Friday, May 3, 2024

පනත් කෙටුම්පත් දෙකම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කණස්සල්ල; සමාජ මාධ්‍ය පනත අනුව නීත්‍යනුකූල ප්‍රකාශන පවා අපරාධයක් වේවි!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සලකා බලමින් පවතින පනත් කෙටුම්පත් දෙකක් එනම්,   සංශෝධිත ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත – බලධාරීන්ට පුළුල් බලතල රාශියක් ලබා දෙන බවත්  ඒවා  ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට  අනුකූල නොවන අතර මානව හිමිකම්වලට සීමා පැනවිය හැකි බවටත් ජිනීවාහි මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයක් නිතුක් කරමින් කියා සිටී.  එම ප්‍රකාශය සඳහන් කරන්නේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයට බරපතල කනස්සල්ලක් ඇති බවයි.
එම ප්‍රකාශය තව දුරටත් මෙසේ කියයි:
ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයට දිගු කලක් තිස්සේ සැලකිල්ලක් දක්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් කරයි. දිය හැකි දඬුවමක් ලෙස මරණීය දණ්ඩනය ඉවත් කිරීම ඇතුළු කෙටුම්පතේ ධනාත්මක සංශෝධන කිහිපයක් සිදු කර ඇති අතර, සංශෝධිත කෙටුම්පතේ බොහෝ විධිවිධානවල විෂය පථය සහ වෙනස් කොට සැලකීමේ බලපෑම් පිළිබඳව තවමත් ප්‍රධාන උත්සුකයන් පවතී. පනතෙහි දැක්වෙන  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිවාසිකම් සීමා කිරීම්,  එවැනි පියවරයන්හිදී  අවශ්‍යතවය සහ සමානුපාතික විය යුතුය යන යන නිර්නායක  සපුරාලීමට අපොහොසත් වීමට බොහෝ දුරට ඉඩ ඇත.
සංශෝධිත පනත් කෙටුම්පතෙහි තවමත් ත්‍රස්තවාදය පිළිබඳ ඕනෑවට වඩා පුළුල් නිර්වචනයක් ඇතුළත් වන අතර ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් නැවැත්වීමට, ප්‍රශ්න කිරීමට සහ සෙවීමට සහ අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දෙයි. ඇඳිරි නීතිය පැනවීම, සීමා කිරීම් නියෝග සහ තහනම් ස්ථාන නම් කිරීම සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රශ්න ඉතිරිව ඇති අතර, ප්‍රමාණවත් තුලන සහ සංවරණ නොමැතිව විධායකයට ලබා දී ඇති බලතලවල විෂය පථය  කනස්සල්ලට හේතු වේ.
මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්, එය සාමාන්‍ය ජනතාව ඇතුළුව සමාජ ජාල සන්නිවේදනය දැඩි ලෙස නියාමනය කර සීමා කරනු ඇතැයි අප විශ්වාස කරන අතර රජය එකඟ නොවන ප්‍රකාශන “අසත්‍ය ප්‍රකාශ” ලෙස ලේබල් කිරීමට සහ සීමා කිරීමට බලධාරීන්ට අසීමිත අභිමතය ලබා දෙනු ඇත.
පනත් කෙටුම්පතේ බොහෝ වගන්තිවල වැරදි පිළිබඳව අපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති නියමයන් සහ  නිර්වචන අඩංගු වන අතර එමඟින් අත්තනෝමතික හා මනෝමූල අර්ථකථනය සඳහා සැලකිය යුතු ඉඩක් ඉතිරි කරයි. එමගින්  ප්‍රකාශනයේ නිදහස කෙරෙහි හිරිවට්ටවන බලපෑමක් ඇති කරන පරිසරයක් නිර්මාණය කරමින් නීත්‍යානුකූල ප්‍රකාශනයේ සෑම ආකාරයක්ම පාහේ අපරාධ  ලෙස නිර්චවනය කළ හැකිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට පූර්ණ අනුකූලතාව ගෙන ඒම සඳහා සිවිල් සමාජය සහ එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයින් සමඟ තවදුරටත් අර්ථවත් උපදේශන කටයුතු සිදු කරන ලෙසත්, කෙටුම්පත් නීති කෙටුම්පත් සැලකිය යුතු ලෙස සංශෝධනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී.
2023 ඔක්තෝබර් 13

( ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද ප්‍රකාශනයේ  සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.)

 

Archive

Latest news

Related news