Thursday, November 21, 2024

දේශපාලනික කටුසු භාවය: දුෂ්ට සුචරිතයක් ගැන ආවර්ජනයක් – සුමුද චාමර

‘මං ඒක කළේ රට ගැන හිතලා, ජනතාව ගැන හිතලා’ යන්න, තමන් ගන්නා දේශපාලනික තීන්දු සාධාරණීකරණය සඳහා බොහෝ ශ්‍රී ලාංකීය දේශපාලනඥයන් නිතර කියන කතාවකි. වැඩියත්ම ඒ කතාව කියන්නේ, තමන් ගත් තීරණයක් වැරදුණු අවස්ථාවල ය. මේ දේශපාලනඥයන්ට අනුව ඔවුන් දේශපාලනයට පිවිසෙන්නේ ජනතාවට සේවය කිරීමටයි. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. ජනතාවගේ සහ රටේ අවශ්‍යතා පෙරදැරිව නීති සම්පාදනය ඇතුළු තීරණ ගන්නා ඔවුන්, වෙනත් වෘත්තීන්හි නියැළෙන අය මෙන් යම් වයස් සීමාවකින් පසු විශ්‍රාම ගියොත් ඒ ඉතා කලාතුරකිනි. මන්ද යත්, ජනතාවට ඔවුන්ගේ සේවය අවශ්‍ය කරන බැවිනි. මේ කියන ජනතාවගේ අභිවෘද්ධිය උදෙසාම ඔවුහූ විටින්විට සිය දේශපාලන ආස්ථානයන් වෙනස් කරති.

බොහෝ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් නිතර කරන දෙයක් වන්නේ, ජනතාවගේ නාමයෙන්, රටේ අභිවෘද්ධියේ නාමයෙන්, තමා පාර්ලිමේන්තුවට තේරී පත් වූ පක්ෂය මාරු කිරීමයි. එය කිසි චකිතයක් නැතිව කරන දෙයකි. මෑතක සිට, පක්ෂය මාරු නොකරම වෙනත් පක්ෂයක අසුන් ගැනීමත් සිදු කෙරේ. එය, ආණ්ඩු පක්ෂයේ විය හැකිය. විපක්ෂයේ විය හැකිය. එසේ කරන්නේද, පොදු යහපත සඳහා ය.

කෙසේ වෙතත්, දේශපාලනඥයන් පක්ෂ මාරු කිරීම පිළිබඳ මේ පිලුනු සාකච්ඡාවට අලුත් මුහුණුවරක් මෑතකදී ලැබුණි. ඒ, මේ මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවත් නිසා ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිස, පසුව වර්තමාන ආණ්ඩුවේ පරිසර අමාත්‍ය පදවියට පත් නසීර් අහමඩ් තමාව මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙළේය.

ඔහුව පක්ෂයෙන් නෙරපා තිබුණේ, පක්ෂයේ මතයට එරෙහිව, 2022 විසර්ජන (අයවැය) කෙටුම්පතට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම නිසා ය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේ පක්ෂය විසින් ඔහුව එසේ නෙරපනු ලැබීම නීත්‍යානුකූල වන බවයි. ඒ අනුව ඔහුට සිය මන්ත්‍රී අසුන අහිමි විය.

ආචාර ධර්ම සහ වෘත්තීය භාවය

විශේෂයෙන් අලුත් ආණ්ඩුවක් බලයට පත් විට එම ආණ්ඩුවේ ඇමති තනතුරු ලබාගැනීම සඳහා තමන්ගේ පක්ෂය මාරු කරන දේශපාලනඥයන් බොහෝවිට අප දැක තිබේ. මෙවැනි දේශපාලනඥයන්ට විරුද්ධව නීතිමය සහ විනය පියවර ගත් අවස්ථාද තිබේ. මේ සිරිතට ශ්‍රී ලාංකිකයන් හුරු වී ඇතැයි පෙනුණත්, මන්ත්‍රීවරුන් මෙසේ පිල් මාරු කිරීම කෙරෙහි බලවත් අපුලක් ජනතාව තුළ තිබේ. මන්ද යත්, එම කල්ක්‍රියාව නිසා, දේශපාලනඥයා කෙරෙහි ඡන්දදායකයා තබන විශ්වාසය පළුදු වන බැවිනි.

මන්ත්‍රී කෙනෙකුට තමන්ගේ පක්ෂය මාරු කිරීමට අයිතියක් තිබිය යුතුද නැද්ද යන්න සරල ප්‍රශ්නයක් නොවේ. ඒ පිළිබඳව පවතින නීතිමය තත්වය පැත්තකින් තිබ්බත්, එවැනි තීරණයක ඇති ආචාරධාර්මික සහ ප්‍රායෝගික පැත්ත ජනතා අවධානයට ලක්වෙයි. එසේ වන්නේ, රටක දේශපාලනය තුළ දේශපාලන පක්ෂයකට පැවරෙන කාර්යභාරය නිසා ය.

එසේම, යම් දේශපාලනඥයෙකු වෙනුවෙන් ස්වකීය ඡන්දය පාවිච්චි කිරීමේ හෝ නොකිරීමේ තීරණය කෙරෙහි එකී දේශපාලනඥයාගේ පක්ෂයේ දෘෂ්ටිවාදය සහ ක්‍රියාකාරීත්වය ඡන්දදායකයා කෙරෙහි බෙහෙවින් බලපාන නිසා ය. හරි හෝ වැරදි වේවා, බොහෝ මිනිසුන් දේශපාලනඥයන් වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ එම දේශපාලනඥයාගේ පක්ෂය සැලකිල්ලට ගැනීමෙනි. එවැනි සන්දර්භයක් තුළ දේශපාලනඥයෙකු නියෝජනය කරන දේශපාලන පක්ෂය, රටේ සමස්ත දේශපාලනය කෙරෙහි කෙලින්ම බලපායි. එය, තමා වෙනුවෙන් නියෝජිතයෙකු තෝරගැනීමේ හොඳම ක්‍රමය වුණත් නැතත්, ඒ තීරණය ඡන්දදායකයා ගනු ලබන්නේ මැතිවරණයට අදාළ ඔවුන්ගේ තීන්දු තීරණ කෙරෙහි සැලකිලිමත් වීමෙනි.

එවැනි කරුණු රාශියක් මැද්දේ යම් පුද්ගලයෙකු තෝරාගැනීමට ඡන්දදායකයාට සිද්ධ වීම, එක්තරා ආකාරයකින් විකෘතියකි. මන්ද යත්, අවසානයේ ඡන්දය පාවිච්චි කෙරෙන්නේ ඒ පුද්ගලයාට නොව, ඔහුගේ පක්ෂයට වන බැවිනි.

යම් පක්ෂයකින් තේරී පත් වූ පසු කෙනෙකු සිය පක්ෂය මාරු කිරීමට බොහෝ දෙනා විරුද්ධ වන්නේ එබැවිනි. එය ජනතාව දකින්නේ ද්‍රෝහීකමක් වශයෙනි. එවැනි දේශපාලනඥයන් තවදුරටත් විශ්වාස කිරීමට ඡන්දදායකයාට නොහැකි වන්නේය. ඔවුන්ගේ අදහස් උදහස් හා ක්‍රියාකාරකම් පිළිගැනීමට නොහැකි වන්නේය.

ආචාර විද්‍යානුකූලව බලන විට, මන්ත්‍රී කෙනෙකුට යම් අදහසක් දැරීමට සේම ඒ අදහස වෙනස් කිරීමටත්, පක්ෂපාතීත්වයන් වෙනස් කිරීමටත් අයිතියක් ඇති බවත් සැලකිල්ලට ගැනීමට සිදුවෙයි. මන්ත්‍රීවරයෙකුට/වරියකට මූලික අයිතීන් අහිමි කළ නොහැකියි. විශේෂයෙන්, තමන්ගේ හෘදසාක්ෂිය සම්බන්ධයෙන්, තමන්ගේ චින්තනය සහ විශ්වාසයන් සම්බන්ධයෙන් වන ආස්ථානයන් වෙනස් කිරීමට අයිතියක්, ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක කෙනෙකුට තිබිය යුතුය. තමන් ඡන්දය පාවිච්චි කළ අදහස පසුව වෙනස් කරගැනීමට ඡන්දදායකයෙකුට පුළුවන් වන්නා සේම, මන්ත්‍රීවරයෙකුට/වරියකටද ඒ අයිතිය තිබිය යුතුය.

තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන් වෙනස් කරගැනීමට ඡන්දදායකයාට ඇති අයිතියට වැඩි අයිතියක් සමහරවිට මන්ත්‍රීවරයෙකුට/වරියකට තිබිය යුතු යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මන්ද යත්, මන්ත්‍රීවරයා/වරිය යනු බලය අභ්‍යාස කරන තැනක සිටින කෙනෙකු නිසා, තමන් සිටින්නේ වැරදි පක්ෂයක යැයි යම් මොහොතක ඔහුට/ඇයට තේරුම් ගියොත්, ඊට වඩා සේවයක් වෙනත් පක්ෂයකට ගියොත් කළ හැකි යැයි ඔහුට/ඇයට හැඟී ගියොත්, එසේ කිරීමට ඉඩ දීම නරකක් නොවන බැවිනි. පක්ෂ මාරු කිරීම වරදක් නම්, එයින් කියැවෙන්නේ, රටට තවදුරටත් සේවයක් නොකරතියි සිතන පක්ෂයක එක දිගටම තමන්ගේ නියෝජිතයා සිටිය යුතු යැයි කෙනෙකු සිතිය යුතු බවක්ද?

අවශ්‍ය කරන වෙනස

පක්ෂ මාරු කිරීමේ හේතු හෝ ඒවායේ ප්‍රතිවිපාක කවරක් වෙතත්, දේශපාලනඥයන් කවදත් පක්ෂ මාරු කරනු ඇත. පක්ෂ විසින් ඉතා තදබල නීති සහ රෙගුලාසි පනවාගත්තොත් මිස එය නතර කළ නොහැකි වනු ඇත. එසේත් නැතහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒ සඳහා වන ප්‍රතිපාදන ඇති කිරීමට සිදු වනු ඇත. යම් පක්ෂයකින් අප තෝරා පත්කරන නියෝජිතයා සිය පක්ෂය මාරු කිරීමෙන් අප තුළ ඇති විය හැකි අපේක්ෂාභංගත්වයෙන් මිදී සිටීමට නම් කළ යුත්තේ, ඔවුන් අපට දෙන පොරොන්දු ඉටු කිරීම් ගැන සහ අපේ අපේක්ෂා ඔවුන් සන්තර්පණය කරතියි තියාගන්නා විශ්වාසයන් වෙනස් කරගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, අපේ නියෝජනත්වය පක්ෂයක් මත වාරු නොකොට පුද්ගලයන් මත වාරු කිරීමයි.

සමහර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි, රටේ පවතින සැබෑ දේශපාලනික තත්වයන් තේරුම්ගැනීමට බොහෝ ඡන්දදායකයෝ අපොහොසත් වෙති. බොහෝ දෙනා ඡන්දය පාව්චිචි කරන්නේ, කරන්නන් වාලේ ය. නෛතික වගකීමක් ඉටු කිරීමක් වශයෙන් ය. සැබෑ පුරවැසියෙකුට, රටේ පවතින සැබෑ තත්වයන් සැලකිල්ලට ගෙන තමා වෙනුවෙන් නිවැරදි නියෝජිතයන් පත්කර යැවීමට පුළුවන් විය යුතුය. සියල්ලටමත් වඩා, රටක් පාලනය කිරීමට දේශපාලනඥයන් අවශ්‍ය යැයි පිළිගෙන ඇති තත්වයක් තුළ, දේශපාලනඥයාගේ ප්‍රථම කාරිය වන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම ය යන්න, බොහෝ දෙනා අමතක කරති. සමහරවිට, දේශපාලන පක්ෂයක් විසින් මුළුමණින් ආරෝපණය කොට ඇති වටිනාකම් සහිත පුද්ගල දේශපාලනඥයා කෙරෙහි ආකර්ශණය වන තරම්, තනි පුද්ගලයෙකු වශයෙන් ඒ දේශපාලනඥයාගේ දක්ෂතා සහ සුදුසුකම් කෙරෙහි අවධානය යොමු නොකරන්නේ ඒ නිසා විය හැකිය. පුද්ගල දේශපාලනඥයන් තුළ ඇති එවැනි දක්ෂතා සහ හැකියාවන් කෙරෙහි වැඩි අගයක් පැවරීමට ඡන්දදායකයා පටන්ගත්තොත්, සිය නියෝජිතයා නියෝජනය කරන පක්ෂය ඡන්දදායකයාට එතරම් වැදගත් නොවනු ඇත. එසේ වූ විට, තේරී පත් වූ පසු යමෙකු පක්ෂය මාරු කළ විට එතරම් අපේක්ෂාභංගත්වයක් හෝ කලකිරීමක් ඡන්දදායකයා තුළ ඇති වීමට ඉඩක් නැත. මන්ද යත්, ඡන්දය පාවිච්චි කරන මොහොතේම ඡන්දදායකයා සැලකිල්ල යොමුකොට ඇත්තේ, පක්ෂයක ප්‍රතිරූපයකට වඩා, පුද්ගලයෙකුගේ හැකියාවන්, පළපුරුදුකම්, ප්‍රතිපත්ති සහ චරිත ස්වභාවයන් වැනි කාරණා කෙරෙහි වන නිසා ය.

කෙසේ වෙතත්, පවතින ක්‍රමය තුළ, දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරීත්වයන් කෙරෙහි දේශපාලන පක්ෂ විසින් ඇති කෙරෙන බලපෑම මුළුමණින් ඉවත දැමීමට පුළුවන්කමක් නැත. ඒ නිසාම, යම් දේශපාලනඥයෙකු තමන්ගේ පක්ෂය මාරු කළ විට ඔහු කෙරෙහි කලින් පැවති අපේ විශ්වාසය ඒ අයුරින්ම දිගටම රඳවාගැනීමට අපට ඇති හැකියාවත් සීමා වන්නේය. එසේ වෙතත්, දේශපාලන පක්ෂ මත පරායත්ත වීමෙන් ඡන්දදායකයා ඈත් වීමට පටන්ගැනීම යම් ආරම්භයක් විය හැකිය. එය, දැන් කරන්නා සේ, දේශපාලන පක්ෂ විසින් රූපගන්වා ඉදිරිපත් කරන නියෝජිතයෙකු පත්කරගන්නවාට වඩා හොඳ ය. ඒ අනුව, පක්ෂ මත යැපෙනවා වෙනුවට පුද්ගල දේශපාලනඥයන් මත යැපීමට අප ඉක්මනින් ඉගෙනගන්නා තරමට, ඒ දේශපාලනඥයන්ද යම් පාඩමක් හිතට ගනු ඇත. එනම්, තමන්ගේ පක්ෂය කරන්නේ කුමක්ද යන්න මත නොව, තමන් කරන්නේ කුමක්ද යන්න මත තමාගේ දේශපාලන අනාගතය තීරණය කෙරෙනු ඇති බව ඔහුට/ඇයට වැටහීමට පටන්ගැනීම ය.

මෙය, මීට වසරකට පමණ කලින් ‘අරගලය’ තුළ බොහෝ දෙනාට අවශ්‍ය කළ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගැනීමේ කර්තව්‍යය පිළිබඳව සලකා බැලිය හැකි එක් පැත්තකි. දේශපාලනඥයාගේ පැත්තෙන් ගන්නා විට ඔවුන්ගේ හැකියාවන් සහ විශ්වසනීයත්වයන් පිළිබඳ ප්‍රශ්න රාශියක් ඇති බව පිළිගන්නා අතරේම, ඔවුන්ගේ හැකියාවන් සහ ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම සඳහා සැලකිල්ලට ගැනෙන ඡන්දදායකයාගේ පර්යායනුත් වෙනස් විය යුතු බව කිව හැකිය. ඡන්දදායකයාගේ වෙනසකින් තොරව, දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කළ නොහේ. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ දේශපාලනයේ ගති ස්වභාවය තීන්දු කෙරෙන ප්‍රධාන ගාමකය වන්නේ ජනතාවගේ ඡන්දය වන බැවිනි.

 

( 2023 ඔක්තෝබර් 19 දින The  morning පුවත්පතෙහි “Political chameleonism : A reflection on a vicious virtue” මැයින් පල වූ ආචාර්ය සුමුදු චාමර විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි.)

Archive

Latest news

Related news