Saturday, April 27, 2024

“මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත” හරහා තථ්‍යසමාන ප්‍රකාශනයේ නිදහස පැහැරගනීවිද? – කමන්ති වික්‍රමසිංහ

සැප්තැම්බර් 18 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත’, මාධ්‍ය කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන සහ අයිතිවාසිකම් සංවිධාන ආදියේ බරපතල විවේචනවලට තුඩු දී තිබේ.
ඒ විවේචනවලින් කිහිපයක් වන්නේ, පනත යටතේ කියැවෙන වැරදි සඳහා දී ඇති අපැහැදිලි අර්ථකථනයන් සහ දණ්ඩනීති සංග්‍රහයේ දැනටමත් පවතින වැරදි ගණනාවක් දණ්ඩනීති සංග්‍රහයේ සඳහන් දඬුවම්වලට වඩා වැඩි දඬුවම් සහිතව මේ කෙටුම්පත තුළ අන්තර්ගතකොට තිබීමත් ය. ප්‍රතිපත්ති විමර්ශකයන් බොහෝ දෙනා පෙන්වා දෙන පරිදි, මේ වනාහී ප්‍රකාශනයේ නිදහස තවදුරටත් මර්දනය කිරීමේ කෙටුම්පතකි.
එහෙත් ආණ්ඩුව කියන්නේ, අපහාස කිරීමට සහ විශේෂයෙන් ආණ්ඩුවට එරෙහි දුරාරංචි පැතිරවීමට සහ සාවද්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව වැටකඩොලු බැඳීම ය. (දුරාරංචි යනු, නොමග යැවීමේ චේතනාවකින් තොරව වැරදි ආරංචි පැතිරවීම ය. සාවද්‍ය තොරතුරු යනු, නොමග යැවීමේ චේතනාව සහිතව වැරදි ආරංචි පැතිරවීම ය- පරිවර්තක). මේ තත්වය යටතේ, මෙකී පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සම්කරුවන් 29 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් තිබේ. ඒ පිළිබඳ විභාගය ඔක්තෝබර් 18 දා පටන්ගැනේ.

“මේ කෙටුම්පත මගින් අලුත්ම අලුත්ම ආයතනයක්ද කරලියට ගෙන එයි. එනම්, ‘මාර්ගගත ආරක්ෂණ කොමිසමයි’.

කෙටුම්පතේ ප්‍රධාන අංග

අවධානයට ලක්ව ඇති එක් කාරණයක් වන්නේ, සෑහෙන දුරට පැහැදිලි අර්ථකථනයන් සහිත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සකස් කරන ලද අයි.සී.සී.පී.ආර්. (සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ) 3 වැනි වගන්තිය පවා විවිධ අවස්ථාවල ලංකාවේදී වැරදියට අර්ථකථනයකොට, වැරදියට භාවිතයේ යෙදී ඇති බවයි.

මේ කොමිසම සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්නය වන්නේ, එය ජනාධිපතිවරයා විසින් තනිකර ඔහුගේ අභිමතය පරිදි සාමාජිකයන් පත්කරනු ලබන කොමිසමක් වීමයි. ඔවුන්ව පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතේ තිබෙන බැවින් ඔවුන්ගේ දේශපාලනික ස්වාධීනත්වය පිළිබඳ සහතිකයක් ඇති නොවේ.

“මනාව කෙටුම්පත් කළ නීතියක් පවා නිවැරදිව ක්‍රියාවට නැඟීමේ අභියෝගයක් අප ඉදිරියේ තිබේ. ලංකාවේ අයි.සී.සී.පී.ආර්. නීතිය ක්‍රියාවට යෙදවීමේදී ඒ බව පෙන්නුම් කර ඇත” හෑෂ් ටැග් ජෙනරේෂන් නමැති සංවිධානය මගින් මේ පිළිබඳව පවත්වන ලද සාකච්ඡාවකදී, මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥවරයෙකු වන ආචාර්ය ගෙහාන් ගුණතිලක කීවේය. තවදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේද කීය: “මේ කෙටුම්පත මගින් අලුත්ම අලුත්ම ආයතනයක්ද කරලියට ගෙන එයි. එනම්, ‘මාර්ගගත ආරක්ෂණ කොමිසමයි’.

මේ කොමිසම සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්නය වන්නේ, එය ජනාධිපතිවරයා විසින් තනිකර ඔහුගේ අභිමතය පරිදි සාමාජිකයන් පත්කරනු ලබන කොමිසමක් වීමයි. ඔවුන්ව පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතේ තිබෙන බැවින් ඔවුන්ගේ දේශපාලනික ස්වාධීනත්වය පිළිබඳ සහතිකයක් ඇති නොවේ. ඒ අතරේ යහපත් සාමාජිකයන් මෙන්ම, දේශපාලනික හිතවත්කම් මත පත්කරන සාමාජිකයන්ද සිටිය හැකිය. අපේ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ යාන්ත්‍රණයක් වශයෙන් ‘ව්‍යවස්ථාදායක සභාවක්’ අප පිහිටුවා ඇත්තේ එබැවිනි. එසේ තිබියදී, ජනාධිපතිවරයා විසින් තනි මතයට සාමාජිකයන් පත්කරන මෙවැනි කොමිසමකින් අපක්ෂපාතීත්වයක් අපේක්ෂා කිරීම දුෂ්කර ය.”

“මේ හැරුණුකොට, ඉතා පුළුල් ආකාරයකින් හඳුන්වා දෙන වැරදිද තිබේ. උදාහරණයක් වශයෙන් ගතහොත්, ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බොරු ප්‍රකාශයක්’ මේ පනතේ 12 වැනි වගන්තිය යටතේ වරදක් වෙයි. බොරු ප්‍රකාශයක්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව තීරණය කරන්නේ මොන සාධක යටතේද යන්න පැහැදිලි නැත.

තමන්ව පත්කිරීම පිළිබඳ එවැනි දේශපාලනික පක්ෂපාතීත්වයන් තිබීමට අමතරව, මේ සාමාජිකයන්ට තවත් බලතල රාශියක්ද හිමි වන්නේය. නිවේදන නිකුත් කිරීම, පනත තුළ නිර්ණායකයන් ඇතුළත්ව නැති තත්වයක් තුළ නියෝග නිකුත් කිරීමට බලයක් තිබීම ආදිය ඒ අතර වෙයි. “ ඒ විදිහට, ඔවුන්ට පැවරෙන සමහර බලතල විටෙක අර්ධ-අධිකරණමය ස්වරූපයක් ගනී. මේ කොමිසම දේශපාලනීකරණය වීමේ අවදානම පැත්තකින් තිබ්බත්, ඔවුන්ට පැවරෙන බලතල පරාසය විශාල වීම පැත්තකින් තිබ්බත්, තවත් භයානක ලක්ෂණයක් වන්නේ, ඔවුන් විසින් නිකුත් කළ හැකි ඉහත කී නිවේදන සහ නියෝග ආදිය සම්බන්ධයෙන් තමන්ගේ පැත්තෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් චූදිත පාර්ශ්වයට නැති වීමයි.
උදාහරණයක් වශයෙන්, මේ පනත යටතේ වරදක් වශයෙන් සැලකෙන යමක් මාර්ගගත වේදිකාවක හෝ ගිණුමක් පළ වී ඇතැයි කොමිසම තීරණය කරන අවස්ථාවක එය වහා ඉවත් කරන්නැයි නියෝග කිරීමේ බලය කොමිසමට තිබේ. කොමිසම ඒ නියෝගය නිකුත් කරන්නේ, අදාළ චූදිත පාර්ශ්වය සමග ඒ ගැන කතා කිරීමෙන් හෝ ඔවුන්ගේ පැත්තෙන් කරුණු දැක්වීමක් කිරීමට ඉඩ දීමෙන් පසුව නොවේ. එය ස්වභාවික යුක්ති ධර්මයේ මූලික ප්‍රතිපදාවක් උල්ලංඝණය කිරීමකි. මේ කොමිසම සම්බන්ධයෙන් පැනනඟින ප්‍රධාන දෝෂයක් වන්නේ එයයි.” ඔහු තවදුරටත් පැහැදිලි කෙළේය.
“මේ හැරුණුකොට, ඉතා පුළුල් ආකාරයකින් හඳුන්වා දෙන වැරදිද තිබේ. උදාහරණයක් වශයෙන් ගතහොත්, ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බොරු ප්‍රකාශයක්’ මේ පනතේ 12 වැනි වගන්තිය යටතේ වරදක් වෙයි. බොරු ප්‍රකාශයක්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව තීරණය කරන්නේ මොන සාධක යටතේද යන්න පැහැදිලි නැත. වරදක් නිර්වචනය කිරීමේ මෙවැනි පුළුල් ඉඩක් තිබෙන විට, බලධාරීන්ට අවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය තන්හිදී ඕනෑම සිද්ධියක් හෝ ක්‍රියාකාරීත්වයක්, ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක්’ වශයෙන් ගෙනහැර දැක්වීමේ අවසරය ලැබෙයි.” ආචාර්ය ගුණතිලක පෙන්වා දුන්නේය.

වැරදි, ප්‍රතිගුණනය වීම

එසේම මේ පනත තුළ සඳහන් සමහර වගන්ති, දණ්ඩනීති සංග්‍රහයේ දැනටමත් තිබෙන වගන්ති බව පෙනේ. එකම වරද මේ ආකාරයෙන් දෙතැනක සඳහන් වෙතත්, මෙකී පනත යටතේ එම වරදට පැනවෙන දඬුවම, දණ්ඩනීති සංග්‍රහය යටතේ එම වරදට පැනවෙන දඬුවමට වඩා බෙහෙවින් වැඩි ය.
“උදාහරණයක් වශයෙන්, පොදු ආගමික රැස්වීමකට බාධා කිරීම දණ්ඩනීති සංග්‍රහය යටතේ වරදක් වෙයි. මාර්ගගත ආරක්ෂණ පනත යටතේද, යම් සාවද්‍ය ප්‍රකාශයක් මාර්ගගතව පළ කිරීම මගින් පොදු ආගමික රැස්වීමකට බාධා කිරීම වරදකි. එහෙත් මේ පනත යටතේ ඊට ලැබෙන දඬුවම බෙහෙවින් වැඩි ය. ඒ දෙක සංසන්දනය කළොත්, මේ පනත යටතේ පැනවෙන දඬුවම තුන් ගුණයක් වැඩි ය. එකම වරදට වෙනස් දඬුවම් පැනවීම බරපතල කාරණයකි. එවැන්නක කිසි තාර්කිකත්වයක් නැත. යම් පුද්ගලයෙකු පොදු ආගමික රැස්වීමකට ගොස් කායිකවම ඊට බාධා කළොත් හෝ එය කඩාකප්පල් කළොත්, දණ්ඩනීති සංග්‍රහය යටතේ ඔහු අවුරුද්දක් දක්වා වන කාලයකට හිරේට නියම කළ හැකිය. එහෙත් එම වරදම මේ පනත යටතේ අධිකරණයකට ඉදිරිපත් කළොත් ලැබෙන දඬුවම අවුරුදු තුනක කාලයක් දක්වා වන හිර දඬුවමකි. ඒ අනුව බලන විට, දඬුවමක තිබිය යුතු සමානුපාතිකත්වය මෙහිදී දකින්ට නොලැබේ.” ඔහු කීවේය.

“එම නීතිය ඉතා භයානක එකක් විය හැකි බව සිතාගත හැකිය. මන්ද යත්, ඕනෑම ආකාරයක පරපුද්ගලායනයක් මේ යටතේ වරදක් විය හැකි බැවිනි. තවත් විදිහකින් කිවහොත්, හාස්‍යයක, සරදමක හෝ ප්‍රහසනයක් තුළින් ඉදිරිපත් කෙරෙන පරපුද්ගලායනය පවා එහිදී වරදක් සහ අපරාධයක් විය හැකි බැවිනි.

හාස්‍යය, සරදම සහ විකට ප්‍රහසනය, අපරාධයක් බවට පත්කිරීමක්?

මේ පනත යටතේ මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ, පරපුද්ගලායනයයි. (එනම්, වෙනත් කෙනෙකු වශයෙන් පෙනී සිටීමයි. උදාහරණයක් වශයෙන්, වෙනත් කෙනෙකුගේ චරිතයකට පණපොවන විකට නළුවෙකු ගත හැකිය). දණ්ඩනීති සංග්‍රහයේ 399 වැනි වගන්තිය යටතේ වෙනත් පුද්ගලයෙකු වශයෙන් වංචාසහගත ලෙස පෙනී සිටීම වරදකි. මේ පනතේ 19 වැනි වගන්තිය යටතේද, වෙනත් පුද්ගලයෙකු වශයෙන් පෙනී සිටීම හෙවත් පරපුද්ගලායනය වරදකි.
නතාශා සිරගත කිරීම මතකද?
වෙනසකට ඇත්තේ මේ පනත අදාළ වන්නේ මාර්ගගත සිද්ධීන්වලට පමණක් වීමයි. “සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වෙනත් පුද්ගලයෙකු වශයෙන් වංචාසහගතව පෙනී සිටීම යන වරදේ විශේෂත්වයක් ඇත්තේය. එහිදී තවත් පුද්ගලයෙකු රැවැට්ටවීමක් සිද්ධ වෙයි. සමහරවිට ඒ පුද්ගලයා මූල්‍ය අවාසියක් හෝ වෙනත් බරපතල හානියක් ඒ මගින් සිදු කළ හැකිය. එහෙත් මේ වරද, මාර්ගගත ආරක්ෂණ පනත යටතේ වරදක් වෙතැයි කියන විට අපූරු කාරණයක් පෙනී යයි. එනම්, වෙනත් පුද්ගලයෙකු වශයෙන් ‘වංචාසහගතව පෙනී සිටීම’ යන සාධකය එහි නොමැති වීමයි. මෙසේ වන විට, එම නීතිය ඉතා භයානක එකක් විය හැකි බව සිතාගත හැකිය. මන්ද යත්, ඕනෑම ආකාරයක පරපුද්ගලායනයක් මේ යටතේ වරදක් විය හැකි බැවිනි. තවත් විදිහකින් කිවහොත්, හාස්‍යයක, සරදමක හෝ ප්‍රහසනයක් තුළින් ඉදිරිපත් කෙරෙන පරපුද්ගලායනය පවා එහිදී වරදක් සහ අපරාධයක් විය හැකි බැවිනි.”
“මේ අනුව, වෙනත් පුද්ගලයෙකු වශයෙන් පෙනී සිටීම වරදක් වීම සඳහා වංචනික චේතනාව අවශ්‍ය නොකෙරේ. ඒ නිසා මේ පනත යටතේ, මාර්ගගත වේදිකා ඔස්සේ නිර්නාමිකව පෙනී සිටීමට ඇති කෙනෙකුට ඇති හැකියාව, සරදමට හා හාස්‍යයට කෙනෙකු ලක්කිරීමට තවත් කෙනෙකුට ඇති හැකියාව සහිත වර්තමාන මාර්ගගත සංස්කෘතියම මර්දනය කෙරෙන්නේය.” ආචාර්ය ගුණතිලක කීවේය.
එසේම, අන්තර්-ලිංගිකයන් වැනි සමාජයෙන් කොන් කෙරෙන ප්‍රජාවන්ටත් මේ නීතිය නරක ආකාරයෙන් බලපානු ඇත. ඔවුන් ස්වකීය ෆේස්බුක් ගිණුම් වැනි දේවල් පවත්වාගෙන යන්නේ අන්වර්ථ නාමයන්ගෙනි. සමහරවිට ඔවුන් ගත කරමින් සිටිනු ඇත්තේ ජීව විද්‍යාත්මක අරුතකින් ගත් විට, ජීවිතයේ පරිවර්තනීය අවදියක් විය හැකිය. ඉතිං මේ නීතිය යටතේ එවැනි පුද්ගලයෙකු වෙනත් නමකින් පෙනී සිටීමත් අපරාධයක් වනු ඇත.

ප්‍රකාශනයේ නිදහස ඇහිරීම

නීතිවේදීන් අවධානය යොමු කළ යුතු තවත් සාධකයක් වනුයේ, මීට කලින් පැවති නීති, ඇතැම් පුද්ගලයන් හෝ ආණ්ඩුව විවේචනය කළ පුද්ගලයන් දඩයම් කිරීම සඳහා විවිධ අවස්ථාවල අවභාවිත වී ඇති ආකාරයයි. “ලංකාවේ නීති සම්පාදනය ගැන අප මෙතරම් කතා කරන්නේ, අතීත අත්දැකීම් අනුව, ඇතැම් නව නීති ඉතා කෙටි කාලයක් තුළ ජනතාවගේ අවබෝධයකින් තොරව සහ ඔවුන්ගේ ප්‍රතිචාරයකින් තොරව නීති පොතට ඇතුළත් වීමේ සිද්ධි ඇති වී තිබෙන බැවිනි.” නීතිඥ එර්මිසා ටීගල් පැවසුවාය.
ඇය, ‘මුස්ලිම් පුද්ගල නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතයේ’ සම-නිර්මාතෘවරියයි. “මිනිසුන් කරන වැරදි ගැන කතා කරන අතරේම, පවතින නීති සහ ඒවා ක්‍රියාවේ යෙදවී ඇති ආකාරය ගැනත් සාකච්ඡා කිරීම වැදගත් ය. මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත වැනි බොහෝ නීති අරභයා අප දකින කාරණයක් වන්නේ, එකම වරද වෙනත් තැන්වලත් නැවත නැවතත් සඳහන් වීමයි. දණ්ඩනීති සංග්‍රහය යටතේ වරදක් විය හැකි දෙයක් මේ පනත වැනි තවත් නීතියක් යටතේත් වරදක් බවට පත්කරන විට ඊට පැනවෙන දඬුවම අධිකතර වන බවක් පෙනෙන්ට තිබේ. එවිට කුමන නීතිය යටතේ චෝදනා ගෙන එන්නේද යන විනිශ්චය කිරීමට සිදුවන්නේ නීතිය බලගන්වන නිලධාරීන්ට ය. වැඩි දඬුවක පැනවිය හැකි පනත යටතේ කෙනෙකුට නඩු පැවරිය යුතු යැයි එවිට තීරණය කරන්නේ එකී නිලධාරීන් ය.” ඈ කීවාය.
මේ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත යොමු වනු ඇත්තේ ප්‍රකාශනයේ නිදහස ඇහිරීමට බව පෙනෙන්ට තිබේ. ප්‍රකාශනයේ නිදහස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් සහතික කෙරේ. ඒ ප්‍රකාශනයේ නිදහස සීමා කළ හැකි හෝ ඇහිරිය හැකි අවස්ථා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියෙන් දැක්වෙයි.

ඉලක්කගත විය හැකි ඉසව්

අලුතෙන්ම ගෙනෙන වැරදි ගණනාවක්ද මේ පනත මගින් හඳුන්වාදෙන බව ඈ කීවාය. “12 වැනි වගන්තියේ සිට 20 වැනි වගන්තිය දක්වාත්, ඉන්පසුවත්, ඇතැම් වචනවලට අදාළ වැරදි මේ පනත තුළ දක්නට ලැබේ. එහෙත් වචන ගැන පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබෙන බවක් නොපෙනේ. එසේම, මාර්ගගත ආරක්ෂණ කොමිසම විසින් එක්තරා චර්යා ධර්ම පද්ධතියක්ද හඳුන්වා දීමට යන බවක් පෙනේ. ඔවුන් හදන ඒ චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කරන අයවළුන්ට හෝ ආයතනවලට ඒ වැරදි වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇත. එහෙත් මේ චර්යා ධර්ම පද්ධතියට කුමක් ඇතුළත් වේදැයි අපි නොදනිමු. ඒ නිසා බොහෝ දේවල් සාපරාධී ගනයට අයත් විය හැකිය. ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව එවැනි තත්වයක් බලධාරීන් විසින් ප්‍රයෝජනයට ගත හැකිය.
සාමාන්‍යයෙන් සාධාරණ වන හැසිරීමක්, සාමාන්‍යයෙන් නීත්‍යානුකූල හැසිරීමක්, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහි සාධාරණ විවේචනයක් ආදිය මේ නීතිය යටතේ වරදක් විය හැකිය. දැනටමත් අන්තර්ජාල ක්‍රියාකාරීත්වයේ නිරතව සිටින ආයතන හෝ පුද්ගලයන් මෙවැනි තත්වයක් යටතේ බියට පත්විය හැකිය. තමන්ගේ කුමන චර්යාවක් ‘අපරාධයක්’ වශයෙන් සැලකෙත්දැයි කල්තියා ඔවුන්ට සිතාගත නොහැකි බැවිනි.” ටීගල් විස්තර කළාය.

නීති සම්පාදකයෝ විවිධ අදහස් පළ කරති

අන්තර්ජාලයේ සේවා සපයන නිර්මාණකරුවෝ මේ නීතිය නිසා අධෛර්යමත්ව සිටිති. ශ්‍රී ලංකාව සමග තමන් ගිවිසගෙන ඇති සේවාවන්ගෙන් ඉවත් විය යුතුද යන පැනය ඔවුන්ගේ සිත් තුළ වැඩ කරයි. මේ කාරණය, සමගි පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දා මතු කෙළේය. මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් ආදී විවිධ කොටස්ද මේ පනතේ අඩංගු භයානක කොටස් ඉවත් කරගන්නා ලෙස බලධාරීන්ට බල කරනු දක්නට ලැබේ. මැල්කම් කාදිනල් රංජිත් ඇතුළු පෙත්සම්කරුවන් රාශියක්, මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු වන අසීමිත බලතල සහ හිතුවක්කාරී අයිතිය ගැන පැමිණිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් තිබේ.
එසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කියා සිටන්නේ, දත්ත ආරක්ෂාව සඳහා සිංගප්පූරුව අනුගමනය කරන ක්‍රමවේදය මේ මගින් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ය. එසේම මෙවැනි පනතක් ගෙන එන්නේ අපහාසාත්මක ප්‍රකාශ අධෛර්යමත් කිරීමට, බොරු ප්‍රවෘත්ති ප්‍රචාරණය වැළැක්වීමට සහ මිනිසුන්ගේ චරිත ඝාතනය සිදුවන අවස්ථා වැළැක්වීමට බවත් ය.
එසේ වෙතත්, මේ පනත් කෙටුම්පතට එරෙහිව නැඟෙන විශාල විරෝධය ඉදිරියේ, එය නීතියක් බවට පත්කිරීමට පෙරාතුව ඒ ගැන අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පොරොන්දු වී තිබේ. මේ මාසයේ මුල භාගයේ ඔහු නිකුත් කළ නිවේදනයක් මගින් ඔහු කියා සිටියේ ‘ආසියානු අන්තර්ජාල සාමූහිකය’, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විදේශ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සහ සිවිල් සහ මාධ්‍ය ආයතන සමගත් මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි. කෙසේ වෙතත්, මේ කාරණයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දැනගැනීම සඳහා ඔහු සම්බන්ධ කරගැනීමට අප ගත් ප්‍රයත්නයන් අසාර්ථක විය.

(2023 ඔක්තෝබර් 18 දින Daily Mirror පුවත්පතෙහි “Will Online Safety Bill crush virtual freedom of expression ?” මැයින් පල වූ කමන්ති වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි)

Archive

Latest news

Related news