Thursday, May 2, 2024

ජනාධිපති ලේකම්ගේ නීතිඥයා දේශපාලන ගෝටාගේ පළිගැනීම් කොමිසමේ සාමාජිකයින්ගේ නීතිඥභාවය අහෝසි කරන සේ ඉල්ලයි!

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව දෙන ලද තීරණ ගණනාවකට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු විභාගය අද දිනයේ දීත් පැවැත්වුනි.

අද දින සළකා බැලුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමය.

ඊට අමතරව පද්මිණී එම් රණවක විනිසුරුවරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, හිටපු නාවික හමුදාපති ටැවිස් සින්නයියා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අද්මිරාල් තුසිත් වීරසේකර, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ආනන්ද විජේපාල යන අයද  මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබේ.

පද්මිණී එම් රණවක විනිසුරුවරියගේ පෙත්සම පෙරේදා සළකා බලන ලදී.

අද දින ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පෙත්සම වෙනුවෙන් කරුණූ දක්වන ලද්දේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමය.

එහිදී සිය අදහස් දැක් වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ සිය සේවාදායකයාට විරුද්ධව  පැමිණිල්ල විභාග කරන ලද්දේ ඔහුට නොදන්වා බවය. සමුපාකාරයක කටයුතු සම්බන්ධයෙන් කැරෙන පැමිණිල්ලකදී වුවද  දෙපාර්ශයම කැඳවා කරුණූ කාරණ විමසන නමුත් සිය සේවා දායකයා නොකැඳවා ඔහුට විරුද්ධන තීරණයක් දීම ස්වභාවික යුක්ති ධර්මයට සහමුළින්ම පැටහැනි බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම කොමිසම පිහිටවනු ලැබූයේ දේශපාලන හේතූන් උඩ බවත් එවකට බලයේ සිටි රජයට පක්ෂව තීන්දු දීම වෙනුවෙන් එහි සභාපති වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන  උපාලි අබේරත්නට පළමුවෙන් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සහ දෙවනුව තොරතුරු කොමිසමේ ද සභාපති තනතුරු ජනාධිපති වරයා විසින් ලබා දෙන ලද බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එපරිද්දෙන්ම එහි තවත් සමාජිකයකු වූ  හිටපු පොලිස්පති වරයකු වන වන්ද්‍රා ප්‍රනන්දුට පොලිස් කොමිසමේ සභාපති තනතුර පිරිනමන ලද බවත් නීතිඥවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා වූ කොමිසමේ සභාපති ලෙස   හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන  උපාලි අබේරත්න ක්‍රියාකල ආකාරය විමසන විට ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දැයි සැක සිතෙන තරම් බව නීතිඥවරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් සිය අදහස් දැක්වීම අවසානයේ දී ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ඉදිරියටත් මෙවැනි අනීතික සහ ස්වභාවික යුක්ති ධර්මයට අනුකූළ නොවන තීරණ ගැනීම වැළැක්වීම පිනිස එම කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේම නීතිඥ තනතුර අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සේ.පියවර්ධන

Archive

Latest news

Related news