Saturday, June 22, 2024

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම: ලාභය පෞද්ගලිකරණය කර පාඩුව සමාජ ගත කිරීමක්; වැඩකරන ජනයාට අත කියපු පළමු රට ලංකාව – ආචාර්ය නිශාන්ත ද මෙල්

සමාජ ආරක්ෂණ අරමුදල්වලට අත තියපු ලෝකෙ පළමු සහ එකම රට ලංකාව
අපි නිතර ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම ගැන කතා කළාට, ප්‍රතිසංස්කරණය කිරීම සාධාරණ විදියට කළ යුත්තේ කෙසේද කියලා සාකච්ඡා වෙන්නේ නෑ, ප්‍රතිසංස්කරණය කළ යුතුයි, හැබැයි ඒ ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒක ක්‍රම කිහිපයකට කරන්න පුළුවන් බව හැමෝටම තේරෙනවා. මේ ප්‍රතිසංස්කරණය කියන කන්ද උඩට නගින්න පාරවල් කිහිපයක් තියෙනවා. සමහර පාරවල් සාධාරණයි, සමහර පාරවල් සාධාරණ නෑ.
ඇත්තටම මේ ප්‍රතිසංස්කරණය කිරීම සාධාරණ මගකින් ගෙන යා හැකිද, අද තියෙන ක්‍රමය මීටත් වඩා සාධාරණ කළ හැකිද කියන කාරණය ගැන අපි කතාකළ යුතුයි. මම හිතන්නේ ඒක තමයි අපේ අද සාකච්ඡාව වෙන්නේ.
මේක විශාල විෂයක්. ඒක කෙටි කතාවකින් කියන්න අපහසුයි. ඒකෙ විශාල ගැඹුරක් තියෙනවා. හැබැයි මම ඒ ගැඹුරෙන්ම කතා කරන්නෙ නෑ. අපි අනුගමනය කරන ක්‍රමය සහ පිළිවෙතේ යම් අසාධාරණකම් පිළිබඳ අවබෝධයක් ඇතිකරන්න මගේ සාකච්ඡාවෙන් හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

 ණය බර බෙදී යා යුතුයි

මම කොටස් තුනකින් මේ සාධාරණත්වය ගැන කතා කරන්නම්. එකක් තමයි ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදය, ණය ගෙවීමට හැකියාවක් නැහැ කියන අර්බුදය. රට ණය බරක් ගත්තා. ඒ ගත්ත ණය බර රජයට පියවන්න බෑ. ඒක හින්දා ඒක යම් විදියකට හැමෝම අතර බෙදන්න ඕනේ.

සාධාරණත්වය නෙතකා ප්‍රතිසංස්කරණය නොකළ යුතුයි

එහෙම බෙදනකොට අපි ඒ සාධාරණත්වය ගැන කතාකළ යුතුමයි. පළමු එක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර බෙදන්නේ කොහොමද කියන එක. දෙවැනුව නිතර අපි අහන දෙයක් තමයි රජයේ වියදම් පියවාගත යුතුයි කියන එක. විදුලි බිල්වලින්, ඛනිජ තෙල් විකිණීමේදී. එතකොට වියදම් පියවාගැනීමේ මිලක් ඇතිවිය යුතුද? ඒක සාධාරණ වෙන්නේ කොහොමද? අසාධාරණ වෙන්නේ කොහොමද? කියන දෙවැනි මාතෘකාව. තුන්වැනි එක තමයි බදු දැමීමේ සහ එකතු කිරීම වඩා සාධාරණ විය යුත්තේ කෙසේද? අසාධාරණ වෙන්නේ කොහොමද? කියන එක.

බදු පිළිබඳ කරුණූ හතරක්

තුන්වැනි මාතෘකාවෙන් මම පටන්ගන්නම්. බදු දැමීම සහ එකතු කිරීමේ සාධාරණත්වය පිළිබඳ මම කාරණා හතක් විතර විග්‍රහ කරන්නම්. එකක් තමයි බදු විරාම කියන ප්‍රශ්නය. අනෙක තමයි බදු එකතු නොකිරීම. අනෙක තමයි යම් පාර්ශ්වවලට අඩුවෙන් බදු දැමීම. හතරවැනි එක තමයි සමාජයේ බදු අයකිරීම අසාමාන්‍ය බෙදීම. පසුගාමී ලෙස බදු එකතු කිරීමේ ක්‍රමයක් තිබීම. උදාහරණ සමග මම ඒවා ගැන කතා කරන්නම්.

බදු විරාම ජාවාරම

මුලින්ම අපට බදු විරාම ගැන සාකච්ඡා කරන්න පුළුවන්. බදු විරාම ගැන හිතුවම බොහෝ විට පෞද්ගලික සමාගම් අපේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න අදහස් කරනවා. එහෙම සමාගම් ඇවිල්ලත් තියෙනවා. හැබැයි නිතර ඒ ආයෝජනය කිරීමේදී අපි ඉදිරිපත් කරනවා, අපි තමුන්නාන්සේලාට බදු විරාමයක් දෙනවා කියලා. ඇයි ඒ බදු විරාමය දෙන්නේ? ඒකෙන් රටට කිසිම ප්‍රයෝජනයක් තියෙනවද? නැත්නම් ආයෝජකයාගේ ලාභය වැඩිවෙනවද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.
අපි සාධාරණ විදියට එහෙම බදු විරාමයක් ලබාදෙනවා නම් අපිට තක්සේරුවක් තියෙන්න ඕනේ, මේ බදු විරාමය ලබාදීමෙන් රටට ලැබෙන වාසිය වැඩියි, අපි බදු විරාමයක් නොදී ආයෝජනය අඩු වුණොත් කියලා. අපි රජයට ලියලා ඉල්ලලා තියෙනවා මේ බදු විරාම සාධාරණ යැයි හිතන්න පුළුවන් කිසියම් විශ්ලේෂණයක් තියෙනවාද කියන එක ගැන. ඇත්තටම එහෙම විශ්ලේෂණයකුත් නෑ, වෙන පාඩුව ගැන තක්සේරුවකුත් නෑ කියන එක තමයි අපට නිල වශයෙන් ලැබිලා තියෙන උත්තරය.

අව්රුදු 5+17ක බදු විරාමයක්

අපි දැක්කා ඉතා විශාල ආර්ථික අර්බුදයක් තුළ ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට එනවා, අවුරුදු පහක් ආයෝජන කරලා තාමත් හොඳට ව්‍යාපාර කටයුතු කරගෙන යන විදේශ සමාගමකට අවුරුදු 17ක බදු විරාමයක් ලබාදෙන්න කියලා ඉල්ලීමක්. ඒක වීඩියෝගත කරලත් තියෙනවා, අවශ්‍ය කෙනකුට බලන්නත් පුළුවන්. එතකොට ඒ කමිටුවේ ඉන්න කණ්ඩායම අහනවා ඔබලාට කිසියම් තක්සේරුවක් තියෙනවද, කිසියම් හේතුවක් තියෙනවද කියලා.
එතකොට කියනවා නෑ, එහෙම තක්සේරුවක් හෝ හේතුවක් නෑ, අපි ඒක බැලුවේ නෑ, අපි ඒ ආයෝජකයන්ට කෝල් එකක් දීලා අහගන්නම් වාසිය මොකක්ද කියලා. මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවට වඩා වැඩක් නැති දෙයක්. ස්වාධීන විශ්ලේෂණයක් කරලත් නෑ, කරන්නෙත් නෑ, අයෝජකයන්ගෙන්ම අහනවා තමාගේ අදහස දෙන්න කියලා, කමිටුව ඊට පස්සේ ඒක පිළිගන්නවා. පිළිගන්නවද කියලා අපි දන්නෙ නෑ, ඊට පස්සේ වීඩියෝ එක නැති නිසා. ඊට පස්සේ දවසේ පාර්ලිමේන්තුවේ ඒක සම්මත කරනවා.

ජනතාවගේ ආදායම් බද්ද 36%කට නගිනවා

මේක වෙන්නේ ජනතාවගේ පෞද්ගලික ආදායම් බද්ද අන්තිම කොටස 36%ක් වෙනකන් වැඩි කරද්දී, වැට් එක 8% සිට 15%ක් කරද්දී, රජයේ හැම ක්ෂේත්‍රයේම නිෂ්පාදනවල මිල වැඩිකරද්දී මේ සමාගමට කිසිම තක්සේරුවක් නැති අවුරුදු 12ක්, 100%ක්, ඊට පස්සේ 5කට 50%ක බදු විරාමයක් ලබාදෙනවා අපේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඒක සම්මතත් වෙනවා ඊට පස්සේ දවසේ.
අපේ රටට ප්ලෑන් හදන්නේ අයි.එම්.එෆ්. එක නෙවෙයි අපි. අයි.එම්.එෆ්. එක නිතර ඉදිරිපත් කරනවා ඔවුන්ගේ අදහස්.

බදු විරාම තවමත් රහසිගතයි

එතකොට මේක සාකච්ඡාවක් තුළින් අපි ප්ලෑන් එක හදාගන්නේ. අයි.එම්.එෆ්. එකට යම් තාක්ෂණික දැනුමකුත් තියෙනවා අපි අයි.එම්.එෆ්. එකත් එක්ක එකඟ වුණු ප්ලෑන් එකේදී ඔවුන් කියනවා ලංකාවේ රජය විසින් ලබාදීලා තියෙන හැම බදු විරාමයම ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් එකක් හරහා හෙළිදරව් කළ යුතුයි කියලා. ඒක කළ යුතු දිනය මොකක්ද, මාර්තු මාසේ අන්තිම. අදටත් ඒක කෙරිලා නෑ. ඉතින් අයි.එම්.එෆ්. ප්ලෑන් එක ඉටුකිරීමත් යම් ප්‍රශ්නයකට ලක්කරනවා මේ සත්‍යය සමාජයට ඉදිරිපත් නොකිරීමට රජය වෑයම් කරන නිසා.

ජාාවරම්කරුවන්ගේ හොද්ද බොර කිරීම

අපිට ව්‍යාපෘති 16ක එස්.ඩී.පී. කියලා ඇක්ට් එකක් තියෙනවා. ඒක වෙන වෙන නීති යටතේ බදු විරාම ලබාදීලා තියෙනවා. එක නීතියක් යටතේ ව්‍යාපෘති 16කට බිලියන 9ක ආයෝජනයකට බදු විරාම එකඟ වෙලා තියෙනවා. හැබැයි මේ ළඟදීත් එකඟ වෙලා තියෙනවා. අපි බලාගෙන ඉද්දී ඕක වෙනවා. ඔක්තෝබර් මාසෙ විතරක් නෙවෙයි, මේ මාස තුනෙත් අවුරුදු 25ක විශාල කාලයකට බදු විරාම දෙනවා විශාල ලාභ ලබන අයෝජකයන්ට. ඒකෙන් අවුරුදු 14ක් 100%ක්. තව අවුරුදු 11ක් ඊට වඩා අඩු බදු ප්‍රතිශතයක බදු විරාම. ඒවට ගෙවන්නේ එතකොට අපි වෙන්න ඕනේ.
මොකද රජයට යම් මුදලක් උපයාගන්න වෙනවා දැන්. ණය බරෙන් ගැළවෙන්න නම් රජය අපට හැමතිස්සෙම කියන්නේ අපිට දැන් අඩු මිලට විදුලිය දෙන්න බෑ, අඩු මිලට ඉන්ධන දෙන්න බෑ මොකද අපේ ආදායම අඩුකරගන්න බෑ කියලා. හැබැයි ආදායම අඩුකරන්න බෑ කිව්වට අඩු කරගන්නවා. අඩුකරගන්නේ කාගෙ වාසිය තකාද? පොදු ජනතාවගේ වාසය තකා නෙවයි, පෞද්ගලික ආයෝජකයන්ගේ වාසිය තකා රජය ආදායම අඩුකරන බව තමයි මේ බදු විරාමවලින් අපට පෙනී යන්නේ.

බදු විරාම නිසා දේශී්‍ය ආයෝජකයින් පරදිනවා

මම හිතන්නේ ජනතාව මේවා ගැන තවත් සංවේදී විය යුතුයි. මොකද ඒක පෙනි පෙනී නිතර කරන අසාධාරණයක් හැටියට සලක්න පුළුවන්. ඒකෙ තව දෙයක් වෙනවා. ඒ ආයතන සමග රටේ දේශීය ව්‍යාපාරවලට තරගකාරීව ආයෝජනයක් කරන්න බෑ, එතකොට දේශීය ව්‍යාපාරවලටත් ප්‍රශ්නයක් වෙනවා. මොකද එක කොටසකට බදු විරාමයක් නම් ඒවා ඉතා සාර්ථකව ලාභ ලබලා තව දියුණු වෙන්න පුළුවන්. ඒකත් සමග තරග කරන දේශීය ආයතනවලට ඒ විරාමය නැතුව යනවා. එතකොට දේශීය ආර්ථිකය තවත් අඩපණ වෙනවා. මේවා ඉතා විශාල අසාධාරණ ක්‍රම.

බදු එකතු නොකිරීම- ජාවාරම්කරුවන්ට දෙන තවත් වාසියක්

මම ඊළඟට කියන්නම් බදු එකතු නොකිරීම කියන එක ගැන.
බොහෝ විට රජය කියනවා අපි මෙහෙම බද්දක් පැනෙව්වා කියලා. 2016 – 2019 අතර තියපු අයි.එම්.එෆ්. වැඩසටහන තුළ ලියලා තිබුණා මැන්ෂන් ටැක්ස් කියලා. ඒ කියන්නේ යම් තරමක විශාල නිවෙසක් ඉදිකරලා තියෙන කෙනෙක් වැඩි බද්දක් ගෙවිය යුතුයි කියලා. මොකද අපි ඉඩම්වලට ගන්න ණය බද්ද ඉතා අඩුයි අනෙක් රටවලට සාපේක්ෂව.

සිරාගේ කුමංත්‍රණ ආණ්ඩුව බංගලා බද්ද ඉවත්  කරා

මෙතැනදී අධි පොහොසත් කියලා සලකන ඉඩමක් සහ නිවෙසක් තියෙන අයට මේ බද්ද පැනෙව්වා. 2018 පාර්ලිමේන්තුව වෙනස් වුණා, අගමැතිව වෙනස් කළා. ඒක යටතේ අලුතෙන් ආපු අගමැතිලා අලුත් අයවැයකුත් සම්මත කරගත්තා. ඒ හරහා ඒ මැන්ෂන් ටැක්ස් එක ඉවත් කරගත්තා. එතකොට අපි හොයලා බැලුවා, මේ බද්ද ඉවත් කරන්න කලින් කොච්චර බදු මුදලක් එකතු කරගෙන තියෙනවද කියලා.

කැසිනෝ ජාවාරම්කරුවන්ට දුන් ගජවාසි

එතකොට අපට අලුත් දෙයක් හෙළිදරව් වුණා. ඒ අවුරුදු දෙකේ එකතු කරල නෑ කාගෙන්වත්. ඒ වගේම තමයි කැසිනෝ. කැසිනෝ එන්ට්‍රන්ස් ලෙවි කියලා ඩොලර් 100ක් ගෙවිය යුතුයි කැසිනෝවලට යන හැම පුද්ගලයාම කියලා බද්දක් පැනෙව්වා 2014 හෝ 2015දී. ඒ දවස්වල පාර්ලමේන්තුවේ නිතර කිව්වා මේ ඩොලර් 100 බද්ද අපි වැඩි කරනවා, මේක ඉතා වටිනා වැඩක් කියලා. අපිට ඒ අවුරුද්දේ රජයට ඉදිරිපත් කරපු ප්‍රශ්නවලින් සහ පාර්ලිමේන්තු කමිටුවක කරපු හෙළිදරව්වකින් දැනගන්න ලැබුණා ඒ බද්ද යටතේ 2015 ඉඳලා මේ අවුරුද්දේ පෙබරවාරි 20 වැනිදා වෙනකල් සතයක්වත් එකතු කළේ නෑ කියලා. ජනතාවගේ බදු වැඩි කර කර, මිල වැඩි කර කර යද්දී මේ බද්ද සතයක්වත් එකතු කරන්නේ නෑ. ඒක පෙබරවාරි මාසේ 20 පටන්ගත්තා.

විදේශිකයින්ට නැති බදු රට වැසියන්ට

මොකද අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ කියලා තියෙනවා මේ කැසිනෝ බද්ද, බලපත්‍ර ගාස්තු එහෙම වැඩිකළ යුතු කියලා. හැබැයි මොකක්ද කළේ වැඩිකිරීම කරලා? එන්ට්‍රන්ස් ලෙවි එක නැත්තටම නැතිකරලා දැම්මා. විදේශිකයන්ට ඒක බින්දුව කළා. දේශීය අයට ඒක ඩොලර් 50ක් කළා. දේශීය අය කොහොමටත් අපට එපා, විදේශිකයොම බදු නොගෙවා ඇවිල්ලා කැසිනෝ ගහන්න කියන එකයි ඒකෙන් කියවුණේ. හැබැයි මේක පාර්ලිමේන්තුවේ වුණේ මේ අගෝස්තු මාසේ. එතකොට මේ බද්ද තියෙද්දී එකතු කරන්නේ නෑ, එකතු කරන්න පටන්ගන්නකොට ඒක ඉවත් කරනවා.
මේ ජනතාවට පෙනි පෙනී කරන දේවල්. අපි අහන්න ඕනේ වාමාංශික පැත්තෙන් පෙනී සිටින ආයතනවලින් ඇයි මේවා ගැන කතා නොකරන්නේ කියලා. මේවා ප්‍රශ්න නෙවෙයිද රටට? අපි නිතර සාකච්ඡා කරන්නේ මුළු ආර්ථික ක්‍රමයම වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි ඒක අමුතු දෙයක්. මුළු ආර්ථික ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා ඒ ආර්ථික ක්‍රමය තුළ සිදුවෙන අසාධාරණ ගැන අපි නිහඬව ඉන්නවා. අර ක්‍රමය වෙනස් වෙනකල් අඩු ගානේ මේවා අපි හරිගස්සගත්තොත් නරකද කියලා අපි ඇසිය යුතුයි.

සිගරට් සමාගම්වලටත් ගජ වාසි

තව කාරණයක් තමයි අවම ලෙස බදු පැනවීම. මේකට උදාහරණයක් තමයි සිගරට් බද්ද. ඒක පනවන්නේ රුපියල් 10ක් හෝ 20ක් හෝ 30ක් විදියට. එක අවස්ථාවක රටේ උද්ධමනය 60%කට ගියා කියලා කියනවා. එතකොට පරිප්පුවල මිල 60%කින් වැඩි වුණා නම්, සිගරට්වල මිල ඒ උද්ධමනයට ලක්වන එක නරකද? ඒක වැරැදිද? හැබැයි ඒකට අපි රජයත් එක්ක සාකච්ඡා කරලා 2019දී ෆෝමියුලා එකක් ගෙනාවා පාර්ලිමේන්තුවට. ක්‍රමවේදයක් ගෙනවා උද්ධමනයට සාපේක්ෂව සිගරට් මිලත් වැඩිවෙන්න ඕනේ කියලා. හැබැයි ඒක ඉටුකළේ නෑ.
පාර්ලිමේන්තුවේ කිව්වා විතරයි. ඉතින් කෑමවල මිල 90%කට වඩා වැඩි වෙනකොට සිගරට්වල මිල වැඩිවෙන්නේ නෑ. සිගරට් භාවිතය වැඩිවෙලා ඒකෙන් රෝගීන් වැඩිවෙනවා. රජය සෞඛ්‍ය වෙනුවෙන් ගෙවන මිල වැඩිවෙනවා. මේක වාමාංශික ආයතන සමග කතා කළාම ඒ අය ගොඩක් මා එක්ක අමනාප වෙනවා, අපේ සිගරට් එකත් නැතිකරන්නද හන්නේ කියලා. එහෙම නෙවෙයි සාධාරණ වෙන්න ඕනේ. පරිප්පු කන මිනිහ විතරද ගෙවන්න ඕනේ උද්ධමනයට? ඒක අසාධාරණයි. මම සිගරට් බොනවා, මේක මට වාසියි, අනේ ඕක ගැන කතාකරන්න එපා කියන එක වාමාංශික අදහසක් නෙවෙයි, ඒක දක්ෂිණාංශික පුරුද්දක්. අපි සාධාරණත්වය ගැන හිතුවොත් හැමෝගෙම මිල වැඩිවෙන්න ඕනේ.

මෙහේ විතරයි සිගරට් සමාගම් උපරිම ලාභ ගන්නේ

අපි බැලුවොත් කොටස් වෙළෙඳපළේ වැඩිම ලාභයක් ලබන ආයතනය තමයි සිගරට් කොම්පැනිය. ඒක කොහොමද වෙන්නේ? සංවර්ධිත රටවල එහෙම වෙන්නේ නෑ. සංවර්ධනය වෙමින් පවතින රටවල තමයි ඕක වෙන්නේ. සංවර්ධනය නෑ කියන්නේ ඒ වගේ හරි විදියට වැඩ කරන්න බෑ කියන එක. සාධාරණත්වය තමයි සංවර්ධනයේ සංකේතය. අතිවිශාල විදියට ජනතාව පීඩනයට ලක්කරලා එක්තරා කොටසකට පෝසත් වෙන්න දෙන රටක්, සංවර්ධිත රටක් විදියට හඳුන්වන්න බෑ. සමාජ සාධාරණත්වයෙන් ඉදිරියට යන රටක් තමයි අපි සංවර්ධනය වෙන රටක් විදියට හඳුන්වන්නේ.

වැටුප් නොලබන ( ව්‍යාපාර හිමියන්ට) ලැබෙන වාසිය

ඒ වගේම මාසික වැටුපකින් ලබන ආදායමට එක එක බදු වැඩිකළා විශාල වශයෙන්. 4%, 6%, 8% වගේ තිබුණු බදු 12%ට 18%ට ගෙනිච්චා. ඒ බද්ද ගෙවිය යුතු ආදායමත් අඩුකරගත්තා. ඒත් ප්‍රශ්නයක් නෑ කියමුකෝ. හැබැයි එතකොට වැටුපක් ලැබෙන්නේ නැත්නම් කොහොමද ඒ බද්ද ගන්නේ? ඒක ගන්න තියෙන එකම ක්‍රමය තමයි රඳවාගැනීමේ බද්ද. ඒක කීයද? 5%යි. වැඩිම ආදායමක් ලැබෙන කොටස්වලට මාසික වැටුප්වලින් නෙවෙයි ඒ ආදායම ලබන්නේ වෙනත් ක්‍රමවලින්. එතැනින් 5%ක් රඳවාගන්නවා. අපේ ආයතනවලට ඒ කට්ටියව හොයාගන්නත් බෑ. ඉතුරු ටික එකතු කරගන්නත් බෑ.
හැබැයි 5%යි ගන්නේ. අනෙක් අයගෙන් පටන්ගන්නේ 6% ගෙවලා. ආදායම රුපියල් ලක්ෂයට වැඩි වුණාම මාසෙට. 12%, 18%, 36%ටම යනවා. අපි ඕක ගැන ලියලා ගිය අවුරුද්දේ මැයි මාසේ පෙන්වා දුන්නා මේ බද්ද ඇත්තටම 10% දක්වා වැඩිකරන්න ඕනේ කියලා. 15% දක්වා වුණත් වැඩිකරන්න පුළුවන් කියලා. ගණන් ගත්තෙවත් නෑ. සාධාරණ අදහසකින් ප්‍රතිපත්ති නොසාදන ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ.

ලේබල් නැතුව බදු දෙස බලමු

අර්ථසාධක අරමුදලට ටැක්ස් එකේ අසාධාරණාත්වය ගැනත් කතා කරන්න ඕනේ. මම හිතන්නේ මම වාමාංශිකයි කියලා. හැබැයි ගොඩක් අය අපට අකැමැති කොට නෑ ඔයා නව ලිබරල් වගේ ලේබල් ගහනවා. පිස්සු වැඩක්. මොකද ඔය ලේබල් එකෙන් මොකක්ද කියන්නේ? අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන්, අපි පෙනී සිටින්නේ සාධාරණ ආර්ථික ක්‍රමයක් සහ සමාජයක් වෙනුවෙන් කියලා. එතකොට සාධාරණත්වය වැඩිකරගන්න අපට එකට වැඩ කරන්න බැරි නම් ඔය ලේබල් එකේ තේරුම මොකක්ද? එහෙනම් කියන්නේ වාමාංශික කොටස් සාධාරණත්වයට එකඟ නෑ කියන එක.
ඇයි එකතු වෙන්නේ නැත්තේ? ඊ.පී.එෆ්. එක අමු අමුවෙ හොරකම් කළාම ඒකට හොරෙන් ඔඩිට් එකක් තිබුණා. 2019 ඒක මුද්‍රණය කළා. ඒක ගැන අපි නිතර සාකච්ඡා කරලා තියෙනවා. කවුරුත් එකතු වෙන්නේ නෑ ඊ.පී.එෆ්. එක බේරගන්න. මම කියන්නේ අපි ඉදිරියට යනවා නම්, රට බේරගන්නවා නම්, සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, රජය වෙනස් කරන්න පුළුවන් ක්‍රමවේද අද වෙනස් කළ යුතුයි.

විප්ලවය එන්න කලින්  කරන්න පුලුවන් දේ

නොපෙනෙන මානයක තියෙන විප්ලවය දිහා බලාගෙන ඉඳලා කාටවත් වැඩක් නෑ. ඒ විප්ලවය ගැන මට ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒ විප්ලවයේ වැදගත්කමක් නෑ අද රට සාධාරණ ක්‍රමයකට හරවගන්න කිසිම වෑයමක් නොදක්වනවා නම්. මම මේක කියන්නේ තරහකින් නෙවෙයි. මම කියන්නේ මේ වගේ සමාජ කොටස් බුද්ධිමත් කොටස් එක්ක එකතු වෙලා වැඩකරන්න ඕනේ. හැබැයි ප්‍රායෝගීකව කරන්න පුළුවන් දේවල් කරමු කියන එකයි මම කියන්නේ.
තවත් දෙයක් කිව යුතුයි. වියදම පියවා ගැනීමේ මිලක් කියලා අපි දානවා. ඛනිජ තෙල්වලට එහෙම මිලක් දාන්න කියලා මංගල සමරවීර සහ එරාන් වික්‍රමරත්න බෝඩ් එකක් එල්ලලා වී 1, වී 2, වී 3, වී 4 කියලා පෙන්නුවනේ. අපි ඒකට මැදිහත් වෙලා කිව්වේ මේ මිල වියදම පියවා ගන්න මිලක් වෙන්න බෑ, මොකද වියදම කියන එක කොහොමත් සාධාරණ වියදමක් විය යුතුයි. ඒකයි ඒ මිල සිංහප්පූරු ප්ලැක්ස් ප්‍රයිස් එකට සමානුපාතික වෙන්නේ. මොකද අපි සිංගප්පූරු ප්ලැක්ස් ප්‍රයිස්වටල වැඩියෙන් ගෙව්වොත් ඒක අසාධාරණයි. ඒක ගෙවන්න බෑ.

සාධාරණ මිල සහ අසාධාරණ මිල

ඒ මිල සූත්‍රය අනුගමනය කරනවා නම් ඒක සාධාරණ මිලකට ගැළපෙන සූත්‍රයක් වෙන්න ඕනේ. ගෙවන ඕනෙ ගානකට අපි ලෑස්ති නෑ කියන එක. ඒක එහෙම තමයි හැදුවේ. අද බලන්න, අපේ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා publicfinance.lk කියලා. ගිය අවුරුදු එකහමාරෙම මිල සාධාරණ මිලට වඩා ඉතා අධිකයි. ඒ සූත්‍රය අනුගමනය කරන්නේ නෑ. දැන් සූත්‍රයක් අනුගමනය කරනවා කියලා කියනවා. හැබැයි ඉතා අධික මිලක් දානවා. හැබැයි ගොනුවෙන්නේ සාධාරණ මිලක් නෙවෙයි. ඒක දූෂිත මිලක්. එතකොට අපි ගෙවන්නේ මොන මිලටද? ඇත්තටම වියදම්වල මිලටද? දූෂණය අඩංගු මිලටද කියන ප්‍රශ්නයක් ඇතිවෙනවා.
විදුලි බිලටත් ඒකයි වුණේ. මහජන උපයෝගිතා කොමිසම කියලා තියෙනවා ඒගොල්ලන්ට තමයි නිල වශයෙන් අයිතිය තියෙන්නේ හරි විදියට මිල තක්සේරු කරලා නිසි සාධාරණ වියදම සාපේක්ෂ මිලක් දැමීමට. රජය ඉදිරිපත් කරන මිලට ඒ අය එකඟ වුණේ නැත්තේ ඒ සාධාරණ ක්‍රමවේද පදනම් කරගෙන. රජය දාපු මිලයි, ඒ කොමිසම ඉදිරිපත් කළ මිලයි පරස්පරතාව බැලුවොත් අවුරුද්දකට බිලියන 66ක දූෂණයට ගෙවන ක්‍රමවේදයක් තමයි රජය එතැනදී ඒ මිල තුළින් ඉදිරිපත් කළේ. දැන් ඒ මිල ටිකක් අඩු කරගෙන තියෙනවා.
කොමිසමේ සභාපති නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කොමිසමේ තාක්ෂණික දැනුමයි වැදගත් වෙන්නේ. ඒක රටේ වෙන කොහෙවත් නෑ. විදුලිබල මණ්ඩලයේ මිල සාධාරණ මිල වෙන්නේ නෑ. ඒකට ස්වාධීනව තක්සේරුවක් තියෙන්න ඕනේ. ඒක තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසමේ විතරයි. ඒක පැහැරහැරලා විදුලිබල මණ්ඩලයෙන් දාන මිල සංසන්දනය කරලා අපට කියන්න පුළුවන් මේක තමයි අසාධාරණය කියලා.

මහ ජනයා දූෂණයටත් ගෙවිය යුතු රටක්

ඉතින් ජනතාව වියදමට ගෙවිය යුතුයි. ඒක බදුවලින් ගෙවන්නත් පුළුවන්, ඍජුව ගෙවන්නත් පුළුවන්. හැබැයි දූෂණයට ගෙවිය යුතුද? ඒ පාඩුවෙන් හෙළිදරව් වෙන්නේ බොහෝ විට දූෂණය. ඒ දූෂණ හෙළිදරව් කරන අය ප්‍රතිසංස්කරණය කළ යුතද? නැත්නම් දූෂණයට ගෙවිය යුතුද? ඒක ඇත්තටම ඉතා වැදගත් ප්‍රශ්නයක්. අපේ මතයක් තිබුණට මේක සාධාරණයි, අපි ගෙවන්වේ වියදමට කියලා ඒක සාධාරණ වියදමක්ද, දූෂණය අඩංගු වියදමක්ද කියලා නිරාකරණය කරගත්තේ නැත්නම් එතැනදී සාධාරණයක් ඇතිවෙන්නේ නෑ.
මේ අර්ථසාධකය ගැන ආයෙත් කතා කළොත් ඒකට මම කිව යුතු දෙයක් තියෙනවා. මේ වගේ විශාල අර්බුදයක් තුළ හැමෝටම එක සේ බලපාන්නේ නෑ. මොන ආර්ථික අර්බුදයක් වුණත් සංවර්ධනයක් වුණත් ඒක ප්‍රතිවිපාක එක සේ හැමෝටම ලැබෙන්නේ නෑ. මේ අර්බුදය තුළ පොලී අනුපාතය රජය ගෙවන පොලී අනුපාතය 30%කට වඩා ඉහළ ගියා. එතකොට මුදල් ඉතිරි කරලා තියාගත්ත පිරිසට විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා. ණයට මුදල් ගත්ත අයට, මුදල් ඉතිරි නොකළ අයට එහෙම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. උද්ධමනය 60%යි. හැම මිලම වැඩි වෙනවා. හැබැයි එහෙම ඉතිරි කිරීමක් නැත්නම් ඒකෙ වාසිය ලැබෙන්නේ නෑ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි හිතන්න ඕනේ කාටද මේ බර වැටිය යුත්තේ කියලා. වාඩියෙන් වාසියක් ලබන කොටස්වලටද? වාසියක් නොලැබෙන කොටස්වලටද? කියලා.

ණය ප්‍රතිව්‍යුහගත කළ අනෙක් රටවල්

1998 ඉඳලා ලංකාව හැර රටවල් 14ක් ණය ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. ඉතා දුර්වල ලෙස කළමනාකරණය කරපු රටවල් තමයි මේ තත්ත්වයට වැටෙන්නේ. ඒ තුළින් වුණත් හැම රටම බැලුවේ පුළුවන් තරම් අර්ථසාධක අරමුදල්වලට මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළත් නොකිරීම. මොකද හැමෝටම තේරෙනවා මේක සමාජ ආරක්ෂණ අරමුදලක් කියලා. ඒක වැදෙන්නේ ඉතා අත්‍යාවශ්‍ය අඩු හැකියාවක් තියෙන ජන කොටසකට. ඒ රටවල් 14න් 12ක්ම මේ අරමුදලට අත තිබ්බේ නෑ. හැමෝම බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කළා. රටවල් 9ක්ම පෞද්ගලික පාර්ශවල කොටස් ප්‍රතිව්‍යුහගත කළා.

ආරක්ෂණ අරමුදල් ප්‍රතිව්‍යුහගත කළේ රටවල් දෙකයි

රටවල් දෙකයි ඒගොල්ලන්ගේ ආරක්ෂණ අරමුදල් ප්‍රතිව්‍යුහගත කළේ. ඝානා රාජ්‍යය වුණත් ඒක නොකර ඉන්න හැදුවා. පෙබරවාරි ඉඳන් ඒගොල්ලෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළාට මේ ජූලි මාසේ තමයි ඔවුන් අර්ථසාධක අරමුදලත් ඒකට එකතු කරන්නේ. ලංකාව තමයි ලෝකෙ පළමු රට, අනිත් හැම එකම බේරලා අර්ථසාධක අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණය කරන. කිසිම රටක් එච්චර අසාධාරණ මගකට එළැඹිලා නෑ. ඒ අතින් ලංකාව විශිෂ්ටයි, හැබැයි දුක හිතෙන විදියට.

අර්ථ සාධකයේ 1/6 ක් දුප්පත්ම වතුකර ජනතාව

මේ අර්ථසාධක අරමුදලට දාන බද්ද දැනටමත් අධිකයි. මොකද බැංකුවලින් තැන්පත්කරුට ගෙවන මුදල අඩු කරලා තමයි ඒ බද්ද දාන්නේ. හැබැයි අර්ථසාධක මුදලෙන් අපි තැන්පත්කරු, අපිට තමයි ඒක අයිති. අපිට ගෙවන කොටසට තමයි ඒ බද්ද දාන්නේ. වතුකරයේ ලක්ෂ 4ක් විතර වැඩකරනවා. ඒ කියන්නේ අරමුදලෙන් හයෙන් එකක්ම වතුකරයේ ජනතාව. අති දුප්පත් ජනතාව. ඒ ජනතාවගේ ඉදිරි ජීවිතයට ගෙනයන්න බලහත්කාරයෙන් අරන් ඉතිරි කරන මුදල්වලට තමයි ඔය බද්ද දාන්නේ. අඩු ගානේ ඒක අතට දුන්නා නම් ඒක තමාගේ ගිණුමට හරි දාලා ඊට වඩා හොඳ ආදායමක් ලබාගන්න හැකියාවක් හැදෙනවා.

ආරක්ෂන අරමුදලේ අරමුණ සහන දීම

ඔය වගේ අරමුදල් හදන්නේ ජනතාවගෙන් සූරාකන්න නෙවෙයි, ජනතාව බේරගන්න. හැබැයි ලංකාවේ ජනතාවගෙන් බදු සූරාකන ක්‍රමයක් තියෙන්නේ. හැබැයි ඒකෙන් බේරෙන්නේ කවුද ඒකෙන්? ණය ප්‍රතිව්‍යුහගත කරයි කියලා දැන දැන ඒකෙ අවමානය තමාට අවශ්‍ය පොලියට එකතු කරලා 30%ට වඩා පොලිය ලබාගත්ත කොටස් සූදානම් ඒ අඩුකිරීම ලබාගන්න. මොකද ඒ අවදානම දැනගෙන තමයි ආයෝජනය කළේ රජයේ බැඳුම්කරවල. එතකොට ඒ ඔක්කොම දැනගෙන ආයෝජනය කරන කට්ටියට විශාල ලාභයක් ලැබෙනවා. ඒක මම තාක්ෂණිකව පැහැදිලි කරන්නේ නැතුව පැහැදිලි කරන්නම්.

100% ලාබ ලබන අය සහ  වැඩකරන දුප්පතුන්

ඒ කියන්නේ ඒ අයට 100%ට වඩා ලාභයක් ලැබෙනවා ඒ ආයෝජනයෙන්. මොකද ලැබුණු 30% විතරක් නෙවෙයි ඊ.පී.එෆ්. එකට විතරක් අත දැම්ම හින්දා පොලී අනුපාතය 15%කට 12%ට ඇවිල්ලා, ඒගොල්ලෝ ඒක විකුණනවා. හැබැයි විකුණන්නේ අවුරුද්දකට ලැබෙන පොලිය විතරක් නෙවෙයි අවුරුදු 5ක 10ක පොලියක්. ඒ ලැබෙන 15%, 16% 5කින් වැඩි කළාම එතැනම 80%යි. දාපු ආයෝජනයට සාපේක්ෂව. ඊට උඩින් තව 30%ක් ලැබුණා. ඉතින් සමහර ජන කොටස් 100%ට වඩා ලාභයක් ලබනවා මේ ක්‍රමය තුළින්. මේක දැන දැන ආයෝජනය කරලා. අනිත් කොටස්වලට කරකියාගන්න දෙයක් නැහැ. එහෙම දෙයක් කරපු ලෝකෙ පළමු රට අපි.
මම මගේ කතාව මෙහෙම ඉවර කරන්නම්. ඇත්තටම ලාභයට ඉඩක් දෙන ආර්ථික ක්‍රම තුළ කවුරු හරි මොනවා හරි ඉතා විශේෂ ලෙස නිර්මාණාත්මකව අලුත් දෙයක් කරලා සමාජයට සේවයක් කරලා ලාභයක් ලැබුණා කියලා අපට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ලාභය ලබන්න නම් අලුත් දෙයක් කරන්න ඕනෙ. සමාජයට වැදගත් දෙයක් කරන්න ඕනෙ. එතකොට සමාජයෙන් ඒකට ගෙවීමක් කරනවා. අපේ හොඳ සංගීතඥයෝ ඉන්නවා. ඒ අයගෙ ප්‍රසංගයක් බලන්න අපි ටිකට් අරගෙන ගිහිල්ලා වින්දනයක් ලබනවා. අපේ සල්ලිවලින් ඒ අය පෝසත් වුණා කියලා අපි තරහා වෙන්නේ නෑනේ. අපි කැමැත්තෙන් ඒ ටිකට් එකට ගෙවන්නේ. හැබැයි බොහෝ විට සිදුවන ප්‍රශ්නයක් තමයි, ලාභය පෞද්ගලීකරණය කරලා පාඩුව සමාජගත කරන එක. බැංකුවලටත් වෙලා තියෙන්නේ ඒකයි.

ලාභය පෞද්ගලීකරණය කර පාඩුව සමාජ ගත කිරීම

ලාභය අපි පෞද්ගලීකරණය කළත්, පාඩුවක් ආවම ඒක සමාජගත කරනවා. බදු දානකොට පෞද්ගලික ආයතන බේරගන්නවා, සමාජයට ඒක දානවා. ලාභය පෞද්ගලීකරණය කිරීම පාඩුව සමාජගත කිරීම කියන්නේ කිසිම ආර්ථික ක්‍රමයකට ගැළපෙන්නේ නැති දෙයක්. අපි සමාජවාදී වෙන්න ඕනෙ නෑ ඒකට විරුද්ධ වෙන්නේ. සමාජවාදී නම් වැඩියෙනුත් විරුද්ධ විය යුතුයි. හැබැයි කිසිම ආර්ථික ක්‍රමවේදයක් තුළ ඒක පිළිගන්න බැරි ක්‍රමයක්.

ඇයි මේ ක්‍රමය දූෂිත

බොහෝ විට පොහොසත් වෙන්නේ රජය සමග කොන්ත්‍රාත් කරන අයුතු ලෙස කොන්ත්‍රාත් ලබාගන්නා අය. මේවා දූෂණ. අපේ ආර්ථික ක්‍රමය දූෂිත ක්‍රමයක් හැටියට හඳුන්වන්න පුළුවන්. වෙළෙඳපළ ක්‍රමයක් කියන්නත් බෑ, සමාජවාදී ක්‍රමයක් කියන්නත් බෑ. සමාජවාදී ක්‍රමයක් තුළත් දූෂණය තියෙන්න පුළුවන්. අපි දූෂණයට විරුද්ධ වෙන්න පටන්ගත යුතුයි සාධාරණත්වය ගොඩනගන්න නම්. ඒකට ආර්ථික ක්‍රමයේ වෙනස් කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒවා වෙනස් කරන ගමන් අද ඊයේ හෙට රජය කරන ක්‍රියාවලි වෙනස් කරන්නත් අපි ඉක්මනින්ම ඉදිරිපත් විය යුතුයි කියලා මම කතාව නිමා කරනවා.

සමාජවාදී අධ්‍යයන කවය විසින් පසුගිය අගෝස්තු 24 වැනිදා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ කතිකාවක් සංවිධාන කොට තිබුණා. එහිදී ‘ප්‍රතිසංස්කරණ සහ සමාජ සාධාරණත්වය’ මැයෙන් විශේෂ දේශනයක් සිදුකිරීමට වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ද මැල් මහතා කටයුතු කළ  කතාව උපුටා ගන්නා ලද්දේ  චානක ලියනගේ විසින් ලියාපල කළ  ‘මව්රට’ වෙබ් අඩවියෙනි .(Sri Lanka Latest News)

සංස්කරණය කරන ලද බව සළකන්න.

Archive

Latest news

Related news