Tuesday, July 16, 2024

රතුපස්වල නඩු තීන්දුව:’විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නැහැ’

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව අද (මැයි මස 17) වෙනිදා ප්‍රකාශයට පත් කරන ලදී. එම නඩු විභාගය පැවැත්වුයේ ගම්පහ මහාධිකරණයේ දීය.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (මැයි මස 17) සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා යටතේ මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ නිසි විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් මෙන්ම විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නැති බැවින් විත්තිකාර යුද හමුදා මේජර් ජනරාල්වරයකු සහ හමුදා සෙබළුන් තිදෙනෙකු සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන බවය.

සිද්ධිය වු ස්ථානයේ මෙම විත්තිකරුවන්ට අමතරව කළු ඇඳුම් සහ ටී ෂර්ට් හැඳ ගිනි අවි අත දැරූ පිරිස් සිටි බවට සාක්ෂි ඉදිරිපත් වුවත් ඔවුන් හැර මෙම විත්තිකරුවන්ට එරෙහිව පමණක් චෝදනා ඉදිරිපත් කිරීමට හේතූ වු සුවිශේෂි හේතූව පමිණිල්ල විසින් අධිකරණයට හෙළි කර නැතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල වෙනත් හමුදා නිලධාරීන් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් නොකිරීම මඟින් ඇතිවන සැකයේ වාසිය විත්තිකරුවන්ට ලබාදෙන බවද සඳහන් කළේය.

රතුපස්වල සිදුවීම යනු කුමක්ද?

2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුණු ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව මැදිහත්වීමේ දී වෙඩි ප්‍රහාර ද එල්ල කෙරුණි.

නිතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන් වන යුද හමුදා මේජර් ජනරාල්වරයකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

එම අවස්ථාවේදීම පුද්ගලයින් 12 දෙනෙකුට වෙඩි තබා තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 08 දෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 21 දෙනෙකුට තුවක්කු වලින් සහ පොලු වලින් පහරදී බරපතල නොවන තුවාල කළ බවටත් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

නඩු තීන්දුවේදී විනිසුරු මඩුල්ල පැවසුවේ කුමක්ද?

මීට වසර 11කට පෙර රතුපස්වල ප්‍රදේශයේදී විත්තිකාර හමුදා නිලධාරීන් මෙම අපරාධය කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන් පොදු චේතනාවකින් යුතුව අපරාධමය ආකාරයෙන් කටයුතු කර ඇති බවක් පැමිණිල්ලෙන් ඔප්පු කර නැති බවත් උද්ඝෝෂණයක් මැඩපැවැත්වීම සඳහා නීත්‍යානුකූලව කැඳවු මෙම විත්තිකරුවන් නීතී විරෝධි රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කළ බවක් පැමිණිල්ලෙන් ඔප්පු කර නැති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කළේය.

වසර 05ක කාලයක් පුරා විත්තිකරුවන්ට එරෙහි චෝදනා විභාග කිරීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට විත්තිකරුවන් නිවැරදිකරුවන් බව තීරණය කරමින් මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ යුද හමුදා මේජර් ජනරාල්වරයකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලිකක සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ නමැත්තන්ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන නිමල් රණවීර (සභාපති), සහන් මාපා බණ්ඩාර සහ රශ්මි සිංගප්පුලිගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

2013 වසරේදී සිදුවු මෙම සිද්ධියෙන් වසර හයකට පසු රතුපස්වල ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කොට තවත් පිරිසකට තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට අවසර දෙන්නැයි එවකට නීතීපතිවරයාව සිටි ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද (මැයි මස 17 වෙනිදා) පෙරවරු 10.20ට පමණ පිටු 242කින් යුත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ අතර පුරා පැය 2 1/2කට අධික කාලයක් තුළ සභාපති විනිසුරු නිමල් රණවීර විසින් විවෘත අධිකරණයේදී තීන්දුවේ සුවිශේෂි කොටස් කියවා තීන්දුව ප්‍රකාශයට පත් කන ලදී.

බැලුම්මහර රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘වෙනින්ග්‍රොස්’ නමැති කර්මාන්ත ශාලාවෙන් පිටකරන රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් එම ප්‍රදේශයේ ජල මුලාශ්‍ර අපවිත්‍ර වන බව සඳහන් කරමින් අදාළ කර්මාන්තශාලාව ප්‍රදේශයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් ගන්නා විවිධ ක්‍රියාමාර්ග සඳහා නිසි පිළිතුරක් නොලැබු පසු ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂණයකින් අනතුරුව මෙම නඩුවට පාදක වු සිද්ධීන් ඇති වූ බවට පමිණිල්ලෙන් සාක්කි ඉදිරිපත් කළ බවත්, විත්තිකරුවන් නිත්‍යානුකුල අන්දමින් කටයුතු කර ඇති බව විත්තියෙන් කරුණු ඉදිරිපත් කළ බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

මෙම සිද්ධිය වීමට පෙර එවකට සිටි ජනාධිපතිවරයා විසින් ගම්පහ ප්‍රදේශයට හදිසි නීතීය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබු බවත් උද්ඝෝෂකයින් විසින් මාර්ග වසා දමා කළහකාරී අන්දමින් හැසීරීම නිසා හිටපු ආරක්‍ෂක අමාත්‍යශයේ ලේකම්වරයාගේ නියෝගයකට අනුව ඔවුන් විසුරුවා හැරීම සඳහා මෙම විත්තිකරුවන් කටයුතු කර ඇති බවට නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් වු බව සඳහන් කල විනිසුරු මඩුල්ල සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගිනි අවි 89 අතුරින් මෙම විත්තිකරුවන් තිදෙනාගේ ගිනි අවි වලින් නිකුත් වු උණ්ඩ 12ට අමතරව තවත් හමුදා නිලධාරීන් 07 දෙනෙකුට නිකුත් කළ ගිනි අවි 07කින් උණ්ඩ 21ක් නිකුත් වී ඇතත් ඔවුන් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් නොකිරීම බරපතල සැක මතු කරවන තත්වයක් බව තීන්දුවේ සඳහන් කළේය.
ඡායාරූප ශීර්ෂ වැකිය,යුද හමුදා නීතී නිලධාරී මේජර් නීතීඥ සම්පත් විජයරත්න කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් ගිනි අවි අතුරින් මෙතෙක් අධිකරණය භාරයේ ඇති ගිනි අවි 03ක් සහ ජීව උණ්ඩ 3943ක් යුද හමුදාවට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලු විනිසුරු මඩුල්ල අභියාචන කාලයෙන් පසු අදාළ ගිනි අවි සහ උණ්ඩ යුද හමුදාවට මුදා හැරීමට නියම කළේය.

නඩුවට අදාළ සාක්ෂි කැඳවීම්

මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා කැඳවනු ලැබු 65 දෙනා අතර සිද්ධියට සම්බන්ධ වු 08 දෙනෙකු ද වින්දිතයින් 27 දෙනකුද, විශේෂඥයින් 06 දෙනෙකු සහ විමර්ශන නිලධාරීන් 10 දෙනෙකුද වන බව තීන්දුවේ සඳහන් වෙයි.

බැලුම්මහර, රතුපස්වල හා වැලිවේරිය යන ප්‍රදේශ වල ඇති වු මෙම උද්ඝෝෂණ වැළැක්වීම සඳහා විවිධ හමුදා කඳවුරු වලින් හමුදා සෙබළු 289 දෙනකුට අධික පිරිසක් කැඳවා සිටි බවටත් ඊට අමතරව කළු ඇඳුම් හා ටී ෂර්ට් හැඳගෙන ගිනි අවි අතදරා සිටි පිරිස්ද සිටි බවටත් නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් විය.

මෙම සිද්ධිය වීමට පෙර එවකට සිටි ජනාධිපතිවරයා විසින් ගම්පහ ප්‍රදේශයට හදිසි නීතීය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබු බවත් උද්ඝෝෂකයින් විසින් මාර්ග වසා දමා කළහකාරී අන්දමින් හැසීරීම නිසා හිටපු ආරක්‍ෂක අමාත්‍යශයේ ලේකම්වරයාගේ නියෝගයකට අනුව ඔවුන් විසුරුවා හැරීම සඳහා මෙම විත්තිකරුවන් කටයුතු කර ඇති බවට නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් වු බව සඳහන් කල විනිසුරු මඩුල්ල සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගිනි අවි 89 අතුරින් මෙම විත්තිකරුවන් තිදෙනාගේ ගිනි අවි වලින් නිකුත් වු උණ්ඩ 12ට අමතරව තවත් හමුදා නිලධාරීන් 07 දෙනෙකුට නිකුත් කළ ගිනි අවි 07කින් උණ්ඩ 21ක් නිකුත් වී ඇතත් ඔවුන් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් නොකිරීම බරපතල සැක මතු කරවන තත්වයක් බව තීන්දුවේ සඳහන් කළේය.

විවිධ හමුදා කඳවුරු වලින් කැඳවනු ලැබු හමුදා සෙබළුන් විසින් විවිධ ස්ථානවල පැවැත්වු උද්ඝෝෂණ මැඩලීම සඳහා කටයුතු කිරීමේදී ඇති වු සිද්ධීන් වල අපරාධමය වගකීම පළමු විත්තිකරු මත පැවරීමේ සුවිශේෂි තත්වය ඔප්පු කිරීම පැමිණිල්ල සතු වුවත් කිසිම අවස්ථාවක පැමිණිල්ල විසින් විත්තිකරුවන් නීතී විරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කර ඇති බවක් ඔප්පු කර නැතැයිද, විත්තිකරුවන් පොදු චේතනාවෙන් යුතුව අපරාධමය ආකාරයෙන් කටයුතු කළ බවට සාක්කි ඉදිරිපත් වී නැතත් උද්ඝෝෂකයින් නීතිවිරෝධී ආකාරයෙන් මහජන සාමය කඩවන පරිදි කටයුතු කර ඇති ආකාරය පිළිබද සාක්ෂි පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කර ඇතැයිද විනිසුරු මඩුල් සිය තීන්දුවේ සඳහන් කළේය.

නඩු විභාගයේදී ඉදිරිපත් වු කරුණු වලින් පැමිණිල්ලේ නඩුව කෙරෙහි සැක උපදවන තැන් බොහෝමයක් ඇතැයි ද ඉන් ඇතිවන සැකයේ වාසිය විත්තිකරුවන්ට දිය යුතු යැයිද තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔප්පු කර නැතැයි තීන්දු කළ විනිසුරු මඩුල්ල සියළු චෝදනා වලින් විත්තිකරුවන් සියළු දෙනාම නිදොස් කර නිදහස් කරන ලදී.

යුද හමුදාව අධිකරණයෙන් කළ ඉල්ලීම්

යුද හමුදා නීතී නිලධාරී මේජර් නීතීඥ සම්පත් විජයරත්න කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් ගිනි අවි අතුරින් මෙතෙක් අධිකරණය භාරයේ ඇති ගිනි අවි 03ක් සහ ජීව උණ්ඩ 3943ක් යුද හමුදාවට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලු විනිසුරු මඩුල්ල අභියාචන කාලයෙන් පසු අදාළ ගිනි අවි සහ උණ්ඩ යුද හමුදාවට මුදා හැරීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ පද්මාල් ද සිල්වා වීරසිංහ, රජයේ නීතීඥ ක්‍රිෂාන් ද අල්විස් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනී සිටියහ.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ඩේල් ගුණරත්න, ශිරාණී දිසානායක සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ද අනෙකුත් විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් නීතීඥවරුන් වන සන්දීප්ත සුරියආරච්චි නීතීඥ චමත් වික්‍රමසිංහ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නද පෙනී සිටියහ.

බීබීසි සිංහල අඩවියෙනි

Archive

Latest news

Related news