Saturday, April 27, 2024

පිස්සු පූසා කොමිසමෙන් නිදහස් කල ඩීඅයිජී ලලිත් ජයසිංහ මහාධිකරණයෙන් දඩුවම් ලැබීම නොහොත් අරුම පුදුම ලංකාව

ඡායාරූපය: උපාලි අබේරත්නගේ   ෙදන්ඥම් බැටේ වාර්තාව ගෝටා පිළිගත්තේ පළි ගැනීම් සූදානම් කිරීමටය.
පිස්සු පූසා කොමිසම යැයි හාස්‍යට ලක් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින්  පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිදොස් කොට නිදහස් කළ යුතු යැයි නිර්දේශ කරන ලද සබරගමු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට දැන් සබරගමු මහාධිකරණය එම චෝදනාවටම පස් වසරක සිර දඩුවමක් නියම කර තිබේ.
මෙහි ඇති අරුම පුදුමය නම් එවැනි නීති විරෝධී තීන්දුවක් මගින් වරදකරුවකු නිදහස් කරන ලෙස අධිකරණයට බලපෑම් කළ එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු උපාලි අබේරත්න අදටත් රජයේ වැටුප් ලබන ඉහළ තනතුරක් දැරීමයි.
ගෝඨාභය රාජපක්ෂ විසින් අතුරුදහන්වූවන් පිලිබඳ කොමිසමේ සභාපති ලෙස පත් කළ උපාලි අබේරත්න රනිල් රාජපක්ෂ යටතේ තොරතුරු දැනගැනීමේ කොමිෂමේ සභාපති ලෙස වැජඹේ.
පුදුම නමුත් ඇත්තය.
ලලිත් ජයසිංහට සිර දඩුවම  තීරණය කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරිය වන ලංකා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය 25වන දාය. එම දඬුවමට අමතරව රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට නියම කළාය.
උපාලි අබේරත්න කොමිසම විසින් නිදොස් කර නිදහස් නකරන ලෙස නිර්දේශ කරන ලද   චෝදනාව වූයේ කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි විපක්ෂයේ පිරිසකට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් එවකට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට විත්තිකාර හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවකට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිව සිටි ලලිත් රාජමන්ත්‍රිට බලපෑම් කර ඇති බවය.
දැන් මහාධිකරණය විසින් දඩුවම් ලබා දී ඇත්තේ ද එම චෝදනාවටමය.
රජයේ නිලධාරියකුගේ සේවයට බලපෑම් කිරීමට කුමන තරාතිරමක නිලධාරියකුට වුවද හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරිය  මෙවැනි කටයුතුවල නිරත වන සෙසු නිලධාරීන්ටද පාඩමක් ලෙස   විත්තිකාර පුද්ගලයාට දඬුවම් ලබාදෙන්නැයි  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අනුව ඔහුට එසේ වසර 5ක සිර දඬුවම් නියම කළාය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී එක් පුද්ගලයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා තිබිණි.
දේශපාලන පළිගැනීම් කොමිසම පත් කරන ලද්දේ ගොඨාභය ජනාධිපති වී දෙමසක් ඉක්ම යන්නට පෙර 2020 ජනවාරි මස 09 වන දිනය. එහි අරමුණ වූයේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමත් ගජ මිතුරන් නිදහස් කර ගැනීමත්ය.
උපාලි අබේරක්න කොමිසමට පැමිණිලි කළ   ලලිත් අනුරුද්ධ ජයසිංහට එරෙහිව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස උපාලි අබේරත්න කොමිෂන් සභාව නිර්දේශ කළේය. ඒ හා සමානව, නඩුවේ අධි චෝදනා පත්‍රයද ඔහුට එරෙහිව ගොනුකර ඇති කොළඹ මහාධිකරණය ද ඉල්ලා අස්කර ගත යුතු බවට උපාලි අබේරත්න නිර්දේශ කළේය.
මීට අමතරව, මෙම නඩුවට සම්බන්ධ වගඋත්තරකරුවන්ට දණ්ඩ නීති සංග්‍රහය සහ අල්ලස් පනත යටතේ ව්‍යාජ සාක්ෂි සහ දූෂණ චෝදනා එල්ල කළ යුතු බවටත් යෝජ්‍ය පොලිස්පති ජයසිංහ මහතා හිඟ වැටුප් ගෙවා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසටත්  උපාලි අබේරත්න නිර්දේශ කළේය.
දැන් ඉතිහාසයේ කුණූ කූඩයට ගොස් ඇතත් උපාලි අබේරත්න නොහොත්  පිස්සු පූසා කොමිසම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අවනීිතිය පිළිබඳව පිළිකුල් කටයුතු උදාහරණයක් සපයයි.
එපමණක් නොව එවැනි අයුතු බලයක් ආරෝපණය කර ගනිමින් මෙරට අධිකරණ ක්‍රියාවළීයට බලපෑම් කළ සහ වරදකරුවන්  නිදහස් කිරීමට දේශපාලන හේතූ උඩ නිර්දේශ කළ උපාලි අබේරත්න තවමත් මහජන මුදලින් ඉහළ තනතුරක වැජඹීම මෙරට දේශපාලනයේ අශිෂ්ඨ සහ දූෂිත බවට කැත  උදාහරණයක් ද සපයයි.
නීතියේ  පාලනය පවතින රටක නම් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  සමඟ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නද මහ උලු ගෙදර කල්දේරම් බත් රස බලමින් සිටිය යුතුය.
එනමුත් ශ්‍රී ලංකාව දූෂිතයින්ගේ සහ හීෂකයින්ගේ පාරාදීසයක් වන බැවින් එවැනි සාධාරණයක් සිදු වීමට ඉඩක් නැත.
සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news