රනිල් රාජපක්ෂගේ රත්නපුර දේශනාව සහ පකිස්තාන යෝජනාව – සුනන්ද දේශප්‍රිය
ඡායාරූපය: මානව හිමිකම් කවුන්සලයේ 53 වන සැසිවාරය පසුගිය 15වන දින අවසන් විය.
මෙරට ජනයා අත්‍යවශ්‍ය ඖෂධ නැතිව සහ හොර ඖෂධ නිසා පීඩා විදීම යනාදිය ගැන වචනයක් වත් නොකියන රනිල් රාජපක්ෂ පසුගියදා රත්නපුරයේ දී වෙනත් දේශණාවක් පවත්වන ලදී.
එහිදී ඔහු කියා සිටයේ ජිනිවාහි මුලු දුන් මානව හිමිකම් කවුන්සිලයේ 53ව න සැසිවාරයට පකිස්තානය ඉදිරිපත් කල “වෙනස්කම් කිරීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය උසිගන්වන ආගමික වෛරයට එරෙහි වීම” යන යෝජනාවට සහාය දෙන බවය.
ස්වීඩනයෙහි දි ඉරාක ජාතිකයකු විසින් කුරානය පිළිස්සීම ගැන කිසිවක් නොකරන්නේ යැයි සත්‍ය සොයා නොබලා මානව හිමිකම් කොමසාරිස්වරයාට ප්‍රහාරයක් ද රනිල් රාජපක්ෂ එල්ල කළේය.
මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්, කුරානය පිළිස්සීම හෙළා දකිමින් කවුන්සිලය හමුවේ මෙසේ කී බව රනිල් රාජපක්ෂ නොදන්නවා විය හැක:
“මුස්ලිම්වරුන්ට එරෙහි කථන සහ ප්‍රකෝපකාරී ක්‍රියා, ඉස්ලාම් භීතිකාව, යුදෙව් විරෝධය සහ ක්‍රිස්තියානීන් මෙන්ම අහමඩිස්, බහයිස් හෝ යසිඩි වැනි සුළුතර ආගමික කණ්ඩායම් ඉලක්ක කරන ක්‍රියා සහ කථන සම්පූර්ණ අගෞරවයේ ප්‍රකාශනයන් වේ. ඒවා පිළිකුල් සහගත, වගකීම් විරහිත සහ වරදවල්ය”.
එකී පකිස්තාන යෝජනාවට පක්ෂව කවුන්සිලයේ සාමාජික සියලුම මුස්ලිම් ඇතුලුව රටවල් 28ක් ද රටවල් 7ක් විරුද්ධවද ඡන්දය දුන් අතර රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
විරුද්ධව ඡන්දය දුන් යුරෝපා රටවල අදහස මෙම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සාකච්ඡා කල යුතු බවත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රැකිය යුතු බවය.
සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල වැඩිපුරම උපහාසයට පත් වන්නේ කිතුණූ දහමය. එම සම්ප්‍රදාය ප්‍රංශ විප්ලවයේ සිට පැවත එයි. යේසුස් වහන්සේ අතිශය උපහාසයට නගන ප්‍රහසන පවා යුරෝපයෙහි රඟ දැක්වේ. “යේසුස්ට හැමිනියන්” කියා ලියූ පොත් පවා අලෙවි වෙයි.
කුරානය සහ අල්ලා ගැන කාටූන් පළ කළ ප්‍රංශ පුවත්පතක් වන “චාලි හබ්ඩෝ” හි මාධ්‍යවේදීන් 08 දෙනෙකු ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඝාතනය කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නොව තලේබාන් පාලනයේ මානව හිමිකම් කෙලෙසීම් පකිස්තානය වැනි රටවල් නිහඩව අනුමත කරයි.
ලොවම ත්‍රස්ත කළ අයිසිස් භීෂණය හෙළා නුදුටු ඉස්ලාමීය රටවල් පවා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදුරුව තලේබාන් පාලනය 2001 මාර්තුවෙහි දී විනාශ කල අවස්ථාවෙහි මෙම බොහෝ රටවල් විරුද්ධ වූයේ ද නැත.
පකිස්තාන යෝජනාවෙහි සඳහන් වූයේ කරුණු තුනකි. ඒවා මෙසේය:
-
ශුද්ධ වූ අල් කුරානය කෙලෙසීමේ මෑත කාලීන සහ සැලසුම් සහගත ක්‍රියාවන් හෙළා දකිමින් සහ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් පැන නගින රාජ්‍යයන්ගේ බැඳීම්වලට අනුකූලව මෙම ආගමික වෛරී ක්‍රියාවන්හි අපරාධකරුවන් වගවීමට හසු කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි;
-
වෙනස් කොට සැලකීම, එදිරිවාදිකම් සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට තුඩු දෙන ආගමික වෛරය වැළැක්වීමට සහ ඊට එරෙහිව නඩු පැවරීමට බාධාවක් විය හැකි හිඩැස් හඳුනා ගැනීමේ අරමුණින් සිය ජාතික නීති, ප්‍රතිපත්ති සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාමු පරීක්ෂා කරන ලෙසත් එම එම හිඩැස් පියවීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.
-
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කවුන්සිලයේ අදාළ සියලු විශේෂ ක්‍රියා පටිපාටි, ඔවුන්ගේ විධානයන් තුළ, වෙනස් කොට සැලකීමට, එදිරිවාදිකම් උසි ගන්වන සහ ප්‍රචණ්ඩත්වයට දායක වන පූජනීය ග්‍රන්ථ කෙලෙසීමේ ක්‍රියා ඇතුළුව ආගමික වෛරය වෙනුවෙන් පෙනී සිටීමට එරෙහිව ප්‍රකාශ කරන ලෙසත් ජාතික නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් හි ඇති හිඩැස් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට සහාය වන ලෙසත් ඉල්ලා සිටී.
එම යෝජනාව ඉල්ලා සිටින පරිදි ලංකාවේ නීති රීති වෙනස් කළ හොත් ඉන් මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මරු පහරක් වදිනු ඇත.
ප්‍රයෝගික වශයෙන් මෙම යෝජනාව ඉල්ලා සිටින්නේ ඉස්ලාමීය රටවල් ඇති පරිදි ප්‍රකාශනයේ නිදහස සීමා කරන නීති පැනවිය යුතු බවය. මෙම යෝජනාවට පක්ෂ වූ සමහර ඉස්ලාමීය රටවල අනෙක් ආගම් ඇදහීමට නිදහසක් පවා නැත.
කලක් ලිබරල්වාදී වෙස් මුහුණක් පැළද සිටි රනිල් රාජපක්ෂ දැන් වාඩි වී සිටින්නේ එවැනි රටවල් සමඟ එකම බංකුවේය.
අනෙක් අතට එම යෝජනාවෙහි කියවෙන පරිදි ක්‍රියා කරන්නේ නම් රනිල් රාජපක්ෂ මෙරට දී කුරානය අපහාසයට පත් කළ (2014 අප්‍රෙල් 12) අලුත්ගම මුස්ලිම් විරෝධී කෝලාහලය ඇවිල වූ ඥාණසාර කල්ලියට එරෙහිව වහා පියවර ගත යුතුය.
එය කිසිසේත්ම සිදු නොවනු ඇති බවට කැට තැබිය හැක.
ගත යුතු තවත් එවැනි පියවර පිළිබඳ දිග ලැයිස්තුවක් මෙරට තිබේ. යුද සමයෙහි සිට මෙරට හින්දු ආගමික ස්ථාන විශාල වශයෙන් විනාශ කර තිබේ.එය තවමත් සිදුවෙයි. කතෝලික දේවස්ථානයන්ට බෝම්බ හෙළා මනුෂ්‍ය ඝාතනයක් කර ඇති මුත් ඒවාට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
ඒ දළදා මාලිගාවට පහර දීම සහ අරන්තලාවේ භික්ෂූ ඝාතනය සම්බන්ධයෙන් නීතිමය සහ යුදමය පියවර පවා ගෙන තිබෙන පසුබිමකදීය.
අවසානයේ දී මෙම යෝජනාවට ද මෙරට දී සිදු වනු ඇත්තේ අද අයිසීසීආර්පී පනතට සිදුව ඇති දෙයමය. මෙම යෝජනාවෙහි අන්තර්ගතය ලංකාණ්ඩුවට සුළුතර සහ විවේචනාත්මක පිරිස් මැඩලීම සාධාරණ කිරීමට යොදා ගත් හැකිය.
මෙම යෝජනාවෙහි සඳහන් වන්නේ ඉස්ලාමීය නොවන රටක් වන ස්වීඩනයේදී ඉරාක ජාතිකයකු විසින් කුරානය ගිනි තැබීමේ සිදුවීමයි. එනයින් මෙම යෝජනාව අනුව බෞද්ධ නොවන රටකදී වුව බෞද්ධාගමික ග්‍රන්ථ පමණක් නොව ස්මාරක සහ පිළිරූ පවා කෙලෙසීම වෛර ක්‍රියාවකි.
කපිලවස්තු පුරය ලෙස හැදින් වූ අද පකිස්ථානයට අයත් තක්සිලා නම් ප්‍රදේශයෙහි පවතින බෞද්ධ ප්‍රතිමාවන්හි හිස් පමණක් දුගී දරුවන් විසින් අලෙවි කරනු මගේ දෑසින් දැක ඇත්තෙමි. එහි යන ඕනෑම අයෙකුට එම ප්‍රතිමාවන්ට සිදුව ඇති දේ ගැන උපදින්නේ කනගාටුවකි. එමෙන්ම ඉන්දුනීසියාවේ බොරෝ බුදූර් බුදු පිළිම උඩ පෙම්වතුන් වාඩි වී සිටින සැටිත් මම දැක ඇත්තෙමි.
ඒවැනි සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ පුරා වස්තු ආරක්ෂා කිරීම යටතේ මිස ආගමික පදනමකින් නොවේ.
දැන් මෙම පකිස්තාන යෝජනාව අනුව එවැනි රටවල ඇති බෞද්ධ පිළිම ආරක්ෂා කරන ලෙස රනිල් රාජපක්ෂ එම රටවලට කියන්නට යන්නේද? බාමියන් පිළිමය යලි පිහිටුවන ලෙස තලේබාන් රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නට යන්නේද?
මෙවැනි සිදුවීම් අරභයා වඩා පුලුල් යෝජනාවක් ඇන්ගෝලාව, ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රසීලය, චිලී, කොලොම්බියාව, කොස්ටාරිකා, ඉක්වදෝරය, ෆින්ලන්තය, ජර්මනිය, ගුවතමාලා, හොන්ඩුරාස්, අයර්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග්, මෙක්සිකෝව, මොන්ටිනිග්‍රෝ, නෙදර්ලන්තය, පැරගුවේ, පේරු, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය සහ උරුගුවේ යන රටවල දායකත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඒම සැසිවාරයටම ඉදිරිපත් කරන ලදී.
එහි මැය වූයේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතිවාදය අතර නොගැලපීම” යන්නය.
කිසිම ඉස්ලාමීය රාජ්‍යයක් මෙන්ම ශ්‍රී ලංකාවද එම යෝජනාව ඉදිරිපත් කිරීමට දායක වූයේ නැති නමුත් යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
එහි මෙසේ සඳහන් වේ:
1. රාජ්‍ය ප්‍රතිපත්ති, ව්‍යවස්ථාදායක රාමු සහ අධිකරණ තීන්දු මගින් අනුමත කරනු ලබන ජාතිවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විජාතික භීතිකාව සහ ඊට සම්බන්ධ අනෙකා නොඉවසීම අදාළ ජාත්‍යන්තර සහ කලාපීය මානව හිමිකම් ලේඛනවල ස්ථාපිත කර ඇති මානව හිමිකම් උල්ලංඝනය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ විනිවිදභාවයෙන් යුතු සහ වගකීම් සහගත පාලනයට නොගැලපෙන බව යළි තහවුරු කරයි.
2. විශේෂයෙන් සංක්‍රමණිකයන්ට සහ සරණාගතයින්ට එරෙහිව එරෙහිව වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුස්සන, මාර්ගගතව සහ අන් ආකාරයන්ගෙන් වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විජාතික භීතිකාව සහ ඒ හා සම්බන්ධ නොඉවසීම සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කරන අන්තවාදී දේශපාලන පක්ෂවල, ව්‍යාපාර සහ කණ්ඩායම් නැගීම ගැන සහ වෛරය අවුලුවන නිෂේධාත්මක හෝ අවමන් සහගත ඒකාකෘති ගැන ගැඹුරු කනස්සල්ල පළ කරයි.
-
කාන්තාවන් සහ ළමුන් ඇතුළු සියලුම පුද්ගලයින්ට සහ වර්ගවාදයට, වාර්ගික වෙනස්කම්වලට, විජාතික භීතිකාවට සහ ඒ ආශ්‍රිත නොඉවසීමට ගොදුරු වන කණ්ඩායම්වලට අයත් පුද්ගලයින්ට එරෙහිව කැරෙන මාර්ගගත සහ අන් සියලු වෛරී ප්‍රකාශ හෙළා දකින අතර, එය විසඳීමට පියවර ගන්නා ලෙස රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.
-
අන්තවාදී දේශපාලන නායකයින්, පක්ෂ, ව්‍යාපාර සහ කණ්ඩායම් ඇතුළුව ජාතිවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විජාතික භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම යන සියලු ප්‍රකාශනයන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මත පදනම් වූ විස්තීරණ අන්තර්-ඡේදනීය ප්‍රවේශයන් වර්ධනය කරන ලෙස රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම වින්දිතයන් කේන්ද්‍ර කර ගත් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන ප්‍රවේශයක් සමඟ මාර්ගගතව සහ අන් සියලු ක්‍රම හරහා ආරක්ෂිත සහ සක්‍රීය පරිසරයක් නිර්මාණය කරන ලෙස ද ඉල්ලා සිටී.
දැන් කල්පනා කර බලන්න, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නම් ලංකාව සහයෝගය දිය යුතුව තිබුණේ කුමන යෝජනාවට ද කියා.