කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.
අගතියට පත් එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ඊයේ (12) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් 8 වනදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි.
එහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සඳහන් කළේ අදාළ මරණය ගැන මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි.
ගිනි අවි රැගත් ජීප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ දී එම ජීප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ආදාළ මරණය සිදු වී තිබේ.
එම ජීප් රථය පැමිණීමෙන් පසු ව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා නොකරන්නැයි නියෝගයක් ඇති බවත් දැනුම් දුන්නේ යැයි මිය ගිය නිලධාරියා ඔහුගේ බිරිඳට පවසා ඇති බව නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.
එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇතැයි මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමුකර විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම සිද්ධිය මුල්කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට සහ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් අදාළ දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම පොලිස් නිලධාරියා රාජකාරී නිමකර විවේකය වාර්තා කර සිටිය දී දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බව පැවසුව ද මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානයට මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරය අනුවත් සැක මතු වන බවට ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.
විමර්ශනවල ප්‍රගතිය හා වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා නඩුව කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත
මේ අතර ලංඩනායේ සිට පවත්වා ගෙන යන “ලංකා දවස” නම් යූ ටියුබ් අඩවියක පළ කර ඇති වීඩියෝවක් මෙම මරණය සැක කළයුතු බවට සාක්ෂි ගණනාවක් ඉදිරිපත් කරයි. එම වීඩියෝවට අනුව මෙම ආයුධ සහිත සුඛෝපබෝගී රථයේ ගමන් කරන ලද්දේ පොලිස් ප්‍රධානීන්ට සම්බන්ධ මත් ජාවාරම් කාරියකි.
වෙඩි තබාගත් බව පොලිසිය කීවද ඔහු දණ ගස්වා ඔහුගේම පිස්තෝලයෙන් වෙඩි තබා ඇති බව එම විඩියෝව සදහන් කරයි. මෙම යූටිබ් අඩවිය පවත්වා ගෙන යන්නේ මෙරට පොලිසියෙහි හිටපු පොලිස් පරීක්ෂකවරයෙකි.
අරුණ පුවත්පත මෙම මරණය සම්බන්ධයෙන් මෙසේ සදහන් කර තිබුණි.
එම පුවත්පතේ පලවූ වැදගත්කරුණු කිහිපයක් පහත පරිදිය.
1. මෙම මරණයට මූලික වූ වාහනය පැදවූ කාන්තාවගේ නම හිරුණි බව
2. ගනේමුල්ල සංජීව කොටුකර ඔහුට වැඩේ සෙට් කළේ තමන් යයි ඇය පොලිස් මුරපොලේදී කටමැත දෙඩවූ බව
3. අදාළ කාන්තාව රථය පරීක්ෂා කිරීමට ඉඩනොදී දේශපාලනඥයකුට කථා කළ බව
4. ඉන් මද වේලාවකට පසු අධිවේගී සංචාරක කොට්ඨාසයේ උසස්ම පොලිස් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පැමිණි බව
කරුණු එසේ නම් අදාල කාන්තාවගේ නම හිරුනි නොව හරිනි විජේතුංග ලෙස නිවරදි විය යුතුය.