Tuesday, May 28, 2024

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට අදාළ මහා ප්‍රශ්නය – බැසිල් ප්‍රනාන්දු

මෙම සටහන ඉතා පුළුල් කීර්තියක් ඇති තරුණ මාධ්‍යවේදියෙකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමත් සමඟ මතු වූ විශාල ප්‍රශ්න පිළිබඳවය.
පසුගිය සිකුරාදා (ජූලි 28) උද්ඝෝෂනයක් වාර්තා කිරීමේ අරමුණින්  සහභාගි වෙමින් සිටි තරිඳු උඩුවරගෙදර ත්‍රිරෝද රථයකින් ඔහුගේ කොණ්ඩයෙන් වියරු ලෙස බලහත්කාරයෙන් ඇදගෙන ගොස්  පොලිස් නිලධාරීන් පිරිසක් විසින්  පහර දී තිබේ. ඒ තමන්  එහි පැමිණීයේ එම විරෝධතාවය වාර්තා කිරීමට බව උස් හඬින් පැහැදිලි කරමින්  සිටියදීය. ඇත්ත වශයෙන්ම, ඔහු ත්‍රිරෝද රථයක අසුන් ගෙන සිටි අතර, එතැනින් ඔහුව ඇද ගෙන ගොස් ඇත්තේ,  නීතියක් ක්‍රියාත්මක කරන කිසිම ආයතනයක සාමාජිකයින්ට නොගැලපෙන, නපුරු හා කැත අන්දමටය.
පවතින ඡායාරූප සහ වීඩියෝ වලට ස්තූතිවන්ත වන්නට, මෙම සම්පූර්ණ සිදුවීම රට තුළ සජීවීව සහ පුළුල් ලෙස සංසරණය විය. අහම්බෙන් මෙන්, ශ්‍රී ලංකාවේ පොලිසියේ හැසිරීමේ ස්වභාවය මෙම ඡායාරූප සහ වීඩියෝ මගින් පැහැදිලිව ප්‍රකාශට පත් විය.

 

පොලිස් අවනීතිය දැන් මෙරට නීතියයි.
අත්අඩංගුවට ගැනීම,  එය සිදු කළ  පොලිසිය හැසිරුණු ආකාරය, පොලිසිය වැටී ඇති අන්ත පරිහානිය ගැනත් අයාලේ ගොස් නීතියට එරෙහිව නිර්ලජ්ජිත ලෙස හැසිරෙමින් නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු මෙම ආයතනය අතින් රට මුළුල්ලෙහි ජනයා අත්විඳිමින් සිටින පිඩාවන් ගැන සැක කරන  ඕනෑම කෙනෙකුට අමතක නොවන දුෂ්ඨ සංදර්ශනයක් වනු ඇත.

“නවසීලන්තයේ අධිකරණ අමාත්‍යවරයා බීමත්ව රිය පැදවීමේ සිද්ධියට අදාළව සිදු වූ හැසිරීම සහ තරිඳු අත්අඩංවට ගැනීම අප සන්සන්දනය කරන්නේ නම්, අපට පෙනෙන්නේ ශිෂ්ටාචාරය සහ ම්ලේච්ඡත්වය අතර වෙනසයි.”

අත්අඩංගුවට ගැනීම සිදු කළ එකී නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන් මෙහෙයවූ කවරකු වුවද ගර්හාවට ලක් කළ යුතුය.  තවද නීතිය ක්‍රියාත්මක කරන ආයතනය විසින්ම දායක වන මෙකී සමාජ බිඳවැටීම ගැන කනස්සල්ලට පත්වන ඕනෑම අයෙකු  සැලකිලිමත් විය යුතුය. තවද මෙම කථාංගය ශ්‍රී ලංකාව නම් රට අද පත්ව ඇති ස්වභාවය ගැන කම්පනයට සහ කනස්සල්ලට හේතු රාශියක් සපයනු ඇත.

 

දුගී බාවය යනු සමාජ ප්‍රචණ්ඩත්වයේ සහ ම්ලේච්ජත්වයේ විපාකයති.
දැවැන්ත ආර්ථික අර්බුදයක් දැනටමත් මෙරට ජනගහනය ව්‍යාකූල කර ඇත. ජනගහනයෙන් සියයට හතළිහක් දරිද්‍රතා රේඛාව යටතේ ජීවත් වන අතර එම ජනගහනයෙන් විශාල කොටසක් බරපතල මන්දපෝෂණයෙන් පීඩා විඳිති.
මන්දපෝෂණය සහ උග්‍ර දරිද්‍රතාවයේ ප්‍රකාශනය අද රටේ ජීවන තත්ත්වයෙහි වඩාත් දෘශ්‍යමාන අංගයන් වේ.
එසේම විවිධ ආකාරයේ වෛද්‍ය නොසැලකිලිමත්කම් හේතුවෙන් සිදු වූ බව කියන මරණ වාර්තා වීම නිසා මෙම තත්ත්වය බොහෝ ගණනින් උග්‍ර වන අතර දිනපතා මෙම මරණ වාර්තා වෙමින් තිබේ. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පැත්තෙන් හෝ මෙම දෙපාර්තමේන්තු හසුරුවන නිලධාරී පැලැන්තියේ තවත් එවැනි බොහෝ දේ නොසලකා හැරීමේ ඇදහිය නොහැකි කතාන්දර ජනතාව මුහුණ දිය යුතු ජීවිතයයි.
සෑම ශ්‍රී ලාංකිකයෙකුම, එතෙර වෙසෙමින් දෛනිකව ප්‍රවෘත්ති  මාත්‍රාව නොවදවන අයද අතුළුව,  රට පුරාම දිග හැරෙන ව්‍යාකූල යථාර්ථය ගැන හොඳින් දන්නා බැවින් ජීවන තත්වයන් දිනෙන් දින දරාගත නොහැකි සහ දුෂ්කර වෙමින් පවතින ආකාරය විස්තරාත්මකව දැක්විය යුතු නොවේ.

මේ සියලු ප්‍රශ්නවලට බලපාන විශාලම ප්‍රශ්නය නම්, වගකීම් දරන කිසිවකු නීත්‍යානුකූලව හෝ සදාචාරාත්මකව, වර්තමාන තත්ත්වය ගැන සම්පූර්ණයෙන්ම පාහේ සැලකිලිමත් නොවීමයි.

තරිඳු අත්අඩංගුවට ගැනීමේදී පෙන්නුම් කළ ආකාරයේ දුෂ්ට සංදර්ශන කවර හෝ යහපත් සමාජයක පාර්ලිමේන්තුවේ, එහි අනෙකුත් දේශපාලන අධිකාරීන්හි මෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂක පද්ධති පවත්වා ගෙන යාමේ වගකීම් දරන අයගේ ද කම්පිත ප්‍රතිචාරයන්ට තුඩු දෙනු සහතිකය.
එවැනි කනස්සල්ලක් මෙරට තිබුනේ නම්, මෙවැනි අත්අඩංගුවට ගැනීම් කිසිසේත් සිදු නොවනු ඇත. නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ  මෙවැනි ම්ලේච්ඡ හැසිරීම්  දිරි ගන්වමින්  ආයතන බාරව සිටින වග කිව යුතු ඉහළම පුද්ගලයන් විසින් ශක්තිමත් කරනු ලබන පිළිවෙතක්  තිබේ.
සමාජ ක්‍රමය අයහපත් ලෙස පවත්වා ගෙන යාම සමාජ පාලනය පවත්වා ගෙන යාමේ මාර්ගය බව එවැනි බලධාරීන් විසින් සිතනු ලැබීම ඛේදවාචකයකි.
මේ අනුව, හිතාමතාම දිරිමත් කරනු ලබන මෙවැනි හැසිරීම් රටේ වෙනත් බොහෝ සිදුවීම් තුළ ද  බෙහෙවින් ප්‍රකාශ වේ.
නවසීලන්තයේ අධිකරණ අමාත්‍යවරයා බීමත්ව රිය පැදවීමේ සිද්ධියට අදාළව සිදු වූ හැසිරීම සහ තරිඳු අත්අඩංවට ගැනීම අප සන්සන්දනය කරන්නේ නම්, අපට පෙනෙන්නේ ශිෂ්ටාචාරය සහ ම්ලේච්ඡත්වය අතර වෙනසයි.
නවසීලන්තයේ දී මත්පැන් වඩි කිහිපයක් පානය කළ අමාත්‍යවරයා වාහනය පදවා ගෙන යන අතරතුර තවත් වාහනයක ගැටුණි. පසුදා උදෑසන වන විට ඔහු සිය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී අනාගතයේ කවර හෝ පොදු කාර්යාලයක් සඳහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළේය. තවද ඔහු මුළු ජාතියෙන්ම සමාව අයැද සිටියේය.
මෙරට සිදු වූ  අත්අඩංගුවට ගැනීම මෙන්ම ආහාර බෙදා හැරීම, මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම දක්නට ලැබෙන ම්ලේච්ඡ හැසිරීම් සමඟ එම සිදුවීම සංසන්දනය කරන්න.

“ඕනෑම වෙනසක් සඳහා කේන්ද්‍රස්ථානය වන්නේ රැඩිකල් පොලිස් ප්‍රතිසංස්කරණයකි.”

මෙරට  පාලනය කැරෙන  ක්‍රමය ම්ලේච්ඡත්වය බව යැයි  පෙන්වා දීම තවදුරටත් ලැජ්ජාවට කරුණක් නොවේ. අපට මෙවැනි සිදුවීම් හෙළා දැකීම් බොහෝ වාරයක්  කළ හැකිය. නමුත් මෙරට කිසිවෙකුට එවැනි හෙළාදැකීම් සහ  විරෝධතා ඇසෙන්නේ නැත. එවැනි හැසිරීම් වලට එරෙහි විරෝධතා පවා නොඇසෙන විට, එම තත්වයන් තුළ සාධනීය කුමන දෙයක් හෝ සිදුවිය හැක්කේ කෙසේද?
ශ්‍රී ලාංකේය සමාජය, විශේෂයෙන්ම ශාස්ත්‍රඥයින්, ජාතිය හමුවෙහි අසාර්ථක වී ඇති තැන මෙතැනය.
මුල් කාලීන බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ කෙටි කාල පරිච්ඡේදයක් හැර, අවම වශයෙන් 8 වැනි සියවසේ (ක්‍රි.ව.) සිට ක්‍රි.ව. 19 වැනි සියවස දක්වා ශ්‍රී ලංකාව සමාජය තුළ පැවතියේ කුරිරු කුලවාදයෙහි සංවිධානාත්මක මූලධර්ම මත ගොඩ නැඟුණු  ම්ලේච්ඡ ක්‍රමයක් බව සත්‍යයකි.  සමාජ හිර කර තිබූ සහ අසමාන සමාජයක ලක්ෂණය  වූ කුල සංවිධානයේ මූලධර්ම සමාජය මෙහෙයවීම පදනම වූ එකී කාලවලට වඩා වෙනස් කාලයකට අප පැමිණ ඇති බව 20 වැනි සියවසේ සහ ඉන් පසුව ආඩම්බරයෙන් ප්‍රකාශ කළ අය සිටියහ.
එම කුලය මත පදනම් වූ  ක්‍රමය යටතේ ම්ලේච්ඡත්වය යන්න සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකෙහිම ජනගහනයෙන් විශාල කොටසකගේ නොවැළැක්විය හැකි ඉරණම විය. ඔවුන්ගෙන් බහුතරයක් ‘පහත්’ මිනිසුන් ලෙස සලකන ලදී.  ඔවුන් රැකවරණයක් දීමට හෝ මනුෂ්‍යයන් ලෙස සැලකීමට සුදුසු නොවීය.
අප සමාජයට ප‍්‍රතිසංස්කරණ ළඟා වී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වී, නීතියේ ආධිපත්‍යය මේ රටේ ඇතයි අප රැවටුණා නම්, ඒ හැම විශ්වාසයක්ම දැන් සිදුවන සිදුවීම් මගින් ව්‍යාජයක් බවට පත් වෙයි.
ඉහළම පොලිස් නිලධාරීන් පවා ම්ලේච්ඡත්වයේ සංකේත වෙති.
රැඩිකල් පොලිස් ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම සඳහා ජනතාව වහාම මැදිහත් නොවන්නේ නම්, නීතියේ ආධිපත්‍යයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනාගතයක් නැත. ඕනෑම වෙනසක් සඳහා කේන්ද්‍රස්ථානය වන්නේ රැඩිකල් පොලිස් ප්‍රතිසංස්කරණයකි.
එහි පළමු පියවර වන්නේ වත්මන් නීතිය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා සිදු වූ දෙයට ජාතියෙන් සමාව ගැනීමත් මෙම සිද්ධියේ වගකීම සහ පොලිසිය සහ නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වෙනත් අය විසින් සිදු කරන ලද වරදක් ලෙස භාර ගැනීමයි. වගකීම භාර ගැනීමට කෙනෙකු සිටිය යුතුය. එසේ නොමැතිව කිසිදු රාජ්‍යයකට පැවැත්මක් නැත.
රට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට අවනීතිය විසඳුමක් නොවේ. රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ආකාරයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නම්, නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කර ස්ථාවරත්වය ඇති කිරීම වැදගත්ය. පෞද්ගලීකරණය ඇතුළු විවිධ ක්‍රම මගින් ආර්ථිකයේ විනය වැඩි දියුණු කිරීම වැනි ගැටලුවලට විසඳුම් ගැන කතා කිරීම පහසු වුවද, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් රට තුළ පවතින තාක් ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කරගත නොහැක.

( බැසිල් ප්‍රනාන්දු විසින් ආසියානු මානව හිමිකම් කොමිසමේ ලිපියක් ලෙස ඉංග්‍රිසි බසින් පළ කරන ලද ලිපියක සිංහල අනුවාදය සුනන්ද දේශප්‍රිය විසිනි. පෙළ පරිවර්ථනයක් නොවන බව සළකන්න. මුල් ලිපිය මෙහි ඇත. )

Archive

Latest news

Related news