Tuesday, April 30, 2024

ගුවන් හමුදා රග්බි ක්‍රීඩක දිමන්ත ලක්මාල් ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ප්‍රශ්න කිහිපයක්

සේ.පියවර්ධන විසිනි.

පසුගිය අප්‍රේල් 08දා පාදුක්ක, අංගමුව හීදී පොලිසිය වෙඩි ප්‍රහාරයකින්  ගුවන් හමුදා කෝප්රල්වරයකු සහ රගර් ක්‍රීඩකයකු වූ රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් මිය ගියේය.‍

33 වන වියෙහි වූ දිමන්ත ලක්මාල් රන් පදක්කම්ලාභී රගර් ක්‍රීඩකයකු වූ බව වෙබ් මාධ්‍ය ගුවන් හමුදා තොරතුරු මත පදනම්ව වාර්තා කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව ජනමාධ්‍යට ප්‍රකාශ කළේ, එලෙස මියගොස් ඇත්තේ, 07 දින හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු බවට සැක කෙරෙන බවයි.

විමර්ශක නිලධාරින් ඔහු එම ඝාතනයේ ප්‍රධාන සැකකරු ඔහු බවට තමාට වාර්තා කළ බවත්  ඔහු මත්  ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  මාධ්‍යට කිවේය.

මෙම ඝාතනය, මෙරට මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දී තිබෙන, සැකකරුවන් පැය 24ක් තුළ ඝාතනය කිරීමේ පොලිස් විධික්‍රමයට ගැලපේ. මෙලෙස වහාම ඝාතනය කරන්නේ අධිකරණයට ගොස් ජීවිතාරක්ෂාව පිනිස නියෝගයක් ලබා ගැනීමට ඉඩ නොලැබෙන පරිදිය.

නැන්දනිය මල්ලිකා රාජපක්ෂ

අප්‍රේල් 07 වන දින හොරණ ද්විත්ව ඝාතනය සිදු වූයේ රාත්‍රී 11.00 ට පමණය. එම අවස්ථාවෙහි දී ඝාතනය කරන ලද ලක්මාල් සිටියේ සිය පෙම්වතිය සමඟ බව ඔහු හදා වඩා ගත් නැන්දනිය වූ මල්ලිකා රාජපක්ෂ වෙබ් මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

එසේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබේද?

ලක්මාල් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි බව කීමට පෙර නීතිඥයකුද වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඔහු ඔහුගේ රුධිර සාම්පල වාර්තාවක් ලබා ගත්තේද?

ගුවන් හමුදා රගර් ක්‍රීඩා තරඟවලට පෙර ක්‍රීඩකයින් තහනම් උත්තේජන රැගෙන ඇත්දැයි බැලීමට. රැධිර සාම්පල පරීක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොදැන සිටියේද? දැන සිටියේ නම්, එම ප්‍රකාශය කිරීමට පෙර ගුවන් හමුදාව විමසා සිටියේ ද?

රගර් ක්‍රීඩාවලට පෙර කරන ලද   ලක්මාල්ගේ රුධිර පරීක්ෂා වලදී  ඔහු මත්දුව්‍ය භාවිත කර ඇතැයි සනාථ වී නැති බව, ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්නවාද?

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයකුට අධික කායික නිරෝගී බව අවශ්‍ය කරන  රගර් ක්‍රීඩාව වැනි ක්‍රීඩාවක යෙදිය හැකිද?

වසර 15ක් පුරා ගුවන් හමුදා රගර් ක්‍රීඩාවෙහි යෙදී ඇති බැවින් ලක්මාල් ගිනි අවි භාවිතයෙහි දෘඩ පුහුණුවක් ලබා නැති බව දන්නවාද?

හොරණ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කරන ලද්දේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයකට මිලි මීටර් 09 පිස්තෝලයකින් බැවින්, එවැනි ප්‍රහාරයක යෙදීමට ඉතා දක්ෂ වෙඩික්කරුවකු විය යුතු නොවේද?

හොරණ ද්විත්ව ඝාතනය ය වූ අවස්ථාව සටහන් වූ සීසී කැමරා පටිගත කිරීම් මගින් කිසිදු පුද්ගලයකු හදුනා ගැනීමට හැකියාවක් නැහැ නේද?

එසේ නම් ලක්මාල් එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු බව විමර්ශන නිලධාරීන් සොයා ගත්තේ කෙසේද?

මෙම ඝාතනයට සම්බන්ධයැයි ලක්මාල් ඝාතනය කරන ලද්දේ නියම වෙඩික්කරු ආරක්ෂා කිරීමටද?

පරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙහි ප්‍රධාන පොලිස් නිලධාරියකු මතු ද්‍රව්‍ය පාතාලය සමඟ සබඳතා පවත්වන බවට පල වී ඇති ජනමාධ්‍ය වාර්තා සත්‍යද?

ලක්මාල් ප්‍රධාන සැකකරු බවට තීන්දු කළ විමර්ශන නිලධාරීන් එම උසස් පොලිස් නිලධාරියට සම්බන්ධද?

ඔහු ඝාතනය කරන ලද අවස්ථාවෙහි පොලිස් මාර්ග බාධකයක් තිබු බව දැක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරිදි සාමාන්‍ය බුද්ධිය අනුව ලක්මාල් ඝාතකයා නම් කළ යුතුව තිබුණේ වහාම යතුරු පැදිය ආපසු හරවා ගෙන යෑම නේද?

පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඔහුගේ නිවස අසල යොදා තිබුණේ කුමන මාර්ග බාධකයක්ද? එය කඩා ගෙන යෑමට යතුරු පැදියකට හැකිද?

මාර්ග බාධකය බිද ගෙන යැමෙන් පසු, වේගයෙන් පලා යනු වෙනුවට ස්වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව සිටි පොලිස් කණ්ඩායමකට ආපසු හැරී ගල්කටස් අවියකින් වෙඩි තැබීමට තරම් ගුවන් හමුදා භටයකු අඥානද?

පොලිසිය විසින් කරන ලද මෙම ඝාතනය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට ඉඩ දීමට ඔබ සුදානම්ද? එසේ නම් එම පියවර ගනු ලබන්නේ කවදාද?

Archive

Latest news

Related news