Friday, May 3, 2024

අධිකරණ අපහාසය: තරිඳු ජයවර්ධනගේ ප්‍රතිෂෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කරයි!

ඡායාරූපය: ගවේශනාත්මක මාධ්‍යවේදියකු වන තරිදු ජයවර්ධන තොරතුරු අයිතිය පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකි.
අධිකරණයට අපහාසයක් වසිදුවීදැයි සෙවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයක් බල හරිත කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් නොතීසි නොයවාම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ ප්‍රතිෂෝධන පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අද (29) නියෝග කළේය.
මෙම ප්‍රතිෂෝධන පෙත්සම අද අභියාචනාධිකරණ විනිසරු සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවෙ කැඳවිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මාධ්‍යවේදියා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ පෙත්සමේ සඳහන් අතුරු සහනය ගැන මේ අවස්ථාවේ ඉල්ලීමක් නොකරන බවයි. අවශ්‍ය වුවහොත් ඉදිරියේදී අතුරු සහනය ගැන ඉල්ලීමක් කරන බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා , සයිබර් අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් එස් යූ සුබසිංහ සහ නීතිපතිවරයා යන පිරිස පෙත්සමේ වගඋත්තරකරුවන් වන අතර නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර සැකකාර වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
මාධ්‍ය සාකච්ඡාවක් සිදුකරමින් අධිකරණයට අපහාසයක් සිදුකළාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මහාධිකරණයට අභියාචනයක් යොමු කර තිබිණි.

නඩුව නොඅසාම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු

එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවාම නිශ්ප්‍රභ කිරීමට කොළඹ අංක 8 මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක පසුගිය ජූලි 06දා නියෝග කළ බවත් මෙම ප්‍රතිෂෝධන පෙත්සමේ සඳහන් වේ.
ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පෙත්සම්කාර මාධ්‍යවේදියා ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට අදාල නඩුව ඔක්තෝබර් 07 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අගතියටපත් පාර්ශ්වයක් වෙනුවෙන්යැයි කියමින් ඉදිරිපත් වූ නීතිඥවරයකු කරුණු දක්වමින් එම මාධ්‍ය සාකච්ඡාවේදී අධිකරණයට අපහාසයක් වූබවට කරුණු දැක්වූ බවත් තරිඳු ජයවර්ධන ඉදිරිපත් කළ ප්‍රතිෂෝධන පෙත්සමේ සඳහන් වේ.

මහේස්ත්‍රාත් උසාවියකට නැති බලයක්

එම කරුණු සැලකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවත්, පසුව ඔහු විසින් නැවත වරක් එම නියොගය පරිගණක අපරාධ කොට්ඨාසයටද කළ බවත්, අධිකරණයෙන් පිටතදී කළැයි කියන අධිකරණ අපහාසයක් ගැන විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් උසාවියකට සහ සීඅයිඩියට බලයක් නැති බවත් කියමින් මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිෂෝධන පෙත්සමක් නොතීසි නොයවාම මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් මෙම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.
මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය දෝෂ සහිත බැවින් එම නියෝගය අහෝසි කර බලරහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය ද අහෝසි කර බලරහිත කරන ලෙසත් ඉල්ලමින් නීතිඥ සුරේන් ඩී. පෙරේරාගේ උපදෙස් මත නීතිඥ මනුෂිකා කුරේ මගින් තරිඳු ජයවර්ධන විසින් මෙම ප්‍රතිෂෝධන පෙත්සම ගොනු කර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අධිකරණයට අපහාස කිරීමක් ගැන සොයාබැලීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති වීම සහ නිසි පැමිණිල්ලක් නොමැතිව හුදෙක් අගතියට පත් පාර්ශ්වයේ යැයි සඳහන් කෙරුණු නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත පමණක් එවැනි නියෝගයක් කිරීම වැරදි බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා මහාධිකරණයට ප්‍රතිශෝධනයක් යොමු කළ බව ද, මහාධිකරණ විනිසුරුවරයා එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවා ම ප්‍රතික්ෂේප කිරීමට ජූලි 06දා නියෝග කළ බව ද තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිෂෝධන පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මහාධිකරණ විනිසුරුවරයා “නොදුටු” විනිසුරු නියෝගය

කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 07දා කළ නියෝගයේ අභියාචක මාධ්‍යවේදියාගේ නම සඳහන් කර තිබියදී මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ තුන් වැනි පිටුවේ සහ හතර වැනි පිටුවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට සදහන් කර නැතැයි තීන්දු කර ඇති බවත්, එක්ස් ලෙස සටහන් කර ඇති නඩු වාර්තාවේ එක්ස් එක ලෙස සටහන් කර ඇති කොටසේ අභියාචකගේ නම සඳහන් කර ඇති බවත්, එය සොයාගැනීමට විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවත් අභියාචනා පෙත්සමේ දැක්වේ.
විමර්ශනයක් සඳහා බලය ඇති බවට නිගමනයකට එළඹීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 (ආ) (i) වගන්තිය උපුටා දක්වා ඇති බව ද, එසේ වුවද එම වගන්තියේ පළමු කොටස මහාධිකරණ විනිසුරුවරයා නොසලකා ඇති බව ද, ‘ස්වකීය ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළ’ ලෙස එහි සඳහන් වන බව ද, මෙම සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ නොව මාලිගාකන්ද ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ බව ද මෙම පෙත්සමේ සඳහන් කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා අපහොසත්වීම

එසේම එම වගන්තියේ ‘යම් වැරදි සම්බන්ධයෙන් මේ සංග්‍රහය යටතේ ඒ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ ද’ යනුවෙන් සඳහන් වන බව ද, අධිකරණයේ අධිකරණ බලය මෙම සංග්‍රහය යටතේ ඇති වැරදිවලට සීමා වී ඇති බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.
ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරද්දී අභියාචක විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී කරුණු සලකා බැලීමට මහාධිකරණ විනිසුරුවරයා අපහොසත් වී ඇති බව ද අභියාචක මාධ්‍යවේදියා සඳහන් කරයි.
ඒ අනුව මෙම පෙත්සම බාරගෙන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මහාධිකරණ විනිසුරුවරයාගේ ජූලි 06 දිනැති නියෝගය අවලංගු කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයාගේ ජුනි 07 සහ ජුනි 21 දිනැතිව නිතුත් කළ නියෝගය අවලංගු කර බලරහිත කරන ලෙසත් අවසන් වශයෙන් පෙත්සම්කරු ඉල්ලා ඇත.

( වට්ස් ඇප් සමූහයක Fazeer නමින් බෙදා ගන්නා ලද සටහනකි.)

Archive

Latest news

Related news