Tuesday, May 28, 2024

“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාළ මූලික හේතු ආමන්ත්‍රණය කර නැත” – ලයනල් බෝපගේ

1983 ජුලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලෙස පැවතුනි. කෙසේ වෙතත්, 1983 ට පෙර ඉතිහාසය 1956, 1958, 1961, 1964, 1974, 1977 සහ 1981 දෙමළ විරෝධී ප්රචණ්ඩත්වයේ බොහෝ ප්රහාරයන් දැක තිබේ. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය දශක දෙකහමාරක් දිගු සිවිල් යුද්ධය සඳහා වේදිකාව සකස් කළේය. එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එජාප පාලනය උතුරු නැඟෙනහිර එල්ටීටීඊය විසින් ද, දකුණේ ජවිපෙ විසින් ද ඔහුගේ අත්තනෝමතිකත්වයට එල්ල කොට තිබුණු දේශපාලන තර්ජන සමගාමී ලෙස තුරන් කිරීමේ උපාය මාර්ගික රාමුව සකස් කළේය.
මෙම උපාය මාර්ගය, එහි අවසාන ප්රතිඵලය වශයෙන් බොහෝ දුරට සිවිල් වැසියන් වූ ලක්ෂ දෙකක පමණ ජනතාවකට මරණය අත් කර දුන් අතර, ලක්ෂ සංඛ්යාත ජනතාවක් සිය රටේත්, විදේශයන්හිත් සරණාගතයන් ලෙස අවතැන් වූයේය. එය දහස් ගණනින් යුද වැන්දඹුවන්, අනාථයන් සහ මානසික කැළල්වලට ගොදුරු වූවන් බිහි කළේය. කාන්තාවන් සහ ළමයින් සමඟ සමස්ත ගම්මානයන් විනාශ කර දැම්මේය. මෙම සංහාරය දියත් කරන ලද්දේ වරප්රසාදිත සිංහල පාලක පැලැන්තියේ ආධිපත්යය ජනගහනයේ සෙසු කොටස් මත බලහත්කාරයෙන් තහවුරු කිරීමට ය.

කලු  ජූලියේ සන්දර්භය

පසුගිය හතළිස් වසරක් තිස්සේ බලයට පත් වූ ආණ්ඩු විසින් මෙම සංහාරය ජනිත කළ ජාතික ප්රශ්නයේ මුල් නිධානයන් තවමත් ආමන්ත්රණය කොට නැත. ඒ සියල්ලට පෙරවදන වූයේ බහුතරයක් නොවන ජන ප්රජාවන්ට එරෙහිව, විශේෂයෙන් ම දෙමළ ජන ප්රජාවට එරෙහිව අනුප්රාප්තික පාලන තන්ත්රයන් විසින් ක්රියාත්මක කරන ලද වෙනස් කමට ලක් කිරීමේ ප්රතිපත්ති සහ නීති මාලාවකි. මෙම ලිපියේ ප්රධාන අරමුණ වෙත ගමන් කරන්නට පෙර, සංහාරය දියත් කරන ලද්දේ කවර සන්දර්භයක් තුළදැයි යන්න සංක්ෂිප්ත ලෙස දැක්වීම අවශ්ය වේ.

පළමු ප්‍රහාරය: පුරවැසි පනත

1948 ලංකා පුරවැසි පනත මගින්, නිදහස් ශ්රී ලංකාවේ පළමු පාලන තන්ත්රය ඉන්දියානු සම්භවයක් ඇති මලයහ (කඳුකරයේ) කම්කරුවන් දශ ලක්ෂ ගණනක ඡන්ද අයිතිය අහිමි කළේය. එහි ප්රකාශිත අභිප්රාය ලෙස දක්වන ලද්දේ පුරවැසිභාවය ලබාගැනීමට පහසුකම් සැලැස්වීම වුවත් සැබෑ දේශපාලන අභිප්රාය වූයේ මලයහ කම්කරුවන්ගේ පුරවැසිභාවය ප්රතික්ෂේප කිරීමයි. එසේ කරන ලද්දේ ඔවුන් වැඩිපුර ම ඡන්දය පාවිච්චි කළේ වමට නැඹුරු අපේක්ෂකයන්ට වීමයි. මලයහ කම්කරුවන් පරම්පරා ගණනාවක් රටේ ආර්ථිකයට කළ දැවැන්ත දායකත්වය නොසලකා හරින ලදී. අවාසනාවකට මෙන්, රට, විශේෂයෙන් ම සිංහල ජනතාව, එම කම්කරුවන් විසින් දිගින් දිගටම කරන ලද දැවැන්ත දායකත්වය තවමත් සපුරා අගය නොකරති.
රට නිර්-ප්රජාතන්ත්රීකරණය කිරීමේ දේශපාලනය ආරම්භ වූයේ එලෙසිනි. එතැන් පටන් නීති සම්පාදනය, රාජ්ය ප්රචණ්ඩත්වය සහ භීෂණය මගින් දෙමළ ජන ප්රජාව බල රහිත කිරීමේ ක්රියාවලිය, ලාංකීය ජාතියක් සහ අනන්යතාවයක් ගොඩනැගීමේ කර්තව්යය විනාශයට ලක් කරමින් ඉදිරියට ගියේය.

වාර්ගික දේශපාලන තරඟය

ඇතමුන් විශ්වාස කරන්නේ මෙම ක්රියාවලිය අනුගමනය කරන ලද්දේ දෙමළ ජනගහනය හා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අඩු කිරීමටත්, එවකට ලංකාවේ නියෝජිත මන්ත්රී මණ්ඩලයේ තුනෙන් දෙකක බලයක් සිංහලයන්ට ලබා ගැනීම සඳහාත් බවයි. එසේ කිරීමෙන් දෙමළ ජනයාට අනිසි ලෙස බලපාන කිසිදු ප්රතිපත්තියක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීම ඔවුන්ට වැළැක්විය නොහැකි වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. කෙසේ වෙතත්, දකුණේ විවිධ දේශපාලන පක්ෂ අතර තරඟය අනුගමනය කළේ එකිනෙකා පරදවන අන්දමින් වාර්ගික අභිප්රායයන් ඉස්මතු කිරීමේ ක්රියාවලියකි; ජන ප්රජාවන් ඔවුන්ගේ වාර්ගික භාෂා සහ ආගමික පසුබිම් අනුව මැදිරි ගත කිරීමේ ක්රියාවලියකි. එසේ කිරීම සඳහා ඔවුහු වැඩි වැඩියෙන් හා වඩාත් හොඳින් සුළු-ජන විරෝධී, සිංහල ගැති සටන් පාඨ යොදා ගැනීමට ප්රතිඥා දුන්හ. කනගාටුවට කරුණ නම්, මෙම ක්රියාවලිය අද දක්වාත් නොකඩවා කෙරී ගෙන යෑමයි.

56: අවස්ථාවාදී රාජ්‍ය භාෂා පනත 

ඉතිහාසයට අනුව, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් පිහිටුවන ලද ශ්රී ලංකා නිදහස් පක්ෂයත්, එහි සභාග පාලනයනුත් මෙම ක්රියාවලිය ආරම්භ කළේ 1956 ඉදිරිපත් කළ අවස්ථාවාදී රාජ්ය භාෂා පනතත් සමඟිනි. පොදුවේ සිංහල පමණක් පනත ලෙසින් හැඳින්වෙන එය, ඉංග්රීසි වෙනුවට සිංහල ආදේශ කොට, දෙමළ නිල භාවිතයෙන් බැහැර කළේය. මෙම පනත දෙමළ ජනයාට රැකියාවක් ලබා ගැනීම, එහි රැඳී සිටීම හෝ රැකියාවේ උසස් වීමක් ලබා ගැනීම සඳහා ඔවුන්ට සිංහල ඉගෙනීමට බල කළ බව නොදන්නා බොහෝ අය තවමත් සිටිති. ඊට පෙර ඒ දෙමළ ජනයා ස්ව-කැමැත්තෙන්ම පාසල්වල සිංහල ඉගෙන ගත්තේය. මෙම පනත සිංහලයන් ව ඒක-භාෂිත බවට පත් කරමින් සහ එමගින් පරම්පරාවන් ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ඉහළ යෑමේ සංචලනය සීමා කරමින් ඔවුන්ට අවාසිදායක තත්ත්වයන් ඇති කරවන ලදි. දැනුදු පවා, ඉංග්රීසි භාෂාවෙන් අධ්යාපනය ලබා ගැනීම සඳහා තම දරුවන් ජාත්යන්තර පාසල්වලට හෝ විදේශයකට යැවීමට හැකියාව ඇත්තේ දෙමල වේවා සිංහල වේවා ධනවත් පවුල්වලට පමණි.
Sunday Lankadeepa
 බණ්ඩාරනායක-චෙල්වනායගම් සහ ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම්
ශ්රී ලංකා ආණ්ඩුව සහ දෙමළ දේශපාලන නායකයන් අතර අත්සන් කරන ලද බණ්ඩාරනායක-චෙල්වනායගම් සහ ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් අන්තවාදී සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ බලපෑම් මත ආණ්ඩුව විසින් ඒකපාර්ශ්වික ව අහෝසි කර දමන ලදී. ලාංකීය සමාජයේ බහුවිධ ස්වභාවය ගැන ඔවුහු කිසිදු සැලකිල්ලක් නොදක්වති. ඔවුන්ට අනුව, රට තනිකරම සිංහල බෞද්ධ ජාතියකි. ඒ අනුව, වාර්ගික, භාෂාමය සහ ආගමික ස්වෝත්තමවාදය පාලක පැලැන්තියට සහ විපක්ෂයේ සිටින අය, බලයට පැමිණීමට සහ බලය රඳවා ගැනීමට ආරක්ෂිත මාවතක් සපයා දුන්නේය.
සිංහලයන්ට මැතිවරණ වාසි ගෙන දීම සඳහා ජනවිකාස වෙනසක් ඇති කරවමින් – රාජ්යාධාර ලබන වැඩසටහන් යොදා ගෙන – දකුණේ සිට ගෙන එන ලද සිංහලයන් දෙමළ ජාතිකයන් බහුතරයක් වූ ප්රදේශවල නොකඩවා යලි පදිංචි කරවන ලදී. සිංහල පාලක පැලැන්තියට පක්ෂව වෙනස්කම් කිරීම දිගටම කර ගෙන යන ලදි. 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය නායකත්වය දුන් රෙජීමය විසින් සිංහලයන්ට සහ බුද්ධාගමට අනුග්රහය දක්වන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සහ විශ්වවිද්යාල ප්රවේශය සඳහා ප්රමිතිකරණ ප්රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. එහි ප්රතිඵලයක් වශයෙන් විශ්වවිද්යාල ප්රවේශය සඳහා සිංහල සිසුන්ට වඩා ඉහළ ලකුණු ලබා ගැනීමට දෙමළ සිසුන්ට සිදු විය.

1958 දී මැර ප්රචණ්ඩත්වය

මෙම වෙනස්කම් කිරීමේ පියවර ක්රියාත්මක කරන ලද්දේ නොකඩවා ප්රචණ්ඩත්වය යොදා ගත් පරිසරයක් තුළ ය. පනස් ගණන්වල දෙමළ ජනයාගේ සත්යග්රහ සහ අවිහිංසාවාදී විරෝධතා මැඩපැවැත්වීම සඳහා බණ්ඩාරනායක පාලනය මැර ප්රචණ්ඩත්වය භාවිතා කළේය. 1958 දී මැර ප්රචණ්ඩත්වය නිසා 300ක් පමණ දෙනා මරණයට පත් විය. මෙය කඩතුරාවක් ලෙස යොදා ගනිමින් බණ්ඩාරනායක පාලනය හදිසි නීතිය ප්රකාශයට පත් කොට, දිවයිනේ උතුර හා නැගෙනහිර ප්රදේශවලට හමුදාව යෙදවීය. වෙඩි තබා හෝ සටන්කාමීන් ඉවත් කර දමන ලෙස අණදෙන නිලධාරියා ලෙස සිටි කර්නල් රිචඩ් උඩුගමට දැඩි නියෝග ලබා දෙන ලදී . මේ ආකාරයටම 1977 දී ජේ. ආර්. ජයවර්ධනගේ පාලනය විසින් බ්රිගේඩියර් තිස්ස වීරතුංග යාපනයට යවන ලද්දේ ‘මාස හයක් ඇතුළත ත්රස්තවාදය අතුගා දමන’ ලෙස උපදෙස් ලබා දෙමිනි. උඩුගම සහ වීරතුංග යන දෙදෙනාම අසූව දශකයට පෙර උතුරු නැඟෙනහිර සිදු කළ ම්ලේච්ඡ ක්රියා රැසකට වගකිව යුතු යැයි කියනු ලැබේ.

1977: තීරණාත්මක බෙදීම

දෙමළ ජනතාවගේ පාර්ලිමේන්තු නියෝජනයට ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාස මුහුණ දෙන ගැටළු විසඳා ලීමට නොහැකි විය. 1977 ජුලි 21 මහ මැතිවරණයෙන් දකුණේ ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එජාප රෙජීමය හයෙන් පහක බහුතරයකින් බලයට පත් වූ අතර උතුරු නැගෙනහිර එස්.ජේ.වී. චෙල්වනායගම් ප්රමුඛ ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) වඩ්ඩුකෝඩ්ඩෙයි යෝජනාව ඡන්ද දායකයන් වෙත ගෙන ගොස් තමිල් ඊලම් නමින් වෙනම රාජ්යයක් පිහිටුවන්නට ජන වරමක් ඉල්ලා සිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ශ්රී ලංකා නිදහස්‌ පක්ෂයට ආසන 5ක්‌ හැර අන් සියළුම ආසන අහිමි වූ අතර ඒ. අමිර්තලිංගම් විපක්ෂ නායකයා බවට පත් වූයේ දෛවයේ අහම්බයකිනි; එය බහුතර සිංහල ජනතාවට සිතා ගත නොහැකි සහ පිළිගත නොහැකි ප්රතිඵලයක් විය. පාලන තන්ත්රයේ වෙනස් වීම දැඩි ලෙස හඹා යමින් මෙය දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව 1977 අගෝස්තු වන තෙක් එල්ල කරන ලද දරුණුතම දෙමළ විරෝධී ප්රචණ්ඩත්වය සඳහා වේදිකාව සකසා දුන්නේය. රාජ්ය අනුග්රහය ඇතිව මෙම ප්රචණ්ඩත්වය සිදු කරන ලද බැවින් එය පාලනය කිරීමට රජය හවුල් වූයේ අල්ප වශයෙනි. එමෙන්ම ජනතා කැමැත්ත ප්රකාශ කිරීමේ ප්රජාතන්ත්රවාදී මාවත් බරපතල තර්ජනයකට ලක් විය.
මෙම තත්වයන් යටතේ දෙමළ තරුණයන් විශ්වාස කළේ ඔවුන්ගේ නීත්යානුකූල අයිතීන් සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ සියලු ප්රජාතන්ත්රවාදී මාවත් වසා දමා ඇති බවත්, සන්නද්ධ අරගලය ඒ සඳහා තිබෙන එකම මාර්ගය බවත් ය. සටන්කාමී දෙමළ තරුණයන්ගේ අභිප්රාය වූයේ මෙතෙක් කලක් තමන් ලක් වූ වෙනස්කම් කිරීම් වලින් තම ජනතාව මුදා ගැනීමයි. ඒ නිසා, දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම නියෝජනය කරන්නේ ජනවාර්ගික සහ ආගමික පසුබිම් ඔස්සේ ජන ප්රජාවන් බෙදා වෙන් නොකොට ඔවුන් එකමුතු කරමින් ලාංකේය ජාතිය ගොඩනැගීමේ වැදගත් ම ප්රශ්නය විසඳීමට පශ්චාත් නිදහස් ලංකාව/ලංකාව අසමත් වීම හැර අන් කිසිවක් නොවේ.

දෙමළ සන්නද්ධ අරගලය

1981 ඔක්තෝබර් මාසයේ දී හමුදාවට එල්ල කරන ලද පළමු ප්රහාරය පෙනෙන්නේ යාපනයේ දී සිදු කළ රාජ්ය භීෂණය වෙනුවෙන් හමුදාපති තනතුරට උසස් කරන ලද නව හමුදාපති තිස්ස වීරතුංග පිළිගැනීමේ පෙරට්ටුවට සමගාමීව කරන ලද එකක් බවයි. එතැන් පටන් හමුදා රථවලට සහ මුර සංචාරවලට ප්රහාර එල්ල වීම වැඩි වුණි. ප්රහාරකයන් සොයා ගැනීමට නොහැකි වූ හැම විටකදීම ආරක්ෂක අංශ යොමු වූයේ සිවිල් වැසියන් වෙත යි. සිවිල් වැසියන්ට මෙවැනි ප්රහාර එල්ල කිරීම අලුත් දෙයක් නොවීය. ඉතිහාසය පෙන්වා දෙන්නේ ප්රහාරකයන් කවුරුන් වුවද, ලොව පුරා සිදු වන බොහෝ ගැටුම්වල දී ප්රචණ්ඩත්වයේ ප්රහාර දරන්නේ සිවිල් වැසියන් බව යි.

83 ජූලි: සංවිධානාත්මක ප්‍රහාරය

1983 දී, එජාප පාලනය තුළ ආසාදනයක් මෙන් පැවති දෙමළ විරෝධී දේශපාලන නායකත්වය තත්වය වඩාත් නරක අතට පත් කළේය. සංහාරය ඉබේ ඇති වූවක් නොව, දෙමළ ජනයාට එරෙහිව ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ප්රචණ්ඩ ප්රහාරයකි. එය ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කළේ සී. සිරිල් මැතිව් වැනි ඇමතිවරුන්, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ඇල්ලේ ගුණවංශ හිමියන් වැනි භික්ෂූන් වහන්සේලා සහ තවත් අන්තවාදීන් විසිනි. බොහෝ විට සී. සිරිල් මැතිව් වැනි ඇමතිවරු තමන් ගේම සන්නද්ධ කල්ලි පවත්වා ගෙන යමින් නීතියට ඉහළින් ක්රියාත්මක වූහ. මෙම ප්රවණතාව අද දක්වා ම පවතින බව කෙනෙකුට නිරීක්ෂණය කළ හැකියි. උත්ප්රාසය වන්නේ සංහාරය හේතුවෙන් දකුණෙන් පලා යාමට සිදු වූ බොහෝ තරුණ තරුණියන් විමුක්ති කොටින්ට එකතු වීම හේතුවෙන් විමුක්ති කොටි සංවිධානයේ ශක්තිය වර්ධනය වීමයි.
සංහාරයට පෙර වවුනියාවේ, ත්රිකුණාමලයේ සහ මහනුවර පේරාදෙණිය විශ්ව විද්යාල මණ්ඩපයේ දෙමළ ජනයාට එරෙහිව ප්රචණ්ඩකාරී ක්රියා ඇති විය. 1983 මැයි මාසයේ දී හමුදා රථ පෙළකට සැඟවී සිට පහර දෙන ලද අතර ආරක්ෂක හමුදා එයින් ප්රකෝපයට පත් විය. යාපනය අර්ධද්වීපයේ විවිධ ස්ථානවල දී ඔවුහු අහිංසක සිවිල් වැසියන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළහ. ජූනි මාසයේ වවුනියාවේ දී සිදු කළ තවත් එවැනි සැඟවී සිට කරන ලද පහර දීමක් අතරතුර දී නාවික හමුදාව ද ඒ හා සමාන ලෙස ප්රතිප්රහාර එල්ල කළේය. දෙමළ සටන්කාමිත්වය ඉවරයක් කර දැමීම සඳහා ආණ්ඩුව අවසන් විසඳුමක් මගින් පලිගන්නට යන බවට පැතිරුණ කටකතාවලින් කොළඹ පිරී ගියේය.
ජුලි 23 වැනිදා තිරුනෙල්වේලි හි දී එල්ටීටිය ය සැඟවී සිට කරන ලද ප්රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගිය විට, රෙජීමය, ඔවුන් දිගු කාලයක සිට සැලසුම් කරන ලද සැලැස්ම ක්රියාත්මක කිරීම සඳහා නිදහසට කරුණක් සොයා ගත්තේය.

83 ජූලි: ජේ ආර් ගේ දුෂ්ඨ සැලැස්ම

1983 ජූලි මාසයේ දී, ආණ්ඩුව විසින් එල්ටීටිඊ ය සහ අනෙකුත් ඒ හා සමාන සංවිධාන තහනම් කළා පමණක් නොව, මුලදී හදිසි නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය, සහ කොමියුනිස්ට් පක්ෂය ද තහනම් කරන ලදී. පසුව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම දිගටම පවත්වා ගන්නා ලදි. මේ මඟින් අත්අඩංගුවට ගන්නා ලද අයගේ මූලික අයිතිවාසිකම් උදුරා ගන්නා ලදි. මාස 18ක් දක්වා චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව ඔවුන් රඳවා තබා ගත හැකි වූ අතර, බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණ අධිකරණයේ පිළිගත හැකි බවට පත් කරන ලදි. මෙය සිරිමාවෝ බණ්ඩාරනායක පාලනය 1972 දී අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත ස්ථාපිත කිරීමෙන් සිදු කළ දෙයෙහි ම දිගුවක් විය. රෙජීමයේ ප්රතිපත්තිය වූයේ කෙසේ හෝ දෙමළ ජනතාව භීතිය යොදා ගෙන යටත් කර තබා ගැනීමයි.
ලයනල් බෝපගේ

දෙමළ විරෝධී සංහාරයට නායකත්වය දුන් බවට චෝදනා කරමින් 1983 ජූලි මාසයේ දී මාව ද රඳවා ගනු ලැබීය. ඊට පෙරාතුව කොළඹ සිටි බොහෝ ජවිපෙ සහෝදරවරු දෙමළ ජාතිකයන් සිටින තැන් සෙවීමට ඡන්ද ලැයිස්තු යොදා ගැනීම, ඔවුන්ට පහර දීමට මැර කණ්ඩායම් සංවිධානය කිරීම, ලංකා ගමනාගමන මණ්ඩලයේ හා වෙනත් රාජ්ය ආයතනවලට අයත් වාහනවලින් ඔවුන් ප්රවාහනය කිරීම වැනි සංහාරයේ දී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳ ව මා දැනුවත් කළහ. ඒ මැර කල්ලි කොළඹ වීදිවල සිදු කළ දේ ඒ වන විටත් මම දැක සිටියෙමි.

මා රැඳවුම් භාරයේ තබා ගෙන සිටි කාලය තුළ සංහාරයේ ඉදිරියෙන් ම සිටි ඇමතිවරුන් හා භික්ෂූන් වහන්සේලා පිළිබඳ ව මා සතුව තිබුණු භයංකර තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් වෙත ලබා දුන්නෙමි. ඇත්ත වශයෙන් ම සංහාරයට සම්බන්ධ වූ අය ගැන විමර්ශනය කරනවා වෙනුවට ඔවුන් උත්සාහ කළේ ජවිපෙ සිට ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එජාපයට මගේ දේශපාලන සම්බන්ධය වෙනස් කිරීමටයි. ප්රචණ්ඩත්වයට ඇත්තටම සම්බන්ධ අය අත්අඩංගුවට නොගන්නා ලෙස දේශපාලන බලධාරීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නට ඇත. මහනුවර සහ නුවරඑළිය ප්රදේශවල දී අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු කරන ලද නමුත් ඔවුන් නිදහස් කර හරින ලෙස පොලිසියට දැනුම් දී තිබුණි.
1983 ජූලි 25 සිට 29 දක්වා පැවති සංහාරයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන රැඳවියන් 53 දෙනෙකු ද (ජූලි 25 වන දින සිරකරුවන් 35 දෙනෙක් ද, ජූලි 27 වන දින සිරකරුවන් 18 දෙනෙක් ද වශයෙන්) සමූල ඝාතනය කරන ලදී.

දණ්ඩ මුක්තිය

මා දැනුවත් අන්දමට, කළු ජූලි සංහාරය හෝ ඊට පෙර දිවයිනේ විවිධ ප්රදේශවල දෙමළ ජනයාට එරෙහිව දියත් කරන ලද ප්රචණ්ඩ ක්රියා පිළිබඳ ව කිසිදු අන්දමේ ඵලදායි විමර්ශනයක් සිදු වී නොමැත. ඇතැම් ගැටළුවලට යම් ප්රමාණයකට විසඳුම් ලබා දිය හැකි ජනාධිපති සත්ය සෙවීමේ කොමිෂන් සභාව, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්රතිසන්ධාන කාර්යාලය ආදිය වැනි යාන්ත්රණ කිහිපයක් ස්ථාපිත කර තිබුණි. කෙසේ වෙතත්, එම යාන්ත්රණවලින් එතරම් ඵලදායි කිසිවක් සිදු වුයේ නැත.
ස්ථාපිත යාන්ත්රණවල පක්ෂග්රාහී ස්වභාවය, ඒවාට කරන ලද දේශපාලන මැදිහත් වීම් සහ ඒවා විසින් කරන ලද සාධනීය නිර්දේශ නොසලකා හැරීම හේතුවෙන් මෙම යාන්ත්රණ බොහොමයක් අකාර්යක්ෂම බවට පත් විය.
ජාත්යන්තර මානව හිමිකම් කණ්ඩායම්, එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය සහ සිවිල් සමාජ සංවිධාන විසින් මේ කොමිෂන් සභා දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණේ ඒවායේ සීමිත වරම් හා බල තල, ප්රකාශිත අන්දමට ස්වාධීනත්වය නොමැති වීම සහ අවම ජාත්යන්තර ප්රමිතීන් සපුරාලීමට හෝ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සපයන්නට ඒවා අසමත් වීම හේතුවෙනි. මෙයින් මතු වන ප්රශ්නය වන්නේ සිදු වී තිබෙන බිහිසුණු ම අන්දමේ අපයෝජනයන් පිළිබඳ ව ස්වාධීන ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්වීම වැළැක්වීම සඳහා මෙම යාන්ත්රණයන් මෙවලම් ලෙස භාවිතා කිරීමට රජය විසින් ස්ථාපිත කරන ලද්දේ ද යන්නයි.
දෙමළ ජනයාගේ ආර්ථකය සුනුවිසුනු කරන ලදී.
දෙමළ සිවිල් වැසියන් පන්දහසක් හෝ ඊට වැඩි ගණනක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලද අතර සිය ගණනක් අතුරුදහන් කිරීමට ලක් වූහ. දහස් ගණනක් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් සමහරක් ප්රතිකාර ලබමින් සිටිය දී මරා දමන ලදි. මැර කල්ලි විසින් දෙමළ මිනිසුන් පණ පිටින් සිටිය දී ම ගිනි තබා ඇත. කාන්තාවන් සිය ගණනක් දූෂණයට ලක් කොට තිබුණි. දෙමළ ජනතාවට අයත් නිවාස, ව්යාපාර, කර්මාන්ත ආදී දස දහස් ගණනක දේපළවලට පහර දී විනාශ කර ගිනි තැබුවේ ආරක්ෂක අංශ බලා සිටිය දීම ය. ව්යාපාරවල නායකයන්, වෘත්තිකයන් සහ වෙනත් අය ඇතුළු සිවිල් වැසියන් ලක්ෂ දෙකකට අධික සංඛ්යාවක් අවතැනට ලක් ව ඔවුන්ට වෙනත් ස්ථානවල රැකවරණය ලබා ගැනීමට සිදු විය. ලක්ෂයකට වැඩි පිරිසක් සරණාගතයින් ලෙස ඉන්දියාවට පලා ගිය අතර, ඔවුන්ගෙන් සමහරක් තවමත් ඉන්දියානු සරණාගත කඳවුරුවල ඉතා අසරණ තත්වයන් සහ අතිශය දුෂ්කරතාවයන් යටතේ ජීවත් වෙති.

නිර්-ප්රජාතන්ත්රීකරණය

ජයවර්ධන ජනාධිපතිවරයා සහ ඔහුගේ රෙජීමය සිංහල ජනතාව මත සංහාරයේ වරද පටවමින් සිටියේ වුවද, අන්තවාදී කොටස්වල මැර ප්රහාරවලට ගොදුරු වූ දෙමළ ජනයාට රැකවරණය දෙන්නට සහ ඔවුන් ව බේරා ගැනීමට බොහෝ සිංහලයෝ තම ජීවිතය පරදුවට තැබූහ. අන්තගාමී ආකාරයේ ජාතිකවාදීන් සහ ස්වෝත්තමවාදීන් ප්රචණ්ඩත්වයට සහාය පල කරන්නට ඇති නමුත්, බහුතරයක් දෙනා බල රහිතව නරඹන්නන් පමණක් බවට පත්ව සිටි බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, ජාත්යන්තර (විශේෂයෙන් ඉන්දියාව සහ එහි ජනතාවගේ) බැල්ම යටතේ, රෙජීමය පළමුව සමස්තයක් ලෙස සිංහල ජනතාව මත ද, පසුව සමහර වාමාංශික දේශපාලන ආයතනයන් මත ද වරද පැටවීමට උත්සාහ කළේය.
රෙජීමය නිර්-ප්රජාතන්ත්රීකරණය කිරීමේ ක්රියාවලිය නතර කළේ නැත. 1983 අගෝස්තු 8 වැනිදා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ හයවැනි සංශෝධනය සම්මත කර ගන්නා ලදී. රටේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන්ට‍‍‍ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීම නවතා දැමීමට බල කෙරුණේය.
1983ට පසුව මැර ප්රචණ්ඩත්වය ඇති නොවීමට ප්රධාන හේතුව වූයේ රාජ්යයේ යුද ප්රයත්නයන් උත්සන්න කිරීමයි. 1983 ජූලි සිද්ධියම රටේ උතුරු හා නැඟෙනහිර යුද්ධය උත්සන්න කිරීමට සහ නීත්යානුකූල කිරීමට රජය විසින් දියත් කරන ලද අභ්යාසයක් ලෙස කෙනෙකුට සැලකිය හැකියි. සංහාර කාලයේ පටන්, උතුරු නැගෙනහිර කෲර සිද්ධීන් නිතර නිතරමත්, අඛණ්ඩ ලෙසටත් සිදු වන්නට විය. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊයේ පරාජයත් සමඟ සන්නද්ධ ගැටුම අවසන් විය.
ශ්රී ලංකාව ජන සංහාරය වැළැක්වීම සහ ජන ඝාතනයේ අපරාධකාරී කටයුතුවලට එරෙහිව දඬුවම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කර තිබේ. සම්මුතිය විසින් ජන ඝාතනය නිර්වචනය කරන්නේ ‘ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් කරන ලද ක්රියාවක්’ ලෙසිනි. ශ්රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව පවසන අය කිසි විටෙක පුළුල් ලෙස පවතින ඒ විශ්වාසය නිශ්ප්රභ කරන්නට කිසිදු කරුණක් හෝ ඊට අදාළ විතර්කණයන් ඉදිරිපත් කර නොමැත. නිර්වචනය සඳහන් කරන්නේ මරා දමන ලද සංඛ්යාව නොව, මිනිසුන් අතුරුදහන් කර දමන්නට සහ රජයේ බන්ධනාගාර තුළ දී සිදු කරන ලද ඝාතන, යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබීම, දෙමළ ජනතාවගේ සංස්කෘතික හා ආගමික සංකේත විනාශ කිරීම සහ ජන ප්රජාවක පැවැත්ම වැළැක්වීම සඳහා කොන්දේසි නිර්මාණය කිරීම වෙනුවෙන් ආර්ථික අවහිරකම් පැනවීම සඳහා ක්රියාත්මක කරන ලද ප්රතිපත්ති වැනි – අනුගමනය කරන ලද ක්රියාවලිවල අභිප්රාය යි.
එවැනි සිදුවීම් කිසිවක් නිසි ලෙස විමර්ශනය කර වැරදි කරුවන්ට දඬුවම් ලබා දී ඇති බවක් දැන ගන්නට නැත, ඒ වෙනුවට විත්තිකරුවන් සියලු දෙනාම පාහේ කිසියම් ව්යාජ තාක්ෂණික හේතු මත නිදහස් කර ඇත. අනුප්රාප්තික ආණ්ඩු විසින් අනුගමනය කරන ලද වෙනස් කම් කිරීමේ ප්රතිපත්ති සහ කටයුතු දෙස අපි පරිපූර්ණ ලෙස බැලුව හොත්, ඒවා නියත වශයෙන් ම ජන ඝාතනයේ නිර්වචනයේ විෂය පථයට වැටේ. 1983 ජූලි මාසයේ දී සැලසුම් කර ක්රියාත්මක කරන ලද දෙමළ විරෝධී සංහාරය සහ එතැන් පටන් ආණ්ඩු විසින් ගන්නා සහ නොගන්නා ලද අනෙකුත් ක්රියාමාර්ග එම විෂය පථයට අයත් වේ.
සංහාරයෙන් පසු දශ ලක්ෂයක් දෙමළ ජනයා අවතැන් විය. ඔවුන්ගෙන් බොහොමයක් විදේශ වල, බොහෝ දුරට බටහිර රටවල පදිංචි වූහ. ඔවුහු ප්රධාන වශයෙන් වෛද්ය විද්යාව, ඉංජිනේරු විද්යාව, ගිණුම්කරණය, ඉගැන්වීම, නීතිය, විද්යාව සහ වානිජ්යය වැනි විවිධ දැනුම් ක්ෂේත්රවල වෘත්තිකයයෝ සහ ප්රවීණයයෝ වූහ. එහි සමාජ-ආර්ථික, සෞඛ්ය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ වටිනා දායකත්වය ශ්රී ලංකාවට අහිමි විය. එවැනි වෘත්තිකයන් ඔවුන් අනුගත වන ලද රටවල සමෘද්ධිය සඳහා විශාල දායකත්වයක් ලබා දීමෙන් බොහෝ රටවල් ශ්රී ලංකාවට අත් කර ගන්නා ලද අලාභයෙන් වාසි ලැබුවේය. දෙමළ තරුණයන් විසින් පමණක් නොව, රාජ්ය භීෂණයට ලක් වූ සිංහල හා මුස්ලිම් තරුණයන් ද එවැනි තත්වයකට මුහුණ දුන්නේය.
මෙම සංහාරය ශ්රී ලංකාවේ මිනිසුන්ට කර ඇත්තේ මොන තරම් දරා ගත නොහැකි පාඩුවක් ද. ශ්රී ලංකාව මෙතරම් අසාර්ථක රාජ්යයක් බවට පත්වීම පුදුමයක් වන්නේද?
2017 පෙබරවාරි මස ඔස්ට්රේලියාවේ නිල සංචාරයක නිරත වූ වත්මන් ජනාධිපති සහ එවකට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, නැවත පැමිණ ශ්රී ලංකාව යලි පන ගන්වන්නට උදව් කරන ලෙස ලාංකික ඩයස්පෝරාවේ සිංහල සහ දෙමළ යන දෙපාර්ශවයෙන් ම ඉල්ලා සිටියේය. රනිල් වික්රමසිංහ ද ඇමතිවරයෙකු ලෙස සිටි 1980 දශකයේ පාලන තන්ත්රයේ ක්රියා කලාපය නිසාවෙන් මරණයට හා විනාශයට බියෙන් තම මව්බිමෙන් පලා යාමට සිදු වූ පළමු දෙමළ පරම්පරාවටත්, දෙවන සිංහල පරම්පරාවටත් මුහුණ දෙන්නට සිදු වූ සහකම්පනයට අනුව, මේ මිනිසුන්ට කරන ලද හානිය ගැන ඔහුට කිසිදු අදහසක් තිබුණේ දැයි කෙනෙකු පුදුම වෙනවා ඇත.
ශ්රී ලංකා ආණ්ඩුව රටේ පවතින තත්ත්වය පිළිබඳ ව ප්රථමයෙන් අවධානය යොමු කොට ඔවුන්ට ආපසු පැමිණීමට සුදුසු කොන්දේසි සකස් කිරීමෙන් තොරව, ආපසු එන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටීම සාධාරණීකරණය කළ හැකි ද? ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම උපන් බිමට ආපසු ගොස් ජනතාවට සහ රටට සේවය කිරීමේ අභිලාෂයෙන් පසු වෙති. නමුත් තවමත් කොන්දේසි මුහුකුරා ගොස් නැත. ශ්රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ කුල මල, වාර්ගික, භාෂා සහ ආගම් ආදිය ගැන නොසලකා ඉවසිල්ල, අවබෝධය සහ ආරක්ෂාව සහිත පරිසරයක් තුළ සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් යුතුව ඔවුන්ට සලකන්නට රජය සහතික කළ යුතුය.
දකුණේ බොහෝ දෙනා අපේක්ෂා කළ ආර්ථික ලාභාංශ ඔවුන්ට නොලැබුනද, ඒ ලාභාංශ සමාජයේ ඉහළට කාන්දු වී ගියේය. සංහාරය විසින් සිදු කරන ලද දැවැන්ත හානිය වෙනුවෙන් රජය මුළුමනින් වන්දි ගෙවා නැත. දශ ලක්ෂයකට ආසන්න දෙමළ ජනතාවක් අලුත් තැන්වල පදිංචියට යාම හේතුවෙන් ඔවුන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ උතුරු නැඟෙනහිරින් පිටත ප්රදේශ වලයි. වෙන් වීම වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා විදේශවල සිට ක්රියාත්මක වන අය බව පෙනේ. එසේම අධිකාරවාදය, පවුල් වාදය සහ ගජමිතුරුවාදය නැවත වරක් දේශප්රේමය ලෙස වෙස්වලා ගන්නට උත්සාහ දරමින් ඇත.
වත්මන් අර්බුදයෙන් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණ ඇතිව මූලධර්මවාදීන් සහ අන්තවාදීන් යලිත් වරක් වාර්ගික හා ආගමික ආතතීන් උත්සන්න කරමින් සිටිද්දී අනාගතය කුමක් වේ දැයි අනාවැකි කීම දුෂ්කර වේ. අග්නි හෝමයෙන් පසුව, ෆැසිස්ට්වාදය නොනැසී පවතිනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස නොකළහ. නමුත් ලොව පුරා ෆැසිස්ට්වාදයේ සහ නාසි වාදයේ අඳුරු අවතාරය මහත් ඝෝෂා නංවමින් සිය අශෝභන හිස යලි ඔසවමින් සිටියි. පාලක ප්රභූ පැලැන්තිය සහ ඔවුන්ගේ හෙංචයියෝ ශ්රී ලංකාවේ සහ විදේශයන්හි අලුත් සතුරන් සෙවීමට උත්සාහ දැරීමත් සමඟ යළි ගොඩනැගුණු සහ සංහිඳියාවෙන් යුත් ජාතියක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කළ නොහැකිිය.
තමන්ටත් තම අනාගත පරම්පරාවන්ටත් වඩා යහපත්, සාධාරණ සහ සංහිඳියාවෙන් සපිරුණු අනාගතයක් වෙනුවෙන් වැඩ කරන සියලු යහපත් ජනයා බලාපොරොත්තු වනුයේ 1983 ජූලි වැනි සංහාරයක් යළි කිසි දා සිදු නොවනු ඇති බවයි. එසේ වුවද, 1983 ජූලි සංහාරය වැනි සංහාරයන් යලි ඇතිවීමේ සහජ අනතුරක් පවතින අතර, මේ සම්බන්ධයෙන් සදාතනික සුපරික්ෂාවෙන් යුතුව සිටීමේ අවශ්යතාවය පිළිබඳව සියලු ශරී ලාංකිකයන් දැනුවත් විය යුතුය.
2001 ඔක්තෝබර් මාසයේ දී මා සත්ය සෙවීමේ කොමිසමට පෙන්වා දී ඇති පරිදි:
‘සංහිඳියාව සහ ජාතිය ගොඩනැගීමේ ප්රශ්නයට ප්රවේශ වීමේදී, යටත් විජිතවාදයෙන් ආරම්භ වූ මානව හිමිකම් කඩ කිරීම් නිදහසින් පසු පසුගිය දශක පහ තුළ වර්තමාන තත්වය දක්වා වර්ධනය වී ඇති බව නිවැරදිව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. සියළු තත්වයන් යටතේත් විශේෂ වරප්රසාද, පීඩාවට පත් කිරීම හා පරිබාහිර කිරීමේ ප්රතිඵලය වන්නේ ලැබෙන පළමු අවස්ථාවේ දී ම පීඩිතයන් කැරලි ගැසීමයි. පීඩක රාජ්යය තම අසාධාරණ පාලනය පවත්වාගෙන යාම සඳහා බලහත්කාරය යොදා ගනියි. මේ සියල්ල බහුතර සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජන කොටස් බැහැර කිරීම මත පදනම් ව, වාර්ගික උත්තරීතරත්වය, පටු ඵල ප්රයෝජන හඹා යෑම සහ කිසියම් පවුලකට, පන්තියකට, ආගමකට, භාෂාවකට හෝ ජාතියකට විශේෂ වරප්රසාද ලබා දීම මර්දනකාරී පාලන තන්ත්රවලට අවශ්ය වන්නේය.
රටක අතිමහත් බහුතර ජනතාවට එරෙහිව වෙනස්කම් කරන පාලන තන්ත්රය සහ ඉන් ඇති කරන ප්රචණ්ඩකාරී ප්රතිවිපාක පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හෝ කණ්ඩායම්වල නොමඟ යෑමක් නොවේ. එය ක්රමානුකූල ව, හිතාමතා කරන ප්රතිපත්තිමය කාරණයක් වී ඇත. ගත වී ගිය වසරවල් පුරා, වග වීමක් සහ විනිවිද භාවයක් නොමැති ආණ්ඩු ක්රමයක් ගොඩනගා තිබේ; ආරක්ෂක කටයුතු පිළිබදව කරන සලකා බැලීම් සහ හමුදා මෙහෙයුම් සඳහා ඉහළම ප්රමුඛත්වය ලබා දී ඇත. මෙම තත්ත්වයන් විසින් සියලු ජනයාගේ පුද්ගල සහ සමූහ අයිතීන් කප්පාදු කර දැමීමට හේතු කාරක විය.
එබැවින් ඒ ඓතිහාසික අසාධාරණයන් නිවැරදි කිරීමේ මූලික පදනම වන්නේ, පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ඕනෑ එපා කම් හා අයිතිවාසිකම්වලට හානියක් නොකරමින් සුදුසු උපදේශන සහිතව ප්රජාතන්ත්රවාදී ව්යවස්ථාවක් සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල ව උපේක්ෂාව, ගෞරවය, සාධාරණත්වය, සමානාත්මතාවය සහ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල අභිමානය සහිත සංස්කෘතියක් වර්ධනය කිරීමට ශ්රී ලාංකිකයන්ගේ බහුතරය පක්ෂපාතී වීමයි. ලබාගෙන ඇති අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීමේ හා ඒවා උපරිම ලෙස ප්රයෝජනයට ගැනීමේ වගකීම සිවිල් සමාජය පවරා ගත යුතු අතර, විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතු ආණ්ඩුවක් යථා දේශපාලනය බවට පත් වීම සහතික කළ යුතුය’

නිගමනය

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය දකුණේ ජීවත් වූ දෙමළ ජනයාට හානි කරන ලද්දේ ඔවුන් හුදෙක් දෙමළ ජනයා වූ නිසා ය. අභිප්රාය වූයේ දකුණේ, විශේෂයෙන්ම කොළඹ සහ අනෙකුත් නාගරික මධ්යස්ථානවල දෙමළ ජනයාගේ ආර්ථික පදනම විනාශ කොට, එම පදනම සිංහල පාලක පැලැන්තිය අතට අත්පත් කර ගැනීමයි. නව ලිබරල් දේශපාලන හා ආර්ථික කෑදරකමට සීමා මායිම් නැත. එසේ වුවද, ශ්රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තමන්ට දැරිය හැකි නම් ඔවුන් කැමති ඕනෑම තැනක ජීවත් වීමට ඇති අයිතිය රැක දීම සඳහා අප පරිශ්රම දැරිය යුතුය.
මෙම සංහාරය, වෙනත් දේ අතර, දෙමළ හෝ මුස්ලිම් හෝ චෙට්ටි වේවා, අනෙක් ජාතිකයන් සතු ආර්ථික පදනම් විනාශ කිරීම සඳහා සිංහල පාලක පැලැන්තිය ගෙන යන ආර්ථික යුද්ධයේ පිළිබිඹුවක් විය. සංහාරයත් සහ එහි දිගුව වූ වසර 25කට ආසන්න සන්නද්ධ ගැටුමත් දකුණේ මෙන්ම උතුරේ ද දෙමළ ආර්ථික පදනම විනාශ කර දැමීය. එසේම අනුප්රාප්තික ආණ්ඩු ඔවුන්ගේ බලතල සෘජු ලෙස පීඩා කිරීම සඳහා යොදා ගත්හ. එසේ නම්, දෙමළ ප්රජාව බල විභේදනයට, විමධ්යගත කිරීමට හා වෙන් වන්නට පවා ඉල්ලා සිටින විට කෙනෙකු පුදුම විය යුත්තේ ඇයි?

පසුගිය වසරේ පැවති ‘අරගලය’ විරෝධතා ව්යාපාරය, ප්රජාතන්ත්රවාදී සහ යහපත් පාලනයක් සහ සියල්ල ඇතුළත් කර ගන්නා සහ ඉවසිලිවන්ත සමාජයක් සඳහා බහුතර ශ්රී ලාංකිකයන් සතු අභිලාෂයන්ගේ ප්රකාශනයක් විය

ආර්ථික අර්බුදයේ පතුලට ම ගිලා බැස ඇති රට වැඩි වැඩියෙන් විදේශ ණය ලබා ගැනීමත් සමඟ තව තවත් ණය තුරුසට ලක් වෙමින් තිබේ. මෙම ණයවලින් ලොකු කොටස්වල දිගු හා විනාශකාරී සිවිල් යුද්ධයට වියදම් කිරීම සඳහා ණයට ගත් මුදල් ඇතුළත් වේ. දැනටමත් රජය රටේ අනාගත පරම්පරාවන් දේශීය හා විදේශීය දෙවර්ගයේ ම විවිධ ණය හිමියන්ට උකස් කර ඇත. ශ්රී ලංකාව දැන් පසු කරමින් සිටින ආකාරයේ ස්ථිර නොවූ විරාමයක් පෙනෙන්නට තිබුණද, දරා සිටින බර ඉතා දරුණු අන්දමින් ආපසු විඳින්නට සිදු වෙනවා ඇත. ජාතික ප්රශ්නය සහ ආර්ථික අර්බුදය එකිනෙක හා බැඳී ඇති නිසාත්, පාලක පැලැන්තියට ඔවුන්ගේ දූෂිත කටයුතු පවත්වා ගෙන යෑමට එය ප්රයෝජනවත් වන නිසාත් ජාතික ප්රශ්නය විසඳීමට සහ ඒ අන්දමට ගත් විට, ආර්ථික අර්බුදය විසඳීමට රජයට සැබෑ වුවමනාවක් නැත.
පසුගිය වසරේ පැවති ‘අරගලය’ විරෝධතා ව්යාපාරය, ප්රජාතන්ත්රවාදී සහ යහපත් පාලනයක් සහ සියල්ල ඇතුළත් කර ගන්නා සහ ඉවසිලිවන්ත සමාජයක් සඳහා බහුතර ශ්රී ලාංකිකයන් සතු අභිලාෂයන්ගේ ප්රකාශනයක් විය. ශ්රී ලංකාව පිළිබඳව ඔවුන් සතු දැක්ම කප්පාදු කර දැමීම සඳහා රජය අතිමහත් බාධක ගොඩ නැඟීම හේතුවෙන් එම අභිලාෂයන් තවමත් ඉටු කර ගත යුතුව තිබේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් කිරීමට බොහෝ අවස්ථාවන් එළඹෙනු ඇතැයි යන්න මගේ විශ්වාස යයි.
එහෙත් පළමු පියවර වනු ඇත්තේ ජනතාවගේ නීත්යානුකූල අභිලාෂයන් කඩා බිඳ දැමීම සඳහා අනුප්රාප්තික සියලු පාලන තන්ත්රයන් විසින් භාවිතා කරමින් සිටි යටත් විජිත නිර්මිතයන් අවසන් කර දැමීම යි. එවැනි අභිලාෂයන් තුළ ඉවසීම, සංහිඳියාව, විනිවිදභාවය, වගවීම, සර්වග්රාහිත්වය (සියළුදෙනා ඇතුළත් කර ගැනීම) සහ හැම කෙනෙකුගේම මානව හිමිකම් ආරක්ෂා කිරීම අන්තර්ගත විය යුතුය.
ආර්ථිකය සහ රජයේ ස්වරූපය සම්බන්ධයෙන් ජනතාව මත බලයෙන් පටවා ඇති යටත් විජිත නිර්මිතවලින් මිදෙන්නට ජනතාව තීරණය නොකළහොත් අනාගතය තවදුරටත් අඳුරු ව පවතිනවා ඇත.
2023 ජූලි 22
ඔස්ට්රේලියාවේ දී

Archive

Latest news

Related news