Sunday, October 6, 2024

සෑම ශ්‍රී ලාංකිකයෙකුම රුපියල් 1,600,000 ක ණයකාරයෙකි. – ආචාර්ය රොෂාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ජනගහනයෙන් බෙදූ විට, ලංකාවේ වෙසෙන සෑම පිරිමියෙක්ම, සෑම ගැහැනියක සහ සෑම ළමයෙක්ම, රුපියල් දහසය ලක්ෂයක (1,600,000) ණයකරුවෙකි. මේ ආර්ථික අර්බුදයෙන් සදහට ගොඩඒමට නම්, රාජ්‍ය අංශයේ ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් මීට වඩා බැරෑරුම්ව සලකා බැලිය යුතුව ඇතැයි, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥවරියක් සහ ‘ඇඩ්වොකාටා’ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක් වන ආචාර්ය රොෂාන් පෙරේරා, ‘ද සන්ඩේ මෝනිං’ පුවත්පත සමග සාකච්ඡාවකට එක් වෙමින් කීවාය.

මෑතකදී එළිදක්වන ලද 2024 අයවැය ගැන අදහස් දක්වමින් ඈ කියා සිටියේ, අයවැයේ සඳහන් ආදායම් ඉලක්ක, සාර්ව-ආර්ථික අරමුණු අරභයා අප ඇති කරගෙන තිබෙන ඉලක්ක සමග පෑහෙන නමුත්, 2024 අයවැය තුළින් ප්‍රාථමික අතිරික්තයක් ඇති කරගැනීමට රජය සමත් වනු ඇත්තේ, රජය අපේක්ෂා කරන ආදායම වැඩි කරගැනීමටත්, ගෙවීමට ඇති පොලී වාරිකවලට පිටස්තර රාජ්‍ය වියදම්, අයවැයෙන් දක්වා ඇති සීමාවන් ඉක්මවා නොයන මට්ටමකින් පවත්වාගැනීමටත් ආණ්ඩුව සමත් වෙතොත් පමණක් බව ය.

අපහසු ඉලක්කයක්

එසේම, රටේ දළ දේශීය ආදායමට සාපේක්ෂව සියයට 10.2 ක රාජ්‍ය ආදායමක් 2023 අයවැයෙන් අපේක්ෂා කර තිබුණු අතර, මෙවර අයවැයෙන් අපේක්ෂා කරන එකී රාජ්‍ය ආදායම සියයට 13 ක් දක්වා වැඩි කර තිබීම, අත්කරගැනීමට ඉතා අපහසු ඉලක්කයක් විය හැකි බවත් ඈ පෙන්වා දුන්නාය. මන්ද යත්, 2023 අයවැයෙන් අපේක්ෂා කළ සියයට 10.2 ක රාජ්‍ය ආදායම් ඉලක්කය පවා අවසානයේදී සියයට 11 කින් අඩු වී ඇති බැවිනි. එසේ වුණේ, 2023 දී අලුතෙන් හඳුන්වා දුන් බදු පවා තිබියදී ය.

මේ අතර, රාජ්‍ය අංශය සඳහා වැය වන අති විශාල සම්පත් ප්‍රමාණය ගැන සලකා බලන විට, සමස්ත අංශයේ බරපතල ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය කරන බවත් ඈ පෙන්වා දුන්නාය. රටේ ආර්ථික වර්ධනයේ ඇන්ජිම පෞද්ගලික අංශය යැයි සිතන්නේ නම්, වැඩි සම්පත් ප්‍රමාණයක් ඒ අංශය වෙත යෙදිය යුතුව ඇත.

පහත සඳහන් වන්නේ, ඈ සමග කරන ලද සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි:

2024 අයවැය ගැන මොකද හිතන්නෙ?

ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මං කැමතියි එක්තරා ප්‍රකාශ දෙකක් උපුටා දක්වන්න. එකක්, 2024 අයවැය කතාවෙන්. ඒක මෙහෙමයි:

“… නිදහසෙන් පස්සෙ වැඩි කාලයක් තිස්සේ අපේ ආදායම්වලට වඩා අපේ වියදම් වැඩි වෙලා තියෙනවා. මං එහෙම කියනකොට කෙනෙක් හිතන්න පුළුවන්, බලයට පත්වෙච්ච ආණ්ඩු අතපය දිගඇරලා වියදම් කරලා සල්ලි නාස්ති කරලා කියලා. ආණ්ඩු විතරක් නෙවෙයි. මුළු රටමත් කරලා තියෙන්නෙ ඒකයි… නිදහසෙන් අවුරුදු 75 කට පස්සේ අද අපි බරපතල අර්බුදයකට මුහුණදීලා ඉන්නවා. අපේ ආර්ථිකය මුළුමණින්ම කඩාවැටුණා. රට බංකොළොත් වුණා. මේ වැඩේ (අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ දියත් කිරීම) අතරමග නැවැත්තුවොත්, එහෙම නැත්නම් කඩාකප්පල් කළොත් මොකද වෙන්නෙ? ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ඇතිව ඇති කරගත්ත ප්‍රතිසංස්කරණ නතර වේවි. එහෙම වුණොත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලත් හිර වේවි. විශ්වාසය බිඳී ගිහින්, ලංකාවේ බැංකු පද්ධතිය තුළට එන්න නියමිත විදේශ ආයෝජන නතර වේවි.. අපට ලැබෙන්න පටන් අරගෙන තියෙන විදේශ විනිමය ආදායම් නැවත වරක් නතර වේවි. එතකොට ආණ්ඩුවට සිද්ධ වෙනවා, දේශීය වෙළෙඳපොළෙන් වැඩියෙන් ණය ලබාගැනීම සඳහා නැවත වරක් පොලී අනුපාත වැඩි කරන්න… එහෙම වුණොත්, ආයි සැරයක් අපි වැටෙනවා අර අගාධයට. අපේ ආර්ථිකය තියෙන්නේ අලුත්වැඩියා කරන්න බැරි තත්වෙක… එහෙම වුණොත්, ලෝකයේ කවුරුවත් එන එකක් නැහැ ශ්‍රී ලංකාව බේරගන්න. අපි ගැන විශ්වාසෙ තියපු හැමෝම, ඒ කියන්නෙ, අපිට විදේශ ණය සපයන අය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ හැම කෙනෙක්ම අපි ගැන තියපු විශ්වාසෙ බිඳිලා.”

දෙවැනි උපුටනය, මීට දශක කිහිපයකට කලින් ලියවිල්ලක තිබුණු එකක්:
“සත්‍යය වන්නේ, ගැඹුරු ණයගැති භාවයක් නිසා ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පතුලට වැටී සිටින බවයි. එය ඉක්මනින් නතර කර නොගත්තොත්, තව පරම්පරා ගණනක් යනතෙක් විරැකියාව වැඩි වී, ආදායම් මට්ටම් ඉතා පහළ අඩියකට වැටෙණු ඇත. ඒ නිසා අප ඥානාන්විතව කටයුතු කළ යුතුව තිබේ. විනාශයේ මාවතේ යන මේ ගමන නතර කිරීමට සමත් අලුත් දැක්මකින් යුතුව කටයුතු කළ යුතුව තිබේ. වෙනත් කිසි ගැලවීමේ මාර්ගයක් නැති නිසා, රට ප්‍රතිසංස්කරණය කිරීමේ කර්තව්‍යය තවදුරටත් කල්දැමිය නොහැකි අඩියකට පත්ව ඇත… රටේ මූල්‍ය තත්වය පාලනය කරගත නොහැකි වෙතොත්, රටේ ආර්ථික අනාගතය පාලනය කරගත නොහැකි වනු ඇත… මෑතක පටන් ආණ්ඩුවේ ණය ප්‍රමාණයේ විශාල වැඩි වීමක් දක්නට තිබේ. ඒ කෙතෙක්ද යත්, රාජ්‍ය ණය ප්‍රමාණය, රටේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමත් ඉක්මවා ගොසිනි… එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම ණය සඳහා වෙනුවෙන් පොලිය සඳහා වන වියදම, සෑම වසරකම ආණ්ඩුවේ මුළු ආදායම ඉක්මවා සිටී… වෙනත් ආකාරයකින් කිවහොත්, රටේ වෙසෙන සෑම පිරිමියෙක්ම, සෑම ගැහැනියක්ම සහ සෑම ළමයෙක්ම රුපියල් 77,500 ක ණයකාරයෙක් වෙයි… කාලයක් යන විට, මේ ණය ගෙවාගත නොහැකි මොහොතකට අප හෝ අපේ දරුවන් මුහුණදෙනු ඇත. කෙසේ වෙතත්, ඊට බොහෝ කලකට පෙර, තමන්ගේ සම්පත් කළමනාකරණය කරගත හැකි, ණයකාර විශ්වසනීයත්වය ආරක්ෂා කරගත හැකි ජාතියකට හිමි කීර්තිය අපට අහිමි වී, ආර්ථිකය යළි ගොඩනැඟීමට අප අසමත් වනු ඇත. එබැවින්, ණය අර්බුදය ජයගැනීම අපේ ඒකායන ප්‍රමුඛත්වය බවට පත්කරගත යුතුය.” (මූලාශ්‍රය: “ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම- කඩිනම් සංවර්ධනය සඳහා වන දැක්ම සහ උපායමාර්ගය”- 2002 නොවැම්බර්).

එදා ඉඳන් ගත වූ අවුරුදු විස්සක කාලය තුළ, රටේ වෙසෙන එක පිරිමියෙක්, එක ගැහැනියෙක්, එක ළමයෙක් රුපියල් මිලියන 1.6 ක ණයකරුවෙකු බවට අද පත්වෙලා ඉන්නවා. මේ අර්බුදයෙන් සදහට ගොඩඑන්න නම්, රාජ්‍ය ආදායම්-වියදම් ප්‍රශ්න ගැන අපි මීට වඩා බැරෑරුම් විදිහට සලකා බලන්න ඕනෙ.

2024 අයවැයේ දක්වලා තියෙන ආණ්ඩුවේ ආදායම්-වියදම් ඉලක්ක, සාර්ව-ආර්ථික ස්ථායීකරණයේ අරමුණ සමග ගැළපෙනවා. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ අප ලබාගෙන තියෙන ‘විස්තෘත අරමුදල් පහසුකම’ යටතේ, රජයේ ප්‍රාථමික ශේෂය (පොලී වියදම හැර, වෙනත් රජයේ වියදම්වලට වැඩියෙන් අපේක්ෂා කරන රජයේ ආදායම), 2024 දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 0.8 ක අතිරික්තයකින් යුක්ත විය යුතුයි. නිදහසෙන් පස්සෙ ලංකාවේ ප්‍රාථමික අතිරික්තයක් ඇති කරගෙන තියෙන්නෙ පස් වතාවක් විතරයි. ඒක නිසා, 2024 දීත් ප්‍රාථමික අතිරික්තයක් අත්කරගන්න නම්, බලාපොරොත්තු වන රජයේ ආදායම වැඩි කරගන්න අතරෙම, අයවැයේ සඳහන් රජයේ වියදම් සීමාව ඉක්මවා නොයන්නත් වගබලාගන්න ඕනෙ.

2024 අයවැයේ සඳහන් රජයේ ආදායම් ඉලක්ක කොච්චර දුරට යථාර්ථවාදීද? ඒ ඉලක්ක සපුරාගන්න බැරි වුණොත් මොන තත්වයක් ඇති වෙයිද?

2023 අයවැයේ සංශෝධිත තක්සේරුව විදිහට තිබුණේ, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, සියයට 10.2 ක ආදායමක් රජයට තියෙන්න ඕනෙ කියලයි. දැන් 2024 අයවැයෙන් ඒ ප්‍රමාණය සියයට 13 ක ඉලක්කයක් දක්වා ඉහළ දාලා තියෙනවා. මේක, සෑහෙන්න අමාරු වැඩක්. මොකද, 2023 ඉලක්කගත අපේක්ෂාවත් අවසානයේදී සියයට 11 කින් අඩු වෙලා තියෙනවා. 2023 ඇතැම් අලුත් බදු ප්‍රතිපත්ති හඳුන්වලා දීලා තියෙද්දිත් තමයි එහෙම වෙලා තියෙන්නෙ.

නාමික අගයකින් ගත්තොත්, වර්තමාන අපේක්ෂාව, සියයට 45 ක වර්ධනයක් හෙවත් රජයේ ආදායම රුපියල් බිලියන 4127 ක් වශයෙන් ගණන් බැලීමක්. 2023 අයවැයෙන් රජයේ බදු ආදායම සියයට 42 කින් වැඩි වීමක් හෙවත් රුපියල් බිලියන 2851 ක් වෙයි කියලා ගණන් බලලා තිබුණා. 2024 වර්ෂයේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යම් වර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තු වුණත්, ප්‍රක්ෂේපණය කරලා තියෙන ආර්ථික වර්ධන වේගය සියයට 2 ට අඩුයි. ඒ එක්කම, උද්ධමන වේගයත් තනි ඉලක්කම් අගයක පවත්වාගන්න ඕනෙ. රජයේ බදු ආදායමේ යම් කොටසක්, රට තුළ ඇති වෙයි කියලා හිතන ආර්ථික ක්‍රියාකාරීත්වයේ වර්ධනයේ මාර්ගයෙන් ලැබෙයි කියලා අපේක්ෂා කළත්, අමතර රාජ්‍ය ආදායමේ විශාල පංගුවක් එන්න තියෙන්නෙ, අලුතෙන් පනවන බදුවලින්.

අපේක්ෂා කරන බදු ආදායමේ වැඩි වීමෙන් තුන් කාලක් විතර බලාපොරොත්තු වෙන්නෙ, දේශීය භාණ්ඩ සහ සේවාවලින් ලැබෙන බදුවලින්. ඉතුරු පංගුව ආදායම් බදුවලින් (සියයට 28) සහ බාහිර වෙළෙඳ බදුවලින් (සියයට 13) බලාපොරොත්තු වෙනවා. වැට් බද්ද වැඩි කිරීම (සියයට 15 සිට 18 දක්වා), (ඖෂධ, අධ්‍යාපනය සහ ඇතැම් කෘෂිකාර්මක භාණ්ඩ හැර) ඇතැම් භාණ්ඩවලට මෙතෙක් තිබුණු වැට් බදු සහන ඉවත් කිරීම, වැට් බදු අය කරන අවම සීමාව අඩු කිරීම සහ ආනයන සීමාවන් ඉවත් කිරීම වගේ දේවල්වලින් තමයි රජයේ ආදායමෙන් වැඩි කොටසක් උපයාගන්න බලාපොරොත්තු වෙන්නෙ.

මේ කියන ආදායම් ඉලක්ක සපුරාගැනීමත් රඳා පවතින්නෙ, මොන තරම් ඉක්මනින් ආර්ථිකය අළු ගසලා දාලා නැඟිටියිද කියන සාධකය උඩ. ඒ අනුව වැඩි වෙන, පාරිභෝගික ඉල්ලීම උඩ. බදු එකතු කරගැනීම නිසියාකාරයෙන් අධීක්ෂණය කිරීම වැදගත්. ආදායමේ අඩු වීමක් ගැන යම් හෝ අඩමානයක් යම් අවස්ථාවක ඇති වුණොත්, වහාම ඒකට පිළියම් යොදන්න ඕනෙ. එක්කෝ, අලුත් ආදායම් මාර්ග හඳුන්වා දීමෙන්. එහෙම නැත්නම්, වියදම් අඩු කරගැනීමෙන්. ආදායමේ ඕනෑම අඩු වීමක් වුණොත්, ඒක පියවාගන්න වෙන්නෙ එක්කෝ දේශීය වශයෙන් එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් නිසා, ඒක පොලී අනුපාතය කෙරෙහිත්, විදේශ විනිමය අනුපාතය කෙරෙහිත් නරක විදිහට බලපානවා.

මේ වගේ අයවැයක බර ලංකාවට දරාගන්න පුළුවන්ද? ඇති කරගෙන තියෙන ඉලක්ක ප්‍රායෝගිකද, ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?

ආණ්ඩුවේ වියදම් පැත්තෙන් ගත්තොත්, 2024 රජයේ පුනරාවර්තන වියදම්වලින් සියයට 50 කට වැඩිය වැය වෙන්නෙ, අපි මෙතෙක් අරගෙන තියෙන ණය සඳහා පොලී ගෙවන්න. ඒ වගේම, සියයට 21 ක් විතර වැය වෙන්නෙ පඩිනඩිවලටයි, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ වැනි කටයුතුවලටයි. ‘දේශීය ණය ප්‍රශස්තිකරණ’ වැඩපිළිවෙළ යටතේ, මේ වියදම් අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත්, ඒක සිද්ධ වෙන්නෙ, මධ්‍ය කාලීනවයි. ඒක නිසා, පොලී ගෙවීම් සඳහා ආණ්ඩුවේ ආදායමෙන් සියයට 64 ක් 2024 වසරෙදී කොහොමත් වියදම් කරන්න වෙනවා.

ඊළඟ ලොකුම වියදම වෙන්නෙ, පඩිනඩි. 2024 අයවැයෙන් පොරොන්දු වෙලා තියෙන ජීවන වියදම් දීමනාවේ වැඩි වීම නිසා, ඒ වියදම තවත් සෑහෙන්න වැඩි වෙනවා. ඒ දීමනාව රාජ්‍ය අංශයේ මිලියන 1.5 ක සේවක සංඛ්‍යාවකට දෙන්නට නියමිතයි. ඒ වියදම දරාගන්න පුළුවන් අතිරේක ආදායමක් එක පැත්තකින් ඕනෙ කරනවා. අනිත් පැත්තෙන්, ආර්ථිකයේ වෙනත් අංශවල වැටුප් කෙරෙහි ඒකෙ බලපෑම මොන විදිහට වෙයිද කියන එක තවත් ප්‍රශ්නයක්. “2024 ජාතික අයවැය: කුමක් සඳහාද, කවුරුන් සඳහාද?” කියන ලියවිල්ලේ සඳහන් රාජ්‍ය සේවක සංඛ්‍යාව දිහා බලනකොට, රාජ්‍ය අංශය සහේතුක කිරීමේ අවශ්‍යතාව හොඳින්ම පෙන්නුම් කරනවා.

බදුවලින් වගේම, බැංකු සහ බැංකු නොවන මූලාශ්‍රවලින් ලබාගන්නා ණයවලින් විශාල කොටසක් උරාගන්නෙ රාජ්‍ය අංශයයි කියන කාරණය සැලකිල්ලට ගන්නකොට, සමස්ත රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව මොන තරම්ද කියලා හිතාගන්න පුළුවන්.

1990 දශකයේ බැංකු අංශයෙන් දීලා තියෙන ණය දිහා බැලුවොත්, සියයට 80 ක් දීලා තියෙන්නෙ පෞද්ගලික අංශයට. සියයට 20 ක් තමයි රාජ්‍ය අංශයට දීලා තියෙන්නෙ. මේ අනුපාතය දැන් හොඳටම වෙනස් වෙලා. 2020 ගණන් වෙනකොට, බැංකු අංශයේ ණයවලින් බාගෙකට වැඩි ප්‍රමාණයක් ගිහිං තියෙන්නෙ රාජ්‍ය අංශයට. රටක සම්පත් අසාමාන්‍ය විදිහට එක තැනකට ගොඩගැසීම කියන කාරණය පෙන්නන්න මේක හොඳ නිදර්ශනයක්. රටේ අනාගත ආර්ථික වර්ධනයේ එන්ජිම විය යුත්තේ පෞද්ගලික අංශය නම්, වැඩි වැඩියෙන් සම්පත් යෙදවෙන්න ඕනෙ ඒ අංශයට.

 

(2023 නොවැම්බර් 18 දින The Morning පුවත්පතෙහි “Public debat at around Rs. 1.6 m for every lankan” මැයින් පල වූ ආචාර්ය රොෂාන් පෙරේරා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය ගවර්නන්ස් ලංකා වෙතිනි)

Archive

Latest news

Related news