බව සහ දැක්මත්, පරිත්යාගශීලීත්වය සහ අවබෝධයත් කැටිවූ අතිශය අසීරු මගෙක කල ගමනයි.

උත්තම ආලය

රුසියානු විප්ලවයෙන් පසුව එහි කැපී පෙනෙන කාන්තා චරිතයක් වූ ඇලෙක්සැන්ද්රා කොලොන්තායි තමන් විසින් ලියන ලද දේශපාලන ලිපි සමූහය අතර අගනා නවකතාවන් දෙකක්ද රචනා කළාය. ඉන් එකක් නම් කරන ලද්දේ උත්තම ආලය යනුවෙනි. මේ කතාව දිවෙනුයේ පිටුවහලේ ඉන්නා දේශපාලන නායකයකු සහ ඔහු සමීපයේ සිටිනා විප්ලවවාදිනියක වටාය. ඇයට ඇවැසි සෘජුවම අරගලයට සම්බන්ධ වන්නටය. එහෙත් විප්ලවවාදී නායකයා කියනුයේ ඇගේ කාර්යය තමන් වෙනුවෙන් කැපවීම බවත් විප්ලවයට ඇගේ දායකත්වය එය වන බවත්ය. කතාව ඉදිරියට ඇදෙනුයේ මේ ගැටුම මැදිනි. කොලොන්තායි මේ නවකතාව හරහා උත්සාහ දරන්නී විප්ලවයේදී පවා කාන්තාවන්ට හිමිවන දෙවන පෙල සැලකිලි ගැන අවධානය යොමු කිරීමටය. සමහරු මේ චරිත ද්වය ලෙනින් සහ ඉනෙස්සා ආමන්ඩ් යයි සැක කරති. එහෙත් ඒ ඔවුන් දෙදෙනාය මුළුමනින්ම බැහැරව පැවති තත්වය සැලකිල්ලට ගනිමින් රචිත නවකතාවකි.

අවමන් සහගත සැලකුම්

බණ්ඩාර මැණිකේගේ කතාවෙහිද අපට දක්නට ලැබෙන පොදු සත්ය ය එයමය. සමාජය විසින් තීරණය කරන ලද ගෑනු වැඩ පොදිය කරනු හැරුන විට වෙනත් මානයන් කෙරේ අවධානී වීම යනු වරදක් තරමටම සලකන සමාජයක එවන් කාන්තාවන්ට අවමන් සහගත සැලකුම් ලැබෙන සමාජයක කාන්තාවක ලෙස තමන් තම නිදහස සොයාගත් ආකාරය මෙන්ම අනෙක් තම වර්ගයාගේ නිදහස සහ සමානාත්මතාව වෙනුවෙන් කැපවූ ආකාරය ඇය මෙහිදී ආවර්ජනය කරයි. ඒ ආවර්ජනය වනාහී පසමිතුරු දේශපාලන ව්යාපාරයන් වෙතින් එල්ල වන තර්ජන, සම්ප්රදායික සමාජ මිනුම් වලින් එල්ල වෙන පහරවල්, රාජ්ය මර්ධනය මෙන්ම රජය සහ ජවිපෙ ගැටුම අතරට මැදිව ගෙවුන අසීරු සහ අනතුරුදායක කාලය, මවක දියණියක, ඥාතිවරියක ලෙසින් සමාජයෙන් අපේක්ෂා කරනා වගකීම් සම්භාරය සමගින් පොදු අරමුණක් වෙත කැපවීම, යනවාදී වශයෙන් අති විසල් පරාසයක් ආවරණය කරන්නකි.
ඇය තම දිවි සැරිය පිලිබඳව රචනා කරන්නේ නවකතාමය ගුණයක් රැඳි බසකිනි. එහෙයින් එය කියවන්නට රුචිකරය. එහෙත් ඒ නවකතාමය ලක්ෂන අතර වුව ඇයගේ ලේඛණය අව්යාජ බවින් නොමිදෙයි.

පිරිමි වගේ ගෑනු

ලාංකීය සමාජය තුළ සමාජ ක්රියාකාරිණියක වීම යනු තවත් බොහෝ දේ අත්හැර දමන්නට සිත හදාගැනීමකි. වෙසෙසින්ම එවන් කාන්තාවන් හට පිරිමි වගේ ගෑනු යයි පවසනු අසන්නට ලැබෙයි. මේ ඔවුන් සම්බන්ධයෙන් වන ගර්හාත්මක කියමනකි. ඉන් අදහස් වනුයේ ඇය සම්මත ස්ත්රී ලාලිත්යයෙන් බැහැර රළු ජීවියකු බවයි. මේ නිසාම බොහෝ කාන්තාවන්ගේ සමාජ සම්බන්ධතා හා මැදිහත්වීම් විවාහය සමගින් කෙලවර වෙයි. මධ්ය කඳුකරය නියෝජනය කර අසීරුවෙන් රාජ්ය සේවයට ඇතුලත්ව ඉහලට ගමන් කළ එක් නිලධාරිනියක් ගැන මම දනිමි. ඇය දමිල කතකි. ඇයට විවාහයට බාධාව පැමිණුනේ ඇගේ පලාතේ පිරිමින් උගත්කමින් පහල මට්ටමක සිටීම මත ඇය හා විවා වුවහොත් ඔවුන්ට ඇය යටත් කර ගැනීමට නොහැකි වනු ඇත යන විශ්වාසයයි. මෙය බොහෝ විට කවර ජාතියකට වුව පොදු තත්වයකි. බණ්ඩාර මැණිකේගේ අත්දැකීම් මේ කලාපය තුළද පුළුල්ව තිබේ.
ලංකාවේ අරගලකාරී දේශපාලනයෙහි නායකයකුව සිට මාධ්ය ක්ෂේත්රයේද ප්රමුඛයෙකුගේ බිරිඳ ලෙස තමන්ට හිමි අනන්යතාව වෙනුවට මේ ගැහැණිය සිය දේශපාලන මැදිහත්වීම් හරහා ගොඩනගා ගන්නා අනන්යතාව ඉතා වැදගත් ය. ඇයගේ ජීවිතයේ ඇතැම් අවස්ථා අතිශය අසීරු තීරණයන් මැද ඇදී යයි. ඇය තමන් හට පමාවී ලැබුණ ගුරු පත්වීම සමාජ දේශපාලන කටයුතු වෙනුවෙන් අත්හැරීමට තීරණය කිරීම එවන් අවස්ථාවකි. මේ කෙනකු ලෙහෙසියෙන් ගන්නා තීරණයක් නොවේ. ඇය ඒ තීරණය ගන්නී කිසි විටෙකත් ඒ ගැන පසුතැවිලිද නොවන්නීය.

අගතිගාමී අදහස් බරපතලය

වර්තමානය වන විට අප ගෙවනුයේ නිමේෂයක් පසුපස නිමේෂයක් වශයෙන් වන දිවියකි. අනාගත සැලසුම් හෝ අපේක්ෂාවන් නැති තරම්ය. ඒ අතර තවමත් කාන්තාව සම්බන්ධයෙන් සමාජය තුළ ඇති අගතිගාමී අදහස් බරපතලය. එහෙයින්ම කාන්තාවන් වෙන කවදාටත් වඩා සිය භූමිකාව කෙරේ අවධානය යොමු කිරීම අවශ්යව තිබේ. ඒ සඳහා ඔවුන්ට වෙනත් එවන් කතුන්ගේ ජීවිත අත්දැකීම් වටනා මාර්ගෝපදේශයන් සපයයි. බණ්ඩාර මැණිකේ සිය දිවි සැරිය රචනා කිරීමෙන් කරනුයේ ඒ අඩුව සපිරීමකි. ඇගේ කතාව එක් අතකින් අත්දැකීම් බෙදා ගැනීමකි. ඒ සමගම එය එක්තරා මාර්ගෝපදේශී කාර්යයක්ද ඉටු කරයි. තමන් වෙත සමාජයෙන් හිහමි කරදෙනු ලබනා අඩයාලම වෙනුවට ස්වීයත්වය සොයා ගැනීම, අනෙකා වෙනුවෙන් වැඩ කිරීම, සමාජයේ සක්රීය සාමාජිකාවක ලෙස මැදිහත්වීම යනාදී කාරණා වලදී මෙහි රචිකාවගේ අත්දැකීම් බෙහෙවින් ප්රයෝජනවත් වෙයි.

ඇගේ කතාවෙහි කැපී පෙනෙනම දෙය ඇය සිය අත්දැකීම් පැවසීමේදී දක්වන පරිණත බවයි. එය කෝපය, වෛරය, හෙලා දැකීම වෙනුවට පවත්නා තත්වය මේ යයි පෙන්වා දෙමින් ඒ වෙනස් කිරීම උදෙසා වැඩ කිරීමේ අගය ඉස්මතු කරයි. ලාලිත්යයේ ගිල්වා කාන්තාව සම්ප්රදායික යදමින් බඳින්නට සූදානම් සමාජයකට බණ්ඩාර මැණිකේගේ කෘතිය සාකච්ඡාවට ගත හැකි නම් අගනේය

Chulananda Samaranayake  FB

Archive

Latest news

Related news