Sunday, April 28, 2024

ගැටුම් සහ බහුවිධ අර්බුද මැද ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ අභියෝග සහ අරගලය – ලයනල් බෝපගේ

2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ගැටුම් සහ බහුවිධ අර්බුද සහිත යුගයක කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන අරගලය

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය “ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න” යන තේමාව යටතේ සැමරීමට සූදානම් වෙද්දී, බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද, භූ දේශපාලනික ගැටුම්, ඉහළ නැඟෙන දරිද්‍රතා මට්ටම්, සහ දේශගුණික විපර්යාසවල උත්සන්න වෙන බලපෑම විසින් මෙහෙයවනු ලබන අර්බුද සමුහයක් සමඟ පොර බදමින් සිටී.

මෙම අභියෝගයන්ට මුහුණ දීමේදී කාන්තාවන් සතු ප්‍රධාන භූමිකාව හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පවතින හදිසි අවශ්‍යතාව අවධාරණය කර සිටියි. ගෝලීය වශයෙන් කාන්තාවන් සිදු කොට තිබෙන වැදගත් ආර්ථික දායකත්වය තිබියදීත්, 2030 වන විට කාන්තාවන් සහ ගැහැණු ළමයින් මිලියන 342 කට අධික ප්‍රමාණයක් අන්ත දරිද්‍රතාවය වෙත තෙරපා දමනු ලැබිය හැකි බව තැතිගන්වන අන්දමේ ප්‍රක්ෂේපන විසින් පෙන්වා දෙයි.

ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40 ක් ඉක්මවා යන ආර්ථික වටිනාකමක් සහිත, පිරිමින් කරන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් වන බවට ඇස්තමේන්තු කර තිබෙන, වැටුප් නොගෙවන උපස්ථාන කටයුතු හේතුවෙන් කාන්තාවන් මත අසමාන අන්දමින් බර පටවා ඇත.

එහෙත්, ලිංගික සමානාත්මතාවය කරා ඉදිරියට යෑමට බාධා පමුණුවමින් ද, ගෝලීය පරිමාණයෙන් දරිද්‍රතාවය පවත්වාගෙන යමින් ද අධ්‍යාපනය ලබා ගැනීමට තිබෙන අයිතිය පුළුල් ලෙස උල්ලංඝණය කරනු ලැබීමෙන් කාන්තාවෝ දිගින් දිගටම අනවරත බාධකවල මුහුණ දෙති.

මිලියන 617 කට මූලික සාක්ෂරතා හා ගණනය කිරීමේ කුසලතා හිඟයෙන් යුතුව, ලොව පුරා ළමුන් මිලියන 244 කට පමණ පිළිකුල් සහගත අන්දමින්‍‍, අධ්‍යාපනය අහිමි කරනු ලැබ ඇත (UN, 2024).

කාන්තාවන් මුහුණ දෙන ගැටළු පරාසය

කාන්තා අයිතිවාසිකම් වසර ගණනාවක් පුරා වැඩිදියුණු වූයේ වුවද, ඒ අයිතීන් කණපිට හරවා ලීම් ද සිදු වී තිබේ. සමාජ සංවර්ධනයට අදාල වත්මන් ප්‍රවණතා විසින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා නොකඩවා ඉදිරියට යෑමක් සහතික කරනු නොලැබේ.

කාන්තාවන් සහ ළමයින් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑම් ඇති කරවමින් ලෝකය බොහෝ ගැටුම් මැදින් ගමන් කරමින් සිටී. ඒ ගැටුම් සමහරක් ප්‍රධාන ආකාරයේ ඒවා වෙයි. පොදුවේ ගත් කල, කාන්තාවන්ට එරෙහි හිංසනය, ලිංගිකත්වය හේතුවෙන් වෙනස්කම්වලට භාජනය කිරීම, ලිංගික අතවර යනාදිය හේතුවෙන් කාන්තාවෝ සමාජයේ ගැටලුවලට මුහුණ දෙති.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම

නැගී එන අධිකාරවාදය සහ භයානක දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් කාන්තාවෝ අධ්‍යාපනය, රැකියාව, සෞඛ්‍ය සේවා, නීතිමය අයිතිවාසිකම්, ප්‍රචණ්ඩත්වය සහ තවත් බොහෝ දේ හා සම්බන්ධ ගැටලු රාශියකට මුහුණ දෙති.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම ගැටළු වටහා ගැනීම ප්‍රජාවන්ට එකට කටයුතු කිරීම සඳහා උපකාරී වනවා ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වයේ පදනම මත වෙනස්කම්වලට ලක් කිරීම, ප්‍රජනන අයිතීන්, බොහෝ අංශ තුල සිදු  කරන වෙනස්කම් ආදිය හේතු කොට ගෙන ලොව පුරා කාන්තාවෝ බොහෝ අභියෝගවලට මුහුණ දෙති.

ලිංග ඡේදනයට හා ළමා විවාහවලට තුඩු දෙන ඔවුන්ගේම වන ආගමික වත්පිළිවෙත්, සංස්කෘතික සම්ප්‍රදායන් යනාදිය හේතුවෙන් ඇතැම් ප්‍රජාවන් තුල කාන්තාවෝ විශේෂ ගැටළු වලට මුහුණ දී සිටිති. සමහර කාන්තාවන් විශාල සමාගම් පවත්වාගෙන යමින් ඉහළ කළමනාකාරිත්ව තනතුරු දරන්නේ වුවද, සේවා ස්ථාන තුල කාන්තාවෝ දශක ගණනාවක් තිස්සේ ඔවුන්ට ඉහළට යෑමට ඉඩ නොදෙන බාධාවන් බිඳ හෙලන්නට උත්සාහ කර ඇත.

මෙතෙක් ප්‍රගතියක් අත් කර ගෙන තිබුණද, ලිංගිකත්වය මත වෙනස්කම්වලට ලක් කිරීම, ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීම තවමත් නොනැසී පවතී.

නිදසුනක් වශයෙන් ගතහොත්, උසස් බලතල දරන කාන්තාවන්ගෙන් එක්සත් ජනපද ආණ්ඩුව පිරී පැවතුන ද, කාන්තාවක් එහි ජනාධිපති වනවාට එරෙහිව දැඩි විරෝධයක් පවතී. එහෙත්, අග්නිදිග ආසියාවේ බොහෝ රටවල රාජ්‍ය නායිකාවන් ලෙස කාන්තාවන් කටයුතු කර තිබුනද, ඒ සමාජවල සිටින සාමාන්‍ය කාන්තාවන් වෙනත් රටවල කාන්තාවන් මෙන් නිවහල් තත්වයක පසු නොවේ.

උපත් පාලනය සහ ගබ්සාව හා අදාල කාන්තා ප්‍රජනක අයිතිවාසිකම් එක්සත් ජනපදය තුල ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබේ. විශේෂයෙන්ම, යොවුන් වියේ ගැබ්ගැනීම් තරුණ කාන්තාවන්ට බලපාන ප්‍රධාන උද්වේග සහගත තත්වයක් බවට පත් විය හැකිය. ඒ අතර, කාන්තාවන් වෙත “සහතික කරන ලද නිදහස”ක් අත් කර දෙමින්, ප්‍රංශයේ පාර්ලිමේන්තුව ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් ලෙස තහවුරු කළේය.

ස්ත්‍රී ජනනේන්ද්‍රිය ඡේදනය

කාන්තාවන්ට පමණක් සීමා නොවූවද, නව යොවුන් වියේ පටන් ඇරඹෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන උද්වේගකර කාරණයක් බවට පත්ව ඇත. පරිභව කිරීම් සහ ප්‍රචණ්ඩත්වය ආවේගාත්මක හා මානසික අවභාවිතාවේ සිට ලිංගික හා ශාරීරික හිංසනය දක්වා වන විවිධ ස්වරූපයන් උසුලයි. ඕස්ට්‍රේලියාවේ, එය බරපතල හා වර්ධනය වන ගැටලුවකි.

ගෝලීය පරිමාණයෙන් ගත් විට, ස්ත්‍රී ජනනේන්ද්‍රිය ඡේදනය බොහෝ කාන්තාවන්ගේ සැලකිල්ලට ලක් වන කරුණක් බවට පත් වී තිබේ. ජනනේන්ද්‍රිය ඡේදනය භාවිතා කිරීම මානව හිමිකම් කඩ කිරීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළි ගෙන ඇත.

ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න

ශ්‍රී ලංකාවේ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් 2023 ජාත්‍යන්තර කාන්තා දිනයේදී, හැම අංශයකම කාන්තාවන් වෙත සමාන අයිතිවාසිකම් සහ අවස්ථා දිරිමත් කිරීම අරමුණු කරගත් අපේක්ෂා සහගත “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” එළිදක්වන ලදී. මේ උතුම් අභිප්‍රායයන් තිබුනේ වුවද, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ තරාතිරම සම්බන්ධයෙන් දැනෙන ආකාරයේ වැඩි දියුණු කිරීම් සිදු වී තිබේදැයි යන්න අපැහැදිලිව පවතී.

ගුරු වෘත්තිය සහ සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍ර කිහිපයක හැරුණු විට ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවෝ වැඩි වශයෙන් සේවය කරන්නේ අඩු නිපුණතාවෙන් යුත් සේවා අංශවල ය. සාධාරණ සේවා කොන්දේසි පිරිනමන රැකියා අවස්ථා පිළිබඳ දැනුවත්බව හිඟ වීම ද ඇතුළුව විවිධ සාධක හේතුවෙන් ඉහළ නිපුණතා සහිත අංශවල කාන්තා නියෝජනය සීමිතව පවතී. නව ලිබරල් ආර්ථික ආකෘති ව්‍යාප්ත වීම හේතුවෙන් කාන්තාවන් ප්‍රධාන වශයෙන් අවිධිමත් රැකියාවලට, එනම්, ස්ථිරබව සහ යහපත් වැටුප් නොමැති රැකියා වලට යොමු කර ඇත.

විනීත අන්දමේ වැඩ සහතික කිරීමේ දී මුහුණ දෙන අභියෝග

ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම කොළඹ වැනි ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවලින් පිටතට වන්නට යහපත් වැටුප් සහ සේවා කොන්දේසි සපයන විධිමත් රැකියා අවස්ථා දුර්ලභ ය. උපස්ථාන වගකීම් හා මාතෘ නිවාඩු හා අදාලව බරක් දරන්නට සිදුවේ යයි කල්පනා කිරීම නිසා සේවා යෝජකයෝ බොහෝ විට කාන්තාවන්ට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නට අකමැති වීම හේතුවෙන් සේවාවන්ට බඳවා ගැනීම් කරන ආයතනයන් තුළ ලිංගික පදනම මත කෙරෙන අගතීන් දිගටම පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රම බලකාය තුළ ඔවුන්ගේ සීමිත සහභාගීත්වය තවත් උග්‍ර බවට පත් කරමින් කාන්තාවෝ වෘත්තීය දියුණුව සහ උසස්වීම් වලදී බාධකවලට මුහුණ දෙති.

එපමණක් නොව, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම තීරණ ගැනීමේ භූමිකාවන් තුල කාන්තා නියෝජනය හිඟකම කාන්තාවන්ට යහපත් රැකියා අවස්ථා ලබා ගැනීමට ඇති ඉඩකඩ වෙත බාධා පමුණුවයි. අධ්‍යාපන මට්ටම් සහ ඉංග්‍රීසි ප්‍රවීණතාවය වැනි සාධක රැකියා අපේක්ෂාවන් සම්බන්ධයෙන්  බලපෑම් කරන නමුත් විධිමත් රැකියාවක නියැලෙන්නට ඇති හැකියාව කෙරෙහි බලපෑම් ඇති කරවමින් වැටුප් නොගෙවන ගෘහස්ථ සේවයේ සහ ළමයින් රැක බලා ගැනීමේ බර ප්‍රධාන වශයෙන් කාන්තාවන් මත පැටවෙයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්  මුහුණ දෙන අභියෝග

දුර්වල කළමනාකරණය, අඩු ඵලදායිතාව, සීමිත ආයෝජන, නවෝත්පාදන නොමැතිකම සහ අගය එකතු කිරීමෙන් නිෂ්පාදනය විවිධාංගීකරණය කිරීම වැනි ගැටළු හා සමඟ බොහෝ විට පොර බදන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට මෙහෙයවනු ලැබේ. අවිධිමත් අංශයේ රැකියා වඩා යහපත් අවස්ථාවන් බවට පරිවර්තනය කිරීමේ දී, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල, ළමයින් රැක බලා ගන්නා දරා ගත හැකි අන්දමේ සේවාවන් නොමැතිකම හේතුවෙන් උග්‍ර බවට පත්ව තිබෙන සැලකිය යුතු අභියෝගයක් එල්ල කරයි.

ළමයින් රැක බලා ගැනීමේ වියදම් සඳහා සහනාධාර ලබා දෙන ඕස්ට්‍රේලියාව වැනි රටවල් මෙන් නොව, ළමයින් රැක බලා ගැනීමේ සේවාවන් වෙත ප්‍රවේශ වන්නට ඇති හැකියාව සහ ඒවායේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්නට දරන උත්සාහයන් වෙත බාධා පමුණුවමින්, ශ්‍රී ලංකාව සිය පාලන ව්‍යුහය තුළ පැතිර පවතින දූෂණය හා අකාර්යක්ෂමතාවය සමඟ අරගලයක යෙදේ. මුල් ළමා අවධියේ සිදු කරන සංවර්ධනය දිරිමත් කිරීම අරමුණු කරගත් ස්ථාවර ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම ඉදිරි පරම්පරාවන් වෙත දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නේය.

පීතෘමූලිකත්වය සහ සමාජ ගැටුම් ආමන්ත්‍රණය කිරීම

දේශපාලනයේ සහ පාලනයේ කැපී පෙනෙන කාන්තා නායකත්ව චරිත තිබුනේ වුවද, ලොව පුරා බොහෝ සමාජයන් මෙන් ශ්‍රී ලංකාව ද, මුල් බැසගත් පීතෘමූලික සම්මතයන් සමඟ පොර බදමින් සිටියි. කාන්තාවන්ට එරෙහිව පවතින ක්‍රමය හා බද්ධව පවතින අගතිගාමිත්වයන් ජය ගැනීමට නම්, බෙදා හදා ගෙන  මාපිය කටයුතු හා උපස්ථාන කිරීමේ කටයුතු වල නියැලීමේ මෙහෙවර දිසාවට සමාජ අවබෝධයන් සහ වගකීම් වෙනස් කර ලීම සඳහා සාමූහික උත්සාහයක් දැරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්වල කල්පවත්නා උරුමය විසින් කාන්තාවන්, විශේෂයෙන්ම, ආර්ථික දුෂ්කරතා විඳ දරා ගන්නා සහ සූරාකෑමට හා අපයෝජනයන්ට ලක් වෙන වැන්දඹුවන් තවදුරටත් කොන් කර දමා තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ලීම ආමන්ත්‍රනය කරන්නටත්, ඔවුන් දරන සමාජ හා ආර්ථික බර පහත හෙලන්නටත් දරන ප්‍රයත්නයන් ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යුද සමාජයන් තුල සාමයේ සහ සංහිඳියාවේ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා ඉතා වැදගත් වේ.

දරිද්‍රතාවය සහ සූරාකෑමට එරෙහිව පොර වැදීම

ග්‍රාමීය දරිද්‍රතාවය විසින් උත්සන්න කර තිබෙන ආර්ථික බලාපොරොත්තු විරහිත බව හේතුවෙන්, ශ්‍රී ලාංකීය කාන්තාවන් බොහෝ දෙනා සූරාකෑමට සහ අපයෝජනයට බඳුන් කරමින් අවිධිමත් රැකියා අංශ වෙත තල්ලු කර දමති. ණය සහ අවදානමට ලක් වීමට පවතින හැකියාව ස්ථීර තත්වයට පත් කරවන, නියාමනය නොකළ ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රම විසින් අවදානමට ලක්විය හැකි කාන්තාවන් ඉලක්ක කර ගනු ලැබේ.

විශේෂයෙන් අර්බුදකාරී වකවානුවලදී, අධ්‍යාපන සහ රැකියා ලබා ගැනීමට ඇති අවස්ථා අඩු වී යෑම හේතුවෙන් දිළිඳුකම හා අසමානතාවය ස්ථිර බවට පත් කරන්නට මඟ පාදන්නේය යන නග්න යථාර්ථයට ජාතිය මුහුණ දිය යුතු වන්නේය. සාධාරණ හා සමානාත්මවාදී සමාජයක් පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ සවිබල ගැන්වීම කෙරෙහි ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ.

අවසාන වශයෙන්, ස්ත්‍රී පුරුෂ සහ ආර්ථික අසමානතාවයට එරෙහිව සටන් කිරීමෙන් කාන්තාවන් අද මුහුණ දෙන අභියෝගාත්මක ප්‍රශ්නය ආමන්ත්‍රණය කළ හැකිය.

මෙය ප්‍රධාන වශයෙන් සාක්ෂාත් කර ගත හැක්කේ ගැහැණු ළමයින්ට අධ්‍යාපනයට ප්‍රවේශ වන්නට ඇති අයිතිය සහතික කිරීම, දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වය ළඟා කර ගැනීම සඳහා කාන්තාවන්ට වේදිකා සහ දිරිගැන්වීම් සපයා දීම, ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කර ඒවා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමෙන් එම හිංසනය අවසන් කිරීම සඳහා බලපෑම් කිරීම, කාන්තාවන්ට සුදුසු සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සහතික කිරීම යනාදිය ක්‍රියාත්මක කිරීම මඟිනි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දී සිටින බහුවිධ අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ආර්ථික සවිබල ගැන්වීම් සඳහා කරන මුල පිරීම්, පීතෘමූලික ව්‍යුහයන් බිඳ දැමීම සඳහා අවශ්‍ය සමාජ පරිවර්තන ඉටු කර ගන්නට දරන ප්‍රයත්න සහ සියල්ල ඇතුළත් කර ගන්නා (inclusive) සංවර්ධනය දිරිමත් කිරීම යනාදිය ආවරනය කරන්නා වූ පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අත් කර ගන්නටත්, සමාජයේ හැම අංශයකම උසස් අන්දමින් කටයුතු කිරීම සඳහා කාන්තාවන් සවිබල ගන්වන්නටත් සැබවින්ම අපට හැකි වන්නේ අපේ සාමූහික ක්‍රියාකාරිත්වය හා නොසැලෙන කැපවීම තුළින් පමණකි.

2024 මාර්තු 8 වන දා

Archive

Latest news

Related news