Sunday, April 28, 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් විසකුරු බෙහෙතක්ද? (01) -ලයනල් බෝපගේ

ඡායාරූපය: මූල්‍ය  අරමුදළට එරෙහි  ආජන්ටීනියානු විරෝධය
නිදහසින් පසු ශ්‍රී ලංකාව  නැවත නැවතත් මුහුණ දෙන්නට සිදුවුණ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එකී අර්බුද අතරෙන් වඩාත් කැපී පෙනෙන ඒවා වූයේ 1953 වසරේ අගෝස්තුවේ, 1970 ගණන්වල අග භාගයේ අර්බුද මෙන්ම වඩාත් අදාළ ලෙස, රට බංකොලොත් බවට පත් කරන ලද වත්මන් අර්බුදයයි. වත්මන් අර්බුදය ජනිත කරවූයේ ලෝකය කෙරෙහි බලපෑ දිග්ගැස්සුණු වසංගතයත් 2022 පෙබරවාරි මාසයේ ඇරඹුනු රුසියානු – යුක්‍රේන යුද්ධයත් විසිනි. කෘෂිකර්මාන්තය, බදු අය කිරීම සහ අනෙකුත් ක්ෂේත්‍රවල ආණ්ඩුව අනුගමනය කල අවිධිමත් ප්‍රතිපත්ති නිසාවෙන් මෙම අර්බුදය වඩාත් උග්‍ර බවට පත් විය.
නිදහසින් පසු ලංකාවේ පිළිවෙලින් බලයට පත් වූ ආණ්ඩු, ඒවායේ දේශපාලන පැහැය හා වාචාල කතා බහ කෙසේ වෙතත්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, බල ශක්තිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතාවලට වෙන් කරනවාට වඩා වැඩියෙන් ණය ගෙවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගෙන තිබේ. කෝවිඩ් වසංගතයේ ආගමනය විසින් වෙළඳාම අඩපන කොට මෙම අසමතුලිතතාවය තව දුරටත් උග්‍ර බවට පත් කරවන ලදි.

අර්බූදයට හේතු

විදේශවල සිට එවනු ලබන මුදල්, සංචාරක ව්‍යාපාරය සහ නිදහස් වෙළඳ කලාප හරහා කෙරෙන ඇඟලුම් සහ මලයහ (කඳුකරයේ) ප්‍රදේශවල සිදු කෙරෙන තේ වැනි කෘෂිකාර්මික නිෂ්පාදන වැනි අපනයන මත යැපෙන ලංකා ආර්ථිකය වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් විය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගෝලීය රාජ්‍ය ණය ප්‍රමාණය 2019 අවසානයේ දැරිය නොහැකි තරමේ වූ සියයට 84 ක සිට 2020 අවසානයේ දී සියයට 100 ක් දක්වා ඉහළ නැංගේය. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වන චීනයට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට පවා එයින් ගැලවීමට තරම් හැකියාවක් නොවීය. දළ දේශීය නිෂ්පාදිතය හා සමඟ ගත් විට ඔවුන්ගේ රාජ්‍ය ණය අනුපාතය වර්ධනය වූයේය.
රුසියාව හා යුක්‍රේනය අතර පැන නැඟුන ගැටුම ගෝලීය භාණ්ඩවල, විශේෂයෙන්ම ඉන්ධන, පොහොර සහ ආහාරවල මිල ගණන් ඉහළ නැංවීමකට මඟ පෑදීය. දිළිදු අයට මෙන්ම, එක වැටුප් වාරිකයක සිට අනෙක් වාරිකය දක්වා දිවි ගැට ගසා ගත් අයට ද මෙම තත්වය අහිතකර ලෙස බලපෑවේය. ලෝක වෙළඳාමේ දී “පිළිගත්” මුදල් ඒකකය වන එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය තවත් නරක අතට හරවා ලීය; ඒ අනුව ලංකාව සහ ඝානාව වැනි අඩු මට්ටමෙන් ක්‍රියාකාරී වන ආර්ථිකයන්ට ණය නොගෙවා හැරීම් වැළැක්විය නොහැක්කක් ලෙස පෙනෙන්නට සලසා ඇත. ලංකාවේ ණය දෙස විශ්ලේෂණාත්මක අන්දමින් බලන විට මෙය වඩාත් පැහැදිලි වේ.

“මෙය කණගාටුවට හේතු වූවද අලුත් දෙයක් නොවේ. අඩු තරමින් 1950 ගණන්වල මුල් භාගයේ සිට ආනයන වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් විදේශ විනිමය නිපදවීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අසමත් වී ඇත.”

රාජ්‍ය ණය තත්ත්වය

2023 මාර්තු සඳහා උපුටා දක්වන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6 ක් වූ අතර එයින් නොගෙවූ විදේශ ණය ඩොලර් බිලියන 41.5 ක් විය. එනම් රාජ්‍ය ණයෙන් සියයට 63.5 ක ප්‍රතිශතයකි. දළ දේශීය නිෂ්පාදිතයෙන් බහුපාර්ශ්වික ණය සියයට 17.6ක් වූ අතර ද්විපාර්ශ්වික ණය සියයට 17.5ක් පමණ වූයේය. ද්විපාර්ශ්වික ණය හිමි කරුවන් ගෙන් සියයට 52 ක් පමණ චීන ද, සියයට 25 ක් පමණ ජපන් ද සියයට 16 ක් ඉන්දියානු ද වෙති.[1]
මෙය කණගාටුවට හේතු වූවද අලුත් දෙයක් නොවේ. අඩු තරමින් 1950 ගණන්වල මුල් භාගයේ සිට ආනයන වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් විදේශ විනිමය නිපදවීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අසමත් වී ඇත. රැකියා සහ ව්‍යාපාරික කටයුතුවල අවිධිමත් ස්වභාවය අනුව ජනගහනයෙන් අතිමහත් බහුතරයක් බදු නොගෙවීම ද මෙයට ඇතුලත් කල යුතුය. ඊට අමතරව, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා කරන වියදම් අතිශය ලෙස ඉක්මවා යමින් ආණ්ඩුවේ ආදායමෙන් විශාලතම කොටස කැප කර ඇත්තේ හමුදාව වෙනුවෙනුයි.

“අනෙකා” නමැති භූතාවතාරය කරළියට කැඳවීම

වගවීම, නීතියේ ආධිපත්‍යය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ගත් විට, “අනෙකා” නමැති භූතාවතාරය, බොහෝ විට සුළු ජාතීන්ගේ ස්වරූපයෙන් කරලියට ගෙන එමින්, ඒ අන්දමට තමන්ගේම හා ආර්ථිකයේ අඩුපාඩු වෙතින් ජනතාවගේ අවධානය අන් අතකට යොමු කරවමින් ආර්ථික පදනමේ පවතින මේ දුර්වලතා, ආණ්ඩුවල නොහැකියාව සහ මහජන මුදල් දූෂණයට ලක් කිරීම වසන් කර ලන්නට බලයට පත් සියළු ආණ්ඩු සමත් වූහ.

“සමස්ත ජනගහනයෙන් ඉහළම සිටින සියයට 20ක් දෙනා දිවයිනේ ආදායමෙන් සියයට 42ක් භුක්ති විඳින අතර පහළම සිටින සියයට 40ක් එයින් සියයට 17.8ක් භුක්ති විඳීමෙන් සෑහීමට පත් වෙති.”

මේ කාරණය සඟවමින්, අතීතයේ පැවති ආණ්ඩු, වර්තමානයේ දී මෙන්ම ඒවායේ දේශපාලන පැහැය නොතකා, අති විශාල විදේශ වෙළඳ හිඟයකට මඟ පාදමින් ඵලදායි නොවන සහ වැඩි වශයෙන් නාස්තිකාර සහ අවකළමනාකරණය කරන ලද ව්‍යාපෘති සඳහා දිගින් දිගටම ණය ලබාගෙන තිබේ; ඒ හේතුවෙන් රටේ ණය බැඳීම් පියවා ගැනීමට නොහැකිව, රට බංකොලොත් බව ප්‍රකාශ කරන්නට සිදු විය. තත්ත්වය ආර්ථික වශයෙන් තව තවත් දරාගත නොහැකි බවට පත් කරවමින්, ලංකාවේ තවමත් නිෂ්පාදනය කරන්නේ ජනයා දැඩි වුවමනාවෙන් ඉල්ලා සිටින පාරිභෝගික භාණ්ඩවලින් ස්වල්පයක් පමණි. සමස්ත ජනගහනයෙන් ඉහළම සිටින සියයට 20ක් දෙනා දිවයිනේ ආදායමෙන් සියයට 42ක් භුක්ති විඳින අතර පහළම සිටින සියයට 40ක් එයින් සියයට 17.8ක් භුක්ති විඳීමෙන් සෑහීමට පත් වෙති.

“නිදහස් වෙළෙඳපොළ” ආර්ථිකය

පවතින ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සිටින අය ත් අපනයන මුල් කර ගත් ප්‍රතිසාධන ක්‍රියාවලියක උපාය මාර්ගයක් හා ඒකාබද්ධ කල නිදහස් වෙළඳපොල ආර්ථිකයක් වෙනුවෙන් තවමත් පෙනී සිටිති. එබැවින් විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, සහ වැඩියෙන් විදේශ ප්‍රේෂණ ලබා ගැනීම වෙනුවෙන් දේශීය මානව සම්පත් පිටරටවල් වෙත තල්ලු කර දැමීම සඳහා වඩ වඩාත් දිරිගැන්වීම් සැපයීමේ මන්ත්‍රය දිගින් දිගටම ජප කරමින් තිබේ. අර්බුදය මුලින්ම නිර්මාණය කරන ලද්දේත්, වාර ගණනාවකදීම රටට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඇප ලබා දෙන්නට අවශ්‍ය කරන ලද්දේත් “නිදහස්” වෙළඳපොල ආර්ථික ක්‍රම වේදය බව ඔවුහු ලෙහෙසියෙන්ම අමතක කරති.

“ශ්‍රී ලංකාව තමන්ගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නය වන්නේ, IMF විසින් ඉදිරිපත් කරන ලද කෝකටත් තෛලය, ක්‍රම පද්ධති අසාර්ථකත්වයක් ලබා තිබෙන හෙයින් යලිත් වරක් අපව රවටන්නට යන්නේද යන්නයි.”

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ස්වෛරී ණය ආපසු ගෙවීම් පැහැර හැරි අතර ව්‍යුහාත්මක සාර්ව ආර්ථික වෙනස්කම් ක්‍රියාවට නැඟීමේ පදනම මත ණය පැකේජයක් ලබා ගැනීමට ඉඩ සලසා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ආරම්භ කළේය. IMF වෙතින් ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාර ලබා ගැනීමෙන් පසුව, ජූලි මස මුලදී සිය (අහිංසක අන්දමට ණය ප්‍රශස්තකරණය යනුවෙන් නම් කල) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබිණි. මෙම ක්‍රියාවලිය බරපතල ආර්ථික කම්පනවලට තුඩු දෙනු ඇති බැවින්, එම කම්පන උරා ගන්නට වෙළඳපොළට “පහසුකම්” සලස්වා ලීමටත්, බැංකුවලට කඩා පැනීම වළක්වා ලීමටත් ආණ්ඩුව විසින් 2023 ජුනි මස අවසානයේ දින පහක බැංකු නිවාඩුවක් පනවන ලදී.
ලංකාවට මෙවැනි කුරිරු ප්‍රතිව්‍යුහගත කිරීම් අලුත් දෙයක් නොවේ. නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට IMF වෙත 17 වතාවක් අයැදීම් කරන්නට සිදු විය. ශ්‍රී ලංකාව 1977 දී නිදහස් වෙළඳපොල ආර්ථිකයක් බවට පත් කිරීමෙන් පසු මෙය ශ්‍රී ලංකාව ලැබූ දසවැනි IMF ණය මුදල වනවා ඇත. අවසන් වරට ණය මුදල ලබා ගත්තේ 20්16 වසරේ දීය. ශ්‍රී ලංකාව තමන්ගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නය වන්නේ, IMF විසින් ඉදිරිපත් කරන ලද කෝකටත් තෛලය, ක්‍රම පද්ධති අසාර්ථකත්වයක් ලබා තිබෙන හෙයින් යලිත් වරක් අපව රවටන්නට යන්නේද යන්නයි.

ප්‍රතිව්‍යුහගත කිරීම සහ කප්පාදුව

ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම රඳා පවතින්නේ යමෙකු අයත් කවර සමාජ ස්ථරයටද යන්න මත යි. බහුතරයකට එය යලිත් වරක් කරන කප්පාදුවක් වනු ඇති අතර ආර්ථික යුක්තිය යලිත් වරක් ඉල්ලා සිටීමට ජනතාවට බල කෙරෙනවා ඇත. IMF විසින් මෙහෙයවනු ලබන ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් උස් හඬින් ආවඩන අය බදු වැළැක්වීම හා මඟහැරීම, නීතිවිරෝධී ලෙස අරමුදල් උකහා ගැනීම හා මුදල් විශුද්ධිකරණය සහ රාජ්‍ය අංශයේ දූෂණය, වැරදි කළමණාකරණය සහ සම්පත් නාස්ති කිරීම ගැන උචිත ආකාරයට අන්ධයන් මෙන් හැසිරෙති. අති ධනවත් පුද්ගලයන්ගේ හා පවුල් සුළුතරයක නොව, පොදු මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙන ඉතා වැදගත් අවශ්‍යතාවය ගැන ද ඔවුහු මුනිවත රකිමින් සිටිති. ඓතිහාසික වශයෙන් ගත් විට කප්පාදුව විසින් ජනගහනයෙන් බහුතරය දිළිඳු බවට පත් කර තිබෙන අතර ආදායම් විෂමතාවය වර්ධනය කර ඇත.

නව ලිබරල්වාදයේ  අණසකට අන්ධ ලෙසින් කීකරු වීම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය කප්පාදුව සමඟ එකට සිදු කල යුතුය යන ආර්ථික මැතිරීම මෙම ලිපියෙන් ප්‍රබල ලෙස අභියෝගයට ලක් කෙරේ. නව ලිබරල්වාදයේ පූර්ව අණසකට අන්ධ ලෙසින් කීකරු වීම ව්‍යසනයේ ගිනි නිසැකව අවුළුවා ලන මාර්ගයකි. නව ලිබරල් ආර්ථිකය සැලසුම් කර ඇති ආකාරය විසින් බදු වැළැක්වීම හා මඟහැරීම ක්‍රම පද්ධතිමය ගැටළුවක් බවට පත් කර ඇත. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල සංස්ථාවන් විසින් උපයා ගන්නා බදු අය කළ හැකි ලාභාංශ ලොව පුරා බදු ක්ෂේමභූමි වෙත උකහා යවන්නට එයින් ඉඩ සලසා දෙයි. ලංකාවේ පවතින පුළුල් අවිධිමත් ආර්ථිකයත්, විදේශ රැකියා වල නිරත වෙමින් ප්‍රේෂණ තැන්පත් කරන විශාල මානව සම්පත් කොට්ඨාසයත් හේතුවෙන් රටේ බදු පදනම ප්‍රමාණවත් තරමට පුළුල් වී නොමැත.
IMF පැකේජය පිළිගැනීම සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා හා සමාජ ආරක්ෂණ ජාලා වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම අවශ්‍ය වේ. එමඟින් සෘජු හා වක්‍ර බදු වැඩිකිරීම්, රාජ්‍ය ව්‍යවසායන් මෙන්ම ස්වභාවික සම්පත් පුද්ගලික අංශයට විකුණා දැමීම, රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර පිහිටුවා ලීම, රාජ්‍ය ප්‍රසම්පාදනය හා වෙළඳාම පිළිබඳව පවතින සීමා ලිහිල් කිරීම, සේවයට ගැනීම් හා සේවයෙන් පහ කිරීම් සහ වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම් සඳහා ශ්‍රම වෙළඳපොළේ ‘නම්‍යශීලීභාවය’ වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම යනාදිය ප්‍රවර්ධනය කර ලනවා ඇත. දූෂණය, ගජමිතුරුකම් සහ ආර්ථික අව-කළමණාකරණය පිළිබඳව කිසිවක් සිදු නොකරනවා ඇත.
(ලිපියේ මීලඟ කොටස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුගමනය කර ඇති නව ලිබරල්වාදී ප්‍රවේශය පිළිබඳව විවේචනාත්මක අදහස් දැක්වීමකට යොමු වෙනවා ඇත.)
මතු සම්බන්ධයි
[1] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු 2023, IMF Country Report අංක 23/116, ශ්‍රී ලංකා ඇමුණුම 11. රාජ්‍ය ණය දරා සිටීමේ හැකියා විශ්ලේෂණය, 53-54 පිටු, මෙතැනින් ලබා ගන්න: https://www.elibrary.imf.org/view/journals/002/2023/116/002.2023.issue-116-en.xml

Archive

Latest news

Related news