Monday, December 9, 2024

අයි. එම්. එෆ්. ඇපය වෙනුවෙන්, බංකොළොත් ශ්‍රී ලංකාවේ දුගියා අඳුරේ

මාර්වන් මාකන් මාකර්.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරය කාෂ්ටක අව්වෙන් කරවෙද්දී, පරණ පුංචි නිවසක වෙසෙන තිස්පස් වියැති මවක් සිය අලුත උපන් බිළිඳා ඉස්තෝප්පුවට ගෙනැවිත් ගිනි රස්නෙන් ආරක්ෂා කරගැනීමට වෙහෙස වෙයි. බිම වාඩි වී දරුවා තුරුලු කරගෙන නළවන ඇගේ හිසට ඉහළින් විදුලි පංකාවක් හෙමිහිට කැරකෙයි.

කරුවල මකන වයර්

කෙසේ වෙතත්, විදුලි පංකාවෙන් හමන කුසීත මද පවන, තවත් හිසරදයක් නිරන්තරයෙන් සිහිගන්වයි. ඒ විදුලි පංකාව දුවන්නේ, අසළක ඇති විදුලි රැහැනකින් හොරෙන් ලබාගන්නා විදුලියෙනි. ඒ රහස හෙළි වුණොත් ඔවුන් ‘අමාරුවේ වැටෙනු’ ඇත. එසේ විදුලිය සොරකම් කිරීමට තමන් පෙළඹුණේ මීට මාස පහකට කලින් සිය නිවසේ විදුලිය විසන්ධි කරනු ලැබූ නිසා බව, තිදරු මවක් වන කෞෂල්‍යා කීවාය. හඳුනා ගැනෙතැයි බියෙන් ඈ සිය මුල් නමෙන් පමණක් තමාව හඳුන්වා දුනි.

“ගිය අවුරුද්දෙ ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කළාට පස්සෙ අපේ ලයිට් බිල වැඩි වුණා. ඊට පස්සෙ කළුවරේ පවා ඉඳලා අපි කරන්ට් එක ඉතුරු කරගත්තා.” ඈ සිහිපත් කළාය. “අන්තිමට, එහෙම කරලත් හරිගියේ නැහැ.”

2022 අගෝස්තු මාසයේ පටන් තුන් වරක් ඉහළ දැමූ විදුලි බිල ගෙවාගත නොහැකිව ඈ වින්ද ගැහැට, තවත් එවැනි බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දුක කියාපාන්නකි. ඔක්තෝබර් මාසය වන විට, විදුලි බිල් නොගෙවීම නිසා, නිවාස 500,000 ක විදුලිය විසන්ධි කර ඇති බව, ලංකා විදුලිබල මණ්ඩලය ගිය මාසයේ මාධ්‍යයට කියා තිබුණි.

ඒ ඝනාන්ධකාරය, බංකොළොත් ශ්‍රී ලංකාවේ වර්තමානයයි

කෞෂල්‍යාගේ නිවස වැනි වටාපිටාවට සෑම රෑකම කඩාවැටෙන ඝනාන්ධකාරය, බංකොළොත් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබිඹු කරයි. ඒ වනාහී, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ ආණ්ඩුව ලබාගත යුතුව ඇති ඩොලර් බිලියන 3 ක් වෙනුවෙන්, රටේ වෙසෙන දරිද්‍රතාවෙන් පෙළෙන දස ලක්ෂ ගණන් ජනතාවක් විසින් කරගැසිය යුතු මිලකි. පසුගිය මාර්තුවේ මෙකී මූල්‍ය පහසුකම ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ ලබාගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව ඒ වසරේ අගෝස්තු මාසයේත්, ඉන්පසු මේ වසරේ පෙබරවාරි මාසයේත්, විදුලි බිල ඉහළ දැම්මේය. එතැනින් නොනැවතුණු, පාඩු ලබන විදුලිබල මණ්ඩලය ගිය මාසයේ නැවත වරක් සියයට 18-20 අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහළ දැම්මේය.

අඳුරෙන් ගැළවීමට බොහෝ පවුල්වලට හැකි වුණේ, ගිනි පොලීකාරයන්ගේ සියයට 10 පොලියට ණයකරුවන් වීමෙනි. ඒත් තවත් බොහෝ පවුල් එසේ කිරීමට පවා හැකියාවක් නැතිව අඳුරේම දිවි ගෙවති. “දැන් අපිට ලයිටුත් නැහැ, ගත්ත ණය ගෙවන්න සල්ලිත් නැහැ.” සිව් දරු මවක් වන 48 හැවිරිදි ඈන් කීවාය.

බංකොලොත් වුණේ එක හේතුවක් නිසා නොවේ

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ වෙත මෙතරම් පරායත්ත වීමට ලංකාවට සිදු වුණේ, 2022 සිදු වූ ආර්ථික කඩාවැටීමත්, ජාත්‍යන්තර ණය ගෙවාගැනීමට නොහැකි වීමත් නිසා ය. එසේ වුණේ, වැරදි පාලනය, දූෂණය සහ අන්ත-ජාතිකවාදය වැනි කරුණු හේතුවෙනි. ඊට අමතරව, කෝවිඩ් උපද්‍රවයත් ඒ පිටට ආවේය. ලංකාවට සිදු වූ මේ විපත තමන්ටත් දවසක අත්වෙතැයි බියෙන්, ඊනියා ‘දකුණු ගෝලීය’ කලාපයේ ආසියානු සහ අප්‍රිකානු වෙනත් රටවල්ද භීතියෙන් සොලවාලීය.

මූල්‍ය අරමුදලේ කර්කශ පියවර

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ පිළිබඳ විවේචකයන්, තෙවරක් විදුලි බිල වැඩි වීම දකින්නේ, මිලියන 22 ක ජනගහනයක් ඇති ලංකාවේ දුප්පත්ම ස්ථරය වන මිලියන 5.8 ක ප්‍රමාණයක කුටුම්බ මත රජය විසින් වැඩිම බරක් පැටවීමේ නිදර්ශනයක් වශයෙනි. “සහනාධාර කපාහරින ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ කර්කශ පියවර විසින් බලශක්ති මිල වෙළෙඳපොළ ඉහළ නංවයි” යනුවෙන්, ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන අර්ථශාස්ත්‍රඥයෙකු වන අහිලන් කදිරගාමර් කියයි. “දැනටමත් ගැහැටට පත්ව සිටින පවුල්වලට තව තවත් කර්කශ තත්වයන්ට මුහුණදීමට සිදු වී ඇතැ” යි ඔහු තවදුරටත් කියයි.

1948 නිදහස ලබාගැනීමේ පටන් රටක් වශයෙන් ලංකාව මුහුණදුන් උග්‍රතම ආර්ථික අර්බුදයේ බලපෑම විමර්ශනයට ලක්කරන වාර්තාවන්හි, විදුලිය නැතිව රටේ ජීවත් වන පවුල් සංඛ්‍යාව දිනපතා වැඩි වෙමින් තිබෙන බව පෙන්වා දෙයි. “2022 අගෝස්තු මාසයේ සියයට 75 කින් විදුලි බිල වැඩි කිරීමෙන් අනතුරුව නැවතත් 2023 පෙබරවාරි මාසයේදී සියයට 66 කින් එය වැඩි වීම, අඩු ආදායම් ලබන සෑම නිවෙසකටම ඉතා දරුණු ලෙස බලපෑ දැඩි කම්පනයක් වූ” බව, ගවේෂණ සහ ප්‍රජා සහභාගීත්ව ස්වාධීන සංවිධානයක් වන ‘කලම්බු අර්බන් ලැබ්’ නමැති ආයතනය මගින් සම්පාදනය කළ, කම්කරු පංතික දිළින්දන් පිළිබඳ එක් වාර්තාවක සටහන් වෙයි. “

පසුගිය මාස කිහිපය තුළ, විදුලිය විසන්ධි කරන බවට අනතුරු අඟවා නිවෙස්වලට යවන ලද අවසාන නිවේදනවල වැඩි වීමක් මෙන්ම, රටේ විවිධ තැන්වල ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවල අලවා ඇති එවැනි අනතුරු ඇඟවීම් පිළිබඳ පත්‍රිකා රාශියක්ද අප දැක තිබේ.” යැයි එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

අවුරුදු 9 කට පසු ප්‍රථම වරට 2022 අගෝස්තු මාසයේ විදුලි බිල වැඩි වීම, මසකට විදුලි ඒකක 60 ට අඩුවෙන් පරිභෝජනය කරන පවුල් මිලියන 3.14 කට තදින් බලපා ඇති බව, ලාභ පරමාර්ථ නැති, බිම් මට්ටමේ උපදේශන කණ්ඩායමක් වන ‘ආර්ථික යුක්තිය සඳහා වන කාන්තා සාමූහිකය’ කළ පරීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. මේ සංවිධානයේ ප්‍රතිපත්ති සටහනක දැක්වෙන පරිදි, ආර්ථික අගාධයෙන් ගොඩඒමේ අවශ්‍යතාව ‘ආයුධයක්’ වශයෙන් පාවිච්චි කරමින්, ජනතාවට මූලික සේවාවන් සඳහා ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ රජය විසින් අහුරන බව කියැවෙයි.

දිළිඳු සංඛ්‍යාව මිලියන 7ක්

දරිද්‍රතාවත් ඉහළ යමින් තිබේ. කලාපීය ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන ‘ලිර්න්ඒෂියා’, 2023 මැද භාගයේ පෙන්වා දී ඇති පරිදි, මේ වසරේදී ලංකාවේ දිළිඳු සංඛ්‍යාව මිලියන 7 දක්වා වැඩි වී තිබේ. කෝවිඩ් වසංගතයට කලින් 2019 දී එම ප්‍රමාණය වුණේ, මිලියන 3 කි. අලුත්ම වාර්තාවන්ට අනුව, මේ ප්‍රමාණය, මුළු ජනගහනයෙන් සියයට 31 ක් පමණ වන්නේය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ දරුණු කොන්දේසි ගැන නැඟෙමින් පවතින අසහනය, සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන ජාත්‍යන්තර ජනතා විරෝධයක එක් අංගයකි. පසුගිය සැප්තැම්බරයේ, ගෝලීය අයිතිවාසිකම් පිළිබඳ සොයාබලන, ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය පිටු 131 කින් යුත් වාර්තාවක මෙසේ කියා තිබුණි:. “වෙඩි වැදුණු තුවාලයක් ඔතන වෙළුම් පටියක්: අයි.එම්.එෆ්, සමාජ ආරක්ෂණ වියදම් සහ කෝවිඩ්-19 වසංගතය මගින් පනවා තිබෙන පටි තද කරගැනීමේ ප්‍රතිපත්ති හරහා ආණ්ඩුවේ වියදම් කපාහැරීම සහ ප්‍රතිගාමී බදු ක්‍රමවලට රුකුල්දීම මගින් අවසානයේ මිනිසුන්ගේ අයිතීන් පාගා දැමෙන බවට ලද අත්දැකීම් පිළිබඳ වාර්තාගත ඉතිහාසයක් අපට තිබේ.”

මුල්‍ය අරමුදල සහ අස්වැසුම

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ සිය විවේචකයන්ට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකාවට මෙවර සපයා ඇති ණය වැඩපිළිවෙල, අතීතයේ අනුගමනය කළ දැඩි පිළිවෙතින් පැහැදිලි වෙනසක් පෙන්නුම් කරන බව කියා සිටී. වොෂින්ටන් නුවර පිහිටි අරමුදලේ මූලස්ථාන නිලධාරීන්, ‘නික්කෙයි ඒෂියා’ සමග කළ සාකච්ඡාවකදී එක දිගටම කියා සිටියේ, සිය වැඩපිළිවෙළ නිසා පීඩාවට පත්වන ජන කොටස් සඳහා මුදල් ආධාර සැපයීම මගින් ආරක්ෂණ දැලක් එලීම, තමන් ප්‍රමුඛත්වයේ ලා සලකා ඇති බවයි.

සමාජ ආරක්ෂණ දැල සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීමත් සමග, සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයක් සහ සමාජ ආරක්ෂණය සඳහා වන විෂයබද්ධ සුදුසුකම් පිළිබඳ නිර්ණායකද සපයනු ලබන බව, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ කාර්යාල ප්‍රධානී පීටර් බ්‍රවර් කියා සිටියේය.

ඒ අනුව, පීඩාවට පත්වන ජනතාව සඳහා රුපියල් බිලියන 187 ක් (ඩොලර් මිලියන 573 ක්) හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 ක් එකී සුභසාධන වියදම් සඳහා 2023 අයවැයෙන් ලංකා රජය වෙන් කළ යුතු බව ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ යෝජනා කර තිබේ. එය, 2022 සමාජ ආරක්ෂණය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල මෙන් තුන් ගුණයකි. එක නිවසක් සඳහා, 2022 සපයන ලද මුදල මෙන් මෙම ප්‍රමාණය දෙගුණයක් වන්නේය.

එහෙත් බිම් මට්ටමේ තත්වය ඉතා දුක්ඛිත ය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ‘අස්වැසුම’ නමින් හැඳින්වෙන අලුත් සමාජ සුභසාධන වැඩපිළිවෙළ අරභයා ප්‍රාරම්භක ප්‍රශ්න මතු වී තිබේ. මේ යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන්නේ පවුල් විසි ලක්ෂයක් පමණි. එය, පසුගිය මාර්තු මාසයේ සමාජ සුභසාධන මණ්ඩලයෙන් ආධාර ඉල්ලා සිටි දරිද්‍ර පවුල් තිස්හත් ලක්ෂයට වඩා බෙහෙවින් අඩු පවුල් සංඛ්‍යාවකි. තෝරාගත් පවුල්වලට මාසික ආධාර මුදලක් සපයනු ලැබේ. එය, විවිධ ස්ථර යටතේ ගෙවන, මසකට රුපියල් 2500 සිට රුපියල් 15,000 දක්වා වන මුදලකි.

මඩකලපුවේ වෙසෙන දිළිඳු වැසියෝ, දිනෙන් දින වැඩි වෙන භාණ්ඩ මිල ගණන්, රැකියා අහිමි වීම් සහ විදුලිය විසන්ධි කිරීම් වැනි දහසකුත් ප්‍රශ්න සමග පොරබදිති. මීට කලින් පැවති සමෘද්ධි වැඩසටහන යටතේ සුභසාධන ආධාර ලැබූ නමුත් අලුත් වැඩපිළිවෙළින් තමන්ව නෙරපා හැර ඇතැයි ඔවුහූ කියති.

“අපි ලැයිස්තුවේ නැහැලු. හේතුව ඇයි කියලා කියන්නෙත් නැහැ.” දෙදරු මවක් වන, 47 හැවිරිදි අරුනාසලන් ඉලංගේස්වරී කීවාය. “අපි දැන් ෆ්‍රිජ් එක පාවිච්චි කරන්නෙ නැහැ. ටී.වී. බලන්නෙ නැහැ. රෑට ඉන්නෙ ලයිට් නිවාගෙන. මේ අහලපහළ ගෙවල් 15 ඉන්න අනිත් අයත් එහෙමයි.”

(2023 නොවැම්බර් 23 දින Nikkei Asia හි “Bankrupt Sri Lanka’s poor face life in darkness as price of IMF bailout” මැයින් පල වූ මාර්වන් මාකන් මාකර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governance lanka වෙතිනි.)

Archive

Latest news

Related news