Tuesday, October 15, 2024

මූලික අයිතිවාසිකම්වත් අහිමි මැයි දිනයක් කුමට ද!

මෙලනි මානෙල් පෙරේරා.

මැයි පළමුවන දා ලෝක කම්කරු දිනය පවත්වන අතර, ශ්‍රී ලංකාවේ එම සම්ප්‍රදායට අනුකූලව දේශපාලන , වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා මහජන ව්‍යාපාර මට්ටමින් මැයි දිනය පවත්වන්නට යෙදුණි. ශ්‍රී ලංකාව තුළ පුරවැසියෙකු ලෙසට, සැබෑ කම්කරුවකු ලෙසට නිදහසේ ජීවිත්වීමට නොහැකි වාතාවරණයක් තුළ, අති බහුතරයක් දෙනා තවමත් “ඉටුවී නැති සිය ඉල්ලීම්” රැගෙන, “ප්‍රශ්න බවට පෙරළා ඇති මූලීක අවශ්‍යතාවන්” රැගෙන ඊයේ දිනයේ දී කොළඹ අගනගරයේ දී ත් අනෙකුත් දිස්ත්‍රික්ක වලදී ත් පා ගමන් සහ රැළි වලින් සමන්විත වූ 2024 මැයි දිනය’ පැවැත්වූහ.

මිනිස් අයිතිවාසිකම් , ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස, 1889 දී ඇමරිකාවෙන් ආරම්භ වූ ලෝක කම්කරු දිනය, ශ්‍රී ලංකාවේ දී සැමරීම ආරම්භකර, 138 වන සැමරුම මේ වසරේදි පවත්වන විට, ශ්‍රී ලාංකීය පුරවැසියන් එහි සැබෑ අර්ථය වන දිනාගත් ඉල්ලීම් හෝ අයිතිවාසිකම්පිළිබඳව සිටිනා ස්ථානය කෙබඳුද යන්න අමුතුවෙන් විස්තර කළ යුතුව නැත.

භූමීය සහ ජලය පදනම් කරගනිමින් කර්මාන්තවල නියැලෙන දැවැන්ත ආහාර නිෂ්පාදකයින් , ඇගලුම් කර්මාන්ත ශ්‍රමිකයින් , තේ පොල් රබර් වලින් විනමය උපයා දෙන ශ්‍රමිකයින් ඇතුලු ශ්‍රී ලාංකාවේ වර්ග ප්‍රමාණය තුළ විවිධ වෘතීන් හී යෙදෙන සමස්ත කම්කරු ජනතාව, සිය අයිතිවාසිකම් දිනාගෙන නිදහසේ සිය වෘත්තීන් හී යෙදෙනවා යන්න, ඊයේ – 2024 මැයි පළමුවෙනි දා, වෙනම ගොවිජනතාව දැවැන්ත ඒකරාශී වීමක් තුළ ඇඹිලිපිටියේ දී ත් , වැඩකරන සියලු ක්‍ෂේත්‍ර ඒකරාශීව කොළඹ 02, ස්ටෑන්ල් ජෑන්ස් පිටියේදී ත් පවත්වන්නට යෙදුණු මැයි දින රැළි හරහා සපථ කළේය.

එහෙත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිය මැයි දින පණිවුඩයෙන් කියා සිටියේ මෙවැන්නකි.

කම්කරු ජනතාව තවදුරටත් දිළිදු ජනතාව ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන අතර අරගලයකින් තොරවම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් අස්වැසුමසහ උරුමය වැඩසටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් ඔවුන් නගාසිටුවීම වෙනුවෙන් ද පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවත් සිහිපත් කළ යුතුය යනුවෙනි.

එනමුත්, ජනාධිපතිවරයාගේ මෙකී ප්‍රකාශය, කොතෙක් දුරට සාධාරණ දැයි 2024 මැයි දිනයට සමගාමීව ^අප්‍රේල් 26 දා& වතුකරයේ ජනතා හ~ සංවිධානය විසින් පවත්වන්නට යෙදුණූ මාධ්‍ය හමුවේ දී මලයහා ශ්‍රමිකයින් ගේ මුවින් ම ප්‍රකාශ වුයේ මෙසේ ය. . . . . . . . .

රටේ ආර්ථීකයට උරදෙන ක්‍ෂේත්‍රවල වැඩකරන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වත් ලබානොදී, වැඩකරන ජනතාව මුලික කරගෙන පවත්වන මැයි දිනයදේශ පාලකයින් විසින් වසරින් වසර පවත්වාගෙන යාම හරසුන් ක්‍රියාවක් බවත් එවැනි මැයි දිනයක් පැවැත්වීමට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න ප්‍රශ්නයක් බවත් , වතුකරයේ ජනතා ~ සංවිධානය” ප්‍රකාශ කළේය.

වසර 200ක් පුරාවට, ශ්‍රමය සූරාකෑමක් මිස, ඊට සරිලන පිළිගැනීමක් , ගරුත්වයක් , සැළකිල්ලක් නැහැයන්න , ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත්වන මලයහා ජනතාව ගේ සුබසිද්ධිය වෙනුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පදනම්කොට ගෙන පිහිටුවා ඇති වතුකරයේ ජනතා ~ සංවිධානයේ අවධාරණය කිරීමයි.

පුද්ගලීකත්වය ආරක්‍ෂාකර ගනිමින් ජීවත්වන්නට සුදුසු නිවසක් නැහැ. ඉඩමක් තිබුණත් නිත්‍යාණූකූල හිමිකමක් නැහැ. සිංහල භාෂාව පමණක් භාවිතා කිරීම නිසා රජයේ ආයාතනයක , කාර්යාලයක රෝහලක සේවය ලබාගැනීම දමිළ ජනතාවට ඉතාම අසීරු වී තිබෙනවා. දරුවන්ට සුදුසු අධ්‍යාපනයක් ලබාගන්න පාසැල් තුළ අදාළ ගුරුවරු නැහැ. මලයහා කාන්තාවන්ගේ දියුණුව සඳහා සමාජ , ආර්ථීක වැඩපිළිවෙළක් නොමැතිව ඔවුන් විදේශ ගතවීම තුළ දරුවන්ගේ ජීවිත විනාශ විනාශ වෙනවා. තවමත්, පවතින ආර්ථීකයට මුහුණ දිය හැකි ආකාරයේ දෛනික වැටුපක් නොලැබීම යනාදි මලයහා ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති ආකාරය පිළිබඳව වතුකරයේ ජනතා ~ සංවිධානය විසින් පවත්වන්නට යෙදුණූ මාධ්‍ය හමුවෙිදි ප්‍රකාශ විය.

මැයි දිනය බිහිවූයේ (1889 ඇමරිකාවේ දී) කම්කරු ජනතාව වෙනුවෙන් වුවත්, වර්තමානයේ දී එය ශ්‍රී ලංකාවේ දේශපාලන උවමනාවක් බවට පත්වී තිබීම කණගාටුවට කාරණයක් බව ප්‍රකාශ කළ වතුකරයේ ජනතා ~ සංවිධානයේ මාතර දිස්ත්‍රික් කමිටු සභාපති ජේ. විජයකුමාර් , වැඩකරන ජනතාවගේ මූලික ප්‍රශ්නවත් නොවිසඳා පවත්වනු ලබන මැයි දිනයේ ඇති තේරුම / අගය” කුමක් දැයි ප්‍රශ්න කළේය.

නිදහසේ පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන් නිවසක්

වසර ගණනාවක් තුළ තම කුටුම්භයා මුහුණ දෙමින් සිටින නිවාස හා ඉඩම් අවශ්‍යතාවය (එය ප්‍රශ්නයකි) පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ , තමන්ටම කියා නිදහසේ ජීවත්වන්නට හැකි නිවසක් නොමැතිකම දකුණේ මලයහා ජනතාව වඩාත් පීඩාවට පත්කර තිබෙන ප්‍රශ්නයක් බවයි.

අපි තවමත් ජීවත්වෙන්නේ අඩි 10×10 දෙමාපියණ් ජීවත් වෙච්ච ලයින් නිවාසවල තමයි. පවුලේ දරුවෝ පස්දෙනෙක් හිටියානම්, විවාහ වෙලත් පස්දෙනාටම නිවසේ තමා ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. මේ පුංචි ඉඩ ප්‍රමාණය තුළ පවුල් කිහිපයකට ජීවත්වෙන්න හරිම අසීරුයි. පිරිමි ඉන්න තැන, කාන්තාවන්ට තමන්ගේ පෞද්ගලීක කාර්යයන් කරගන්න බැහැ. කිසිම පෞද්ගලීකත්වයක් නැහැ. නිසා , අපිටත් ආශයි ඉඩමක් අරගෙන වෙනම නිවසක් හදාගෙන ජීවත්වෙන්න. නමුත්, අපිට වත්තෙන් ලැබෙන පඩියෙන් ජීවත්වෙන්නත් අමාරුයි” යනුවෙන් ජේ. විජයකුමාර් ප්‍රකාශ කළේය.

මේ මැයි දිනයේ දී අපි ඉල්ලා සිටිනවා, නිදහසේ පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන් නිවසක් මලයහා කම්කරු ජනතාවටත් ලබාදෙන්න කියලා”.

මවගේ රැකවරණය මලයහා දරුවන්ට අහිමි වීම

වතු රැකියාවෙන් ලැබෙන සොව්වම් වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශක්තිමත් ආර්ථීකයක් අහිමි බහුතරයක් මලයහා කාන්තාවන්, සිය ආර්ථීක ප්‍රශ්න ජය ගැනීම සඳහා විදේශ ගතව මුදල් ඉපැයීමේ ප්‍රවනතාවක් පවතින අතර එම හේතුව , සිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිත නාස්ති වීමට, විනාශ වීමට පසුබිම සැකසී ඇතැයි වතුකරයේ ජනතා ~ සංවිධානයේ මාතර දිස්ත්‍රික්කයේ කමිටු ලේකම් කස්තුරි රාජනායගම් පෙන්වා දුණී.

දකුණු පළාතේ කාන්තාවන් , විශේෂයෙන් මලයහා කාන්තාවන් මුහුණ දෙමින් සිටින මෙම සමාජ ආර්ථීක ප්‍රශ්නය පිළිබඳව වගකිව යුතු, විසඳුමක් දිය හැකි, කිසිවෙක් සොයා නොබලන බව සඳහන් කළ කස්තුරි රාජනායගම්, දකුණේ කාන්තාවන් හට ස්වාධීනව නැගී සිටිමින් තම පවුල ආරක්ෂා කර ගැනීමට හැකිවන පරිදි සමාජ, ආර්ථීක සංවර්ධන වැඩපිළිවෙලක් හඳුන්වාදීමට බලධාරීන් වහා පියවරගත යුතු බව ප්‍රකාශ කළේය.

මලයහා කාන්තාවන්ගේ ආර්ථීකය කෙතරම් දූර්වලද යත් , සිය පාසැල් යන දරුවන් හට එළවලු දෙකක් සමග කෑමවේලක් ලබාදෙන්නට පෙරම්පුරන, එහෙත් නොහැකිව සිටින අම්මලා මාතර දිස්ත්‍රික්කයේ මලයහා ප්‍රජාව අතර මෙම ලියුම්කරුට මුණගැසී ඇත. සිය ස්වාමිපුරුෂයා අසනීපව එක්තැන්ව සිටීම හේතුවෙන් සමස්ත පවුලේ බර සිය උරට ගෙන, දරිද්‍රතාවයේ අභියෝගවලට මුහුණ දෙමින්, පාසැල් යන දරුවන් තිදෙනාත් , අලුත උපන් බිළිඳාත් එක්තැන්වු සැමියාත් රකින්නට අපමණ වෙහෙසක් දරණ දෙණියාය මතුගොබේ කොටසේ පාක්‍යනාදන් විජයරාණි තරුණ මවට අනුව, “මට හරිම ආසයි එක වේලකට හරි දරුවන්ට එළවලු දෙකක් එක්ක බත්ටික දෙන්න. නමුත් ඒක කරන්න කිසිම පිළිවෙලක් නැහැ. හැමදාම වේල් තුනම එක්කෝ බතුයි, පරිප්පුයි. එක්කෝ බතුයි පොල් සම්බෝලයි. එක්කෝ බතුයි අල බැඳුමයි, එච්චරයි”

සිංහල භාෂාව පමණක් වීමේ ප්‍රශ්නය

දකුණු පළාතේ තිබෙන කාර්යාල , බැංකු , රෝහල්, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, රාජ්‍ය ආයතන යන ස්ථානවලින් දෙමළ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගන්න හරිම අසීරුයි. සිංහල භාෂාව පමණක් භාවිතා කිරීම නිසා, අපි යම්කිසි කටයුත්තක් කරගන්නට යෑමේදී සිංහල දන්න පුද්ගලයෙකු කැටිව යන්න ඕනේ. රෝහලකට තනිවම ගිහිං බෙහෙත් ගන්න බැහැ. වත්තේ වැඩකරපු පඩිය බැංකුවට දාපුවම, බැංකු ගනුදෙණුව කරගන්න සිංහල දන්න කෙනෙක් එක්ක යන්න ඔිනේ” යැයි වතුකරයේ ජනතා ~ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කමිටු සභාපති සී. චන්ද්‍ර ඩිලාන් කීවේය.

සිංහල වචන කථා කළාට ලිපි ගනුදෙණු කරන්න අපිට දන්නේ නැහැ. නිත්‍යාණූකූලව යම් යම් කාර්යයන් ඉටුකර ගැනීමේදී , සිංහල භාෂාවෙන් පමණක් කටයුතු කිරීම නිසා අපි විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. වසර ගණනාවක් තිස්සේ නොවිසඳා පවතින මේ භාෂා ප්‍රශ්නයට දැන්වත් පිළියම් යොදන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.” ගාල්ල දිස්ත්‍රික් කමිටු සභාපති සී. චන්ද්‍ර ඩිලාන් කීවේය.

කුමන ක්‍ෂේත්‍රයේ වුවත් ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව ගේ අයිතිවාසිකම් ඉටු නොවුණු පසුබිමක් තුළ වසරින් වසර මැයි දින පැවැත්වීමට දේශපාලන නායකයින් හට ඇති සාදාචාරාත්මක අයිති පිළිබඳව අදහස් දක්වමින්, වත්මනේ දී දේශපාලන බලය විසින් “සිය බලය රැකගැනීම සහ පවත්වාගෙන යාම සඳහා වැඩකරන ජනතාවගේ මැයි දිනය කිළිටි කර ඇතැයි” වතුකරයේ ජනතා ~ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂක ඇන්තනි ජේසුදාසන් මාධ්‍යට ප්‍රකාශ කළේය.

දකුණු පළාත තුළින් සොයාගත් තොරතුරුවලට අනුව , දකුණු පළාතේ ඇතැම් පාසැල්වල ඉතිහාසය, ගණීතය සහ විද්‍යාව යන විෂයයන්වලට කෙදිනකවත් ගුරුවරු නොසිටී බව සඳහන් කළ ජේසුදාසන්, අනුව දකුණූ පළාතේ මලයහා දරුවන් සාමාන්‍ය පෙළ , උසස් පෙළ විභාගවලට ඉතිහාසය , ගණිතය හා විද්‍යාව යන විෂයයන් සමත් විය යුතු නැද්ද යනුවෙන් ප්‍රශ්න කළේය.

වසර 200ක් ගතවී ඇතිනමුත් ඉතාම පීඩාකාරී තත්ත්වයන් තුළ මානසීක නිදහස අහිමිව මලයහා ජනතාව ගෙනයන දුක්ඛිත ජවිත පිළිබඳව මානූෂීකව අධ්‍යනකර ඔවුන් ගෙවමින් සිටින වහල් ජීවිතයෙන් ඔවුන් මුදවා ගන්නට පියවර ගන්නා ලෙසට රජයෙන් අවධාරණයකොට ඉල්ලා සිටින බව ඔහු කීවේය.

පවතින දුක්ඛිත පසුබිම පිළිබඳව කෙටුම්පත් කළ යෝජනා 12ක් රජයට ඉදිරිපත් කරන බව පැවසූ ඇන්තනි ජේසුදාසන් , දකුණේ මෙන් , ශ්‍රී ලංකාවේ ජීවත්වන ශ්‍රම බලකායක් වන සමස්ත මලයහා ප්‍රජාවගේ ජීවිත සංවර්ධනය කරන්නට ශ්‍රී ලංකා රජයට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් වතුකරයේ ජනතා ~ විසින් ඉදිරිපත් කරනු ලබන එම යෝජනාවලිය යොදාගත හැකි බව ප්‍රකාශ කළේය.

සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා

Archive

Latest news

Related news