Thursday, May 2, 2024

නාරම්මල පොලිස් වෙඩි තැබීම: දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක් වන්දි ඉල්ලයි

සිද්ධියට අදාළ නඩුව (පෙබරවාරි 02වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිව්වැනි දිනට කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර, නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තිදරු මවක් බවය.

මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන්ය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්, වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා යළි රිමාන්ඩ්

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව අද (පෙබරවාරි 16 වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලාල් කුමාරපේළි, නීතිඥ එස්. කොටගොඩහෙට්ටි, ලක්දිනු දීරසේකර, නිවිණි පතිරාජ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

විත්ති පාර්ශවය වෙනුවෙන් දහම් රාජපක්ෂ, සුසන්ති වීරසේකර, රජවි විජේරත්න යන නීතිඥවරු පෙනී සිටියහ.

අද දින පෙරවරු 9.50ට පමණ අධිකරණ කටයුතු ආරම්භ කළ අතර පෙරවරු දහයට පමණ මෙම නඩුවේ මූලික සාක්ෂි විමසීම් ආරම්භ කළ අතර දහවල් දොළහ පමණ වන තෙක් සාක්ෂි ගොනු කිරීම සිදුවිය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කුලියාපිටිය අපරාධ විමර්ශන ඒකකය මගින් ක්‍රියාත්මක කරන අතර එම නිලධාරීන් විසින් අද (පෙබරවාරි 16 වැනිදා) දිනයේදී අධිකරණය වෙත නඩු භාණ්ඩ භාර දෙන ලදි. ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා භාවිතා කළ ගිනි අවිය, එහි පතුරන් කොපුව, මරණකරු ඇඳ සිටි ඇඳුම්, පොලිස් නිලධාරියා ඇඳ සිටි ඇඳුම්, ගිනි අවිය බහාලන ඇසුරුම ආදී භාණ්ඩ අද දින නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

මෙහිදී අධිකරණය වෙත ඉදිරිපත් කළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කරන බව කුලියාපිටිය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විමසා සිටියේ යතුරුපැදියේ ගමන් ගත් අනිත් පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගැනීමක් නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවය.

මේ අතර මරණකරුගේ ලොරි රථයේ තිබූ, වඩු මැෂිම සහ වඩු වැඩ සදහා භාවිතා කරන උපකරණ, ජංගම දුරකථනය, බැඳුම්කර රහිතව මරණකරුගේ බිරිඳ වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා ගැන සෙව්වේ කවුද?

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පළමු වරට සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී (පෙබරවාරි 2 වැනිදා) අනාවරණය විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යම් සංවිධානයකින් යැයි පවසා වඩු කාර්මික ශිල්පියා ඝාතනය වූ ස්ථානයේ පිහිටි එළවළු වෙළඳ සැලෙහි සේවකයින්හට (පෙබරවාරි 01 වැනිදා) පවසා ඇත්තේ මෙම සිද්ධියෙහි වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ හෙළි කරන්නේ නම් මුදල් ත්‍යාගයක් දෙන බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද දෙවැනි දිනටත් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දෙමින් එළවළු වෙළෙඳසැලේ සේවකයින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.

ඔහු නැවත පැමිණෙන බව ප්‍රකාශ කර පිටව ගිය බව ද සාක්ෂි කරුවෙකු සඳහන් කළේය.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයක් කරන බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන මුළින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (පෙබරවාරි 2 වැනිදා) අනාවරණය විය.

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව හෙළිවෙයි

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය (පෙබරවාරි 02වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම වරද සම්බන්ධයෙන් අධිකරණය සැකකාර පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ්

සිද්ධියට අදාළ නඩුව (පෙබරවාරි 02වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිව්වැනි දිනට කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට (පෙබරවාරි 02වැනිදා) ඉදිරිපත් කරනු ලැබීය.

සාක්ෂි විමසීම පෙරවරු 10ට පමණ ආරම්භ වූ අතර අධිකරණ කටයුතු ආරම්භ වී පස්වරු 12.30 පමණ වනතුරු පළමු නඩුව ලෙස මෙය විභාගයට ගැනිණි. එහිදී වින්දිත පාර්ශවය නියෝජනය කරමින් තිදෙනක් සාක්ෂි ලබා දුන්හ.

සාක්ෂි ලබා දුන්නේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ එළවළු වෙළෙඳසැලේ හිමිකරු සහ සේවකයින් දෙදෙනෙකි.

යතුරු පැදියේ පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම්

වින්දිත පාර්ශවය වෙනුවෙන් එස්. කොටගොඩහෙට්ටි , ජයතිලක තෙන්නකොන් ඇතුළු නීතිඥවරුන් තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නීතිඥවරුන් විමසා සිටියේ, යතුරු පැදියේ පසු පස ගමන් ගත් දෙවැනි පොලිස් නිලධාරියා සැකකරුවෙකු වශයෙන් තවමත් අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න පිළිබඳවය.

ඔහුත් මෙම මරණයට සම්බන්ධ වූ පුද්ගලයෙකු නිසා ඔහුද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතිඥවරුන් අවධාරණය කළේය.

සාක්ෂි වලින් හෙළි වූ කරුණූ අනුව මරණයට පත්වූ පුද්ගලයාට මුලින්ම අසභ්‍ය වචනයෙන් බැන වැදි කමිස කොලරයෙන් අල්ලා අත්තේ මෙම දෙවැනි පොලිස් නිලධාරියා ය.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහු පිළිබඳ වෙනම විමර්ශනයක් සිදුවන බවත් දැනට ඔහුව අත්තඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත් ය.

වැඩිදුර විමර්ශනය කර මීට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් අත්ඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරිය පොලිසියට දැනුම් දුන්නාය.

දෙවැනි පොලිස් නිලධරියාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීම අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

නඩුව ලබන 16 වැනිදා දක්වා කල් තැබූ නාරම්මල මහේස්ත්‍රාත්වරිය සැකකරු එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

මෙය ‘වෙඩි වැදීමකින් සිදුවු මරණයක් බවට’ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කරමින් අධිකරණය නිගමනය කළ බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කොටගොඩහෙට්ටි බීබීසී සිංහල වෙත පැවසීය.

(BBC Sinhala)

Archive

Latest news

Related news