Thursday, May 2, 2024

ලංකාව පොලිස් රාජ්‍යයක් නොවේ: මානව හිමිකම් කොමිසම සහ නීතිඥ සංගමය දේශබන්දු -අලස්  (අ) යුක්තිය මෙහෙයුම පතුරු ගසයි!

සුනන්ද දේශප්‍රිය.

ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් දියත් කර ඇති “යුක්ති” මෙහෙයුම  සම්බන්ධයෙන් මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

මෙයට සතියකට පමණ පෙර නිකුත් කළ එම  ප්‍රකාශය  මගින්  ජනාධිපති, මහජන ආරක්‍ෂාව පිළිබඳ  ඇමති සහ ශ්‍රී ලංකා රජයෙන්  නීතිය ක්‍රියාත්මක කරන ආයතන අර්ථවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නීතියේ ආධිපත්‍යය පවත්වා ගනිමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා තිබේ. එමෙන්ම   මහජන ආරක්ෂාව සහතික වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රවේශය එනම් අනීතික ක්‍රියාදාමයක් බවට පත්ව ඇති “යුක්තිය මෙහෙයුම” කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිට තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම “යුක්තිය මෙහෙයුම” අනීතික ක්‍රියාදාමයක් බවට පත්ව ඇති බව සඳහන් කර තිබුණි. එහි සභාපති කියා සිටියේ ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් නොවන බැවින් පොලිස් අභිමතය පරිදි අත්අඩංඟුවට ගැනීමට, ගොඩනැගිලි අල්ලා ගැනීමට නීතියෙන් ඉඩක් නැති බවයි.

ලංකාව පොලිස් රාජයයක් නොවේ

“යුක්තිය” ක්‍රියා නීති විරෝධියි

නීතිඥ සංගමය තවදුරටත් කියා සිටියේ වලංගු සෝදිසි වරෙන්තු සහ/හෝ වලංගු සෝදිසි නියෝග නොමැතිව සිදු කරන ලද දේපල කඩා දැමීම ඇතුළු පොලිස් වැටලීම්, ස්ථාපිත නෛතික ප්‍රොටෝකෝල අමු අමුවේ උල්ලංඝනය කරමින්, ඒවා නීති විරෝධී බවට පත් කරන බවත් එවැනි ක්‍රියාවන් යුක්තිය පිළිබඳ මූලික මූලධර්මවලට හානි කරනවා පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අඛණ්ඩතාව පිළිබඳ මහජන විශ්වාසය ද පලුදු කරන බවත්ය.

එනමුත් මේ වන තෙක් රනිල් රාජපක්ෂ හෝ ටිරන් අලස් හෝ මෙම ප්‍රකාශයන් දෙකම පිළිබඳ කිසිදු සැළකිල්ලක් දක්වා නැත.

ටිරන් අලස්ගේ පොලිසි අමත්‍යාංශයට අනුව  මෙම මෙහෙයුම යටතේ සැකකරුවන් 20,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සමහර සැකකරුවන් රඳවා ඇත්තේ තවදුරටත් පාවිච්චි නොකරන බවට රජය නැවත නැවත පොරොන්දු වූ ත්‍රස්ත පනත යටතේය.

මෙම මෙහෙයුමේ ප්‍රකාශිත පරමාර්ථය වන්නේ මත් ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරිඔ බව දක්වන මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ භයානක මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම වැදගත් අරමුණක් බව මානව හිමිකම් කොමිසම   පිළිගනී.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම නිසා පුරවැසියන්  මුහුණ දුන් වධහිංසා පැමිණ වීම, කුරිරු, අමානුෂික හෝ දුෂ්ට සැලකිලි සම්බන්ධයෙන්  පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව කොමිසම ප්‍රකාශ කරයි.   එමෙන්ම කොමිසම දක්වන්නේ එම මෙහෙයුමට සම්බන්ධ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.

යුක්තිය අයුක්තිය වීම

“යුක්තිය” අයුක්තියක් වෙලා

මෙහෙයුම ක්‍රියාත්මක වන අන්දම නිසා පුළුල් අසාධාරණයන්  වාර්තා වන බැවින් එහි නාමය වන ‘යුක්තිය’  එහි විරුද්ධාර්ථය බවට පැමිණේ යැයි ද එම ප්‍රකාශය සඳහන් කරයි.

පොලීසිය විසින්  කරනු ලබන සෝදිසි මෙහෙයුම් වලදී  පුළුල් ලෙස සිදු කරන කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම් පිළිබඳ ලැබෙන පැමිණිලි දි සිය  කණස්සල්ලට හේතු වි ඇතැයි එම ප්‍රකාශය සඳහන් කරයි.

“එවැනි වධහිංසාවලින් ආරක්ෂා වීමේ අයිතිය නිරපේක්ෂය. අතර කිසිදු තත්වයක් යටතේ එයට සීමා නොවිය හැකිය. අපරාධ විමර්ශනය කිරීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වගකිව යුතු පොලිස් නිලධාරීන්, සෑම විටම, මෙම අයිතියට ගරු කළ යුතු අතර එමඟින් සැකකරුවන්ට ගෞරවයෙන් සැලකිය යුතුය” යැයි මානව හිමිකම් කොමිසම දේශබන්දු-ටිරන් අලස් දෙබානට මතක් කර දී තිබේ.

කොමිසම එබැවින් මූලික අයිතින් කෙළෙසීම පිළිබඳ වාර්තා පිළිබඳ සොයා බැලීමට පියවර ගනිමින් සිටින බවත් 2023 දී වධහිංසා පැමිණවීම් පිළිබඳ පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් කොමිෂන් සභාවට ලැබී ඇති සන්දර්භයක් තුළ මෙම වාර්තා විශේෂයෙන් දරුණු බවත් සඳහන් කරයි.

ධක දේශබන්දුට විරුද්ධ පියවර කෝ?

මානව හිමිකම් කොමාසමේ ප්‍රකාශයෙහි දේශබන්දු වධකයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමද මෙසේ සඳහන්  වේ.

“මීට අමතරව,  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී වධහිංසාවලට වගකිව යුත්තේ සහ වින්දිතයින්ට වන්දි ගෙවීමට නියෝග කිරීම සඳහා නියෝග කර තිබියදීත් එවැනි වධහිංසා පැමිණීම්වලට වගකිව යුතු පිරිස්  තවදුරටවත් සිය ධුරයන්හි දිගටම කටයුතු කර ගෙන යයි.”

2023 දෙසැම්බර් 21 වන දින කොමිසම නීතිපතිවරයාට මෙම නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලෙස  දිරි ගන්වමින් ලිපියක් යවන ලදී.

2023 දෙසැම්බර් 28 දිනැති කොමිසමට ප්‍රතිචාර දක්වමින් නීතිපති ‘වධහිංසා පැමිණවීමේ ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති  නියෝග අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බව’ කොමිසමට සහතික වී තිබේ.

ඉන් දෙසතියක් ගත වී ඇතත් වධක දේශබන්දුට විරුද්ධව කිසිදු පියවරක් තවම ගෙන නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1), (2), (3) සහ (5) වගන්තිවලින් සෑම පුද්ගලයෙකුටම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් නිදහස. සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය, සහ වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී යැයි උපකල්පනය කිරීමේ අයිතිය සහතික කරන බව කොමිසම නැවත අවධාරණය කරයි.

මෙම මූලික අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ පදනම වේ.

රට පුරාම අයිතීන් කෙළසනවා

අධික හදිසියකින් මෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, පෞද්ගලික දේපළ අත්පත් කර ගැනීම සහ විනාශ කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් පුද්ගලයන් සහ පරිශ්‍රයන් බලහත්කාරයෙන් සෝදිසි කිරීම මගින් රට පුරා මෙම මූලික අයිතිවාසිකම් ක්‍රමානුකූලව උල්ලංඝනය කිරීමේ අවදානමක් ඇතැයි  මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

පුද්ගලික නිවාස ඇතුළත පෙන්වන මාධ්‍යයත් නීතිවිරෝධියි

මීට අමතරව, පෞද්ගලික නිවාස සෝදිසි කිරීමේදී සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී මාධ්‍යවේදීන් පොලිසිය සමඟ පැමිණෙන බවටත්, එවැනි මෙහෙයුම්වල වීඩියෝ දර්ශන ජාතික මාධ්‍ය නාලිකාවල විකාශය වන බවටත් වාර්තා වන බවත් ප්‍රකාශය දක්වන්නේ එම පිළිවෙත දඩුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙමිනි.

එවැනි ක්‍රියාවන් පුද්ගලිකත්වය සඳහා ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව කොමිසම නිරීක්ෂණය කරන අතර, එම කාරණය සම්බන්ධයෙන් 2021 සැප්තැම්බර් 23 වැනි දින එවකට පොලිස්පති (IGP) වෙත යවන ලද උපදෙස් නැවත අවධාරණය කර තිබේ.

2022 පෙබරවාරි 14 වැනි දින එවකට පොලිස්පතිවරයා විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිසමේ උපදෙස් අනුව අනවසරයෙන් ඡායාරූප සහ දර්ශන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තහනම් කරමින් චක්‍රලේඛ අංක RTM-382 නිකුත් කළේය.

“එවැනි පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් කරනු ලබන අදාළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශන මත  නීතිමය ක්‍රියාමාර්ගවලට තුඩු දිය හැකිය” යැයි ප්‍රකාශය සඳහන් කරයි.

කොමිසම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ මෑතකාලීන අධ්‍යයනය සහ බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් එහි නිර්දේශ සිහිපත් කරමින් පෙන්වා දෙන්නේ

වෙන්නේ හිරගෙවල් පිරෙන එක

ඉහත කී ‘යුක්තිය’ මෙහෙයුම යටතේ අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් රැල්ල මෙම ගැටලුව තවත් උග්‍ර කරනු නොඅනුමානය.

යුක්තිය තහවුරු කිරීමට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමට ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රමානුකූලව අසමත් වීම හමුවේ, යුක්තිය ඇති කිරීමේ පරමාර්ථය ඇතිව කැරෙන ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නොගැලපෙන බව කොමිසම අවසාන වශයෙන් සඳහන් කරයි.

ප්‍රධාන ප්‍රශ්ණය දණ්ඩ මුක්තියයි!

එය මෙසේ ද කියයි:

“අද ශ්‍රී ලංකාවේ යුක්තිය සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගකීම් සහගත බව සොයා ගනු ලැබුවද, වධහිංසා පැමිණවීම්, අත්අඩංගුවෙහි දී සහ  ව්‍යාජ ගැටුම් වලින් මරණයට පත් කිරීම්, සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් වගවීමට හසු නොකරන දණ්ඩමුක්තියේ සංස්කෘතියයි.”

අද එලෙස දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින් යුක්තියේ නාමයෙන් රටම බිය වද්දන නිලධාරියා අනෙකෙකු නොව රනිල් රාජපක්ෂගේ වැඩබලන පොලිස්පති වධක දේශබන්දු තෙන්නකෝන්ය.

09.01.24

Archive

Latest news

Related news