Tuesday, April 30, 2024

ගෝඨා ආණ්ඩුවේ මහමොළකාර නාට්‍යයට බිලි වූ හෙජාස් හිස්බුල්ලාගේ කතාව! – නිකරුණේ හිරේ දමා අවුරුදු 4යි!

(whatnews) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඟවමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අනීතිකව අත්අඩංගුවට ගෙන පසුගිය අප්‍රේල් 14 වැනිදාට වසර 04ක් ගත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඒ 2020 වසරයි. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු වැඩ අල්ලමින් සිටියේය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසෙ කොවිඩ් රෝගය ලංකාව පුරා පැතිරෙමින් තිබිණි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරණ අප්‍රේල් මාසය ආරම්භ වූයේ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විකට මාධ්‍ය නිවේදනයක් සමගිනි. එය විකට මාධ්‍ය නිවේදනයක් වුවද එහි අන්ර්ගතය බරපතල මානව හිමිකම් කඩ කිරීමකට ආණ්ඩුව ගන්නා උත්සාහයක සේයාවකි. රාජ්‍ය නිලධාරීන්ගේ සුළු අඩුපාඩු විවේචනය නොකරන ලෙස එමගින් දැනුම්දී තිබිණි. නිවේදනයෙන් දින කිහිපයකට පසු රම්සි රසීක් නම් ලේඛකයා අත්අඩංගුවට ගැණිනි.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
Hejaaz-Hizbullah

අවුරුදුදා හිජාස් අත්අඩංගුවට

රම්සි රසීක් අත්අඩංගුවට ගැනීමේ උණුසුම යන්නටත් මත්තෙන් 2020 අප්‍රේල් මස 14 වැනිදා තවත් පුවතක් වාර්තා විය. නීතිඥ ප්‍රජාව අතර යම් කම්පනයක් මෙන්ම කුතුහලයක්ද දනවන එම පුවත පාස්කු ප්‍රහාරයට යුක්තිය සොයන ඇතැමුන්ගේ සතුටට ද හේතු විය. ඒ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවතයි.

අප්‍රේල් 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලාට දුරකතන ඇමතුමක් ලැබිණි.  තමන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බව ප්‍රකාශ කළ පුද්ලලයා නීතිඥවරයාගෙන් විමසා සිටියේ ඊට පෙර දින ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගත්තේද යන්නයි. එම ඒටීඑම් යන්ත්‍රය කොවිඩ් ආසාදිතයකු භාවිත කර ඇති බව කියමින් නීතිඥවරයාට නිවසේම රැඳී සිටින ලෙස දැනුම් දුන්නේය. ඉන් පසු ඔහුගේ නිවසට පැමිණි පිරිසක් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බව කියමින් ඔහුගේ නිවසේ තිබුණු කාර්යාලය පරීක්ෂා කර ලිපි ගොනු කිහිපයක්ද සමග නීතිඥවරයා ද ඔවුන් බාරයට ගෙන රැගෙන ගියේය.

අප්‍රේල් 15 සහ 16 දෙදිනේ නීතිඥවරුන් හිජාස් හිස්බුල්ලා හමුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියද ඔවුන්ට හිජාස් සමග කතා කිරීමට අවස්ථාව ලැබුණු පොලිසියේ දෙදෙනකු ඉදිරිපිටදීය. සිංහල බසින් පමණක් සාකච්ඡා කිරීමට ද නියම කෙරිණි. අප්‍රේල් 16 වැනිදායින් පසු නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව නොලැබිණි.

maxresdefault1

පොලිස් ප්‍රකාශකගේ ගල් පැලෙන බොරු

අප්‍රේල් මස 19 වැනිදා එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහු ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවකු සමග තිබූ සම්බන්ධතාවය හේතුවෙන් සාක්කි රැසක් අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බවයි. එය නීතිඥවරයකු හා සේවාදායකයකුට වැඩි සම්බන්ධතාවක් බවත්, දුරකතන විශ්ලේෂණ ආදියෙන් ආගිය තොරතුරු එකතු කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම කළ බවත් ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේය.

මෙම නීතිඥවරයා සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු සහිතව විමර්ශන ගණනාවක් කරලා සාක්කි ගණනාවක් සටහන් කරලා ඊට අමතරව දුරකතන විශ්ලේෂණ ගණනාවක් කරලා සහ ඒ දුරකතන විශ්ලේෂණ ආශ්‍රයෙන් ආගිය තැන් පිළිබඳ තොරතුරු රාශ්‍රියක් එකතු කරගෙන තමයි මෙම අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒ සඳහා ප්‍රමාණවත් සාක්කි සඳහා ප්‍රමාණවත් කරුණු ඇතිව මෙම අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක හුදු පැමිණිල්ලකට හෝ දුරකතන ඇමතුමකට අනුව කිසිම තැනැත්තෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ නෑ….නීතිඥවරයෙක් වුණත් නොවුණත් නීති විරෝධීව කටයුතු කරලා තියනවා නම් සාධාරණ සැකයක් තියෙනවා නම් ඒ අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ. මෙම අත්අඩංගුවට ගැනීම නීතිඥවරයකු සහ සේවාදායකයෙක් අතර සම්බන්ධතාවය මත කළ අත්අඩංගුවට ගැනීමක් නෙමේ. අපිට අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. අනිකුත් සැකකරුවන් සමග සම්බන්ධතා පැවැත්වුවා සහ නීති විරෝධීව කටයුතු කළා කියන්න සමහර කරුණු අනාවරණය කරගෙන තියනවා.‘ යනුවෙන් ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක භයානක බොරු කාරයෙක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වූයේ එය අහන ඕනෑම කෙනකුට හිජාස් හිස්බුල්ලා යනු පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ මහ මොළකරුවෙකු ලෙස හැඟී යන පරිදිය.  ජනමාධ්‍ය ඉදිරියේ ඔහුගේ කෙබෙර කොතෙක්ද කියතොත් සත්‍ය ලෙසම හිජාස්ට එරෙහිව සාක්කි සටහන් කර ගෙන තිබුණේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකටම පසු බව පසු කාලීනව අනාවරණය විය. බොරු කී එවකට පොලිස් අධිකාරීවරයා දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. අත්අඩංගුවට ගත් හිස්බුල්ලාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි නොවූයෙන් ඔහුට එරෙහිව සාක්කි ගෙතීම සඳහා අහනෆ් ජසීම් නම් කවියා අත්අඩංගුවට ගෙන ඔහුට බලපෑම් කළේය.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

මාස 22ක් ඇතුළේ

කිසිම චෝදනාවක් නැතිව ඔහු ඔහු රඳවාගෙන හිටියා පමණක් නොව ඔහු හා පෞද්ගලිකව සාකච්ඡා කිරීමට නීතිඥවරුන්ට ද අවස්ථාව අහිමි විය. ඒ සම්බන්ධයේන අවසානයේ අභියාචනාධිකරණයේ පිහිට පැතීමට නීතිඥවරුන්ට සිදුවිය එහි ප්‍රතිඵලයක් ලෙස නීතිඥවරුන්ට හිජාස් හිස්බුල්ලා සමග පෞද්ගලිකව සාකච්ඡා කිරීමට අවසර ලැබුණේ 2020 දෙසැම්බර් මස 16 වැනිදාය. ඔහු සම්බන්ධයෙන් වන විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හැරියේය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරවූ බෝම්බයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස 10කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටි හිස්බුල්ලා මහතා අධිකරණය ඉදිරිපත් කරනු ලැබුවේ 2021 පෙබරවාරි මස 17 වැනිදාය. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිණී ගිරියාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, සහකාර පොලිස් අධිකාරී උපුල් සෙනවරිත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක සහ උප පොලිස් පරීක්ෂක කුමාරසිරි යන මහත්වරු පෙනී සිටියහ.  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස්, නිරාන් අංකිටල් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ. එදා සිට වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි හිජාස් හිස්බුල්ලා මහතාට අභියාචනාධිකරණ නියෝග මත ඇප ලැබුණේ 2022 පෙබරවාරි මාසයේදී ය.

වෙනස් වුණ චෝදනා

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටිය ද නීතිතපතිවරයා විසින් ඔහුට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබුවේ මදුරංකුලිය අල් සුහර්යා මද්‍රසා පාසලේ සිසුන් පිරිසකට අන්තවාදී දේශනයක් සිදු කළ බව කියමිනි. එම පාසලේ ප්‍රදේශයේ දරුවන්ට අමතරවට කොළඹ දුප්පත් පවුල් කිහිපයක දරුවෝද අධ්‍යාපනය ලදහ. එම දරුවන් එම පාසලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය වියහියදම් කළේ සේව් ද පර්ල් නම් සංවිධානයකි. සේව් ද පර්ල් සංවිධානයේ ක්‍රියාකාරිකයකු ලෙස කලක් හිජාස් හිස්බුල්ලාද කටයුතු කර තිබිණි. හිස්බුල්ලාට අමතරව මුස්ලිම් උගත්තු බුද්ධිමත්හු රැසක් එහි සාමාජිකයෝ වූහ.

හිජාස්ට එරෙහිව චෝදනා නොමැති තැන පොලිසියෙ වෙනත් කතාවක් ගෙතීය. ඒ මදුරංකුලියේ පාසලේ සිසුන්ට හිජාස් අන්තවාදී දේශන සිදු කළ බවයි. කෙසේ වෙතත් නඩුවේදී සාක්කි ලබා දුන් පාසල් සිසුන් ප්‍රකාශ කළේ තමන් ඒ කිසාවක් නොදන්නා බවයි. තමන් ඇතැම් කරුණු ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීමට බව එක් සාක්කිකරුවෙක් කීවේය. ඔහුට එරෙහිව කිසිම සාක්කියක් මෙතෙක් ඉදිරිපත් වී නැත.

Hijas hisbullah

පිටපත කාගේද?

නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කිරීමේ උත්සාහයක් තිබුණේ කුමන හේතුවක් නිසාද යන්න ගැන කිසිම තොරතුරක් වාර්තා නොවූ අතර මෙවැනි කතාවක් පොලිසියට තනිවම ගෙතීමට හැකිද යන්න ගැන පමණක් ප්‍රශ්නයක් තිබිණි.

මේ හා සමානම කතාවත් පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි දෙමින්ද එක් පුද්ගලයකු ප්‍රකාශ කර ඇති බව අනාවරණය වූයේ සමාජය හා සාමයික කේන්ද්‍රය තොරතුරු පනත අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුවය. ඒ හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ සහ වර්තමානයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේය. ඔහු පාස්කු කොමිසම හමුවේ සාක්කි ලබාදී ඇත්තේ 2020 ජුනි 25 වැනිදාය.

ඔහු සේව් ද පර්ල් සම්බන්ධයෙනුත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙනුත් සාක්කි ලබා දෙමින් කියා ඇත්තේ නීතිඥ හිජාස් හිස්බුල්ලා යනු මුහුණු කිහිපයක් ඇති පුද්ගලයකු බවයි. ඔහු නීතිඥවරයකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු, අධ්‍යාපනඥයකු, ව්‍යාපාරිකයකු ආදී විවිධ ස්වරූපවලින් සමාජය ඉදිරියේ පෙනී සිටින බව සලේ ප්‍රකාශ කර තිබේ. එසේම සේව් ද පර්ල් නම් සංවිධානයේ බෝම්බකරුවන් තිදෙනකු සිටි බවත්, මදුරංකුලියේ මද්‍රසා පාසල ඉදි කර ඇත්තේ බෝම්බකරුවකු ලබා දුන් ඉඩමක බවත් සලේ කියා තිබේ. ඔහු දිවුරුම් පිට කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර ඇති මෙම කරුණු ඇතුළු සාක්කියේ බොහෝ තොරතුරු අසත්‍ය බව මේ වන විට අනාවරණය වී තිබේ.

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කී අසත්‍ය කන්දරාව

සේව් ද පර්ල් ඇවිල්ලා ජේ.එම්.අයි වගේම බිහිවෙච්ච තව සංවිධානයක්. හැබැයි එවකට අපිට මේ සංවිධානය ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ. ඒකට හේතුවක් තිබ්බා. මොකක්ද ඒ සේව් ද පර්ල් කියන්නේ ඉතාමත් පරිස්සමෙන් වෙල්ෆෙයාර් ඕගර්නයිසේෂන් එකක් හැටියට ඇතිවෙච්ච බිහිවෙච්ච සංවිධානයක්. හැබැයි සේව් ද පර්ල් එකෙන් සෑහෙන පිරිසක් ඒ කියන්නේ ඊබ්‍රහීම්ගේ පුත්තු දෙන්නා ජමීල් සහ ජමීල්ගේ මල්ලි මේ හතර දෙනාම බිහිවෙන්නේ සේව් ද පර්ල් කියන එකකින්….ඉජාස් හිස්බුල්ලා තමයි එයා තමයි ඇවිල්ලා මේකේ ප්‍රසිඩන්ට්….. මේකෙ ඉන්න සුවිසයිඩ් කාඩර් කෙනෙක් ඊබ්‍රහීම්ගේ එක පුතෙක් මේ සංවිධානය හරහා ඉඩමක් පරිත්‍යාග කරනවා ඕපනේජ් එකක් හදන්න කියලා. ඒ ඕනේජ් එක හදන්න ඇවිල්ලා මුස්ලිම් ඉස්කෝලයක් හැටියට හදන්නේ පුත්තලමේ. එතකොට ඒ ඉඩම පරිත්‍යාග කරන්නේ අවැිල්ලා ෂැන්ග්‍රිලා මෝබ්ය ක්‍රියාකරපු ඒ පුද්ගලයා තමයි මේකට දෙන්නේ. ඒ එක්කම මේ ඉස්කෝලේ හැදුවම මේ ඉස්කෝලේ තුල සම්පූර්ණයෙන්ම ළමයින්ව ගන්නේ අම්මා හෝ තාත්තා නැති, එහෙම නැත්නම් අම්මා නැති තාත්තා නැති එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම උගන්වන්න බැරි යම්කිසි ළමා පිරිසක් තමයි මේකට ගන්නේ.

“එතකොට මේ ළමා පරිසට ඇවිල්ලා ලෙක්චර්ස්වලට එනවා සහරානුත් එනවා මෙතෙන්ට. ඊබ්‍රහීම්ලත් එනවා. ඉජාස් කියන ලෝයර්ත් එනවා. මේ අයතනය තුලත් අපට හම්ම බුණා පොත් ඒ පොත්වල බැලුවාම ඉතාමත් සංවිධානාත්මකව ඒ ළමා මනස විකෘත්ති වන ආකාරයට ඒ පොත් හදලා තියෙනවා. පොත් 35ක් අපිට හම්බ වුණා ඒවා අපි කෙලින්ම රජයට දුන්නා අපි ට්‍රාන්ස්ලේට් කරන්න ලබාදීලා දැන් ඒක උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා…. ඉතින් මෙතනදි අපි සහරාන්ලා එක පැත්තකින් ක්‍රියාත්මක වෙනකොට සහරාන්ලාව බිහි කරන්න අනිකුත් අනික් රටවල් වගේ අනිත් රටවල්වත් ඇවිල්ලා ඒ කියන්නේ දීර්ඝ කාලීන සැලසුම් තියෙන්නේ මේ වගේ මධ්‍යස්ථාන හදාගෙන නීතිමය පහසුකම් ලබා දීලා, ඒකට අවශ්‍ය කරන මාධ්‍ය ටික මේවා කරලා, සල්ලි ටික මේවා කරලා ඒ සැලසුමුත් මේ පිටිපස්සේ තිබ්බා.

“ඉතින් අපි අද ගොඩක් කටයුතු රකන්නේ මං දකින්නේ අපි කටයුතු කරන්නේ ඇවිල්ලා මේ සහරාන්ගේ ක්‍රියාකාරිත්වය සහරාන්ගේ එක්ස්ප්ලෝසිව් ගැන එතකොට සහරාන් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය පමණයි. නමුත් මේ සහරාන්ලා බිහි වුණේ කට්ටිය කොහෙහාමද කියන එක අපි ලොකු අවධානයක් යොමු වෙන්නේ නැහැ. එතකොට සහරාන්ලා බිහි වෙනකොට සහරාන්ගේ කණ්ඩායමේ ඉන්න සුයිසයිඩ් කාර්ඩස්ලා තුන් දෙනෙක්ම බිහි වෙන්නේ සේව් ද පර්ල් එකෙන්. එතකොට සේව් ද පර්ල් එකෙන්…..ඉතින් එතනදි ප්‍රධානත්වයක් අපි දකින්නේ අයිඩියෝලොජි එක. එතකොට අයිජියෝලොජි එකේදි මේ ඉන්න නීතිය පිළිබඳ හදාරපු පුද්ගලයා 2015 ඉඳන් අවසානය දක්වාම මේ සුයිසයිඩ් කාර්ඩර්ස් තුන් දෙනෙත් එක්කම නිරන්තරයෙන් දුරකතනයෙන් සම්බන්ධ වීමක් සිදු වෙනවා. පනස් වතාවක් විතර ඔය තුන්දෙනත් එක්කම. ඒ එක්කම ඔය තුන්දෙනා හිටපු සාමාජිකත්වය දරපු සේව් ද පර්ල් එකේ සභාපති ඉන්නේ මේ පුද්ගලයා. එතකොට මාවනැල්ල බුදු පිළිමය කඩලා ඊට පස්සේ ඒකෙදි සහරාන් ලක්ෂ 17ක් දෙනවා තව කණ්ඩායමකට.

“එතකොට ඒ කණ්ඩායම හරහා මේ ලෝයර් තවත් ලෝයර් කෙනෙක් හරහා අකවුන්ට් එකට ඒ සල්ලි ටික අරගෙන ඒ සල්ලි ටික යොදවා ගන්නවා සුප්‍රීම් කෝර්ට් එකේ කේස් එකක් ගියොත්. ඒ එක්කම අපි දැක්කා මේ ප්‍රධාන ලෝයර් ඇවිල්ලා සුප්‍රීම් කෝර්ට් එකේ ඇවිල්ල ඒ දවස්වල ප්‍රතිත්‍රස්දවාදී පිළිබඳ ඩ්‍රාෆ්ට් එක එනකොට එයාගෙම කෙනෙක්ව ඉදිරිපත් කරලා ඒකට මුස්ලිම් අන්තවාදය මේ ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ කරන්න එපා කියලා එයාගේ ඕපීනියන් එකක් ගෙනල්ලා ඒකට විරුද්ධව කටයුතු කිරීමක් සිදු කරනවා. එෆ්ආර් එක් දාලා. ඊට අමතරව මෙතනදි ඔය සහරාන්ගේ මාවනැල්ල බුදු පිළිමයේදි මේ අහුවෙච්ච මමිනිස්සුන්ව තවත් එයාගේ ජූූනියර් කෙනෙක් හරහා නඩු කොහොමහරි මේවා ටික කරලා ඒ ගොල්ලන්ව බේරා ගන්න ලොකු වෑයම නිතරත වීමක් සිදු වෙනවා.

“මේක දුරකතන අංක මගින් ඊමේල් මගින් සහ පිසිකල් සම්බන්ධතා මේ ඔක්කොම කරලා සිදුවීම වෙන සතියේ එයා යනවා ඊජිප්තුවට. ගිහිල්ලා නැවත වරක් එන්නේ ලංකාවට ඊට පස්සේ..එතකොට මේ ජමීල් කියන පුද්ලයාගේ මල්ලි තවම දැන් අත්අඩංගුවේ පසුවෙනවා සීඅයිඩී එකේ. එයා සියලුම ප්‍රකාශයන් කරනවා කොහොමද මේ සම්බන්ධය වුණේ කියලා. ඒ එක්කස ළමයි 10 දෙනෙක් දැනට ප්‍රකාශ කරලා තියෙනවා මේ ගොල්ලෝ කොහොමද ඒ ඇවිල්ලා ලෙක්චර්ස් දුන්නේ කොහොමද අදාදී වශයෙන්.

“ඉතින් ඇත්තටම අපි දකින්නේ මේකේ එක්තරා එක පැත්තකින් අපි දකින්නේ ඇවිල්ලා සහරාන් සහ සුයිසයිඩ් කාර්ඩ්ස් සහ අතර ඒක විතරයි. නමුත් ලෝකයේ ගොඩක් දුරට  ට්‍රීට් තෘ කරන්න බැරිවෙලා තියෙන්නේ මේ අයිඩියෝලොජි එක. මේ අයිඩියෝලොජි එක පතුරුවන මිනිස්සු තමයි භයානක මිනිස්සු මොකද ඒ ගොල්ලන් ඇවිල්ලා මේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් එක්ක මේ වගේ කණ්ඩායම් බිහි කිරීම තමයි ඒ ගොල්ලන්ගේ අවශ්‍ය කරන පහසුකම් වෙන්නේ.

“හැබැයි ඒ ගොල්ලන්ට උගත් කට්ටිය හැබැයි එකම පුද්ගලයා මේ පුද්ගලායට මුහුණුවර 7ක් තියනවා කියලා මම දකින්නේ. එක පැත්තකින් ඉතාම ප්‍රසිද්ධ නීතිවේදියෙක්. අනිත් පැත්තෙන් ඉතාම ප්‍රසිද්ධ අධ්‍යාපනඥයෙක්. එයාටම වියධායලයක් තියනවා. ඒ කියන්නේ එයාගේ ත්තා විසින් කරන එක. එයා ඒකෙ සාමාජිකයෙක්. ඒත් එක්කම තව පැත්තකින් ඇවිල්ල ආගමික කටයුතු පිළිබඳව ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්. ඒ එක්කම ඇවිල්ලා සිවිල් සංවිධාන කටයුතුවල හියුමන් රයිට් ඇක්ටිවිස් කෙනෙක්. ඊට අමතරව බිස්නස්මන් කෙනෙක්. මේ අති විශාල මුහුනු සංඛයාවක්ම තියෙනවා….‘ ආදී වශයෙන් සුරේෂ් සලේ දිවුරුම්පිට සාක්කි දෙමින් ප්‍රකාශ කර තිබේ.

සලේ කියූ බොරු

මෙම සාක්කියේ අන්තර්ගතයේ බොහෝ කරුණු සිද්ධි වශයෙනුත් කරුණු වශයෙනුත් සාවද්‍ය සහ නොමග යවන සුළු කරුණු වේ. මතබේදයට තුඩු දුන් මද්‍රසා පාසල සකස් කළේ හිස්බුල්ලා හෝ සේව් ද පර්ල් සංවිධානය නොවේ. එහි ඉගෙනුම ලබන්නේ ද සේව් ද පර්ල් සංවිධානය හරහා යොමු කරන සිසුන් පමණක් නොවේ. එම ඉඩම ලබාදී ඇත්තේ ද බෝම්බකරුවකු නොවේ. එම පාසලේ අන්තවාදී කටයුත්තක් කළ බව කියන කිසිම සාක්කියක් මේ වන තෙක් අනාවරණය වී නැත. ඊට අදාල පොත්පත් කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නැත. බෝම්බකරුවන් තිදෙනකුම බිහි කලේ සේව් ද පර්ල් මගින් යන්න ද අමූලික බොරුවකි. මාවනැල්ල බුදුපිළිම සිද්ධියට අදාලවද හිජාස් හිස්බුල්ලා සම්බන්ධ වී තිබුණේ නැත.

හිජාස් හිස්බුල්ලා සේව්ද පර්ල් සංවිධානය සමග සම්බන්ධ වීමට පෙර කටයුතු කළේ සලේගේ ළඟම මිතුරකු ලෙස ප්‍රකට නීතිඥවරයකු ද සාමාජික්වය දැරූ රැපිඩ් රෙස්පොන්ස් ටීම් නම් සංවිධානයකය.

112537976_1c300e51-add3-45e3-b93e-2578108a12ec

හේතුව දර්ගා නගරයේ මුස්ලිම්  විරෝධී ප්‍රහාර 

2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ සිදුවීම අවස්ථාවේදී දී අදාල ප්‍රදේශයේ තිබූ රැස්වීමකදී රැපිඩ්  රෙස්න්පොන්ස් ටීම් සාමාජික නීතිඥ හිජාස් හිස්බුල්ලා අදහස් දක්වමින්  ප්‍රකාශ කර ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වගකිව යුතු බවයි. එහි සිටි එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සහ හිජාස්  හිස්බුල්ලා අතර එම අවස්ථාවේ දී වාග් හුවමාරුවක් සිදුවී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානයෙන් නීතිඥවරයා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව එහි සිටි පිරිස් සඳහන් කරති.

ඉන් අනතුරුව දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු වූ ජමීල්ගේ සහෝදරයා වන හකීම් ජමීල්ගේ අදහස්වල වෙනස ගැන හිජාස්ට දැනුම් දී ඔහු සමග කතා කරන ලෙස දැනුම් දුන්නේය. හිජාස් ඔහු සමග කතා බහ කර කළ යුතු දේ හකීම්ට කීවේය. ඒ අනුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයෙන් ජීමීල්ට කැඳවීමක් ලැබිණි. ඔවුන් කළේ ජමීල්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු මුදා හැරීම පමනි. ජමීල් හමුවීමට ආරක්ෂක අංශ සාමාජිකයන් පැමිණි බව ඇතුළු විස්තර හිජාස් හිස්බුල්ලා දැන සිටියේය. පාස්කු ප්‍රහාරයෙන් පසු ඔවු ප්‍රසිද්ධියේ ඒ බව කීවේය. ජමීල් ගැන දැනගෙන සිටි ආරක්ෂක අංශ මෙම ප්‍රහාරය නතර නොකිරීම ගැන හිජාස් ප්‍රශ්න කළේය.

සිරිසේන – රාජපක්ෂ කුමංත්‍රණ ආණ්ඩුව

එසේම පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් මාලාවේ තීරණාත්මක සිද්ධියක් ලෙස සැලකෙන 2018 දින 52 ආණ්ඩු කාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුව සිටි මහාචාර්ය රත්නජීවන් හූල් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවේදී අධිකරණයේ කරුණු දැක්වූයේ හිජාස් හිස්බුල්ලා මහතාය. ඔහුගේ කරුණු දැක්වීම කැපී පෙනන සිද්ධියක් වූ අතර එකල නීති ක්ෂේත්‍රයේද ලොකු කතාබහකට ලක් විය.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් පසු නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද හිජාස් හිස්බුල්ලා නීතිමය කටයුතු කිරීමට දායකත්වය දැක්වීය. පාස්කු ප්‍රහාරයෙන් පසු ජනමාධ්‍යයේ හැසිරීම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේ නීතිඥ හිස්බුල්ලා ද ප්‍රධාන කථිකයෙක් විය.

2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග හිජාස් හිස්බුල්ලා ඔවුන්ට තර්ජනයක් සේ සලක්කනට ඇත. කිසිම සාක්කියක් නැතිව ඔහු අත්අඩංගුවට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් සිර කර තැබීමට ආණ්ඩුව කටයුතු කළේ එනිසා විය හැකිය. දැන් එම සිද්ධියට වසර හතරක් ගත විය.

සැබෑ අපරාධකරුවන් නිදැල්ලේ 

හිජාස් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සිරකිරීමට පිඹුරුපත් සකස් කළ පිරිස තවදුරටත් නිදැල්ලේ සිටිති. පාස්කු ප්‍රහාරයට මෙන්ම හිජාස් හිස්බුල්ලාට ද තවම යුක්තිය ඉෂ්ඨ වී නැත. හිජාස් හිස්බුල්ලා තවදුරටත් වෙන අයගේ යුක්තිය වෙනුවෙන් කතා කරමින් සුපුරුදු පරිදි තම වගකීම ඉෂ්ඨ කරමින් සිටියි.

උපුටා ගැනීම whatnews.lk වෙතිනි.

Archive

Latest news

Related news