Sunday, April 28, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: කෝකටත් තෛලයක්ද, වස විසක්ද? (05) – ලයනල් බෝපගේ

ඡායාරූපය: රාජ්‍ය අංශය තනිකරම සුදු අලියකු  ෙලස සැළකීම වරදකි.
ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන සහ ඉන් ගම්‍ය වන දේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ තිබෙන ගිවිසුම මූල්‍ය ඒකාග්‍රතාවය අවධාරණය කරන අතර, ආණ්ඩුව වසර දෙකක් ඇතුළත අයවැය අතිරික්තයක් අත්කර ගත යුතු වේ. බලශක්ති ගාස්තු වැඩිකිරීම් සහ මුදල් අවප්‍රමාණ කිරීමට හා ඉහළ පොලී අනුපාතවලට මඟ පෑදිය හැකි නම්‍යශීලී විනිමය අනුපාත මත ද අරමුදල් සැපයීමට කොන්දේසි පනවා ඇත. ඊට අමතරව, සම්පත් බදු පැනවීමකින් හෝ නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් සීමා කිරීමකින් තොරව මෙම වැඩසටහන යථාර්ථවාදී නොවන අන්දමේ ඉහළ ආදායම් අරමුණු කර ගනියි.
ණය කොන්දේසි සහ කප්පාදු කිරීමේ පියවර ස්වභාවයෙන්ම පසුගාමී වන අතර ඒවා සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින් වෙත සමානුපාත නොවන බලපෑමක් ඇති කරයි, ශ්‍රී ලංකාවද ඊට විශේෂත්වයක් නොවේ. උදාහරණයක් ලෙස, ඉන්ධන සහනාධාර ඉවත් කිරීම දුර බැහැර ප්‍රදේශවල වසන ජනතාවගේ ප්‍රවාහන වියදම් වඩා ඉහළ යන්නට හේතු කාරක වන අතර එමඟින් ඔවුන්ට අදාළ සේවාවන් වෙත ලගා වීමට ඇති හැකියාව අඩු වේ. එසේම, අඩු පහසුකම් ඇති අයගේ දරුවන්ට ආහාර, විදුලිය, බෙහෙත්හේත් සහ අධ්‍යාපනය යන දේවල් අතරින් හොබේසියානු[i] පන්නයේ තෝරා ගැනීමක් කරන්නට ඔවුන්ට බල කරමින් විදුලි ගාස්තු වැඩි කිරීම ඉහළ සෞඛ්‍ය සේවා පිරිවැය ඉහළ යාමට ද මඟ පාදනවා ඇත.

රාජ්‍ය අංශය කප්පාදු කිරීම සහ ආණ්ඩුව වඩා කුඩා  එකක් බවට පත් කිරීම බොහොමයක් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා යොදා ගන්නා දේශපාලන කෝකටත් තෛලයක් ලෙස නැවන නැවතත් අලෙවි කරනු ලබන ජප කිරීමකි. ප්‍රායෝගික වශයෙන් ගත් විට, ලොව පුරා අවස්ථා බොහොමයකදී  ප්‍රතිඵල විනාශකාරී වී තිබේ.

වඩා හොඳ රාජ්‍ය අංශයක්

පොදු ජනතාවට ඇතැම් සේවාවන් සැපයීමේ දී ආණ්ඩුවක් යොදා ගන්නා මූලික තාර්කණය වන්නේ ලාභ ඉපයීම හෝ ලාභය උපරිම කිරීම හේතුවෙන් ඒ සේවාවන් අවශ්‍ය කරන සියළු දෙනාට ම ඒවා දරා ගත හැකි අන්දමේ මිලකට ලබා ගත හැකි නොවනු ඇති බවයි. ආණ්ඩුවක් සහ ව්‍යාපාරයක් අතර පවතින මූලික වෙනස් කමක් වන්නේ ආණ්ඩුවක් ලබා දෙන භාණ්ඩ හා සේවාවන් ලබා ගත යුතු හැම කෙනෙකුටම ලබා ගත හැකි වීමයි. ආර්ථිකයක සුභ සාධනය රඳා පවතින්නේ, යමෙකුට ගෙවීමට ඇති හැකියාව ගැන නොසලකා, ඇතැම් සම්පත් ජනතාව අතරින් ඒ සම්පත් අවශ්‍ය කරන හැම කෙනෙකුටම ඒවා ලබා ගත හැකි වීම මත යි.
ආණ්ඩුවේ ව්‍යවසායයක කාර්යක්ෂමතාවය තක්සේරු කළ යුත්තේ එම ව්‍යවසායය ලාභ ලබනවාද නැද්ද යන්න මත නොවේ. උදාහරණයක් ලෙස, විදුලිය හෝ ජලය බෙදාහරින, හෝ පොදු ප්‍රවාහනය වැනි පොදු උපයෝගිතා සපයන ආයතනයකට එය සපයන භාණ්ඩයේ හෝ සේවාවේ මිල ඉහළ දැමීමෙන් ලාභ වැඩි කර ගත හැකිය. නමුත් එහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍යයෙන් සමහර අයට, අඩු ආදායම්ලාභී පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අහිමි කරනු ලැබීමයි.
රාජ්‍ය අංශය කප්පාදු කිරීම සහ ආණ්ඩුව වඩා කුඩා  එකක් බවට පත් කිරීම බොහොමයක් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා යොදා ගන්නා දේශපාලන කෝකටත් තෛලයක් ලෙස නැවන නැවතත් අලෙවි කරනු ලබන ජප කිරීමකි. ප්‍රායෝගික වශයෙන් ගත් විට, ලොව පුරා අවස්ථා බොහොමයකදී  ප්‍රතිඵල විනාශකාරී වී තිබේ.
නිදසුනක් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ, ෆෙඩරල් රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ වට කිහිපයකින් සහ වග වීම් රහිත, මිල අධික පුද්ගලික උපදේශන මත යැපීමෙන් පසු, (එහි දෘෂ්ටිමය අවමානයට බොහෝ දුරට බලපාමින්) එම ප්‍රවණතාවය ආපසු හැරවීම සඳහා තාවකාලික පියවර ගැනීමට මෑතකදී ආණ්ඩුවට බල කෙරුණි. ඊට හේතුව නම්, අඩු වියදමෙන් වඩා හොඳ සේවාවන් සපයනවා වෙනුවට, රාජ්‍ය සේවාවන් පෞද්ගලීකරණය බොහෝ විට ආණ්ඩුවට සමස්ත ගාස්තු වැඩි කොට, පොදු ජනතාව වෙත ගුණාත්මක බවෙන් අඩු, වඩා වැඩි වියදම් සහිත සේවාවන් සපයමින්, සහ දේශපාලණික දූෂණය පෝෂණය කරමින් ධනවත් ආයතනවලට විශාල ලාභ අත් කර දෙයි.
රාජ්‍ය අංශය බොහෝ විට මූලික සේවා ප්‍රමිතීන් සපුරා ලන්නට අසමත් වන බව ඇත්ත යි. එසේනම් අවශ්‍ය වන්නේ මහජනතාවට සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය කරන කුසලතා, අවබෝධය සහ ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ ආයෝජන සිදු කිරීමෙන් ඒ සේවාවන්හි ගුණාත්මක තත්වයත්, ඒ සේවාවන් සපයා දීමේ කාර්යක්ෂමතාවයත් වැඩිදියුණු කිරීම යි.

කප්පාදුව සහ අසමානතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් ඉල්ලා සිටින අන්දමේ කප්පාදු කිරීම් හේතුවෙන්, අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් තම ගෘහස්ථ ආදායමෙන් විශාල සහ ඔරොත්තු නොදෙන මුදලක් දැනටමත් ගෙවන දිළිඳු පාරිභෝගිකයින්ට තවදුරටත් අවාසි කරනවා ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත බරම පාහේ කම්කරු පන්තිය මත පැටවෙනු ඇතැයි යන ප්‍රකාශය මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එය යථාර්ථය වැරදි ලෙස නිරූපණය කිරීමක් බව ඔහු ප්‍රකාශ කරයි[ii]. ඒ කෙසේ වෙතත්, ආණ්ඩුව පොදු වත්කම් පෞද්ගලීකරණය කිරීමත්, වැඩ කරන ජනතාවගේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ඉලක්ක කර කටයුතු කිරීමත් වැනි පියවර ගනිමින් පහර දීම ඉදිරියට ගෙන යමින් සිටී. සංස්ථාපිත අංශයට වැඩි වැඩියෙන් ණය සහන, බදු නිවාඩු සහ නම්‍ය කම්කරු නීති වැනි සහන සැලසීම සඳහා එකට එක් වී කටයුතු කිරීමේ ප්‍රවේශයක් යොදා ගනු ලැබේ. අවසානයේදී, ඔවුන්ගේ මාධ්‍ය ආයතන සහ චින්තන ටැංකි වල සහාය ලබන ආන්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනෑම විකල්ප මූල්‍ය හා පොදු දේපල මූල්‍ය ගමන් මාර්ගයකට එරෙහිව නිර්දය ප්‍රහාරයක් දියත් කර ඇත.
මීළඟ කොටසින් ගවේෂණය කරන පරිදි මෙම අර්බුදයට විකල්ප පවතින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජය වෙනුවෙන් අනුග්‍රහ දක්වන්නන් විසින් ඒවා පසකට තල්ලු කර දැමීමට ලක් වෙමින් ඇත.

අර්බුදය ආමන්ත්‍රණය කරන්නට කප්පාදු නොකරන මාවතක්

ඉතාලිය එහි ආවර්තිත ආර්ථික හා කාර්මික අර්බුදවලින් එකක් විඳ දරා ගනිමින් සිටි 20 වැනි සියවසේ මුල් භාගයේ දී, ඉතාලි ජාතික න්‍යායාචාර්ය අන්ටෝනියෝ ග්‍රාම්ෂි ප්‍රකාශ කළ පරිදි:
“ජනගහනයේ විවිධ ස්ථරයන්ට තමන් විසින්ම එක හා සමානව වේගයෙන් අවශ්‍ය  දිශානතියට විතැන්වීමට  හෝ එකම රිද්මයකින් ප්‍රතිසංවිධානය වීමට හැකියාවක් නොමැති බැවින් අර්බුදය කෙටිකාලීනව අන්තරාදායක තත්වයන් නිර්මාණය කරයි. බොහෝ පුහුණු කරන ලද කේඩරයන්ගෙන් සමන්විත සාම්ප්‍රදායික පාලක පන්තිය, පුද්ගලයන් සහ වැඩසටහන් වෙනස් කොට, යටත් පන්තීන් විසින් අත්පත් කර ගෙන ඇති වේගයට වඩා වැඩි වේගයකින්, තම ග්‍රහණයෙන් ගිලිහී ගිය පාලනය යළි උකහා ගනී. ඇතැම්විට එය කැපකිරීම් කොට වචනයට පමණක් සීමා වූ පොරොන්දු මත නිර්මාණය කරන ලද අවිනිශ්චිත අනාගතයකට තමන් විසින්ම නිරාවරනය විය හැකිය; නමුත් එය බලය රඳවා තබා ගෙන, තාවකාලිකව එම බලය ශක්තිමත් කර ගෙන, ප්‍රමාණයෙන් අති විශාල හෝ මනා පුහුණුවක් ලැබුවා විය නොහැකි ඔහුගේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසුරුවා හැර එම බලය සිය එදිරිවාදියා යටපත් කර දැමීම සඳහා යොදාගනී. [iii].
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ අවධානය යොමු කරන්නේ ආර්ථිකය නියාමනය කිරීම ඉවත් කොට ආර්ථිකයේ තිබෙන සම්පත් පෞද්ගලීකරණය කිරීම කෙරෙහි ය. නිදසුනක් වශයෙන්, ස්වකීය ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් රට කර්මාන්තකරණයට ලක් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් කිසිවිටෙකත් ඉල්ලා සිට නැත. එබැවින්, සංස්ථාපිත ලෝකයේ පවතින විගඩම් මත පදනම් වුනු ගෝලීය සැපයුම සහ ඉල්ලුම මත රඳා පවතිමින් වෙනස් වෙන මිල ගණන් සහිත වෙළඳ භාණ්ඩ අපනයනය කිරීම මත රට පරාධින බවට පත් විය.

ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංශ රැක ගැනීම

ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් අතිශයින් වැදගත් වෙන ආර්ථික අංශයන් සුරක්ෂිත කොට නැත. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සිදු කර ඇති පරිදි ශ්‍රී ලංකාව ද සිය නිෂ්පාදන පදනම ශක්තිමත් කිරීම මඟ හැර ගොස් තිබේ. ඒ වෙනුවට ශ්‍රී ලංකාව ඇතුළු ඒ සෑම රටක් ම රඳා පවතින්නේ අස්ථාවර, අවදානම් මෙන්ම අනුමාන කිරීම පාදක කර ගෙන හසුරුවන ආර්ථිකයක පදනම මත ගොඩ නැඟුණ සේවා අංශයන් මත යි.
නිදසුනක් වශයෙන්, නව ලිබරල්වාදී රටවල් සියල්ලම පාහේ ආහාර හා බලශක්තිය අතින් ප්‍රමාණවත් බව රැක ගෙන ඇති අතර, ආහාර සහ බලශක්ති පමණ ඉක්මවා ආනයනය කිරීම මත ශ්‍රී ලංකාව තවමත් රඳා පවතී[iv]. ලංකාව පහසුවෙන්ම ආහාර, බලශක්තිය සහ ජලය අතින් ස්වයංපෝෂිත හා සුරක්ෂිත බවට පත් විය හැකි බව නොසළකා හැරීම, පෙනෙන තෙක් මානයක නිමාවක් නොමැතිව විදේශ විනිමය ණයට ගන්නට රටට බල කරවමින් දිනෙන් දින උත්සන්න වන විදේශ විනිමය හිඟයකට මඟ පාදා ඇත.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ඒවායේ විදේශ ණය හේතුවෙන් ව්‍යුහාත්මක පරාධීනත්වයක කොටුව සිටී. ලෝකයේ හැම රටක් ම පාහේ යම් ආකාරයක ණය බරක් දරන බව කිව යුතු ‌නොවේ. කෙසේ වෙතත්, ණය ගැනීමේ වියදම රඳා පවතින්නේ රට කෙතරම් ආර්ථික වශයෙන් දියුණු ද යන්න මත යි. සංවර්ධිත රටවලට ඉතා අඩු පොලී අනුපාතයකට ණය ගත හැක්කේ එවැනි ණය “අඩු” අවදානම් ඒවා ලෙස වර්ග කර ඇති බැවිනි..

සාර්ථක නොවන මෙන්ම රටේ පුරවැසියන්ගෙන් බහුතරයකට දඬුවම් පමුණුවන පියවර මත පුන පුනා විශ්වාසය තබනවා වෙනුවට, ශ්‍රී ලංකාව වැනි ණයගැති රටවල වෙනත් මූල්‍යමය පියවර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. දූෂණයට, වැරදි කළමනාකරණයට සහ නාස්තියට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව රජයේ මූල්‍ය වගකීම සහතික කළ යුතුය.

කප්පාදුව පිළිබදව තිබෙන ජාත්‍යන්තර අත්දැකීම්

රටවල් නය අර්බුදයෙන් මුදවා ගන්නට කප්පාදු කිරීමේ පියවරවල් සමත් වී ඇතැයි පෙන්වා දෙන ඓතිහාසික සාක්ෂි නැත. දශක ගණනාවක් පුරා මෙන්ම ග්‍රීසියේ සිට ඉන්දුනීසියාව දක්වා, ඊජිප්තුව සහ ටියුනීසියාව දක්වා විහිදී යන උදාහරණවලින් පෙන්නුම් කරන්නේ කප්පාදුව සාර්ථකව නොමැති බවයි. රාජ්‍ය අංශය මැඩ ලීමෙන් රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කොට ණය ගෙවන්නට කටයුතු කිරීම මගින් අසමානතා උග්‍ර අතට හැරවීමෙන් ආර්ථික අවපාතය සහ අර්බුදය වඩාත් දරුණු බවට පත් කර ඇත. රටක් ණය ආපසු පියවීමේ දී අන්තර්ජාතික ණය දෙන්නන් සහ ආයතන වෙත සිදු කරන ආපසු පියවීම් වලට ප්‍රමුඛතාවය දෙන බව සහතික කිරීම මිස, කප්පාදු පියවරයන් ස්ථාපිත කිරීමට තිබෙන අවශ්‍යතාවය ඒ රටේ දිගු කාලීන ව්‍යුහාත්මක ගැටළු නිරාකරණය කිරීම හා සමග කිසිදු සම්බන්ධතාවක් නැත.
සාර්ථක නොවන මෙන්ම රටේ පුරවැසියන්ගෙන් බහුතරයකට දඬුවම් පමුණුවන පියවර මත පුන පුනා විශ්වාසය තබනවා වෙනුවට, ශ්‍රී ලංකාව වැනි ණයගැති රටවල වෙනත් මූල්‍යමය පියවර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. දූෂණයට, වැරදි කළමනාකරණයට සහ නාස්තියට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව රජයේ මූල්‍ය වගකීම සහතික කළ යුතුය. දූෂණයට, වැරදි කළමනාකරණයට සහ නාස්තියට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව ආණ්ඩුවේ මූල්‍යමය වගකීම සහතික කළ යුතු වේ. ලංකාව වැනි රටක විනිවිදභාවය සහ වගවීම හා බැඳුණු සියළු විධිවිධානයන් උල්ලංඝනය කරන පාලක ප්‍රභූ පැලැන්තිය සහ එයින් යැපෙන්නෝ එවැනි මූල්‍ය වගකීම් මග හරිති. රටේ ආදායමට සරිලන ලෙස වියදම කළමනාකරණය කර ගන්නා සාධාරණ ආර්ථික මං පෙතක් සොයා ගත යුතු ය. මේ සඳහා ඉදිරියේ දී ගත හැකි ක්‍රියාමාර්ගයක් වන්නේ දේශපාලනඥයන් විසින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල දක්වා තිබෙන මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා මුදල් සපයා ගන්නට ඔවුන්ට තිබෙන නිශ්චිත සැළසුම් මොනවාදැයි ඉදිරිපත් කරන ලෙස මැතිවරණ ව්‍යාපාර අතරතුර දී ඡන්ද දායකයන් විසින් ඔවුනට බල කර සිටීම යි.

මූල්‍ය විනිවිදභාවය සහ වගවීම

අවශ්‍ය වන ඕනෑම විටෙක විගණන ආයතනවලට ආපසු සලකුණු කර ගන්නට ඉඩකඩ ලබා දෙමින් සෑම පොදු ගනුදෙනුවක් ම සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීම සහතික කිරීම සඳහා ඒකාබද්ධ මූල්‍ය කළමනාකරණ පද්ධතියක් [Integrated Financial Management System (IFMS)] සංවර්ධනය කිරීම රටට අවශ්‍ය වෙයි. මේ වන විට ණය දෙන ආයතනවලින් ආණ්ඩුවට ලැබෙන මුදල්වලට කුමක් වන්නේ දැයි කිසිවකු දන්නේ නැත. මෙම විනිවිද නොපෙනෙන බව වංචාවලට හවුල් වීම්, දූෂණ සහ මුදල් විශුද්ධි කරණය සඳහා බොහෝ අවස්ථාවන්ට මග පාදා තිබේ. ආණ්ඩුව දේශීය හා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ලබා ගන්නා සමස්ත ණය ප්‍රමාණයට සීමා පැනවිය යුතුය. ආණ්ඩුවට ගත හැකි තවත් වැදගත් පියවරක් නම් රාජ්‍ය වියදම් අඩු කර ලීම යි. ආණ්ඩුවේ විශාලත්වය, විශේෂයෙන්ම පුළුල් වූ මෙන්ම දරා ගත නොහැකි තරමේ ආරක්ෂක ආම්පන්න අඩු කර ලීම මෙයට ඇතුලත් වනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන ගනුදෙනුවල දී ආණ්ඩුව විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර ඇති සියලු ම තොරතුරු, විශේෂයෙන්ම සියළුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල ණයගැති භාවය පිළිබඳව මුළුමණින් ජනතාවට හෙළිදරව් කළ යුතුය. ක්‍රියාවේ යොදවනු ලබන ඕනෑම පියවරක් ආර්ථිකය පිළිබඳ පාර්ශව කරුවන්ගේ පුළුල් ජාතික පොදු හමුවක් (a wide national stakeholder forum) තුළ වඩා පුළුල් උපදේශන සාකච්ඡාවකට ලක් කළ යුතුය. ව්‍යාපාරික සහ දේශපාලන ආයතන, සිවිල් සමාජය සහ වෘත්තීය සමිති ඇතුළු සියලුම ප්‍රධාන නියෝජිත කණ්ඩායම් මෙයට ඇතුළත් විය යුතුය. එවැනි උපදේශන පොදු හමු ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වටිනා මෙන්ම නව්‍ය අදහස් උත්පාදනය කරනවා ඇත. අනෙක් අතට, එමඟින් යෝජිත ඕනෑම ප්‍රතිසංස්කරණයකට වඩා හොඳ සමාජමය සහයෝගයක් ද ලබා දෙනවා ඇත.
මතු සම්බන්ධයි.

පළමු කොටස https://sinhala.srilankabrief.org/?p=44551

දෙවන කොටස https://sinhala.srilankabrief.org/?p=44586

තෙවන කොටස: https://sinhala.srilankabrief.org/?p=44599

සිව්වන කොටස: https://sinhala.srilankabrief.org/?p=44625

2023 අගෝස්තු 22
[i] සැබෑ විකල්පයක් නොමැති අවස්ථාවක පෙනෙන අන්දමේ නිදහස් තෝරා ගැනීමක්
[ii] Discourse on Development (Devdiscourse) 7 July 2023, https://www.devdiscourse.com/article/headlines/2515211-sri-lanka-central-bank-governor-dismisses-concerns-over-projected-losses-for-epf-due-to-domestic-debt-restructuring
[iii]  Antonio Gramsci, ‘State and Civil Society’, in Quintin Hoare and Geoffrey Nowell Smith, eds., Selections from the Prison Notebooks of Antonio Gramsci, Lawrence & Wishart, London, 71, pp. 210-11
[iv] For example, the Australia is demanding the European Union to offer significantly more generous concessions to Australian agricultural producers in order to ink a free trade agreement between like-minded partners at a time of mounting geopolitical uncertainty. Refer Australian Financial Review, 9 June 2023, https://www.afr.com/policy/economy/trade-deal-unlikely-unless-eu-lets-in-australian-farmers-20230709-p5dmv7

Archive

Latest news

Related news