Sunday, April 28, 2024

ගාසාහි UNFPA, UNICEF සහ WHO ඒකාබද්ධ ප්‍රකාශය: “ආරක්ෂිත තෝතැන්නක් විය යුතු රෝහල් මරණයේ, විනාශයේ දර්ශනයකි”; ප්‍රචණ්ඩත්වය දැන් අවසන් කළ යුතුයි!

ඡායාරූපය: විදුලිය ඇනහිටීම් හේතුවෙන් ඉන්කියුබේටර් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බැවින්  ෂිෆා රෝහලේ ඉතිරිව සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලය අලුත උපන් බිළිඳා ජීවත් කරවීමට අරගල කරමින් සිටිති.

(12 නොවැම්බර් 2023) එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කලාපීය අධ්‍යක්ෂවරු ගාසා තීරයේ සෞඛ්‍ය සේවයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

UNFPA, UNICEF සහ WHO හි කලාපීය අධ්‍යක්ෂවරු ගාසා තීරයේ රෝහල්වලට එල්ල වෙමින් පවතින ප්‍රහාර අවසන් කිරීමට හදිසි ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිති.

Al-Shifa රෝහල, Al-Rantisi Naser ළමා රෝහල, Al-Quds රෝහල සහ අනෙකුත් ගාසා නගරයේ සහ උතුරු ගාසා තීරයේ ළමුන් ඇතුළු බොහෝ දෙනෙකු මරා දැමූ ප්‍රහාර පිළිබඳ නවතම වාර්තා ගැන අපි භීතියට පත් වෙමු. උතුරු ගාසා තීරයේ රෝහල් කිහිපයක් වටා ඇති දැඩි සතුරු ගැටුම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තුවාල ලැබූවන් සහ අනෙකුත් රෝගීන් සඳහා ආරක්ෂිත ලෙස ප්‍රවේශවීම වළක්වයි.

අල්-ෂිෆා රෝහලේ විදුලිය, ඔක්සිජන් සහ ජල කප්පාදුව හේතුවෙන් ජීවිත ආධාරකයේ නොමේරූ සහ අලුත උපන් බිළිඳුන් මිය යන බව වාර්තා වන අතර අනෙක් අය අවදානමට ලක්ව ඇත. රෝහල් ගනනාවක කාර්ය මණ්ඩලය ඉන්ධන, ජලය සහ මූලික වෛද්‍ය සැපයුම් හිඟය වාර්තා කරයි. මෙමගින් සියලුම රෝගීන්ගේ ජීවිත ක්ෂණික අවදානමකට ලක් කරයි.

පසුගිය දින 36 තුළ, WHO විසින් ගාසා තීරයේ සෞඛ්‍ය සේවා ස්ථාන  ප්‍රහාර 137 ක් අවම වශයෙන් වාර්තා කර ඇති තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජකාරියේ යෙදී සිටි සෞඛ්‍ය සේවකයින්ගේ මරණ 16 ක් සහ තුවාලකරුවන් 38 ක් ඇතුළුව මරණ 521 ක් සහ තුවාලකරුවන් 686 ක් වාර්තා වේ.

වෛද්‍ය පහසුකම්වලට සහ සිවිල් වැසියන්ට පහර දීම පිළිගත නොහැකි අතර එවැනි ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය සහ සම්මුතීන් උල්ලංඝනය කිරීමකි. ඒවා අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම අර්බුදකාරී අවස්ථාවලදී වෛද්‍ය ආධාර ලබාගැනීමේ අයිතිය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකළ යුතුය.

ගාසා තීරයේ රෝහල්වලින් අඩකට වඩා වසා ඇත. තවමත් ක්‍රියාත්මක වන රෝහල් විශාල පීඩනයකට ලක්ව සිටී.  ඒවාට සැපයිය හැක්කේ ඉතා සීමිත හදිසි සේවා, ජීවිතාරක්ෂක සැත්කම් සහ දැඩි සත්කාර සේවා පමණි.

ජලය, ආහාර සහ ඉන්ධන හිඟය රෝහල්වල සහ අවට ප්‍රදේශවල නවාතැන් ගෙන සිටින කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවතැන් වූ දහස් ගණනකගේ යහපැවැත්මට ද තර්ජනයක් වී තිබේ.

ආරක්ෂිත තෝතැන්නක් විය යුතු රෝහල් මරණයේ, විනාශයේ සහ බලාපොරොත්තු සුන්වීමේ දර්ශන බවට පරිවර්තනය වන විට ලෝකයට නිහඬව සිටිය නොහැක.

ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සුරක්ෂිත කිරීමට සහ තවදුරටත් ජීවිත හානි වැළැක්වීමට සහ ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතියෙන් ඉතිරිව ඇති ප්‍රමාණය ආරක්ෂා කිරීමට තීරණාත්මක ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් දැන් අවශ්‍ය වේ.

මෙම ජීවිතාරක්ෂක සේවා සඳහා ඉන්ධන, වෛද්‍ය සැපයුම් සහ ජලය සැපයීම සඳහා බාධාවකින් තොරව, ආරක්ෂිත සහ තිරසාර ප්‍රවේශයක් දැන් අවශ්‍ය වේ.

ප්‍රචණ්ඩත්වය දැන් අවසන් කළ යුතුයි.

( සංහල පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news