Monday, July 15, 2024

ලිංගික සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණ (01)      –    ලයනල් බෝපගේ

 ලිංගික සමානාත්මතාවය මානව අයිතියක් ලෙස

ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ මගේ පෙර ලිපියෙන් අවධාරණය කළේ සංහිඳියාවට පත් වඩා සාධාරණ දේශයක් දෙසට යන ගමනේදී ලෝකයට අත්‍යවශ්‍ය වන ලිංගික සමානාත්මතාවය ඇති කිරීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කමයි. තිරසාර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ඇත්තේ තවත් වසර හයක් පමණි. මින් අදහස් වන්නේ තවත් අඩ දශකයක් තුළ හැම පුද්ගලයෙක් සතුව “අධ්‍යාපනය, සෞඛ්‍ය සත්කාර, විනීත රැකියාවක්, වෙනස්කම්වලට ලක් කිරීමෙන් සහ අපයෝජනයෙන් තොර ජීවිතයක්, සහ දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේ දී නියෝජනයක් සඳහා සමාන ප්‍රවේශයක්” තිබිය යුතු බවයි. 2030 න්‍යාය පත්‍රය විසින් ලිංගික සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා අප දරන පරිශ්‍රමයන් තවදුරටත් ශක්තිමත් කරන ලෙස අපෙන් ඉල්ලා ඇත. මෙම ලිපිය ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සාකච්ඡාවට ලක් කෙරේ.

කාන්තාවන්ට අසමාන ලෙස සැලකීමේ වියගහ යටතේ ජීවත් වන්නට බල කරන ලිංගික ඒකාකෘති දිගටම පවත්වා ගැනීමට හැකි කරවන සැලකිය යුතු අන්දමේ ව්‍යුහාත්මක බාධක සහ සමාජයීය හා සංස්කෘතික සම්මතයන් පවතී.

බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද කාන්තාවන් ප්‍රගතියක් අත් කර ගෙන තිබුනද, අපයෝජනයට, වෙනස්කම්වලට ලක් කිරීමට සහ ප්‍රචණ්ඩත්වයට ලක් වීම හේතුවෙන් ඔව්හු නොකඩවා පීඩා විඳිති. කාන්තාවන්ට අසමාන ලෙස සැලකීමේ වියගහ යටතේ ජීවත් වන්නට බල කරන ලිංගික ඒකාකෘති දිගටම පවත්වා ගැනීමට හැකි කරවන සැලකිය යුතු අන්දමේ ව්‍යුහාත්මක බාධක සහ සමාජයීය හා සංස්කෘතික සම්මතයන් පවතී. සමාජයක් වශයෙන් අප කාන්තාවන්ගේ ඉදිරි ගමන වළකා ලන වෙනස්කම් කිරීමේ ආකල්ප සහ භාවිතාවන් ද, පැතිර පවතින ලිංගික අසමානතාවයන් ද අභියෝගයට ලක් කොට ඉවත් කර නොදමන්නේ නම්, එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ දක්වා ඇති අන්දමේ ප්‍රගතියක් පිළිබඳ කිසිදු අපේක්ෂාවක් අපට බලාපොරොත්තු විය නොහැකිය.

අනෙකුත් දකුණු ආසියාතික රටවල් සහ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සංසන්දනය කල විට, නිදහස් හා විශ්වයීය පාසල් අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවන් භුක්ති විඳීම හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාර ලබා ගැනීමට ඇති ප්‍රවේශය අතින් ශ්‍රී ලංකාව ලිංගික සමානාත්මතාවයේ සාපේක්ෂ ඉහළ මට්ටමක් උසුලයි. මෙවැනි සැලකිය යුතු ජයග්‍රහණ තිබුනේ වුවද, ලිංගික අසමානතාවයන් සමාජ හා ආර්ථික ක්ෂේත්‍රය තුළ දිගින් දිගටම පවතී. කෙසේ වුවද, ව්‍යුහාත්මක සැකසුම් මඟින් මෙහෙයවනු ලබන වත්මන් දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍රය නුදුරු අනාගතයේ දී මෙම තත්ත්වය වෙනස් කරන්නට පහසුවෙන් බලපෑම් කළ හැකිය.

ලිංගිකත්වය අනුව වෙනස්කම් කිරීම සමාජ ආයතන තුළ බොහෝ සෙයින් කාවැදී පවතී. එහෙත්, බොහෝ ආකාරවලින් පවතින මෙම වෙනස්කම් කිරීම බොහෝ විට අදෘශ්‍යමානව පවතී. ලිංගිකත්ව පරතර පවත්වා ගෙන යෑම සහ අයිතීන් මත පදනම් වූ ප්‍රවේශයක් වෙත ගමන් කිරීමට බාධා කිරීම පිටුපස පවතින වැදගත් ධාවකයන් වන්නේ ප්‍රධාන වශයෙන් සමාජ-ආර්ථික හා සංස්කෘතික ආදර්ශයන් සහ භාවිතාවන් ය. එහෙයින් දැනට පවත්නා ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කම් කිරීමේ මට්ටම ප්‍රමාණ කිරීම සඳහා විස්තීරණ සහ සංසන්දනාත්මක දත්ත එක්රැස් කිරීම අවශ්‍ය මෙන්ම ඉතා වැදගත් කාර්යයක් වන්නේය.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 35 ක් තම ජීවිත කාලය තුළ සමීප සහකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට අත්දැක ඇති අතර සියයට 40 ක් ප්‍රචණ්ඩත්වයට ලක් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ තරාතිරම

ගෘහස්ථ සහ ලිංගික හිංසනය වැනි කාන්තාවන්ට එරෙහිව කරන අපරාධ බොහෝ සමාජයන් තුල ආවේණිකව පවතී. ගවේෂණ අධ්‍යයනයන්ට අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 35 ක් තම ජීවිත කාලය තුළ සමීප සහකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට අත්දැක ඇති අතර සියයට 40 ක් ප්‍රචණ්ඩත්වයට ලක් කර ඇති බව වාර්තා වේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත වැනි නීති මේ සම්බන්ධයෙන් ඇතැම් රැකවරනයන් සලසන්නේ වුවද, එහි ප්‍රකාශිත අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනු නොලැබේ. ඊට අමතරව, ගෘහස්ථ හිංසනය පිළිබඳව මෙම පනතේ අර්ථ දක්වා ඇති විෂය පථය තුළ ආර්ථික ප්‍රචණ්ඩත්වය ඇතුළත් නොවේ. එපමණක් ද නොව, පනත අධිකරණයේ නඩු පැවරීම වැනි නීතිමය පියවර අනුගමනය කිරීමට පෙර පවුල් උපදේශනය පැතීම අනිවාර්ය කර ඇත.

ශ්‍රී ලංකාවේ මිලියන 8.5 ක් වන ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනයෙන් සියයට 72 ක් පිරිමි වන අතර සියයට 35 ක් පමණක් කාන්තාවන් වෙයි. කෙසේ වෙතත්, ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන් වන නමුත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5.3ක් පමණක් වේ.

පුද්ගලයන් සහ සමාජය කාන්තාවන් වෙත එල්ල කරන බලපෑම් සහ බිය ගැන්වීම් හේතුවෙන් කාන්තාවන්ට ඔවුන්ගේ පැමිණිලි ඉල්ලා අස්කර ගැනීම සඳහා මෙමඟින් බල කරනු ලැබිය හැකිය. නිදසුනක් වශයෙන්, විවාහය සහ පවුල පූජනීය වන බැවින් කාන්තාවන් තම ගැටළු නිවස සහ පවුල තුළම රඳවා තබා ගත යුතු යැයි යනුවෙන් සමාජයීය වශයෙන් අපේක්ෂාවක් පවතී. මේ නිසා බොහෝ කාන්තාවෝ ආයතනික සහය සහ නීතිමය රැකවරණය ලබා නොගනිති. එවැනි සම්මතයන්ට පටහැනිව කටයුතු කිරීම සමාජ අපවාදයට මඟ පාදනවා ඇත. අනෙක් අතට, ඉතා දිග්ගැස්සෙන, අති විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය කරන සහ කාලය කා දමන අධිකරණ ක්‍රියාවලි බොහෝ කාන්තාවන් අධිකරණ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ලයි.

ශ්‍රී ලංකාවේ මිලියන 8.5 ක් වන ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනයෙන් සියයට 72 ක් පිරිමි වන අතර සියයට 35 ක් පමණක් කාන්තාවන් වෙයි. කෙසේ වෙතත්, ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන් වන නමුත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5.3ක් පමණක් වේ. කාන්තාවෝ තවදුරටත් දරිද්‍රතාවයෙන් සහ සමාජයෙන් බැහැර කිරීමෙන් වඩා අවදානමට ගොදුරු වෙමින් පවතී. මෙම සංකීර්ණ ප්‍රශ්නය විසඳීමට සහය වී ඇති ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD), ආණ්ඩුවලට මෙන්ම සමාජයට එහි විෂය පථය අවබෝධ කර ගැනීම සඳහා ආධාර කරනවා මෙන්ම සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තිමය විසඳුම් වර්ධනය කිරීම මඟින් මෙම ගැටලුව ආමන්ත්‍රනය කරන්නට කැමැත්තෙන් සිටින හා කැපවී සිටින ආණ්ඩුවලට ද උපකාරී වේ.

OECD සහ SIGI දර්ශකය

ලිංගික සමානාත්මතාවය තක්සේරු කිරීමේදී, OECD සංවිධානය ලිංගිකත්වයේ පදනම මත වෙනස්කම් කිරීමේ මට්ටම මැනීම සඳහා සමාජ ආයතන සහ ලිංගිකත්ව දර්ශකය (SIGI) භාවිතා කරයි. එක්සත් ජාතීන්ගේ 5.11 තිරසාර සංවර්ධන ඉලක්කය (SDG) මගින් කේතනය කර ඇති ලිංගික සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම, බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීතිමය රාමු ස්ථාපිත කර ඇත්දැයි යන්න තක්සේරු කිරීමට මෙම දර්ශකය භාවිතා කෙරේ. මෙම දර්ශකය තුල සමාජ ආයතන වෙත කරන සඳහනේ විධිමත් සහ අවිධිමත් නීති, සහ සමාජ සම්මත සහ භාවිතාවන්ගෙන් සමන්විත සංකීර්ණ ජාලය අඩංගු කර ගනී.

SIGI 2023 දර්ශකයට අනුව, කාන්තාවෝ ගෝලීය වශයෙන් කළමනාකාරිත්ව තනතුරුවලින් හිමිකරගෙන ඇත්තේ සියයට 25 ක් පමණකි. පද්ධතිමය වෙනස්කම් කිරීම විසින් ශ්‍රම වෙළඳපොල තුල ලිංගිකත්ව පරතරයන් පුලුල් කර තිබීම පුදුමයට කාරණයක් නොවේ. මෙම තත්ත්වය විසින් නායකත්ව සහ කළමනාකරණ තනතුරු තුල කාන්තාවන්ගේ අඩු නියෝජනයටත්, අඩු වැටුප් සහිත අංශවල, අවිධිමත් ආර්ථිකයේ හෝ අර්ධකාලීන රැකියාවල වඩා වැඩි නියෝජනයටත් මඟ පාදා ඇත. මෙම දර්ශකය පහත සඳහන් ක්ෂේත්‍ර හතර තුල වෙනස්කම්වලට ලක් කිරීමේ භාවිතාවන් මැනීම සඳහා යොදා ගනු ලැබේ:

  • පවුල තුළ වෙනස්කම්වලට ලක් කිරීම

  • සීමා කරන ලද කායික ගරුත්වය

  • නිෂ්පාදන සහ මුල්‍ය සම්පත් වෙත පවතින ප්‍රවේශය, සහ

  • සීමා කරන ලද සිවිල් නිදහස.

සංසන්දනය කිරීමේ දුෂ්කරතා තිබුනද, ලිංගිකත්ව සමානාත්මතාවය සම්බන්ධයෙන්  හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාව නොවූවද, අප ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ලිංගිකත්වයේ පදනම මත පවතින අසමානතා මිනුම් සලකා බලන විට, පවතින වෙනස්කම් ඉතා පැහැදිලි බවට පත් වේ.

‘පවුල තුළ වෙනස්කම්වලට ලක් කිරීම’ නමැති මානය ඔස්ට්‍රේලියාවේ 7.9 ක් වන අතර ශ්‍රී ලංකාවේ එය 62.5 ක් වේ. ‘සීමා කරන ලද කායික ගරුත්වය’ නමැති මානය ඕස්ට්‍රේලියාවේ 13.1 වන අතර ශ්‍රී ලංකාවේ 41.5 ක් වේ. ‘නිෂ්පාදන සහ මුල්‍ය සම්පත් වෙත පවතින ප්‍රවේශය’ නමැති මානය ඔස්ට්‍රේලියාවේ 17.4ක් වන අතර ශ්‍රී ලංකාවේ 63.2 ක් වේ.

OECD සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 ශ්‍රී ලංකාවේ සමාජ ආයතන සහ ලිංගිකත්ව දර්ශකයේ (SIGI) අගය වන 59.2 හා සසඳන විට ඕස්ට්‍රේලියාවේ එම අගය 15.4 ක් වෙයි. මෙහිදී ශුන්‍ය (0) අගයක් වෙනස්කම්වලට ලක් කිරීමේ පරිසරයක් නොපවතින බව පෙන්නුම් කරන අතර, 100ක අගයක් කාන්තාවන්ට එරෙහිව නිරපේක්ෂ සහ සෘජු ලෙස වෙනස්කම් කිරීමේ පරිසරයක් පවතින බව පෙන්නුම් කරයි. ‘පවුල තුළ වෙනස්කම්වලට ලක් කිරීම’ නමැති මානය ඔස්ට්‍රේලියාවේ 7.9 ක් වන අතර ශ්‍රී ලංකාවේ එය 62.5 ක් වේ. ‘සීමා කරන ලද කායික ගරුත්වය’ නමැති මානය ඕස්ට්‍රේලියාවේ 13.1 වන අතර ශ්‍රී ලංකාවේ 41.5 ක් වේ. ‘නිෂ්පාදන සහ මුල්‍ය සම්පත් වෙත පවතින ප්‍රවේශය’ නමැති මානය ඔස්ට්‍රේලියාවේ 17.4ක් වන අතර ශ්‍රී ලංකාවේ 63.2 ක් වේ. ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ‘සීමා කරන ලද සිවිල් නිදහස’ නමැති මානය පිළිවෙලින් 22.5 ක් සහ 44.2 ක් වේ.

වෙනස්කම් කරන සමාජ ආයතන විසින් “කාන්තාවන් සහ ගැහැණු ළමයින් සතු නියෝජනය සහ අධිකාරිය යටින් බිඳ දමමින් ඔවුන්ගේ අයිතීන්, සාධාරණත්වය, සවිබල ගැන්වීමේ අවස්ථා සහ සම්පත් සඳහා පවතින ප්‍රවේශය සීමා කරනු ලැබේ” (OECD, 2024). නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මවක් වැටුප් සහිත රැකියාවක් ආරම්භ කළ විට ඉන් දරුවන් පීඩාවට පත් වන බවට ගෝලීය ජනගහනයෙන් සියයට 56 ක් විශ්වාස කරති. අධ්‍යාපනය, පුහුණුව සහ වැටුප් ලබන රැකියා වෙනුවෙන් මිඩංගු කළ හැකි කාලය සීමා කරමින් වැටුප් නොලබන උපස්ථාන සහ ගෘහස්ථ වැඩ කටයුතුවල නියැලීම කාන්තාවන්ගෙන් බොහෝ විට අපේක්ෂා කෙරේ.

විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනයේ පරතරයකට මඟ පාදන, අධ්‍යාපනයේ පවතින ලිංගිකත්ව ඒකාකෘති හඳුනා ගැනීමට ද SIGI දර්ශකය උපකාර වී ඇත. මෙය සම්බන්ධ වන්නේ යෞවනයන් විසින් පාසැලේ ඉගෙනීමට හෝ වෘත්තියක් ලෙස අනුගමනය කරන්නට තෝරාගන්නා විෂයයන් අතර පවතින නිරීක්ෂණය කළ හැකි වෙනස්කම් හා සමඟ යි. නිදසුනක් ලෙස, OECD රටවල් තුල, තරුණියන් තම සම වයසේ පසුවන තරුණයන්ට වඩා විද්‍යාව අතින් මඳක් හොඳින් කටයුතු කළද, තරුණයින්ට වඩා තරුණියන්ට STEM හා ආශ්‍රිත ක්ෂේත්‍රවල ඉගෙනීමට සහ උපාධි ලබා ගැනීමට පවතින ඉඩකඩ මඳ බව සොයා ගෙන තිබේ. සිව්වන කාර්මික විප්ලවය (Industry 4.0) විසින් දුවවන දිසාවට ගමන් කරන වර්තමාන ආර්ථිකයේ නියැලෙන්නට අවශ්‍ය කරන ඩිජිටල් කුසලතා අත් කර ගැනීමට තරුණයන්ට වඩා වැඩි ඉඩ කඩක් ලැබීම හේතුවෙන් තරුණ තරුණියන් අතර පවතින ඩිජිටල් බෙදුම සම්බන්ධයෙන් ද එවැනිම නිරීක්ෂණයක් සිදු කර ඇත.

ලිංගිකත්ව පදනම මත කරන වෙනස්කම් වලින් දුරස්ථ වීම

එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව, ලෝකයේ කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ද, අඩු ආදායම්ලාභී රටවල සිටින කුඩා පරිමාණයේ පශු සම්පත් කළමනාකරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ද කාන්තාවන්ගෙන් සමන්විත වේ. ලොව පුරා සිටින කම්කරු පන්ති කාන්තාවෝ හා වහල්බවේ යොදා ගෙන ඇති කාන්තාවෝ හැම විටම අධික ලෙස කායික ශ්‍රමය වැය කිරීම හා සම්බන්ධ ව සිටිති.

මුල් මානව සමාජයන්ට ඒ සමාජවල සිටි ප්‍රභූන් වෙත ප්‍රතිලාභ ලබා දෙන අතිරික්තයක් නිපදවා ගැනීම සඳහාත් අවශ්‍ය වුවහොත් යුද කාලවලදී තම ජීවිත හිලව්වට තබා පරිත්‍යාග කරමින් වුවද රාජ්‍යය රැක ගැනීම සඳහාත් ජනයා අවශ්‍ය කළේය. “ජනගහන මට්ටම් පවත්වා ගැනීම පවුල් මත නොවැළැක්විය හැකි අන්දමේ පීඩනයක් ඇති කළේය. කාලයාගේ ඇවෑමෙන්, තරුණියෝ වැඩි වැඩියෙන් ළදරුවන්, විශේෂයෙන් ම සටන් කිරීමට හැදී වැඩෙන පුතුන් බිහි කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී (BBC 2023).

මාතෘත්වය සහ ගෘහස්ථ ශ්‍රමය වෙත අවධානය යොමු කිරීම සඳහා කාන්තාවන්ට ගෘහාශ්‍රිත කටයුතුවල නියැලීමට වැඩියෙන් බල කරනු ලැබීමත් සමඟම, රැකියාවට සහ නායකත්වයට අදාල ප්‍රසිද්ධ ජීවිතයෙන් ඔව්හු ක්‍රමක්‍රමයෙන් නොපෙනී ගියහ. ඊට අමතරව, තම නිවෙස් තුළම කාන්තාවන් කොන් කිරීමට බඳුන් කරන ලද පීතෘවාසික විවාහ පිළිවෙත් මඟින් ඔවුන් සූරා කනු ලැබීමටත් අපයෝජනයට ලක්වීමටත් වඩාත් නිරාවරණය කෙරිනි. මෙම පවුල්වල දූ වරුන් සිය මාපිය/ළමා නිවාස අතහැර තම ස්වාමිපුරුෂයන්ගේ පවුල් සමඟ ජීවත් වෙන්නට යනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මේ අනුව, කාලයාගේ ඇවෑමෙන් විවාහය, කාන්තාවන් තම ස්වාමිපුරුෂයන්ගේ පෞද්ගලික දේපළ ලෙස සලකන ලද දැඩි නීතිමය සංස්ථාවක් බවට පරිවර්තනය විය.

ශ්‍රී ලංකා යුද වැන්දඹු එවින් සෙල්වි, 45, (2015) – (Agence France-Presse)

සන්නද්ධ ගැටුම් සහ යුද වැන්දඹුවෝ

ශ්‍රී ලංකාව තුළ, යුද වැන්දඹුවන්ගේ ප්‍රශ්නය සැලකිය යුතු ගැටළුවක් ලෙස දිගටම පවතී. සන්නද්ධ ගැටුම් යුද වැන්දඹුවන් මත දැඩි කම්පනයක් උපදවන ලද අතර ඔවුහු පශ්චාත් කම්පන ආතති ආබාධයෙන් (PTSD) පීඩා විඳිති. මානසික දුෂ්කරතාවන්ට අමතරව, ඔවුහු ගැටළු සහගත නීතිමය, ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලින් නොකඩවා පීඩා විඳිති. සමාජයෙන් බැහැර කිරීම, අපකීර්තියට පත් කිරීම, ලිංගික හා මූල්‍ය සූරාකෑමට ලක් කිරීම, හිරිහැර කිරීම, බිය ගැන්වීම, ආරක්ෂක තර්ජන ආදියේ සිට, ජනවිකාස නිසා සිදු වන වෙනස්කම්, පශ්චාත් යුධ අනාරක්ෂිතභාවය, මූල්‍ය දුෂ්කරතා, සංස්කෘතිය හා සම්ප්‍රදාය මඟින් පැනවූ සීමා කිරීම් සහ ආර්ථික සහ ඉඩම්-අයිතිවාසිකම් අසමානතා දක්වා මෙම ගැටළු විහිද යයි. මෙම ගැටළු පවුල තුළත් ඉන් පිටතත් ඔවුන්ගේ ජීවිත කෙරෙහි දැඩි ලෙස බල පෑම් කර ඇත.

රටේ යුද වැන්දඹුවන් පිළිබඳව ගවේෂණ අධ්‍යයනයන් රාශියක් සිදු කර ඇත. මෙම අධ්‍යයනයන් ඔවුන්ගේ දුක්ඛිත තත්වය ඉස්මතු කර පෙන්වා දී තිබුණද, ඒවායින් යුද වැන්දඹුවන් මුහුණ දෙන සැබෑ දුෂ්කරතා පිළිබඳ දැනුවත්බව ඉහළ නැංවීමක් සිදු කර නොමැත. බොහෝ යුද වැන්දඹුවන්ට රජයේ සහ බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල ද්‍රව්‍යමය සහ මූල්‍ය ආධාර ලැබුනද, ඔව්හු තවමත් බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටිති. මෙය උතුරු නැගෙනහිර යුද වැන්දඹුවන් කෙරෙහි විශේෂයෙන්ම දරුණු අන්දමින් බලපාන අතර එම වැන්දඹුවන්ගේ දුක්ඛිත තත්වය බොහෝ විට නොසලකා හරිනු ලැබ ඇත.

යුද වැන්දඹුවන්, විශේෂයෙන්ම, උතුරු නැඟෙනහිර  සිටින අයගේ වාතාවරණයන් වඩාත් අඳුරු සහගත සහ වඩාත් අවදානමට ලක්විය හැකි බැවින් ඔවුන් ඊට මුහුණ දෙන ආකාරය අගය කළ යුතු ව ඇත. ඔවුන්ගේ ආර්ථික, සමාජීය සහ මනෝවිද්‍යාත්මක පැවැත්ම සහතික කිරීම සඳහා පවතින අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් පුද්ගලිකව හා සාමූහිකව මුහුණ දීමේ උපාය මාර්ග සෙවීමේදී ඔවුහු විශ්මයජනක ශක්තියක්, ධෛර්යයක්, නවෝත්පාදනයක් සහ නියෝජනයක් විදහා දක්වති. වැන්දඹුවන්ගේ සමිති සහ සමුපකාර එවැනි ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත් මනෝ සමාජයීය සහය ලබා දීමත් සඳහා ජාලයන් පිහිටුවා ඇත්තේ වුවත්, ඒවායේ කාර්යක්ෂමතාවය ඉදිරියේදී තක්සේරු කළ යුතුව තිබේ.

එවැනි බොහෝ මුල පිරීම් ඔවුන් විසින්ම සංවිධානය කරනු ලබන අතර අනෙක් මුල පිරීම්වලට දේශීය හෝ ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍යමය නොවන ආධාර ලැබේ. තරුණ වැන්දඹුවන් සවිබල ගැන්වීම සඳහා ඇතැම් වැඩසටහන් වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. කෙසේ වෙතත්, වැඩිහිටි වැන්දඹුවන්ගේ සමාජ සම්ප්‍රදායන් සහ සංස්කෘතික සම්මතයන් හේතුවෙන් ඔවුන්ට එවැනි අවස්ථාවන් යොදා ගැනීම වඩා දුෂ්කර ව ඇති බව වාර්තා වේ. දකුණේ ගම්බද ප්‍රදේශවල ඇතැම් යුද වැන්දඹුවන් සහ කාන්තාවන් රැකියා සඳහා විදේශගත වී ඇත. ඔවුන් අතරින් ඇතැමෙකුගේ පවුල් ජීවිතය කඩාකප්පල් වීමට ලක්ව ඇති අතර සමහරු වඩාත් හොඳින් සිය දිවි ගෙවති.

ඉහළ යන ජීවන වියදම සහ ආහාර අනාරක්ෂිත භාවය වැනි රට දැනට මුහුණ දී සිටින බහු අර්බුදවල බර අසමාන ලෙස දරන්නට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සිදුව ඇත. කෙසේ වෙතත්, ජීවනෝපාය හා සම්බන්ධ කුසලතාවන්ගෙන් සමන්විත කාන්තාවන්ට එවැනි අභියෝගවලට මුහුණ දී ජය ගැනීමට ශක්තිය ලබා දෙන බව පෙනේ. කාන්තාවන් විසින් කර ඇති ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා ඔව්හු සිය දේශීය දැනුමත් නවෝත්පාදනත් යොදාගෙන ඇති අතර ඇතැමුන් කැපී පෙනෙන ජයග්‍රහණ ද අත් කර ගෙන තිබේ. විශේෂයෙන් ම, ග්‍රාමීය ප්‍රදේශ මුහුණ දෙන දුෂ්කර කාල වලදී, කාන්තාවන්ට සැබැවින්ම සිය පවුල් සහ ප්‍රජාවන් වෙනුවෙන් ද, එමඟින් සමස්තයක් වශයෙන් රට වෙනුවෙන් ද අවශ්‍ය වෙනස් කම් සිදු කරන නියෝජිතයන් බවට පත්විය හැකිය.

මතු සම්බන්ධයි.

2024 මාර්තු 14 වන දා

Archive

Latest news

Related news