Monday, July 15, 2024

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල (දෙවැනි කොටස) – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

හොඳම සරසවිය ළඟම සරසවිය

“හොඳම පාසල ළඟම පාසල” යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම පාසැලට මිස ළඟම පාසැලට නොවේ.  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට වැටහෙන්නේ එහි ඇති සරසවි සංකල්පය “හොඳම සරසවිය, ළඟම සරසවිය” බවට පත්කිරීම බවයි. සරසවි පිළිබඳව එහි ගොඩනගන තර්කයේ සාරාංශය මෙසේය . “අද රටේ සංවර්ධන පසුගාමිත්වයට හේතුව සරසවි අධ්‍යාපනය ලද ප්‍රතිශතය මඳවීමයි. එය විසඳීමට රජය මැදිහත් වී සරසවි අධ්‍යාපනයට මුදල් වියදම් කරන නිසා  සාමාන්‍ය අධ්‍යාපනයට (පාසැල් අධ්‍යාපනයට) රජය යොදන මුදල අඩුවී තිබේ. මෙයට විසඳුම රජයේ මුදල් වැය නොකර ශිෂ්‍යයන්ගෙන් මුදල් අයකර පවත්වා ගෙන යනු ලබන විශ්වවිද්‍යාල ඇති කිරීමයි. මෙයට ඇති බාධාව රජය විසින් මෙවැනි විශ්වවිද්‍යාල ඇති කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැනි ආයතන හරහා පනවා ඇති බාධාවන්ය. වහාම මේ බාධාව ඉවත්කොට වැඩි වැඩියෙන් විශ්වවිද්‍යාල ඇති කළහොත් වැඩියෙන් උපාධිධරයන් ඇතිවී රට සංවර්ධනය වනු ඇත.”

එපමණක් නොව මෙවන් ආයතන සඳහා අනුමැතිය ලබාදීම පළාත් සභා වලටද ලබාදිය යුතුයැයි මේ ලියවිල්ලේ පැවසේ. මේ වනවිට මේ රටේ පළාත් සභා ක්‍රියාත්මක නොවුනත් මේ ක්‍රියාව විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල අවුලක්  ඇති කරනු ඇත. මේ ක්‍රියාවලිය යටතේ වඩ වඩා සරසවි ඇති කළහොත් වැඩිකල් නොගොස් අප රටේ වැසියන්ට “හොඳම සරසවිය ලඟම සරසවිය” යැයි සාඩම්බරයෙන් පවසා, ලඟම ඇති කඩමණ්ඩියේ සරසවියෙන්  වැඩි කරදරයකින් තොරව  උපාධියක් ලැබිය හැකිවෙනු ඇත.

මේ විමධ්‍යගත කිරීමේ අදහසට  හාත්පසින්ම වෙනස් මතයක් වන උසස් අධ්‍යාපන කොමිසමේ අධීක්ෂණය යටතට පුද්ගලික විශ්වවිද්‍යාල ගත යුතුය යන සාධනීය මතයද මේ ලියවිල්ලේ අඩංගුවේ. එකම ලියවිල්ලේ මත දෙකක් තිබෙන්නේ මේ ලියවිල්ල විවිධ අය විසින් ලියූවත්, සෝදුපත් බැලීමකට ලක් නොවුණු නිසා විය හැකිය. එසේ නම් මේ ලියවිල්ල සෝදුපත් බලා නැවත ඉදිරිපත් කිරීම වඩා සුදුසුවේ. සියළු උසස් අධ්‍යාපන ආයතන උසස් අධ්‍යාපන කොමිසමේ අධීක්ෂණය යටතට ගන්නේ නම් මේ ආයතනවලට සිසුන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය, විෂයමාලා අධීක්ෂණය, ගුරුවරුන්ගේ ප්‍රමිතිය, සිසුන්ගෙන් අයකර ගනු ලබන ගාස්තු පිළිබඳ විමර්ශනය කිරීමද රජයේ ආයතනයක් වන උසස් අධ්‍යාපන කොමිසම විසින් සිදුකල යුතුය.

රට සංවර්ධනයේ මාවත කරා ගෙනයාමට අවශ්‍යය වනුයේ ශාස්ත්‍රීය දැනුම ලබාදෙන විශ්වවිද්‍යාල වැඩියෙන් ඇරඹීම නොව රටේ සංවර්ධනයට දායක විය හැකි කාර්මික, කෘෂිකාර්මික, තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ලබාදෙන විශ්වවිද්‍යාල මට්ටමේ ආයතන රටපුරා සුලභ කිරීමය. මේ බව වටහාගෙන රට තුල ඇතිකල යුතු උසස් අධ්‍යාපන ආයතන මොනවාදැයි හඳුනාගැනීම කලයුත්තේ වගකීමකින් යුතුව වැඩකරන රජයකිනි. මේ ක්‍රියාවලිය සඳහා රජය නායකත්වය ගෙන මැදිහත්විය යුතුය. ඒ වෙනුවට මේ ලියවිල්ල පවසන්නේ පුද්ගලික ව්‍යවසායකයන්ට තමන්ට රිසි පරිදි  උසස් අධ්‍යාපන ආයතන බිහිකිරීමේ අයිතිය ලබාදෙන ලෙසටය. මේ කරුණ පිළිබඳව රජය මැදිහත් නොවන්නේ නම් මේ පුද්ගලික ව්‍යවසායකයන් ඇති කරනු ලබන්නේ රටේ සංවර්ධනය සඳහා වැඩිපුරම දායකත්වයක් ඇතිකළ හැකි විෂයයන් හදාරා රටේ ශ්‍රම බලකායට වැඩිහිටියන් එක්කරන උසස් අධ්‍යාපන ආයතන නොවේ. පුද්ගලික ව්‍යවසායකයන් පිහිටුවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දෙමවුපියන්ගෙන් වැඩිම ඉල්ලුමක් ඇති උසස් අධ්‍යාපන විෂයයන් උගන්වන ආයතනයි. ඒ, වෙළඳපොල පාලනය වන්නේ ඉල්ලුම හා සැපයුම න්‍යායය මත නිසාය.

වෙනත් රටවල අධ්‍යාපන ක්‍රම උඩින් පල්ලෙන් අතගා, ධනවාදයෙන් පරලවී, ධනවාදී දේවතාවා ආරුධවී, ධනවාදයේ යාතිකා කටපාඩමින් මතුරන ධනවාදී දේවතාවාගේ කට්ටඩියන් නොදන්නා කරුණක් තිබේ. එනම් ධනවාදී රටවල පවා සති අග පොලේ කරවල විකුණන ලෙස උසස් අධ්‍යාපන කරවල ලෑලි මෙන්  විවෘත කල නොහැකි බවයි. ලෝකයේ දියුණු ධනවාදී රටවල උසස් අධ්‍යාපනය රජයන්  විසින් බරපතල ලෙස නියාමනය කරයි . ලෝකයේ දියුණු ධනවාදී රටවල යම් උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට ප්‍රථම එහි ඉගැන්වෙන විෂයයන් රටට වැදගත්ද, එයට ශිෂ්‍යයන් ඇතුළු කරගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද?, එහි විෂය නිර්දේශයන් මොනවාද?, ගුරුවරුන්ගේ සුදුසුකම් මොනවාද?, සිසුන් පුහුණුකිරීමේ පහසුකම් ඒවාට තිබේද? යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරු  කරුණු විමසීමක් දිගින් දිගටම එම රජයන් විසින් සිදුකරයි.

මේ ධනවාදී කට්ටඩියන්ගේ යාතිකා කීම නිසා අප රටේ අධ්‍යාපනය ගැන යම් ලියවිල්ලක් එළිදැක්වූ විට සිදුවන අවාසනාවන්ත සිදුවීමක් ඇත. එනම් ඒ ලියවිල්ලේ ඇති සියලු කරුණු පසෙක දමා උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කලයුතුද නැත්ද යන කෙටි මාතෘකාවට සියලු දෙනා ලඝුවිමයි. මේ ගැන විවාදය අතිශයෙන් වැදගත්වන නමුත් පාසල් අධ්‍යාපනය ගැන විවාදය ඉස්මතුකොට රටේ අධ්‍යාපනය  නවීකරණය කිරීම රටේ යහපත පතන සියලුදෙනා කලයුතු වැදගත්ම කාර්යය වේ.

මවුබසින් පවා අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය මුදල්, ගුරුවරු හා සම්පත් නොමැති රටක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදීමට යෝජනා කිරීම විහිළුවකි. මෙවැනි යෝජනාවකින් සිදුවනුයේ රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුල දැනට පාසල් අතර ඇති අසමතුලිතතාවය තවත් වැඩිවී ලඟම පාසල තවත් පහලට වැටීමයි.

ප්‍රෞඪ ඉතිහාසය

මේ ලියවිල්ලේ එක් තැනක මෙසේ සඳහන් වේ. “අපගේ ප්‍රෞඪ  ඉතිහාසයසංස්කෘතියසාරධර්මජනවාර්ගික හා ආගමික විවිධත්වය පිළිබඳව ශිෂ්‍ය ප්‍රජාව වෙත විෂය මාලාව හරහා අධ්‍යයනය කිරීමට කඩිනමින් අවස්ථාව සලස්වා දිය යුතු අතර එමගින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහ අභිමානවත් පුරවැසියන් ලෙස ලෝකයේ ශ්‍රී ලාංකිකයන්ට හිමි ස්ථානය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට කටයුතු කල යුතුය”. මේ සඳහන ගැන කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක. ලොව සියලු රටවල පාසල තුල මේ විෂයයන් ඉගැන්වීම අනිවාර්ය කර තිබේ. එනමුත් අද ලංකාවේ සෑම තැනක පිහිටුවා ඇති බොහෝ ජාත්‍යන්තර පාසල් වල මේ අනන්‍යතාවය ඇති කරන විෂයයන් වන මවුබස හා ඉතිහාසය ඉගැන්වීම සිදු නොවේ. මේ ජාත්‍යන්තර පාසල් යම් අධිකාරියක අධීක්ෂණයට ගෙන මේ විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය අවම විෂය නිර්දේශ හෝ සකසා මේ විෂයයන් සමත්වීම නියම කරන ක්‍රමවේදයක් සැකසීම කාලින අවශ්‍යතාවයක්ව පවතී.

ඉගෙනගන්නා බස 

ලංකාවේ දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුත්තේ කුමන බසකින් දැයි යන්න ඉතා වැදගත් ගැඹුරින් සාකච්ඡා කලයුතු කරුණකි. මෙවැනි ලිපියක් ඒ සඳහා ඉඩ නොසලයි. ලංකාවේ බහුතර මධ්‍යම පංතික දෙමවුපියන් බහුතරයක් තම දරුවන් හොඳින් ඉංග්‍රීසි බස කතාකිරීමට, ලිවීමට හා කියවීමට හැකි අය බවට පත්කිරීමේ නොනිත් අසාවෙන් පෙලේ. ඉංග්‍රීසි බස ලොවෙහි ඇති අපරිමිත දැනුම අත්පත් කරගැනීමටද, ලොව සමඟ සබඳතාවයන් ඇති කරගැනීමටද අතිශයෙන්ම ඉවහල් වන බවට මොවුන් තුල ඇති අදහස සැබෑවකි. මේ ආශාව සංසිඳුවිමටදෝ වමේ සිට දකුණට විශාල මතවාදී පරාසයක සිටින ඇතැම් දේශපාලන පක්ෂ දරුවන්ට හෝඩියේ සිට ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබාදිය යුතුයැයි යෝජනා කරයි. ඉංග්‍රීසි බස ඉගැනීම හා ඉංග්‍රීසියෙන් ඉගැනීම අතර ඇති වෙනස හඳුනානොගැනීම මෙයට හේතුවයි.

මවුබසින් පවා අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය මුදල්, ගුරුවරු හා සම්පත් නොමැති රටක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදීමට යෝජනා කිරීම විහිළුවකි. මෙවැනි යෝජනාවකින් සිදුවනුයේ රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුල දැනට පාසල් අතර ඇති අසමතුලිතතාවය තවත් වැඩිවී ලඟම පාසල තවත් පහලට වැටීමයි. එසේම මවුබස යනු ජාතියක අනන්‍යතාවය රැකෙන මුලික ලක්ෂණයි. මවුබසින් වියුක්තවූ මිනිසා ඉතා ඉක්මනින් තම ජාතික අනන්‍යතාවය නැතිකර ගනියි. එම නිසා අවම වශයෙන් දරුවා  මුහුකුරා යනතෙක් හෝ මවුබසින් ඉගැන්වීම වැදගත්වේ. දරුවන්ට වෙනත් බසකින් ඉගැන්වීම ආරම්භ කලයුත්තේ කුමන වයසේද, එසේ නම් ඒ කවර විෂයයන්ද, එසේ වෙනත් බසකින් ඉගැන්වීමට අවශ්‍ය සම්පත් රටට තිබේද යන්න කරුණු හරිහැටි විමසා බලා සිදු කලයුතු කරුණකි.

ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කෙසේ වෙතත් ලංකාවේ ඉංග්‍රීසි බස ඉගැන්වීම නම් අතිශයෙන්ම අසාර්ථකය. දැනට ලංකාවේ පාසල් තුල වසර නවයක් පමණ ඉංග්‍රීසි බස ඉගැන්වුවත් පාසලින් නික්මයන අපේ ශිෂ්‍යයන්ගෙන් බහුතරයකට වචන කිහිපයක හෝ ඉංග්‍රීසි වාක්‍යයක් නිවැරදිව ලිවීමට, කියවීමට හෝ කතාකිරීමට හැකියාව නැත. වහාම කලයුත්තේ ඉංග්‍රීසි විෂය නිර්දේශය වෙනස්කොට, දෙවන බස ඉගැන්වීමේ නවීන ක්‍රම භාවිතා කර වයසේ එක් එක් අවස්ථාවේදී දරුවා ලබාගත යුතු දැනුම් මට්ටම් නිර්ණය කොට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමය වෙනස් කිරීමයි. දෙවැනි බස සාර්ථක ලෙස උගන්වන රටවලින් මේ සඳහා උදවු ලබාගත හැකිවනු අතර, මේ කරුණ සම්බන්ධයෙන් නම් ජාතික අධ්‍යාපන ආයතනයෙන් කිසිත් වැදගත් මෙහෙයක් සිදුවේ යැයි විශ්වාස කල නොහැක.

ආගම හා සාරධර්ම

මේ ලියවිල්ලේ ඇති වැදගත් සාධනීය කරුණක් නම් ආගම් අධ්‍යාපනය තුලට සාරධර්ම අධ්‍යාපනය (value education)  ඇතුළුකල යුතු බවට ඇති යෝජනාවයි. අද ලංකාවේ සමාජයේ පවතින දුර්වලතාවයක් නම් ආගම් අධ්‍යාපනය තුලින් සියලු සමාජ සාරධර්මයන් උගන්වන්නේ යන දුර්මතයයි. සමාජ සාරධර්ම කලින් කලට වෙනස්වන සමාජය තුල මිනිසුන් හැසිරෙන අයුරු නිර්වචනය කරන ඉගැන්විම් වේ. යහපත් ලෙස මිනිසුන් හැසිරෙන රටවල මේ සාරධර්ම පාසල් තුල විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවලදී ඉගැන් වේ. හොඳ සෞඛ්‍ය පුරුදු, සමාජ හැසිරීම්, සාමුහික ක්‍රියා, රටට ආදරය කිරීම, ජාතීන් ආගම් අතර සමගිය වැනි දේ මේ සාරධර්ම අධ්‍යාපනයට ඇතුළුවේ. විශේෂයෙන්ම සාරධර්ම නොමැති වැඩිහිටියන් බහුතරයක් සිටින ශ්‍රී ලංකාව වැනි රටක සාරධර්ම ඉගැන්වීම පාසල් තුල සිදුකල යුතුමය. මේ පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසම් සභා කමිටුවක සාකච්ඡාවක් ඇතිවූ විට ඇතැම් කමිටු සාමාජිකයන්ගේ මතය වුයේ ආගම් මගින් සියලු සාරධර්ම ඉගැන්වෙන බවයි. එවිට මා අසා සිටියේ දෙපස බලා කහ ඉර මතුපිටින් පාර පැනීමට ඇති ගාථාව කුමක්ද? කියාය.

පාසල් තුල දහම් අධ්‍යාපනය ලබාදිය යුත්තේ කෙසේද යන කරුණ ගැන මුලින්ම විමසු ශ්‍රී ලාංකික දාර්ශනිකයා මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාය. එතුමා 1950 දශකයේදී පලකල වැදගත් අදහසක් නම් ආගම් දහම් ඉගැන්විය යුත්තේ ආගමික පරිසරයක් තුල බවය.මේ කරුණ පිළිබඳව එතුමා ලියු ලිපි රැසක් ඇත.  ආගමික අන්තවාදයට නැඹුරු නොවී  මේ කරුණ සිදුකල හැකිදැයි නැවත විමසීමක් කලයුතුය.

ටියුෂන් විරෝධය

අධ්‍යාපනයේ විවිධ අංශ පුද්ගලික අංශයට භාරදීමට විවිධ තැන්වල යෝජනා කරමින්, ඒවා අධීක්ෂණය කිරීමට නොසිතන මේ ලියවිල්ලේ ඇති අනෙක් ලක්ෂණය නම් ටියුෂන් විරෝධයයි. මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය මානව අයිතිවාසිකමක් යැයි දිගින් දිගටම තර්ක කරන්නන් ටියුෂන් විරෝධයේදී ඒ තර්කය අමතක කරයි. මුදල් ගෙවා ලබාගන්නා ටියුෂන් අහෝසි කිරීමට යෝජනා කරන්නන් පුද්ගලික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කිරීම විමතියකි. මේ තර්කය ඇතිවන්නේ බටහිර රටවල ඇති අධ්‍යාපන ක්‍රමය ලොවෙහි ඇති හොඳම අධ්‍යාපන ක්‍රමය යැයි මේ ලියවිල්ලේ නියමුවන් සිතන නිසා විය හැකිය. ඒ රටවල ටියුෂන් නැති නිසා අපේ රටේ ටියුෂන් තිබීම වැරදිබව මොවුන්ගේ සිත් තුල ඇති අදහස විය හැක.

රටක අධ්‍යාපන ක්‍රමය ගොඩනැගෙන්නේ ඒ රටට ආවේනික  සමාජමය, දේශපාලන, ඓතිහාසික ආකල්ප මතය. ටියුෂන් ඇතිවුයේ අප රටේ විෂය නිර්දේශයේ අවුලක් නිසා හෝ ඉගැන්වීමේ හෝ ඇතිවූ ගැටලුවක් පමණක් නිසා නොවේ. මෙය දෙමවුපියන් තුල තම දරුවන්ට ඉගැන්වීම හැකිතරම් කළයුතුයැයි  ඇති හැඟීම නිසා ඇති වුවකි. ලංකාවේ මධ්‍යම පන්තියේ විස්ථාරණයද ටියුෂන් පන්ති පුළුල් වීමට හේතුවකි. මේ ටියුෂන් ලබාදීම ආසියානු සංස්කෘතියේ කොටසක් ලෙසද හඳුනාගත හැකිය. ලංකාවේ පමණක් නොව  ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල පවා දරුවන්ට ටියුෂන් දීමේ සංස්කෘතිය ඇත. බටහිර සංස්කෘතියක් ඇති  එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන් තම ළමයින්ට බරපතල ලෙස ටියුෂන් ලබාදීම කරගෙන යයි.

මෙයින් අදහස් වන්නේ අප රටේ විෂය මාලාවේ හෝ ඉගැන්වීම් කලාවේ ගැටළු නැති බව නොවේ.  එසේ නමුත් විෂය මාලාවේ හෝ ඉගැන්වීම් කලාව වෙනස් කලත් ටියුෂන් ලබාදීම ඉදිරියටත් පැවතිය හැකිය. සිදුකල හැක්කේ මහා පරිමාන ටියුෂන් ගුරුවරුන් හා ආයතන ලියාපදිංචි කොට ගාස්තු පාලනය කිරීමේ ක්‍රමවේදයක්  ඇති කිරීමයි. මේ කුමක් කලත් පුද්ගලික මට්ටමේ ටියුෂන් ලබාදීම වැඩිදුරටත් පවතිනු ඇත. ටියුෂන් නැති කිරීමට කාලය මිඩංගු කිරීම දැලකින් සුළං බදනවාක් මෙන් නොකෙරන දෙයකට කාලය කා දැමීමකි.

නුපුහුණු ශ්‍රමිකයන්ගේ ගැටලුව

ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන් 10% ප්‍රමාණයකට අඩුකළ යුතු බව මේ ලියවිල්ලේ සඳහන් වේ. එහි සඳහන් නොවෙන වැදගත් කරුණක් නම් දත්ත වලට  අනුව අවුරුදු 25 ට වැඩි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් උපාධියක් ලබා ඇත්තේ 4.05% ක් පමණක් වන බවය. පාසලින් නික්ම ගිය පසු යම් වෘත්තියක් සම්බන්ධව කෙටි කාලීන හෝ  ඉගැනීමක් හෝ  ලබා ඇති පිරිස වයස අවුරුදු 25 ට වැඩි අයගෙන් 14.06% ක් පමණක් බවය. මිලියන 22ක් වන ශ්‍රී ලාංකික ජනතාවෙන් 2023 දත්ත අනුව ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නේ මිලියන 8.4 ක් පමණි. මේ අයගෙනුත් පහෙන් හතරක් (80%) කිසිදු වෘත්තීය පුහුණුවක් නොමැති අය නම් අප රටේ මුළු ජනගහනයෙන් තමන් සිදුකරන රැකියාව ගැන නිසි පුහුණුවක් ලැබුවන් ලක්ෂ 16 ක් පමණකි. එසේම සිදුකර ඇති සංගණන අනුව අප රටේ මුළු ශ්‍රම බලකායෙන් 25% ක් වන කෘෂිකර්මිකයන්ගෙන් අවම වශයෙන් මාසයක හෝ පුහුණුවක් ලබා තිබෙන්නේ 1% ක් පමණි.  එසේම අපේ උපාධිධරයන් බොහොමයක් තමන් උගත් විෂයයන් නොව වෙනත් විෂයක රැකියාව කරන්නන් වෙයි.

අද අප සිටින තත්ත්වයෙන් වහා අප මුදවා ගැනීමට අධ්‍යාපනය යොදාගැනීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුලින් වහාම ඉටුකල යුතු කරුණ නම්, මේ දැවැන්ත නුපුහුණු ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් කෙටි කලක් තුල පුහුණු ශ්‍රම බලකායක් බවට පත්කිරීමයි. 

මේ දත්ත වලින් පෙනීයන්නේ ජනගනයෙන් අති විශාල ප්‍රමාණයක් පාසලෙන් නික්ම ගිය පසු  කිසිදු දෙයක් ඉගැනීමට සුදානම් නැති නිකම්ම නිකම් නිකමුන් පිරිසක් බවට පත්කොට ඇත. එසේ නැත්නම් ඉගැනිමට අවශ්‍යතාවය තිබුනත් එයට අවස්ථාවක් සලසා නොදෙන රටක මොවුන් ජීවත්වේ. මේ කරුණු සියල්ල නිසා අප රටේ ශ්‍රමිකයන් වැඩකරන පැය ගනනට කෙරෙන වැඩ ප්‍රමාණය හා ඵලදයිතාවය ලෝකයේ අනෙක් රටවලට වඩා ඉතා පහල මට්ටමක තිබේ. ඒ අතින් අප සිටින්නේ චීනය හා ඉන්දියාව වැනි රටවලට වඩා ගව් ගනනක් පහලිනි. අනෙක් අතින් එවන් රටවල විශාල ශ්‍රම බලකායක් සිටින නිසා එයින් පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය අඩුවුවත් එය සමස්ත ශ්‍රම ඵලදායිතාවයට බලපෑමක් නොකරයි.  ලංකාව වැනි කුඩා රටක  80% කටත් වැඩි ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් වූ විට රට සංවර්ධනය කරා ගෙනයාම සිහිනයකි. මෙය 10% දක්වා අඩු කරන්නේ කුමන කාලයක් ඇතුළතද, කුමන අයුරින්ද යන්න මේ ලියවිල්ලේ සඳහන් නොවේ.

අද අප සිටින තත්ත්වයෙන් වහා අප මුදවා ගැනීමට අධ්‍යාපනය යොදාගැනීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුලින් වහාම ඉටුකල යුතු කරුණ නම්, මේ දැවැන්ත නුපුහුණු ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් කෙටි කලක් තුල පුහුණු ශ්‍රම බලකායක් බවට පත්කිරීමයි.  මේ ප්‍රශ්නය හඳුනාගත් බව හෝ ඒ ගැන නිසි විසඳුමක් හෝ මේ ලියවිල්ලේ නොතිබෙන්නේ වැඩිහිටියන්ට ලබාදෙන අධ්‍යාපනය, අධ්‍යාපනයක් නොවේයැයි මෙහි රචකයන් සිතන නිසාද? මේ පිලිබඳ සඳහන් වන්නේ ජාතික නිපුනතා කොමිසම් සභාවක් පිහිටුවන්නේ යැයි යන හිස් වාක්‍යය පමණි. එනම් දැනට ලක්ෂ 16 ක්ව සිටින පුහුණු ශ්‍රම බලකාය  ලක්ෂ 72 ක් දක්වා වැඩිකර ගැනීමට ලක්ෂ 56 ක පිරිසක් පුහුණුව සඳහා අනුගමනය කලයුතු දැවැන්ත ක්‍රියාමාර්ගය මෙහි සඳහන් නොවන්නේ තමන් පවසන දෙයේ බැරෑරුම්කම වටහානොගත් නිසා හෝ එසේ වටහාගත්තත් එයට විසඳුමක් නොදී නොතේරෙන වචන රැසකින් කියවන්නන් රැවටීමට විය යුතුය. එසේත් නැතිනම් යතාර්ථය නොහඳුන දේශපාලඥයන් පවසන පරිදි රට සංවර්ධනය කිරීම 2048 දක්වා කල්දා ගැනීමට අවශ්‍ය නිසා විය යුතුය.

ඉලක්කය වරදවා ගත් ලියවිල්ල

මේ ලියවිල්ල ලීයූ අය සඳහන්කර ඇති පරිදි එහි මුලික පරමාර්ථය 2048 දී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි. ඒ සඳහා 2023 සිට 2033 දශකය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් කිරීමයි. ලංකාවේ සංවර්ධනය හැසිරුවූ පුද්ගලයන් ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමට තවත් අවුරුදු 24 ක් ඉල්ලා සිටීමම විහිළුවකි. මේ ඉල්ලීම වෙනකක් නොව මේ පල්වී ගඳ ගසන, දුෂිත, අසංවේදී සමාජ දේශපාලන ව්‍යුහයට, පාලක පැලැන්තියට හා පාලන ක්‍රමයට තවත් අවුරුදු 24 ක්  මේ රට හැසිරවීමට අවසර ගැනීමටය. මේ අශෝබන, අශිෂ්ඨ ඉල්ලීම ඉෂ්ඨ කිරීමේ දුෂ්ඨ චේතනාවෙන් රචිත  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව උපන් ගෙහිම විකෘතිව පහලවූ දරුවෙකි. ඒ කෙසේ වෙතත් මේ ලියවිල්ල ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගතයුතු මඟ පිළිබඳව සාකච්ඡාවකට මඟ පාදන නිසා මේ ලියවිල්ල මේ එළඹෙන මැතිවරණ වර්ෂයේ මැතිවරණ වේදිකාවල සාකච්ඡාවට, විවාද කලයුතු ලියවිල්ලකි.

නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ අදහසින්, නිදහස් අධ්‍යාපන විරෝධීන් පිරිසක් විසින් සැඟවී සිටි එල්ල කල ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් බඳු මේ ලියවිල්ලේ ඇති යම් යම් සාධනීය ලක්ෂණ පවා මුලික පරමාර්ථයේ ඇති අශෝබන බව නිසාම නැතිවී යයි. මේ මැතිවරණ වර්ෂයේදී, මේ රටේ දේශපාලන පක්ෂ, මේ ලියවිල්ල හදාරා මෙයට තමන්ගේ පක්ෂපාතීත්වය හෝ විරෝධතාවය ප්‍රසිද්ධයේ පලකල යුතුය. ඒ බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  මේ ලියවිල්ල පාර්ලිමේන්තුවේ විවාදයට එනතෙක් නොසිටකුම්භකර්ණ නින්දෙන් අවදිවීදැන්ම ඉදිරියට පැමිණ මේ ලියවිල්ලට තමන් එකඟද නැත්ද යන්න ජනතාවට පැවසිය යුතුය. එවිට මේ ලියවිල්ල පිළිගත යුතුද නැත්ද යන්න කරුණ ගැන තම සුජාතභාවය නැතිකරගත් පාර්ලිමේන්තුව නොව,  මේ රටේ ජනතාව තීරණය කරනු ඇත.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

(රචකයා  එක්සත් ජනරජ පෙරමුණේ සභාපති වන අතර ඔහු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිලිබඳ කමිටුවේ හිටපු සාමාජිකයකු හා වත්මන් අධ්‍යාපනයේ ගැටළු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇත්තෙකි.)

Archive

Latest news

Related news