තරිඳු ජයවර්ධන විසිනි.
මා ඇතුළු පිරිසක් කළ මාධ්ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කළැයි කියමින් නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා කළ නියෝගය අහෝසි කරන්නැයි ඉල්ලමින් ගොනු කරන ලද ප්රතිෂෝධන පෙත්සම බදාදා (6) නොතීසි නොයවාම නිෂ්ප්රභ කිරීමට මහාධිකරණය තීරණය කළේය.
ජුනි මස 07 වැනිදා නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකරට අදාල පැමිණිල්ල කොටුව මහේස්ත්රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සිංහල රාවය සංවිධානයේ පුද්ගලයකු වෙනුවෙන්යැයි කියමින් පෙනී සිටි නීතිඥවරයකු වාචිකව අදහස් දක්වමින් මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම අනුව අධිකරණයට අපහාස කිරීම ගැන විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එම නියෝගයේ පැහැදිලිවම මාගේ නම අන්තර්ගත වන අතර ජුනි 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය පරිගණක අපරාධ කොට්ඨාසයට යොමු කිරීමට ජුනි 21 වැනිදා මහේස්ත්රාත්වරයා නියෝග කළේය. එම නියෝගය අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළේය.
මෙම තීන්දුවට එරෙහිව මහාධිකරණයට ප්රතිශෝධනයක් ඉදිරිපත් කිරීමට මා තීරණය කළේ කරුණු කිහිපයක් මතය.
1) අධිකරණයට අපහාස කිරීමක් ගැන විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පරිගණක අපරාධ කොට්ඨාසයට හැකියාවක් හෝ ඒ ගැන ප්රාමාණික දැනුමක් නොමැතිවීම සහ අධිකරණ අපහාසය ගැන විමර්ශනය කිරීමට පොලිසියට හැකියාවක් ඇති බව නීතියේ සඳහන් නොවීම.
2) අධිකරණයෙන් පිටතදී කරන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණ සංවිධාන පනතේ 55.1 අනුව මහේස්ත්රාත් අධිකරණයට බලයක් ලබාදී නොතිබීම
3) අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ අනන්ය බලය ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් අභියාචනාධිකරණයට ලබාදී තිබීම.
4) මෙම කරුණු දැක්වීම කළ පාර්ශ්වය අදාල නඩුවේ (නතාෂා
එදිරිසූරියට අදාල නඩුවේ) පාර්ශ්වකරුවකු නොවී තිබිම.
5) මහේස්ත්රාත්වරයකුට පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කිරීමට නම් අපරාධ නඩු විධාන සංග්රහයේ 136(1) වගන්තියේ දැක්වෙන ක්රම අතුරෙන් එකකට පැමිණිල්ලක් ලැබී තිබීම හා මෙම සිද්ධියට අදාලව එවැනි තත්ත්වයක් නොමැති වීම.
6) මෙම මාධ්ය සාකච්ඡාව පැවැත්වූයේ මරදාන පොලිස් බල ප්රදේශයේවීම සහ ඊට අදාල මහේස්ත්රාත් අධිකරණය කොටුව මහේස්ත්රාත් අධිකරණය නොව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය
7) අප විසින් සත්ය ලෙසම අධිකරණයට අපහාසයක් නොකිරීම
මෙම කරුණු මුල්කරගනිමින් මහේස්ත්රාත්ගේ නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්රතිෂෝධන පෙත්සමක් ගොනු කළෙමි. එලෙස ඉහළ අධිකරණයට යෑමට තීන්දු කළේ ඉහත සඳහන් හේතූන් නිසා මිස සීඅයිඩියට යෑමට ඇති බියක් නිසා නොවේ. 2012 වසරේ සිට මේ දක්වා මාධ්යවේදියකු ලෙස මම අවස්ථා 20කටත් වැඩි ගණනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත්තෙමි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට තරම් නීතිමය තත්ත්වයක් මෙහි නැතැයි මම විශ්වාස කළෙමි.
ඒ අනුව මහාධිකරණයට ගොනු කළ ප්රතිශෝධන පෙත්සම නොතීසි නොයවාම ප්රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා තීන්දු කළේය. ඊට අදාල නියෝගය අධ්යයනය කිරීමෙන් පසු එම නියෝගයට එරෙහිව ඉහළ අධිකරණයකට යෑමට බලාපොරොත්තුවෙන් සිටිමි.
නීතියේ ආධිපත්යය යනු රටක්, රාජ්යයක් හෝ ප්රජාවක් තුළ සිටින සියලුම පුරවැසියන්, ආයතන, නීති සම්පාදකයින් සහ නායකයින් ඇතුළු සියලුම දෙනා එකම නීතිවලට අනුව පාලනය වන තත්ත්වයකි. එවැනි තත්ත්වයක් ඇතිවීමට නම් නීති තත්ත්වයන් පුලුල් කර ගැනීම සහ තිබෙන නීතිවල සීමා නිසි ලෙස දැන ගැනීමත් අතිශයින් වැදගත්වේ. රටේ ඕනෑම පුරවැසියකුට නීතිය, නීතිය ක්රියාත්මක කිරීම සහ නීතිය ක්රියාත්මක කරන ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් නීතියේ රාහුම ඇතුළේ සටහන් කිරීමට අවස්ථාව තිබිය යුතුය. එසේ කරන ආකාරය ගැන පුරවැසියා දැනුම්වත් කළ යුතුය.
‘සටන් කිරීම‘ ‘අරගල කිරීම‘ යනු මහපාරටම පමණක් සීමා වූ ක්රියාකාරකමක් නොව, නීතියේ ආධිපත්ය බිඳවැටෙද්දී ඊට එරෙහිව අධිකරණමය ක්රියාමාර්ග ගැනීම සහ ඉන් එහාටත් ක්රියාත්මකවීම දක්වා පුළුල් මාතෘකා බව මම විශ්වාස කරමි. ලංකාවේ ව්යවස්ථාව සහ නීති රීති මගින් පහළ අධිකරණයකින් දෙන ලද නියෝගයකට/ තීන්දුවකට එරෙහිව ඉහළ අධිකරණයකට යෑමට අවස්ථාව දී ඇත. පහළ අධිකරණයක නියෝගයකට/ තීන්දුවකට එරෙහිව ඉහළ අධිකරණයකට යෑම වරදක් වන්නේද නැත. පහළ අධිකරණයකින් දෙන ලද නියෝගයක් දෝෂ සහිතයැයි විශ්වාස කරන්නේ නම් එම නියෝගය මත කටයුතු කිරීමට පෙර ඉහළ අධිකරණයකට ගොස් එම නියෝගයේ දොසක් ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීම වඩාත් උචිත බව මාගේ අදහසයි.මම ද එසේ කරමි.
අප වෙනුවෙන් නොමිලයේම ඉදිරිපත් වූ සහ ඉදිරියටත් ඉදිරිපත්වීමට නියමිත සියලුම නීතිඥවරුන්ට මාගේ ප්රණාමය.
– තරිඳු ජයවර්ධන (2023/7/7)
ඡායාරූපය CK
( මුහුණු පොතෙනි)