Friday, May 3, 2024

ආණ්ඩුව පසුබසී: මාර්ගගත පනතට සංශෝධන මාලාවක් ! පනතක් අලුතින් ගේන්නැයි නීතිඥවරු කියති!

  • යෝජිත සංශෝධන 30කට වැඩියි, අසත්‍ය ප්‍රකාශ වෙනුවට තහනම් ප්‍රකාශ ආදේශ වෙයි.

  • යෝජිත සංශෝධන අනුව මේක අලුත්ම කෙටුම්පතක් වගේ, ඒ නිසා මේක ඉල්ලා අස් කරගෙන අලුත් එක ගැසට් කරන්න කියා නිතිඥවරුන් කියයි.

  • මේ පනත් කෙටුම්පතට තුනෙන් දෙකක් විතරක් නෙවෙයි, ජනමත විචාරණයකුත් ඕනෑ! ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දෙයි

සමාජ මාධ්‍ය නියාමන පනත යන නමින් හඳුන්වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදි සංශෝධනය කිරිමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් අතර, ඒ සංශෝධන කෙටුම්පතට එකතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත්, අලුතින් එම කෙටුම්පත ගැසට් කොට ඉදිරිපත් කළ යුතු බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටී නිතිඥවරුන් තර්ක කළේය.

නීතිපති දෙපාර්ථමෙන්තුව කොලේ වහලා ගහයි

පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 50ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන විනිසුරුවරුන් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී එය සිදු විය.
නීතිඥවරුන් පෙන්වා දුන්නේ පෙත්සම විභාගයට ගැනීමට පෙර, නීතිපතිවරයා නැගිට පැයකට වැඩි කාලයක් ලබා ගනිමින් ඉදිරිපත් කළ සංශෝධන 30කට වැඩි ප්‍රමාණය හේතුවෙන් මෙම පනතේ සම්පූර්ණ හරය වෙනස් වන බවත්, එම යෝජිත සංශෝධන ඉදිරිපත් කරන් නේ නම් මෙම පනත ඉල්ලා අස් කරගෙන නැවත නව පනතක් ලෙස ගැසට් කළ යුතු බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර සිටියේය.
මෙම පනතට ගෙන එන නව සංශෝධන ඇතුළත් ලේඛනයක් ඒ මොහොතේ නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න ඉදිරිපත් කළේය. ඒ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුසන්ත බාලපටබැඳි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් ඇතුළු රජයේ නිතිඥවරුන් සමගය.

සුමන්දිරන්ගේ තර්කය

මෙම සංශෝධන ඉදිරිපත් කරනු ලබන්නේ, ඉදිරියේදි පාර්ලිමේන්තුවේ මෙම පනත සම්මත කරන අවස්ථාවේදි, තුන්වැනි වර කියවිමේදී ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන යෝජිත සංශෝධන ලෙසය. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන එම සංශෝධන පනත් කෙටුම්පතේ නිල වෙනස් කිරිමක් නොවේ . ඒ අනුව තවමත් වලංගු පනත් කෙටුම්පත වන්නේ පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති ලේඛනයය. සම්ප්‍රදායක් ලෙස යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවේදි එකතු කරනු ලැබේ. 78 (3) වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එලෙස එකතු කරන සංශෝධන, මුලින් ගැසට් කොට සභාගත කරන ලද කෙටුම්පතේ මූලික හරය වෙනස් නොකරන ආකාරයේ විය යුතු බව ජනාධිපති නිතිඥ එම්.ඒ. සුමන්තිරන් එහිදී සිහිපත් කළේය.
නීතිපතිවරයා සිදු කිරීමට බලාපොරොත්තු වන සංශෝධන පමණක් සඳහන් ලේඛනයක් සහ එම සංශෝධන සහිත නව දළ පනත් කෙටුම්පතක් ඔහු රැගෙනවිත් තිබුණි. සංශෝධන පමණක් සඳහන් ලේඛනයක් නීතිඥවරුන් වෙත ලබා දුන් නමුත්, සංශෝධන සහිත පනත් කෙටුම්පත ලබා දුන්නේ විනිසුරුවරුන්ට පමණි. එම අවස්ථාවේදි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම සංශෝධන කියවු අතර, එයින් පසු නැගී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ මෙය නව පනත් කෙටුම්පතක් බවත්, එම නිසා එය සම්පූර්ණයෙන් නව පනතක් ලෙස ඉදිරිපත් කළ යුතු බවත්, නීතිඥවරුන් සහ පෙත්සම්කරුවන් වෙහෙස වී එක් පනත් කෙටුම්පතකට අදාලව විරෝධතා පෙත්සම් කළාට පසුව අලුත්ම පනත් කෙටුම්පතක් ගෙනැවිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම අසාධාරණ සහ ව්‍යවස්ථාවට පටහැණි බවත්ය.
නිතිපති දෙපාර්තමේන්තුව සිය සංශෝධන ඉදිරිපත් කරන අතරවාරයේදී නිතිඥ සුරේන් පෙරේරා නැගිට, නීතිඥවරුන් වෙතද විනිසුරුවරුන් වෙත පමණක් ලබා දුන් ලේඛණයේ පිටපතක් ඉල්ලා සිටියේය. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන එම කෙටුම්පත නිතිඥවරුන් වෙත ලබා දිම සඳහා අවසර දුන්නේය.
අධිකරණ විභාගය යන පැය ගණන අතරතුරදී නව කෙටුම්පත අධ්‍යනය කළ, නිතිඥ සුරේන් පෙරේරා සඳහන් කර සිටියේ, උදාහරණයක් ලෙස දැන් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත මගින් කොමිසමට විමර්ශනය කොට අධිකරණයේ නඩු පවත්වාගෙන යෑමේ බලතල ලැබෙන බවත් මෙලෙස පනතේ සහ කොමිසමේ සම්පූර්ණ හරය වෙනස් වන නිසා නැවත එය අලුත් පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කළ යුතු බවත්ය.
එහිදි විනිසුරු ප්‍රසන්න ජයවර්ධනද ප්‍රකාශ කර සිටියේ, එය තමන්ගේත් පෞද්ගලික මතය වන නමුත්, තමන්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාව නොමැති බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් කළ යුතු බවත්ය.
එලෙස ඉදිරිපත් කරන ලද ප්‍රධානම වෙනසක් වන්නේ පනතෙහි ඇති අසත්‍ය ප්‍රකාශ යන සඳහන වෙනුවට ‘තහනම් ප්‍රකාශ‘ යන්න ආදේශ කිරීමය. ඒ අනුව පනතෙහි හැඳින්වීමෙහි එක් ස්ථානයක තිබුණු ‘ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසිම සඳහා ද ‘ යන කොටසට ‘තහනම් ප්‍රකාශ‘ යන වචනය ඇතුළත් කරන අතර, ‘සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම‘ යන කොටස් ‘අසත්‍ය ප්‍රකාශ‘ වෙනුවට ‘තහනම් ප්‍රකාශ‘ යන වචනය ආදේශ කිරීම ද සිදු වී තිබේ. එයට අදාලව පනතේ අරමුනු පැහැදිලි කිරීම සඳහා වන තුන්වැනි වගන්තියෙහි (අ) කොටස වන ‘අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පිඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම‘ යන්නෙහි තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පීඩාකාරී යන වචන වෙනුවට ‘තහනම් ප්‍රකාශ‘ යන්න ආදේශ වී තිබේ.
ඊට අමතරව පනත් කෙටුම්පතෙන් යෝජිත ‘කොමිසම‘ කෙළින්ම ජනාධිපතිවරයා විසින් පත් කිරීම වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරන පත් කිරීමක් ලෙස සංශෝධනය කිරීමටද යෝජිතය. මීට අමතරව වගන්ති ගණනාවක් වෙනස් කිරීම සහ සංශෝධනය කිරීමට යෝජිතය. එම වගන්ති වෙනස් කිරීම තුළින් කොමිසමේ බලතල සහ ක්‍රියාකාරීත්වය වෙනස් වේ.

පෙත්සම් 45ක්! නීතිවේදීන් 31ක්!!

පෙත්සම්කරුවන් 45කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන්, නීතිඥවරුන් 31ක් ඉදිරිපත් වීමට සූදානම් වි සිටි නිසා, නඩු විභාගය රාත්‍රි 8.15 පමණ දක්වා ඇදී ගියේය. ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න සහ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළේය. නිතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ හෙජාස් හිස්බුල්ලා, නිතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු නිතිඥවරුන් රැසක් එහිදී කරුණු දැක්වීය. එම නීතිඥවරුන් සියලුදෙනාම පාහේ පෙන්වා දුන්නේ මෙම කෙටුම්පතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගණනාවක් උල්ලංඝනය වන බවත්, ඒ තුළින් ව්‍යවස්ථාවේ 3,4 වගන්තිද උල්ලංඝනය වන බැවින් මෙම පනත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බවය.
මෙම පෙත්සම්කරුවන් අතර මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර, ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය වෙනුවෙන් එහි ප්‍රධානීන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එහි ප්‍රධානින්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය වෙනුවෙන් එහි ප්‍රධානීන්, නිව්ස් 19, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ සාමූහිකය වෙනුවෙන්, නීතිඥ මිගාර ඩොස් සහ නිතිඥ ජයන්ත දෙහිඅත්තගේ, රතිඳු සේනාරත්න (රැට්ටා), සමාජවාදි තරුණ සංගමය වෙනුවෙන් එරංග ගුණසේකර, කාදිනල් මැල්කම් රංජිත් හිමි, සාලිය පීරිස් සහ ජෙෆ් අලගරත්නම් යන නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය රංග කලන්සූරිය, හෑෂ්ටැග් ජෙනරේෂන් යන පුද්ගලයන් සහ උක්ත සංවිධාන නියෝජනය කරමින් ඒවායේ ඉහළ තනතුරු දරණ පුද්ගලයන් සිටි.

(තරිඳු උඩුවරගෙදර වට්ස්ඇප් හරහා බෙදා හරින ලද සටහනකි)

Archive

Latest news

Related news