Friday, May 10, 2024

අධිකරණ අපහාසය: මර්දනයට ඉඩ සළසන තවත් පනතක් ගැසට් කරයි!

එකක් පසු පස එකක් බැගින් මර්දන අණපනත් ගෙන එමින් සිටින රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් අදහස් ප්‍රකාශ කිරීමට වැට බැදිය හැකි තවත් පනතක් ජූනි 27වන දාතමින් ගැසට් කර තිබේ.
එය හැදින්වෙන්නේ “අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම” පිළිබද පනත යනුවෙනි.
මෙරට අධිකරණ අපහාසය පිළිබඳ නිශ්චිත නීතියක් මේතාක් නොතිබීමේ හිඩැස මෙම පනත මගින් පුරවන නමුත් එය විසින් අදහස් ප්‍රකාශණයේ නිදහසට බාධාවන වගන්ති ගණනාවක් නීතිගත කිරීමට සැළසුම් කරයි.

එහි පූර්විකාවෙහි මෙසේ සඳහන් වේ:
අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද; අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීමේ කාර්ය පටිපාටිය පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.
මෙම පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල් මෙසේ සදහන් වෙයි.
  1. (1) වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති පරිදි හැර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව-
(අ) අධිකරණයක, විනිශ්චය අධිකාරයක සහ ආයතනයක අධිකාරී බලය සහ යුක්තිය පසිඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක්කිරීමේ; හෝ
(ආ) යම් විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්වීමේ හෝ ඊට අගතියක් සිදු කිරීමේ, අදහසින් යුතු ව යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිදු කරන යම් තැනැත්තකු, අවස්ථාවෝචිත පරිදි, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සිදු කරන්නේ ය.
(2) වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති පරිදි හැර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, පහත සඳහන් ක්‍රියාවන් අතුරින් යම් ක්‍රියාවක් සිදුකරන යම් තැනැත්තකු, අවස්ථාවෝචිත පරිදි, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සිදු කරන්නේ ය. 
එනම්-
(අ) අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක යම් නඩු තීන්දුවකට, තීන්දු ප්‍රකාශයකට, විධානයකට, ආඥාවකට, රිට් ආඥාවකට හෝ වෙනත් කැඳවීම් නියෝගයකට චේතනාන්විතව ගරු නොකිරීම;
(ආ) යම් අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට ලබා දී ඇති යම් ප්‍රතිඥාවක් චේතනාන්විතව උල්ලංඝනය කිරීම
අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම
(ඇ) (i) අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක අධිකරණමය බලය හෝ ගරුත්වය අවමානයට ලක්කරන හෝ අඩු කරන;
(ii) යම් අධිකරණ කටයුත්තක නිසි ක්‍රියාවලියට අගතිගාමී වන හෝ ඊට මැදිහත්වන; හෝ
(iii) යුක්තිය පසිඳලීමේ දී මැදිහත්වන හෝ බාධා කරන, අන්දමේ සැලකිය යුතු ලෙස සත්‍ය නොවන යම් කාරණයක් ප්‍රකාශ කිරීම, අදහසක් පළ කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක් සිදු කිරීම;
(ii) අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් සම්බන්ධයෙන් මහජනතාව තුළ අසතුටක් ඇතිකිරීමේ;
හෝ 
(iii) යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජනතාව තුළ සැකයක් ඇතිකිරීමේ, අදහසින් යුතුව, අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් හෝ විනිශ්චයකාරවරයකු හෝ අධිකරණ නිලධරයකු අවමානයට ලක්කිරීම
  1. (1) ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉදිරිපිට දී හෝ ඊට ඇසෙන පරිදි හෝ අන් ස්ථානයක දී ස්වකීය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට බලය ඇත්තේ ය.
(2) අවස්ථාවෝචිත පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ අභියාචනාධිකරණය විසින්, (1) වන උපවගන්තියේ සඳහන් ස්වකීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමෙහි ලා-
(අ) ඒ අධිකරණය ඉදිරිපිට දී හෝ ඊට ඇසෙන පරිදි සිදු කරන ලද අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳව සංජානනය කරන අවස්ථාවක දී, ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය විසින් 7 වන වගන්තියේ නිශ්චිතව දක්වා ඇති කාර්ය පටිපාටිය අනුව ඒ කාරණය විභාග කොට තීරණය කරනු ලැබිය යුතු ය; සහ
(ආ) ඒ අධිකරණය ඉදිරිපිට දී හෝ ඊට ඇසෙන පරිදි හැර අන්‍යාකාරයකින් සිදු කරන ලද අධිකරණයට අපහාස  කිරීමක් පිළිබඳව සංජානනය කරන අවස්ථාවක  දී 
මෙම පනත මගින් අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දිය හැකි උපරිම සිරගත කිරීමේ කාලය එක් වසරකට සීමා කර තිබීම වැදගත්ය. එවැනි නීතියක් තිබුණේ නම් රංජන් රාමනායකගේ මංත්‍රී ධූරය අහෝසි නොවන්නට තිබුණි.
දිය හැකි දඩුවම් පිලීබඳව පනත මෙසේ සදහන් කරයි.
(3) යම් තැනැත්තකු මේ පනත යටතේ යම් විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ අවස්ථාවක දී, ඒ තැනැත්තා රුපියල් ලක්ෂ එකක් නොඉක්මවන දඩයකට හෝ මාස තුනක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ නැති බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් විය යුතු අතර, දෙවන හෝ තදනන්තර වරදකරු කිරීමක දී ඒ තැනැත්තා රුපියල් ලක්ෂ තුනක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ නැති බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් විය යුතු ය.
(4) (1) වන, (2) වන හෝ (3) වන උපවගන්තියේ කුමක් සඳහන් වුව ද, මේ පනත යටතේ යම් අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති යම් තැනැත්තකු එම අධිකරණය, විනිශ්චය අධිකාරය හෝ ආයතනය සෑහීමට පත්වන පරිදි සමාව අයැද සිටියහොත් නිදහස් කරනු ලැබිය හැකි අතර, එසේ නැතහොත් ඔහුට පනවන ලද දඬුවම ලිහිල් කිරීම කරනු ලැබිය හැකි ය.
පැහැදිලි කිරීම- චූදිත තැනැත්තා විසින් සමාව අයැදීම සද්භාවයෙන් සිදු කරන්නේ නම්, ඒ සමාව අයැදීම අනුසීමිත හෝ කොන්දේසි සහිත වූ පමණින් සමාව දීම ප්‍රතික්ෂේප කරනු නොලැබිය යුතු ය.
(5) වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලස්වා ඇති අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන හෝ ඒ වෙනත් නීතියේ විධිවිධාන යටතේ විභාග කොට තීරණය කිරීමට අධිකරණයකට ඇති බලය මේ පනතේ කිසිවක් මගින් සීමා කරනු නොලැබිය යුතු ය:
එසේ වුව ද, ඒ වෙනත් නීතියේ පටහැනිව කුමක් සඳහන් වුව ද, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ වගන්තියේ නිශ්චිතව දක්වා ඇති දණ්ඩනය ඉක්මවන දණ්ඩනයක් අධිකරණයක් විසින් පනවනු නොලැබිය යුතු ය.
මෙම පනතෙහි ඇති භයානකකම වන්නේ එහි දැක්වෙන වරදවල් සම්බන්ධයෙන් නිශ්චිත අර්ථ නිරූපනයක් නොමැති වීමය. එමගින් එම වරදවල් අර්ථ දැක්වීම අධිකරණයට සහ නීතිපතිවරයාට පැවරේ. 
මානව හිමිකම් නීතිඥයකු සහ නීති විද්‍යාලයේ ආචාර්යවරයකු වන සංජය විල්සන් ජයසේකර පෙන්වා දෙන අන්දමට මෙම පනත් කෙටුම්පතෙහි ‘ගෞරවය’, ‘සාධාරණ ප්‍රකාශය’, ‘අගෞරවය’, ‘අධිකරණ ක්‍රියාවලියට අගතියක් ඇති කිරීම’ සහ ‘අපකීර්තිය’ යන වචන සහ වාක්‍ය ඛණ්ඩ කිසිවක් පනත් කෙටුම්පතෙහි අර්ථ දක්වා නොමැති අතර, එබැවින්, ඕනෑම ආකාරයක කථාවක් හෝ ක්‍රියාකාරකමක් ආවරණය වන පුළුල් විෂය පථයක් ආවරණය කළ හැකිය.
කවර හෝ නීති කෙටුම්පතක වැදගත්ම අංගයන් වන්නේ එහි සඳහන් වචන සහ වාඛ්‍ය ඛණ්ඩ නිසි ලෙස අර්ථ දැක්වීමයි. මෙම පනත දඩුවම් දිය හැකි වරදවල් අර්ථ දක්වා නැත්තේ අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීමට දැය යන සැකය මතුවන්නේ එනිසාය.
විනිසුරුවරයෙකුගේ අභිමතය පරිදි මහජන සාමය, සෞඛ්‍යය සහ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා සහ “සැලකිය යුතු තරම් සත්‍ය නොවන” දෙයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව පුද්ගලයෙකුට එරෙහිව අපහාස නඩු පැවරිය හැකිය. නැවත වරක් මෙම පනත අනුව ‘සාධාරණ අදහස්’ සහ ‘අනුකූලත්වය’ අතර ‘සමතුලිතතාවයක් ඇති කර ගන්නේ කෙසේද’ යන්න විනිශ්චයකරුවෙකුගේ අභිමතය මත රඳා පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
ඕනෑම විසම්මුතියකට එරෙහිව මෙම නියමයන් පහසුවෙන් අර්ථ දැක්විය හැකිය.  අධිකරණයක් සම්බන්ධයෙන් මහජනතාවගේ සිත් තුළ අතෘප්තිය උද්දීපනය කිරීමට හෝ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන සැකය ඇති කිරීමට අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලට සමාන යැයි පනත කදක්වන විට ඕනෑම නිදහස් මතයක් විනිසුරුවරුන් විසින්ම එලෙස අර්ථ දැක්වීමේ අනතුර පවතී.
හිටපු අගවිනිසුරුවරයකු වන සරත් ද සිල්වා නිදසුනකට ගන්නේ නම් නැත්නම් හිටපු ශ්‍රේෂ්ධාධීකරන විනිසුරුවරයකු වන උපාලි අබේරත්න නිදසුනකට ගන්නේ නම් ඉහළම අධිකරණයේ විනිසුරුවරුන් පවා දේශපාලනව පක්ෂග්‍රාහී විය හැකි බවත් සෑම විටම විශය මූලික තිරණ වෙනුවට මනෝමූලික පක්ෂග්‍රාහී තීරණ ගත හැකි බවත් පැහැදිළි වෙයි. එවැනි විනිසුරුවරයන් අතට අධිකරණ අපහාසය යටතේ ගැනෙන ‘ගෞරවය’, ‘සාධාරණ ප්‍රකාශය’, ‘අගෞරවය’, ‘අධිකරණ ක්‍රියාවලියට අගතියක් ඇති කිරීම’ සහ ‘අපකීර්තිය’ කරුණු අර්ථ දැක්වීමට ඉඩ දීම කොතරම් නිවැරදි දැයි යන ප්‍රශ්ණය මතු කිරීම වැදගත්ය.
එසේ වූයේ නම් මේ වන විට මාධ්‍යවෙදෟන සහ මාධ්‍යවේදිනියන් ගණනාවකටම මහ උලුගෙදර කූරුගනින්නට සිදුවන්නට හොදටම ඉඩ තිබුණි. මෙරට පළ වී ඇති පොතපත පවා තහනම් වන්නට ඉඩ තිබුණි.
නීතිඥ ජයසේකර පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ  “බොහෝ විට විශාල මහජන අවශ්‍යතාවක් විය හැකි, පවතින නඩුවක් පිළිබඳ කිසියම් ප්‍රකාශනයක් හෝ සාකච්ඡාවක් තහනම් කිරීමට හෝ සීමා කිරීමට” මෙම නීතිය ප්‍රයෝජනයට ගැනීමේ ඉඩ පවතින බවයි.
“මූලික වශයෙන්, විනිශ්චයකරුවන් තමන් විසින්ම අවමානයට ලක් කිරීම පිළිබඳව තීරණය කිරීම, ලැදියාවන් පිළිබඳ පැහැදිලි ගැටුමක් ඇති කරන අතර, කිසිවෙකු ඔහුගේ / ඇයගේ නඩුව නොඇසිය යුතුය යන රීතිය උල්ලංඝනය කරන” බව ද නීතිඥ ජයසේකර පෙන්වා දෙන තවත් කරුණකි.

සම්පූර්ණ කෙටුම්පත් පනත  පිඩිඑෆ් ගොනුවක් ලෙස:Comtempt of Law 349-2023_S (1)

මුල් ජායාරූපය legal.economictimes.indiatimes.com වෙතිනි.

Archive

Latest news

Related news