Friday, June 21, 2024

කන්චන විජේසේකරගේ කන් අඩි පැළෙන විදුලි කතා- මහින්ද හත්තක

විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට නැවත වරක් විදුලි ගාස්තු වැඩි කෙරිණ. මින් ඉදිරියට විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතාවට පැටවෙන බර අඩු කිරීමට සෑම මාස තුනකට වරක් විදුලිය ගාස්තු සංශෝධනය කරන බව බලශක්ති ඇමති කන්චන විජේසේකර කීවේය. සංශෝධනය යන සුඛනම්‍ය වචනයෙන් හැඳින් වුවත් විදුලි ගාස්තු නොකඩවාම ඉහළ යන බව ඉන් පැහැදිලි ය. මෙම යථාර්ථය පිළිගත් සමහර පාරිභෝගිකයෝ විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලූහ. අවසාන වශයෙන් වැඩිවන විදුලි ගාස්තුවට කළු කොඩි එසවීම හැර වෙනත් කිසිම විසඳුමක් නැති සේය.

විදුලි ගාස්තු නැංවීමට හේතුවක් සේ ඇමති කන්චන විජේසේකර පැවසුවේ පසුගිය දා පැවති නියං තත්වය නිසා ජලවිදුලිය නිපදවීම පහත වැටී තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදු වීමය. ඉන් විදුලි බල මණ්ඩලයට වූ පාඩුව පියවා ගැනීමට ගාස්තු වැඩි කිරීම හැර වෙනත් පියවරක් ඔහුට තිබුණේ නැත.  එහෙත් සූරියආර ගොවීන් තම අස්වැන්න බේරා ගැනීමට වතුර මුර දෙකක් ලබා දෙන ලෙස ඉල්ලූ විට විදුලි බලධාරීන්ගේ මතය වූයේ සමනල වැව ජලය ගොවීන්ට මුදා හැරියහොත් විදුලිය නිෂ්පාදය පහත වැටෙන නිසා ජලය නිකුත් කළ නොහැකිය යන්නය. අඛණ්ඩ විදුලිය සැපයුම සඳහා ජලය සංරක්ෂණය කළ යුතු විය. අවසානයේ දී කෘෂිකර්ම ඇමතිගේ ජලය නැතිව වියලී ගිය කුඹුරු පවා ගව ආහාරයක් විය.

කෙසේ වුවත් ආසියානු කලාපයේ පුනර්ජනනීය බල ශක්තියක් වන ජල විදුලිය වැඩියෙන්ම භාවිතා කරන රට ශ්‍රී ලංකාවයි. අපේ බල ශක්තියෙන් සියයට 52ක්ම නිපද වන්නේ ( පසුගිය මස එය 68% දක්වා ඉහළ ගිය බව වාර්තා වේ.) අඩුම පිරිවැයක් ඇති පුනර්ජනනීය මූලාශ්‍ර වලිනි.

එමනිසා ඉන්ධන මිල ඉහළ යෑම නිසා විදුලි ඒකකයක පිරි වැය ඉහළ ගොස් විදුලි බල මණ්ඩලයට පාඩු සිදු වන්නේය යන්න බෞද්ධ ඉතිහාසයේ සඳහන් චේතිය රජ්ජුරුවන්ගේ බොරුවකි.

2020 වසරේ සංඛ්‍යා ලේඛන අනුව පුනර්ජනනීය මූලාශ්‍රවලින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රු. 2.32 කි. තාප විදුලි බල ඒකකයක් සඳහා වැය වන මුදල රු. 29.94 කි. මෙම සංඛ්‍යා ලේඛන අනුව මෙවැනිම පිරි වැයක් තෙල් ආනයනය කරන සෙසු ආසියානු රටවලටත් දැරීමට සිදුවනු ඇතැයි නිගමනය කළ හැකිය. නිදසුනක් වශයන් ඉන්දියවේ පුනර්ජනනීය බල ශක්තියෙන් නිපදවෙන විදුලිය ප්‍රමාණය සියයට 22 කි. මැලේසියාවේ සියයට 12 කි.

ඒ අනුව එම රටවල විදුලි ඒකකයක් අපට වඩා දෙතුන් ගුණයකින් වැඩි විය යුතුය. එහෙත් සිදුව ඇත්තේ අනෙක් පැත්තය. පුනර්ජනනීය බලශක්තිය විදුලි බලය නිපදවීමට වැඩියෙන්ම භාවිතා කරන අපේ විදුලි ඒකකයක මිල ඒ රටවලට වඩා දෙතුන් ගුණයකින් වැඩි ය. ඉන් පැහැදිලි වන සරල කාරණය අපේ විදුලි බලය නිපදවීමට අධික පිරි වැයක් දැරීමට සිදුව ඇත්තේ යොදා ගන්නා මූලාශ්‍රය එනම් පුනර්ජනනීය ද තාප බල ශක්තිය ද යන්න නොව වෙනත් කාරණයක් යන්නය. ලොව විශාලතම ඛනිජ තෙල් ආනයනය කරන රටක් වන ඉන්දියාවේ විදුලි ඒකකයක මිල අපට වඩා අඩු වන්නේ කෙසේද යන්න ප්‍රතිපත්ති සම්පාදකයන් ජනතාවට පැහැදිලි කළ යුතුය.

ඇත්තෙන්ම විදුලි බල ඒකකයක් නිපදවීමට අධික පිරිවැයක් දැරීමට සිදු වන්නේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යෑම පමණක් නොවේ. තෙල් මිල ඉහළ යෑම අපට පාලනය කළ නොහැකි වුවත් මෙම ආයතන තුළ මහා පරිමාණයෙන් සිදු වන වංචා දූෂණ සහ හොරකම් පාලනය කළ යුතු කළ හැකි සාධක ය. පිරි වැය ඉහළ යෑමට ප්‍රධාන හේතුව ඒවායි. මේ ගැන අපමණ සාක්ෂි පවතින නමුත් එකක් පමණක් දැක්වීම අපේ මූලික තර්කයට ප්‍රමාණවත් ය. මෙම තොරතුරු උපුටා ගත්තේ 2022 සැප්තැම්බර් 6 වැනි දින දි අයිලන්ඩ් පුවත් පතෙනි.

එම වාර්තාව අනුව නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමට මිල ගණන් කැඳවීමක් සිදු කර ඇත. මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ බ්ලැක්සෑන්ඩ් කොන්සොලිඩේටඩ් නම් සමාගමෙන් පමණි. එම සමාගම ගල් අඟුරු මෙට්‍රික් ටොන් දශ ලක්ෂ 4.5 ක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 295 බැගින් සැපයීමට මිල ගණන් ඉදිරි පත් කර ඇත. අවසානයේ දී ගල් අඟුරු මෙට්‍රික් ටොන් දශ ලක්ෂ 4.5 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබිණ. ඒ මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 500 ක් බැගිනි. මෙම ගල් අඟුරු ප්‍රමාණය වසර දෙකක අවශ්‍යතාවය යි. ඉහත කී සැපයුම්කරු මෙම ගල් අඟුරු සපයන්නේ රුසියාවෙන් මිලදී ගෙන ය. මෙම පුවතේ රසවත්ම එමෙන්ම ඛේදනීය විස්තරය වන්නේ රුසියාව ඉන්දියාවට ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 160 කට අලෙවි කිරීම යි. ඉන්දියාව ගල් අඟුරු භාවිතා කරන්නේ වෙන කාරණයකට නොව විදුලි බලය නිපදවීමට ය. ඔවුන්ගේ විදුලි ඒකකයක පිරිවැය අපට වඩා දෙතුන් ගුණයකින් අඩුවීම අපේ රටේ පාලකයන්ට හැර වෙනත් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.

කොවිඩ් වසංගතය පැවති සමයේ චීනය පාකිස්ථානයට සහ බෙංගාලයට ඩොලර් දෙකකට අලෙවි කළ එන්නත ශ්‍රී ලංකාව ඩොලර් දහයකට මිලදී ගත්තේ ද මෙම මිල සූත්‍රය අනුව ය.

එමනිසා ඉන්ධන මිල ඉහළ යෑම නිසා විදුලි ඒකකයක පිරි වැය ඉහළ ගොස් විදුලි බල මණ්ඩලයට පාඩු සිදු වන්නේය යන්න බෞද්ධ ඉතිහාසයේ සඳහන් චේතිය රජ්ජුරුවන්ගේ බොරුවකි.

විදුලි බල මණ්ඩලයත් රජයේ බලධාරිනුත් ජනතාව සූරා කෑමට යොදා ගන්නේ මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය පමණක් නොවේ. අඩු පිරිවැයක් සහිත පරිසර හිතකාමී විදුලි බල නිපදවීමේ මාර්ග ප්‍රචලිත වීම වැළැක්වීමේ ප්‍රබල උත්සාහයක් ද මේ තුළ පවතී. රජයේ බලධාරීන් නිතර යොදා ගන්නා පුස් තර්කයක් වන්නේ විදුලි බලය වැඩි වශයෙන් භාවිතාවන කාලය ඇතුළත ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යන නිසා තාප විදුලි බලාගාර යොදා ගැනීමට සිදු වන්නේය යන්නයි. විදුලි බල මණ්ඩලයෙන් ම ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව සවස 6.30 සිට 9.40 දක්වා වැඩිවන ඉල්ලුම මෙගවොට්ස් 2750 කි. එම ප්‍රමාණය පද්ධතියට එක් කිරීමට තාප බලාගාර ක්‍රියාත්මක කළ යුතුය.

එහෙත් එම අතිරේක ඉල්ලුම සැපයීම සඳහා යොදා ගත හැකි විකල්ප මාර්ග පවතී. ඉන් එකක් වන්නේ පුනර්ජනනීය විදුලි බලය නිපදවීම ය. 2020 විගණන වාර්තාවේ සඳහන් වන ආකාරයට පුනර්ජනනීය මූලාශ්‍රවලින් මෙගවොට්ස් 4000 ක් නිපදවීමට විවිධ පාර්ශ්ව විදුලි බල මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇත. එහෙත් එම අවසරය විගණනය වන අවස්ථාව වනතෙක්ම ලැබී නැත. එසේ වන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට විශේෂ සමීක්ෂණ අවශ්‍ය නැත. පැහැදිලි පිළිතුර අකාර්යක්ෂමතාවය සහ දූෂණ යයි.

පුනර්ජනනීය මූලාශ්‍ර

අප මෙම ලිපියේ ඉහතින් සඳහන් කළ ආකාරයට විදුලි බලය නිපදවීමට අවම පිරිවැයක් වන්නේ පුනර්ජනනීය මූලාශ්‍රයි. මෙම ක්ෂේත්‍රයේ වරලත් ඉංජිනේරුවරයෙකු වන දම්මික නානායක්කාර මෑතක දී පුවත් පතකට පැවසූ ආකාරයට නිවෙස්වල වහළ ද හිරු ආලෝකයෙන් විදුලිය නිපදවීමට පහසුවෙන්ම යොදා ගත හැකි මාර්ගයකි. ඔහු ගණන් බලා ඇති ආකාරයට වහළ මත සවිකරන සූර්ය බලශක්ති කට්ටල මගින් ගිගා වොට්ස් 42,000 ක් නිපදවීමේ ධාරිතාවයක් පවතී. රටේ අවශ්‍යතාවය ගිගාවොට්ස් 16,000 කි. ඒ අනුව රටේ අවශ්‍යතාවය මෙන් තුන් ගුණයකට ආසන්න විදුලි බලයක් නිපදවීමේ ධාරිතාවයක් පවතී. එහෙත් ඒවා දිරි ගැන්වීමේ වැඩ පිළිවෙළක් බලධාරීන් සතුව නැත. එවැනි වැඩ පිළිවෙළක් ඔවුන්ගේ ආදායම් තත්වයට අහිතකරවීම මූලික හේතුව විය හැකිය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් විස්තර අනුව 2022 වසරේ නොවැම්බර් 22 වන විට නාමල් ගේ පියා මහින්ද රාජපක්ෂ ගෙවිය යුතු විදුලි බිල රු. 722,216.89 කි. ඔහුගේ ලේකම් ගෙවිය යුතු මුදල රු. 1,114,127,88 කි. ජනාධිපති ගේ ලේකම් ගෙවිය යුතු මුදල රු. 522,755.94 කි.

අනෙක් සේවා මෙන්ම විදුලි බලය සැපයීමේ මූලික අරමුණ වන්නේ පාලක පංතියේ සුඛවිහරණයයි. ගණන් බලා ඇති ආකාරයට මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 75ක්ම පාවිච්චි කරන්නේ මාසයකට විදුලි ඒකක 90ට අඩුවෙනි. ලංකාවේ විදුලි බලය යොදා ගැනීමේ සාමානයය ඒකක 700 කි. එහෙත් සංවර්ධිත රටක් වන නෝර්වේ හි ඒක පුද්ගලය විදුලි පර්භෝජනය ඒකක 25,000 කි.

එමෙන්ම නියමිත කාලයට විදුලි බිල නොගෙවන්නේ නම් අනිවාර්යෙන්ම විදුලි බල මණ්ඩලය සැපයුම කපා හරී. එහෙත් මහා පරිමාණයේ කම්හලක මෙන් විදුලිය පාවිච්චි කරන බලවතුන්ගේ නිවෙස්වලින් විදුලි බිල අය කර ගැනීමට මණ්ඩලය තුළ පවතින්නේ පුදුම සහගත මන්දෝත්සාහී භාවයකි. නාමල් රාජපක්ෂගේ විවා මංගල්‍යයේ දී වැය වූ විදුලිය වෙනුවෙන් අය කර ගැනීමට තිබු විසි හය ලක්ෂයක මුදල අය කර ගැනීමට බිලක් එවා නැතැයි ඔහු පසුගිය දා ප්‍රකාශ කෙළේය.

ඊට අමතරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් විස්තර අනුව 2022 වසරේ නොවැම්බර් 22 වන විට නාමල් ගේ පියා මහින්ද රාජපක්ෂ ගෙවිය යුතු විදුලි බිල රු. 722,216.89 කි. ඔහුගේ ලේකම් ගෙවිය යුතු මුදල රු. 1,114,127,88 කි. ජනාධිපති ගේ ලේකම් ගෙවිය යුතු මුදල රු. 522,755.94 කි. මෙපමණ මුදල විදුලිය පාවිච්චි කෙළේ මාසයක් ඇතුළත ද නැතිනම් ඊටත් වැඩි කාලයක් ඇතුළත ද යන්න අවධානයට ලක් විය යුතු වෙනත් කාරණයකි. දැනට වැදගත් වන්නේ මෙවැනි අයවීම් අපත පොතට වැටීමෙන් මණ්ඩලයත් අවසානයේ සාමාන්‍ය විදුුලි පාරිභෝගිකයාත් දැරිය යුතු බරක් වීම ය.

මින් පැහැදිලි වන්නේ ජනතාවට සේවය සපයන වෙනත් ආයතන මෙන් විදුලි බල මණ්ඩලයට පාඩු සිදු වන්නේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යෑම නිසා නොවන බවය. මණ්ඩලය පාඩු ලබන්නේ එම සේවය සැපයීම නිසා නොවේ. ඉහවහා ගිය දූෂණ, අකාර්යක්ෂමතාවය හා හොරකම නිසාය. විදුලි ඒකකයක මිල වැඩි කිරීමෙන් ඒ කිසිවක් වෙනස් වන්නේ නැත. අනෙකුත් අත්‍යවශ්‍ය සේවා මෙන් විදුලිය සැපයුම ද පරිසර හිතකාමී ජනතාවට සහනදායී කළ හැකි වන්නේ බලයේ සිටින චේතිය රජවරුන් මෙන්ම දූෂිතයන් ඉවත් කිරීමෙනි.

උපුටා ගැනීම vivaranalk.com වෙතිනි.

Archive

Latest news

Related news