2023 වසර තුළදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක ( රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කරනු ලැබ තිබේ.
ඒ, අනුව 2023 වසර සැලකෙන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා අගතියට පත්වූ වින්දිතයින් රැසකට යුක්තිය ඉටු වූ වසරක් ලෙසටය.
ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙන පරිදි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල් ප්‍රමාණය මෙය ලෙස සැලකෙයි.
මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20 කි.
ඉකුත් වසරේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් අතර හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ද සිටිති.
ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 ක් බව එම වාර්තා පිරික්සීමේදී පෙනී යයි.
පුද්ගලයින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, වධ හිංසාවට ලක් කිරීම, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස පරිහරණය කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් මෙම නිලධාරිහූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ වරදකරුවන් කරනු ලැබුහ.
ඉකුත් වසරේ වැඩිම වන්දි මුදලක් ගෙවීමට සිදු වූ පොලිස් නිලධාරීන් කවුද?
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 75 බැගින් සිය පෞද්ගලික මුදල් වලින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ජනවාරි මස නියෝග කර තිබුණි.
ඒ අනුව අදාල නිලධාරින් දෙදෙනාට ම ගෙවන ලෙස නියෝග කෙරුණු සම්පූර්ණ මුදල රුපියල් කෝටි 15 කි.
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නිලධාරීන් දෙදෙනා වරදකරුවන් කර තිබුණි.
ඉකුත් වසරේ පොලිස් නිලධාරියෙකුට නියම කෙරුණු වැඩිම වන්දි මුදල එය වශයෙන් සඳහන් කළ හැකිය.
එපමණක් නොව 1978 වසරේ සම්මත කෙරුණු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව එදා මෙදාතුර ඉතිහාසයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නියම කරන ලද වැඩිම වන්දි මුදල මෙය ලෙස සැලකෙයි.
ඊට අමතරව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද ඉකුත් වසරේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු බවට අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.
මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව පැවැති නඩු විභාගයකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට වැඩ තහනම් කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඊට එවකට පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න ඇතුළු වග උත්තරකරුවන් වගකිවයුතු බවත් ඔවුන් පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර සිටියේය.
ඒ වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියනයක වන්දියක් පෙත්සම්කාර පොලිස් පරීක්‍ෂකවරයාට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හිටපු පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් . තුරයි රාජා, “ධම්මේ භවේ රක්ඛති ධම්මචාරී” යන පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යුතු යැයි සඳහන් කළේය.
මෙම සිද්ධියේදී වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ “ස්වභාවික යුක්ති ධර්මය” උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට දැඩි දෝෂාරෝපන එල්ල කළ විනිසුරු තුරෙයිරාජා රාජ්‍ය සේවකයින්ට බියෙන් සැකයෙන් හා පක්ෂපාතී භාවයෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය බලධාරීන් විසින් නිර්මාණය නොකරන්නේ නම් ඒ තුළින් දූෂණය හා අකාර්යක්ෂමතාවයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය වීමට මග පෑදෙන බවටත් අනතුරු අඟවා සිටීම විශේෂත්වයකි.
ඊට අමතරව තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.එල්.ජනක ප්‍රිය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තංගල්ල පොලිස් කොට්ඨාසයට මාරු කර හැරීම තුළින් එවකට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින්, එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසරේ තීන්දු කර තිබුණි.
එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් වසරේ වරදකරු කෙරුණු දෙවන අවස්ථාව බවට පත්විය.
වැඩ බලන පොලිස්පතිටත් වන්දි ගෙවන්නැයි නියෝග
2010 වසරේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ හිංසනයට භාජනය කිරීම තුළින් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දෙසැම්බර් මාසයේදී තීන්දු කළේය.
එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන හදිසි විමර්ශන ඒකකයේ එවකට ස්ථානාධිපති භාතිය ජයසිංහ සහ පොලිස් නිලධාරී බණ්ඩාර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ කනස්සල්ල
කෲර වධ හිංසා සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් වලට එරෙහිව ඉකුත් කාලයේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව තීන්දු ගණනාවක් නිකුත් කර තිබුණත් එම ක්‍රියාවන් දිගින් දිගටම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම සිය කනස්සල්ල පළ කර තිබුණි.
පොලිසියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවක විභාගය අතරතුර විවෘත අධිකරණයේ කරුණු දැක්වූ විනිසුරු එස්. තුරෙයිරාජා මෙසේ පැවසීය.
“නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවස්ථාව ගණනාවක දීම විවිධ මාර්ගෝපදේශ නිකුත් කළා. නමුත් ඒවා පිළිපදින බවක් පෙනී යන්නේ නෑ. බිහිරන්ට වීණා වාදනය කළා මෙන් ඒවා සම්බන්ධයෙන් කිසිදු තැකීමක් දක්වන්නේ නෑ. මේවා හුදෙකලා සිද්ධි වශයෙන් සලකන්න බෑ.මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින ආයතනික කඩාවැටීමක දිගුවක් බව සඳහන් කළ යුතු යි,” යනුවෙන් විනිසුරු තුරෙයිරාජා සඳහන් කර සිටියේය.
තවත් නඩු විභාගයකදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලබන නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේ දී නීතිපතිවරයාට චෝදනා කර තිබුණි.
“මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද? ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් සෑහීමකට පත්වෙන්න බෑ. මීට පස්සේ වසර දෙකකට පමණ ඉහත දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කළ නිලධාරියකු උසස් වීම් ඉල්ලා යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබෙනවා. මේක හාස්‍යජනක තත්ත්වයක්. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රටේ උත්තරීතරම අධිකරණයෙන් වරදකරු කළ පුද්ගලයෙකු උසස් වීම් ඉල්ලා සිටින්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කළ විනිසුරු තුරෙයිරාජා මෙවැනි වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව අර්ථවත් පියවර ගත යුතු බවත් අවධාරණය කළේය.
මහජන විශ්වාසය පළුදු වීම
කෲර වධ හිංසා හා නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය කාලය පුරා තීන්දු ගණනාවක්ම නිකුත් කර තිබුණද එම තීන්දුවලට අනුකූලව පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් වසරේ පැවති නඩු විභාගයකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ ද චෝදනා කර සිටියේය.
“මෙරට පොලිස් දෙපාර්තමේන්තුව මුලින්ම ස්ථාපිත කළේ 1806 වසරේදීය.පොලිසිය මෙරට ස්ථාපිත වී ශත වර්ෂ දෙකකට අධික කාලයක් ගතවී තිබුණත් එහි නිලධාරීන්ගේ වෘත්තීයමයභාවය සාපේක්ෂව වර්ධනය වී තිබේද? යන ගැටළුව මතුවී තිබෙනවා. පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයින් විමර්ශනය සඳහා පිටතට රැගෙන යාමේදී මරණයට පත්වීමේ සිද්ධි දිගින් දිගටම වාර්තා වෙමින් පවතිනවා. එය යහපත් තත්ත්වයක් නොවේ. මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදුවුණොත් පොලිසිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය පලුදු වීමේ අනතුරක් තිබෙනවා. එය සමාජය තුළ නීතියේ ආධිපත්‍යයේ පැවැත්මට විශාල තර්ජනයක්.” යනුවෙන් විනිසුරු බුවනෙක අලුවිහාරේ සඳහන් කර තිබුණි.