ඡාායරූපය: ගහල දාපන්!
සම්පත් සමරකෝන් /www.vikalpa.org/
ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින කිහිපයකට පෙර SC FR 107/2011 නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. එම වැඩබලන පොලිස්පතිවරයාට සමාජය තුළින් ප්‍රබල විරෝධයක් ලියලමින් ඇත.එමෙන්ම එම විරෝධතාවන් තුළ තවත් ප්‍රධාන බලපෑම් කිරීමක් වන්නේ වැඩබලන පොලිස්පතිවරයා වහාම ඉවත් කළයුතු බවයි.
එවැනි තත්ත්වයක් තුළදී ‘මහජන ආරක්ෂාව’ බාර ඇමති ටිරාන් අලස් විසින්, දේශබන්දු තෙන්නකෝන්, ‘වැඩබලන පොලිස්පතිවරයා’ ලෙස පත් කළේ තමන් විසින් යැයි උජාරුවෙන් කියමින්, ඒත් සමගම ඉතාමත් අශිෂ්ට ප්‍රකාශයක් සිදු කළේය .
ඒ ඊයේ(17) මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනක දී ය.
‘මහජන ආරක්ෂක ඇමති’ ටිරාන් අලස් මෙසේ කියයි.
”පාතාලයට සම්බන්ධ අයට මම පණිවිඩයක් දුන්නේ, එක්කො පොලීසියෙන් මැරුං කනවා, එහෙම නැත්නම් විරුද්ධවාදීන්ගෙන් මැරුං කනවා. කරුණාකරලා මැරුං කන්නේ නැතිව ඔය වැඩ නවත්තන්න”
නීතියෙන් පිට ඝාතන
අප බොහෝ දෙනෙක් දන්නා පරිදි මෙයින් සරල ලෙස කියැවෙන්නේ අධිකරණ ක්‍රියාවලියකින් ලබා දී ඇති නීත්‍යානුකූල බලයකින් තොරව පුද්ගලයෙකු ඝාතනය කිරීමයි.(මනුෂ්‍යයෙක්ට මරණ දණ්ඩනය පැනවීම ශිෂ්ඨ සමාජයන් විසින් අද පිළිගන්නේ නැති බවත් මෙහීදී අවධාරණය කළ යුතුය.) මෙවැනි අන්දමේ ඝාතනය කිරීම්වලට ශ්‍රී ලංකාව තුළ දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය වසර ගණනාවක් ඈතට දිවයන නමුත්, එවැනි පන්නයේ ඝාතන පිළිබද එක් උදාහරණයක් ලංකාව තුළ සුලභ සහ ප්‍රසිද්ධය. එය නම් කිසියම් සැකකරුවෙක්, පොලිස් අත්අඩංගුවේ සිටිය දී ආයුධ පෙන්වීමට යැයි පවසමින්, පොලීසිය විසින් සැකකරුව රැගෙන යාමෙන් පසු අදාළ සැකකරු ඝාතනයට ලක්වෙයි. ඉන්පසු පොලීසිය විසින් අපූරු කතාවක් කියයි. ‘සැකකරු සමග ඔහු විසින් සැගවූ ආයුද පෙන්වීමට රැගෙන යාමේදී සැකකරු පැනයාමට තැත්කළ හෝ පොලීසියට වෙඩි තැබු බැවින් පොලීසිය විසින් සිදුකළ පෙරළා වෙඩි තැබීමෙන් සැකකරු මිය ගිය බවයි.
මෙවැනි ඝාතන පිළිබද උදාහරණ පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි. මෙවැනි තත්තවයන් සම්පූර්ණයෙන්ම නීති විරොධී නොවන්නේද?(සැකකරුවෙක් ආරක්ෂා කීරීම සම්පූර්ණයෙන් පොලීසිය සතුය. එය සිදු නොකරන්නේ නම් පොලීසිය එයට සම්පූර්ණයෙන් වගකිවයුතුය) ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ‘දණ්ඩමුක්තියට’ අනුබල දෙන ඇතැම් පිරිස් මෙවැනි ඇන්දුමේ ඝාතනවලට විරුද්ධ නොවුනා උනත්, මේවා නිසා සමාජක ප්‍රජාත්නත්‍රිය වටිනාකම්, මානව හිමිකම් පූර්ණ ලෙස ඛාදනයට ලක්වීම නවතා ගැනීමට නොහැකි ය. මේ නිසා පුරවැසියන්ට නීතිය පිළිබද තිබෙන විශ්වාසය සීග්‍රයෙන් ඛාදනයට ලක් කරයි. ස්වාධීන අධිකරණ ක්‍රියවලියක් පිළිබදව තිබෙන විශ්වාසය සහ ගෞරවය පිළිබදව ප්‍රශ්ණකාරි තත්ත්වයකට පත් විය හැකිය. පොලීසිය පිළිබදව කොහෙත්ම විශ්වාස නොමැති තත්ත්වයකට පත් වෙයි.(ලංකාවේ දැන් එය සිදුවී හමාරය ය)
පොලීසියය දඩුවම් කළ හැකිද?
පොලීසියට දඩුවම් කළ නොහැකි බවත්, දඩුවම් කිරීමට නීත්‍යානුකූළ අවසරය ඇත්තේ අධිකරණයකට, අධිකරණ ක්‍රියාවලියකට බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. එහෙත්, පොලිස් දෙපාර්තමේන්තුවත් බාර ඇමතිවරයා ලෙස ‘මහජන ආරක්ෂාව’ බාර ඇමතිවරයා, ඒ බවත් නොදන්නේ ද යන්න සැකයක් ඔහු ඉහත කී ප්‍රකාශයෙන් මතු වෙයි. එනම් ඔහු පවසන ‘එක්කො පොලීසියෙන් මරුම් කනවා’ කියන ප්‍රකාශය නිසාය. මෙය එක්කෝ ඔහු, ඔහුගේ නරුම භාවය පෙන්වූ තවත් ස්ථානයක් ලෙස කියවා ගත හැකිය. එසේ නැතිනම් කසිදු අකාරයක නීතිය පිළිබදව හෝ මානව අයිතිවාසිකම් වැනි ‘වටිනාකම්’ පිළිබද කිසිදු තැකීමක් නොකරන ‘හිට්ලර්’ පන්නයේ ‘ශරීරයක ප්‍රකාශයක්’ ලෙස ද කියවා ගත හැකිය. මෙයින් කොහොම කියවා ගත්ත ද මෙවැනි ප්‍රකාශ සිදුකරන ඇමතිවරුන් සිටින සමාජයක් යනු මිනිසුන්ට නිදහසේ ජීවිත්වීමට සුදුසු සමාජයක්, පරිසරයක් නොවන බව පැවසිය යුතුය.
ඔව්.., නීති්‍යානූකුළ නොවන මත්ද්‍රව්‍ය සමාජයට මුදාහරින සහ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් මැඩපැවැත්විය යුතුය. එහි තර්කයක් නැත. ඒවා මැඩපැවැත්විය යුතුය. නමුත් ඒවා සිදුකළ යුත්තේ නීතියට අනුවය. නීතියේ දක්වා ඇති ප්‍රතිපාදන අනුවය. එසේ නොමැතිව ඇමතිවරයාට හිතෙන, හිතෙන විදිහට මිනිසුන් ඝාතනය කිරීමට නොහැකිය. පාතාලයට සම්බන්ධ යැයි සැකකරන අයෙක් හෝ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයෙක් හෝ ඇමතිවරයාට හෝ පොලීසියට ‘හිතෙන ලෙස’ ඝාතනය කිරීමට නොහැකිය. එය එසේ වන්නේ නම් එය ඉතාමත් බරපතල තත්ත්වයකි. විශේෂයෙන් එය පොලීසිය විසින් ඉතිහාසයේ සිදුකරන ලදැයි කරන ඝාතනවලට නැවත ‘පොලිස් ඇමති’ විසින් රුකුල් දීමකි. එසේම කිසිදු අයෙක් ‘අපරාධකරුවෙක්’ යැයි නිගමනය කිරීමටවත්, එසේ නිගමනය කරමින් ඔහු හෝ ඇය ව ඝාතනය කිරීමට හෝ කිසිදු බලයක් පොලීසියට නැත.
ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කියැවෙන තවත් තත්ත්වයක් තිබේ. එනම් ඇමතිවරයා විසින් නීතිය සහ අධිකරණය නොලසකා හරින බවය. අධිකරණය සතුවන දඩුවම් කිරීමේ බලය අනියමින්, ප්‍රසිද්ධියේම පොලීසිය වෙත ලබා දීම මෙම ප්‍රකාශයෙන් හැගවෙන බව යමෙක් කිවහොත් එය බැහැර කිරීමට නොහැකි වනු ඇත. එසේම විශේෂයෙන් පොලීසිය බාර ඇමතිවරයෙක් විසින් මිනිසුන් ඝාතනය කිරීමට පොලීසියට බාර දෙනවා නම් ඒ සමාජය ගමන් කරන්නේ ගෝත්‍රික තත්වයටත් ඉතාමත් පහළ ප්‍රචණ්ඩ සමාජක් වෙතටයි. (අපරාධකරුවෙක් යැයි අධිකරණයක් විසින් තීන්දු කරන තෙක් ඔහු හෝ ඇය අපරාධකරුවෙක් යැයි නිගමනය කිරීමට පොලීසියට කිසිදු හැකියාවක් හෝ නීත්‍යානුකූල බලයක් නොමැත)
නීතියෙන් පිට ඝාතනය කිරීම් සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ දැක්වෙයි. 13(2) ව්‍යවස්ථාවට අනුව අත්අඩංගුවට පත් වූ පුද්ගලයා විනිසුරු ඉදිරියේ පෙනී සිටිය යුතුය. 13(3) අනුව නඩු විභාගයේදී තමා විසින්ම හෝ නීතිඥයකු මාර්ගයෙන් කරුණු දැක්වීමට හැකියාව ඇත. 13(4) අනුව නීතියෙන් නියම කරණු ලැබූ කාර්යපටිපාටියට අනුව නිසි අධිකරණයකින් කරන ආඥවක් ප්‍රකාරව මිස මරණීය දණ්ඩනය හෝ සිර දඬුවම් නොකළ යුතුය. 13(5) අනුව නිර්දෝෂීභාවය පිළිබඳව පූර්ණ නිගමනයක් ඇත.
” ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් සිදුකරණ ලද මේ ප්‍රකාශය ඉතාමත් බරපතල ප්‍රකාශයක්. මෙයින් පොලිස් නිළධාරින් නීතියට අනුව ක්‍රියා කිරීමට පොළබවනවා වෙනුවට නීතියට පිටින් ක්‍රියාත්මක වීමට පෙළඹබීවමක් ඇති කරනවා. ඒ වගේම නීතිය සහ අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් මේ ප්‍රකාශය තුළ තියනවා. ඒ ඔක්කොමත් එක්ක, මේ වගේ හිතන මනුස්සයෙක්, ‘මහජන ආරක්ෂාව’ බාරව ඉන්නවා කියන්නේම විශාල ප්‍රශ්ණයක්. මෙවැනි අදහස් ඇති අය ‘මහජන ආරක්ෂාවට’ තියා කිසිදු තනතුරකට සුදුසු පුද්ගලයන් නොවෙයි. මෙවැනි පුද්ගලයින් නිසා අපේ සමාජය තවත් බිහිසුනු, ප්‍රචණ්ඩ වගේම විශේෂයෙන් ‘දණ්ඩමුක්තිය’ තව දුරටත් රජවන සමාජයක් බවට පත් වීම වලක්වන්න අමාරු වෙයි.”
නීතිඥවරයෙක් මා සමග පැවසීය.
එබැවින් නීතිය තමන් යැයි විශ්වාස කරමින්, කිසිදු අන්දමක මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් කිසිදු සැලකිල්ලකට නොගෙන ප්‍රකාශ සිදුකරන මෙවැනි ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට බලකිරීමත්, එවැනි සාහසික, ගෝත්‍රික ‘ශරීර’ රාජ්‍ය පාලනය සදහා ඒමට ඇති සියලු අවස්ථා අහුරා දැමීමත් සත්‍ය ලෙසම ‘මහජන ආරක්ෂාව’ පිළිබද සිතන පුරවැසියන්ගේ පරම වගකීමකි.
ඇමතිවරයාගේ ඉහත ප්‍රකාශය තුළින්, ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂ ඇමති සහ පාතාල කණ්ඩායම් අතර ‘වෙනසක් නැති’ බවට කිසියම් කෙනෙක් පැවසුවහොත් ඔහු සමග උරණ නොවන්න. එසේම ඇමතිවරයාගේ එම ප්‍රකාශය විසින්, විරෝධතාවල යෙදෙන පුරවැසියන්, ආණ්ඩු විරෝධී හෝ විසම්මුතික අදහස්, මත පළ කරන පුද්ගලයින් ද මෙම මුග්ධ ප්‍රකාශයේ ගොදුරු බවට පත්වීමට ඉඩ ඇත. එබැවින් සමාජයක් ලෙස මෙවැනි අදහස් ද, ඒ අදහස් මතින් ක්‍රියාත්මක වීමට නියමිත කුඩා හෝ අශිෂ්ට තත්ත්වයන් පරාජය කිරීම ද අද දවසේ ප්‍රමුඛ පුරවැසි කාර්යභාරයකි.
“සිය අයිතිවාසිකම්, යුතුකම් විනිශ්චය කිරීමේදීත්, තමාට විරුද්ධව ඇතිවන අපරාධ චෝදනාවන් විනිශ්චය කිරීමේදීත් සෑම කෙනෙකුට ම ස්වාධීන, අපක්ෂපාත අධිකරණයකින් පැවැත්වෙන සාධාරණවූත්, විවෘත වූත් නඩු විභාගයකට පූර්ණ සමානත්වය ඇතිව මුහුණ දීමට අයිතිය අත්තේය.” (19 වන වගන්තිය – මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය)