Thursday, June 20, 2024

2023 අවසන් වන විට මෙරට විදේශ ණය ඇ.ඩො. බිලියන 54.7යි; කර්මාන්ත අංශය 2023 වසර තුළ දී සියයට 9.2කින් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවන ඉලක්කගත ව්‍යුහයෙන් බැහැර ස්වාධීන, අනන්‍ය දර්ශනයක් ඉදිරිපත් කරන්නට අසමත්ව ඇත. දීර්ඝ කාලයක සිට බලපවත්වන ආර්ථික හා සමාජයීය ගැටලු‍ නිරාකරණය කරගැනීම සඳහා වූ ශ්‍රී ලංකාවට ගැළපෙන මහ බැංකු නිර්දේශ මොනවාද යන්න පැහැදිලි නැත.

ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඩාල කළහොත් අපහසුවෙන් අත්පත් කර ගත් රාජ්‍ය මූල්‍ය අංශයේ ජයග්‍රහණ ආපසු හරවනු ඇති අතර ආර්ථිකය අස්ථාවර කර 2022 වසරේ දී හටගත් තත්වයට වඩා දරුණු අර්බුදයක් ඇතිවිය හැකි බවට මහ බැංකු වාර්තාව කරන අනතුරු ඇඟවීම බරපතළය.

මහ බැංකුව නව ආණ්ඩුවකට කරන තර්ජනය

මහජන තීන්දුවකින් අලුත් ආණ්ඩුවක් ස්ථාපිත කර ජනතා වුවමනා සාක්ෂාත් කරන අලුත් පියවර ගැනීම සැලකිය යුතු අවදානමක් බව මෙහි ගැබ්ව ඇත. විස්තීරණ ණය පහසුකම අනුව වසර හතරක් දක්වා පනවන මුල්‍ය අරමුදලේ කොන්දේසි බැහැරකර අලුත් යුගයකට ඇතුළුවීමට මැතිවරණයකට පසු දේශපාලන පක්ෂ හා නායකයන් දක්වන කැපවීම මෙහි දී අභියෝගයකට ලක්කරන බවද පැහැදිලිව පෙනේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන පුරෝකථන නිකුත්කර ඇත. පාකිස්තානය හා ශ්‍රී ලංකාව ප්‍රශස්ථ රටවල් අතරින් ආසියාවේ අඩුම වර්ධනය එනම් සියයට 1.9 ක පවතිනු ඇති බවට කරන වාර්තා අපට මෙහි දී බැහැර කළ නොහැක

ආර්ථික ස්ථායීතාවට පසු වර්ධනයක් කරා

2024 වසර තුළ ආර්ථිකය සියයට තුනකින් වර්ධනය වනු ඇතැයි මහ බැංකු වාර්තාව දක්වයි. සංචාරක අංශය, කෙරෙහි අධික බලාපොරොත්තු තබා තිබේ. ආනයන සීමා ඉවත් කිරීම, ණය පිරිවැය සහ අමු ද්‍රව්‍ය මිල අඩු වීම වැනි කරුණු හේතුවෙන් කර්මාන්ත අංශය ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ඉදිකිරීම් අංශය ආර්ථිකය දියුණු කරන්නට බලපෑමක් කරන බව දක්වයි. අයහපත් කාලගුණික තත්වයෙන් කෘෂි අංශයට බලපෑමක් ඇති නොවන්නේ නම් 2024 වසරේ වර්ධනයට එය තවත් හේතුවනු ඇති බව දක්වයි. විදේශ රටවල සේවය කරන පිරිස් එවන ප්‍රේෂණ ලැබීම්වල ඉහළ යෑම රටට යහපතක් වනු ඇති බව ද මහ බැංකු වාර්තාව පෙන්වයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු රාජ්‍ය මූල්‍ය දියුණුවීම නුදුරු කාලීන වර්ධන ගමන් මග සඳහා සහායක් වන බව ද දක්වා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන පුරෝකථන නිකුත්කර ඇත. පාකිස්තානය හා ශ්‍රී ලංකාව ප්‍රශස්ථ රටවල් අතරින් ආසියාවේ අඩුම වර්ධනය එනම් සියයට 1.9 ක පවතිනු ඇති බවට කරන වාර්තා අපට මෙහි දී බැහැර කළ නොහැක. සංචාරක ව්‍යාපාරය, විගමනික ප්‍රේෂණ හෝ කෘෂිකර්මයේ දායකත්වය තිරසාර අංශ නොවේ. 2023 වසරේ දෙවැනි භාගයේ දී ධනාත්මක කාර්යසාධනයක් පෙන්නුම් කිරීම අධි බලාපොරොත්තු සඳහා බලවත් සාධකයක් නොවේ. මහ බැංකුව දක්වන උද්ධමනයේ අඩු අනුපාතිකය හෝ රාජ්‍ය ආදායම ඉහළයෑම හුදෙක් නිෂ්පාදන ක්‍රියාවලිය හේතු කොටගෙන නොවන බව ද මෙහි දී පෙන්නුම් කළ යුතුය.

වරදක් සිදුවිය හැකි බව මහ බැංකුව පිළිගනී

දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා, අයහපත් කාලගුණික තත්ව සහ භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ වත්මන් පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිත බව සාමාන්‍ය කාලයට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව මහ බැංකුව පිළිගෙන තිබේ. බලශක්ති සහ ආහාර මිල ගණන් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරනු ඇත. ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ ආර්ථික වර්ධනය, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ ඉදිරි දැක්ම සහ ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් නිරූපණය වන ගෝලීය මුල්‍ය තත්ව මත ශ්‍රී ලංකාවේ සංවර්ධන පුරෝකථන රඳාපවතින බව ද අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව තවදුරටත් ගෝලීය බැඳීම්වල ග්‍රහණයක බව පිළිගෙන ඇත. ආර්ථික ආකෘතිය ලෝක තත්වයෙන් බැහැර නොවන බව හඳුනාගෙන තිබේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර පමණක් නොව ආසියානු ආර්ථිකයේ ඉන්දියාව හා චීනය යන ආර්ථිකය නැගෙන බලවත් රටවලින් ලබාගත හැකි වාසිය ගැන උපදේශනයක ශ්‍රී ලංකා මහ බැංකුව නොසිටීම ප්‍රශ්නයකි. 2024 වසරේ ඉන්දියාවේ ආර්ථිකය සියයට හතක් වන අතර 2025 වසරේ දී සියයට 7.2 ක් බව ප්‍රකාශ වී තිබේ. චීනය මෙම වසර දෙක තුළ සියයට පහ ඉක්මවනු ඇත. මෙම රටවල වෙළෙඳ පොළට ඇතුළුවීම, අපනයනය මගින් අවස්ථා ගැනීම ගැන මතයක් දක්වා නැත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගොඩබිමින් සම්බන්ධ කරන ප්‍රතිපත්තියක රජය පසුවේ. එහි දී බලශක්ති, වරාය හා සංචාරක අංශයෙහි ක්‍රමික වෙනස්කම් විය හැක. වරාය නගරය ආශ්‍රිතව ආයෝජන අපේක්ෂා කෙරේ. ලෝකයේ ප්‍රකට සූදු ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවේ පහසුකම් සපයන්නට ආණ්ඩුව අනුමැතිය ලබාදී තිබේ. මේවායෙන් ආර්ථිකයට ලැබිය හැකි පිටිවහල ගැන මහ බැංකුව පුරෝකථනය කර නැත.

විනිමය උපයන ප්‍රධාන අපනයන අංශ එනම්, තේ, රබර්, පොල් හා කුළු බඩු අංශවල පිරිහීම ප්‍රබලය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය 2023 වසර තුළ දී සියයට 9.2කින් පහත වැටී ඇත.

කෘෂිකර්ම අංශයෙන් පමණක් වර්ධනය

කෘෂිකාර්මික කටයුතුවල අගය 2022 වසරේ දී සියයට 4.2ක පහළ යෑමට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 2.6ක වර්ධනයක් වාර්තා කර ඇත. පොහොර, වෙනත් කෘෂි රසායනික යෙදවුම් සහ ඉන්ධන ආදී සැපයුම් වර්ධනයවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව 2023 මහ බැංකු වාර්තාව කියයි. වී අස්වැන්නෙන් ලැබෙන වාසිය සියයට විස්සකින් ඉහළ නැග ඇත. පලතුරු, එළවළු සහ ධීවර කටයුතු යන උප අංශවල ද වර්ධනයක් පවතී. තේ, රබර් හා පොල්, උක් හා කුළු බඩු වගා කටයුතු මෙම වසර තුළ දී පහත වැටී ඇත. වී, පලතුරු හා එළවළු රටට අවශ්‍ය ආහාර සඳහා වන අතර ආර්ථික අර්බුදය ඇති කරන්නට ප්‍රධාන වශයෙන් බලපෑ විනිමය උත්පාදනයට දක්වන දායකත්වය දශම ගණනකි. ආර්ථිකය වර්ධනය හා ආනයන සඳහා විනිමය අවශ්‍ය වේ. විනිමය උපයන ප්‍රධාන අපනයන අංශ එනම්, තේ, රබර්, පොල් හා කුළු බඩු අංශවල පිරිහීම ප්‍රබලය.

ශ්‍රී ලංකාවේ  වැටී ඇත. සැපයුම් තත්වයේ ක්‍රමික වර්ධනයක් පැවැති නමුත් ඉල්ලු‍ම් පසුබෑම එයට හේතු වී තිබේ. මෙම දුබලතාවට හේතු වූ සංකීර්ණ තත්ව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක් විය යුතුවේ. ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපෘති අත්හිටුවීම දුබලතාවට බොහෝදුරට දායක වී ඇති බව වාර්තාව සඳහන් කරයි. මෙම අංශයේ පිරිහීම සියයට 20.8 කි. රෙදිපිළි, නිමි ඇඳුම් හා සම් භාණ්ඩ නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලු‍ම සැලකිය යුතු ලෙස පහළ යෑම හේතුකොටගෙන නිෂ්පාදන කර්මාන්ත කටයුතු සියයට 3.2 කින් 2023 වසර තුළ දී පහත වැටී ඇත.

සේවා කටයුතුවල සමස්ත සංකෝචනය සියයට 0.2ක් වන අතර සංචාරක අංශයේ ප්‍රගතිය දරුණු පිරිහීම වළක්වන්නට බලපා තිබේ. වසරේ පළමු භාගය තුළ පැවති ඉහළ පොලී අනුපාතික හේතුවෙන්, මූල්‍ය සහ මූල්‍ය අතරමැදි සේවා සහ සියයට 10කින් හා තොරතුරු තාක්ෂණ සේවා අංශය සියයට 21.4කින් පසුබැස ඇත. ක්ෂේත්‍රයට පනවන ලද අලුත් බදු ද මෙයට බලපාන ලද බව මෙහි දී සඳහන් කළ යුතුවේ.

බදු බර ඉහිලිය නොහැකි වන ලකුණු

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 54.0ක වර්ධනයක් වාර්තා කර ඇත. 2022 වසරේ දෙවැනි භාගයේ සිට ක්‍රියාත්මක කරන ලද බදු ප්‍රතිසංස්කරණ ආදායම නංවන සාධකයකි. ආදායම් බදු, එකතු කළ අගය මත බද්ද, නිෂ්පාදන හා සුරා බදු, ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඒ අතර තිබේ. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද රජයේ ආදායම ඉහළ යෑමට දායක වී ඇත. මෙම බදු ශ්‍රී ලාංකික ජනතාව ගෙවන බව අමතක කළ යුතු නැත. දරුණු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින, ආදායම් බිඳ වැටී රැකීරක්ෂා අවහිරවී සිටින ජන කොටසකට මෙම බදු සැලකිය යුතු ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය අයිතියක් වශයෙන් දක්වා අධික ප්‍රතිශතයකින් වැටුප් වැඩි කරගන්නට දරන ලද ප්‍රයත්නය මෙහි දී අමතක කළ යුතු නැත. ජීවන වියදම හා රජය පනවන ලද බදු හේතුකොටගෙන ඇති වූ දුෂ්කරතා මහ බැංකු නිලධාරීන්ට හා සමානව පොදු ජනතාවට ද අත්විඳින්නට සිදුවිය. මෙම තත්වය තවත් දරුණු විය හැකි බව මහ බැංකු වාර්තාව දක්වයි. බදු එකතු කිරීම තවදුරටත් වර්ධනය කරමින්, දේපළ බද්ද තෑගි සහ උරුම බද්ද 2025 වසරේ දී හඳුන්වා දෙනු ඇති අතර ආදායම් බදු සඳහා පුද්ගලයන් අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම, විශාල බදු ගෙවන්නන්ගේ සහ ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන්ගේ ඒකක ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය වැඩිදියුණු කිරීම ද මහ බැංකුව යෝජනා කර ඇත. 2023 වාර්තාව දක්වා නැති නමුත් බදු ලිපිගොනු අංකය එනම් ටින් අංකය වශයෙන් ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරි කාලයේ දී හඳුන්වා දෙන්නට නියමිතය.

ණය පදනම් කරගත් රටාව තවදුරටත්

2023 අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය ඇ.ඩො. බිලියන 54.7 කි. 2022 අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම් අත්හිටුවීම නිවේදනය කිරීමෙන් පසු වසරකට ඩොලර් බිලියන 5 කට ආසන්න විදේශීය ණය සේවාකරණ ගෙවීම්, 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක් දක්වා අඩු විය. ණය නොගෙවන සහ නිෂ්පාදනයෙන් කැපීපෙනෙන දියුණුවක් රහිත රටක් වශයෙන් ගමන් කරන දිසාව අනුචිතය. අය වැය අනුව රජයේ වියදමෙන් සියයට පනහ ඉක්මවන ප්‍රතිශතයක් දේශීය ණය හා පොලිය ගෙවන්නට වැය කෙරේ. රාජ්‍ය වියදම් විධිමත් කරන අතර, සෞඛ්‍ය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය සහ සමාජ ආරක්ෂණය වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා සුදුසු ප්‍රතිපාදන සම්පූර්ණකර ආර්ථිකය යථාතත්වයට පත් කිරීම සඳහා විශාල ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය වේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනයට සම්බන්ධ නව නීති ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය මූල්‍ය රීති සකස් කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම, අධීක්ෂණ යාන්ත්‍රණ ඇති කිරීම සහ රාජ්‍ය ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් දැඩි විනයක් පවත්වා ගෙන යෑම හරහා රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකු වාර්තාව දක්වයි. ප්‍රාග්ධන වියදම් පිරිවැය පාලනය සඳහා දැඩි ව්‍යාපෘති ඇගයීමක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ණය කළමනාකරණ නව නීතියක් හා ඒ සඳහාම වෙන් වූ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයකට පැවරීමට අපේක්ෂා කෙරේ. මේවායෙන් පෙන්වන අර්ථය දිගටම ණය හා ඒවා ගෙවීම සඳහා බදු බව අනුමාන කළයුතුය.

ඇතැම් අංශ අතර නොගැළපීම් හා මගහැරීම් සහිත නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වන කරුණු පසෙකට කළ නොහැක. එහෙත් මෙම වාර්තා මැති ඇමැතිවරු හෝ නිලධාරීහු අධ්‍යයනය නොකරති. කරුණු අවබෝධකරගෙන විකල්ප අදහස් යෝජනා කරන්නේ ද නැත. පසුගිය දශක ගණන තුළ සිදුවූ එම දුබලතා ආර්ථිකය අද පවතින තැනට තල්ලු කරන්නට සාධක වී තිබේ.

 

ආර්ථිකය දුර්වල ගමනක?  -සාරා කන්දෙගොඩ විසිනි. ලංකාදීප

Archive

Latest news

Related news