සමලිංගිකත්වය, භික්ෂු විනය සහ බෞද්ධ ඉගැන්වීම් ගැන තවදුරටත් – දමිත් චන්දිමාල්
බුදු දහම සහ සමලිංගිකත්වය ගැන සාකච්ඡාව අනන්‍යතා සම්බන්ධ සාකච්ඡාවකට සීමා නොකළ යුතු යැයි කල්පනා කරන නිසා, කලින් සැලසුම් කළ අවසාන ලිපියට පෙර මෙම කෙටි ලිපිය එකතු කිරීමට මා කල්පනා කළා.
සෑම ආකාරයකම ලිංගික සම්බන්ධතා, වෙනස් ස්ත්‍රී පුරුෂ සමාජභාවයන්, අන්තර්ලිංගික තත්වයන් සෑම මිනිස් සමාජයකම දකින්නට තිබෙනවා. බෞද්ධ විනය පිටකය විසින් සියලු ලිංගික හැසිරීම් භික්ෂූන්ට තහනම් කර තිබෙන්නේ එවැනි හැසිරීම් හරහා පංච කාමයන්ට, සහ ගිහි ජීවිතයට ඇති තණ්හාව සහ ආශාව විශේෂයෙන්ම වැඩි වෙන නිසා, නිර්වාණය ලබා ගැනීමට එය බාධාවක් වෙන නිසයි. ඒ වගේම ගිහි සමාජය සමග ගැටුම් අවම කර ගෙන, ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් කටයුතු කිරීමත් එහි අරමුණක් වෙන්නට ඇති.
නමුත් ජපන් බෞද්ධ ඉතිහාසය පිරික්සීමේ දී මීට වඩා වෙනස් තත්වයක් හමු වෙන අතර, ජපානයේ බෞද්ධ භික්ෂූන් අතර සමලිංගික ක්‍රියාවන් අතීතයේ සිටම අඩුම ගණනේ 17වන සියවසේ පමණ සිටවත් පැවැත තිබෙනවා. විනය පිටකයෙන් කවර ආකාරයෙන් තහනම් කර, පාරාජිකාවක් ලෙස නම් කර තිබුනත්, සමලිංගික හැසිරීම් ඕනෑම සමාජයක මෙන්ම ලංකාවේ භික්ෂු සමාජයේ ද පැවැති බව “පන්සලේ සෙල්ලම” වැනි වචනවලින් පෙනෙනවා.
මේ ලිපියේ දී සාකච්ඡාවට අදාළව කතා කළ යුතු කාරණා කිහිපයක් ගැන මූලිකව හඳුන්වා දෙන්නම්. නමුත් මේවායෙන් යම් අදහස් ගැන වෙනම දීර්ඝව වෙන් වෙන්ව සාකච්ඡා විය යුතු බව මගේ අදහසයි.
ලිංග විපර්යාසයක් සිදු වීම
ලිංග විපර්යාසයක් සිදු වීම ශාසනයෙන් නෙරපීමට හේතුවක් හෝ කිසිදු විනය ක්‍රියාමාර්ගයකට හේතුවක් නොවේ. භික්ෂුවකට ස්ත්‍රී ලිංගයක් පහළ වුවහොත් භික්ෂුණී ශාසනයට යන ලෙසත්, භික්ෂුණියකට පුරුෂ ලිංගයක් පහළ වුවහොත් භික්ෂු ශාසනයට යන ලෙසත් විනය පිටකයේ පාරාජිකා පාලියේ සඳහන් වෙනවා. අතීත භික්ෂුණී ශාසනය තවදුරටත් නොපවතින නිසා, මෑත පිහිටුවන ලද භික්ෂුණී ශාසනය අපේ රටේ භික්ෂු ශාසනය විසින් පිළි නොගන්නා තත්වයක් තුළ මෙම කාරණය ප්‍රායෝගිකව කෙසේ කළ හැකි දැයි අපි සාකච්ඡා කළ යුතු වෙනවා. මෙවැනි තත්වයක් තුළ භික්ෂුවකට ලිංග විපර්යාසයක් කරතොත් යා හැකි භික්ෂුණී ශාසනයක් නැහැ. එවැනි ප්‍රායෝගික දුෂ්කරතා තිබුනත්, ලිංග සංක්‍රාන්තිය සිදු කරන පුද්ගලයන් පැවිදි වීමේ දී බෞද්ධ විනය තුළ කිසිදු බාධාවක් නැති අතර, ඔවුන්ගේ අනන්‍යතාවය පිළි ගන්නවා. නමුත් මේ කාරණය එසේ තිබියදී පණ්ඩක ආදී අනන්‍යතාවයන් ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති නිසා එම අනන්‍යතාවයන් සමග ලිංග සංක්‍රාන්තිකයන් පටලවා ගැනීමෙන් ඔවුන්ට පැවිදි වීමට ඉඩක් නැතැයි පවසනවා. මෙය මා හිතන විදියට වැරදි මතයක්.
පළමු පාරාජිකාව
සියලු ලිංගික හැසිරීම් පාරාජිකා වැරදි නොවේ. ගුද, යෝනි, මුඛ යන මාර්ගවලට වෙනයම් ආකාරයකට ශරීරය තුළට ලිංගේන්ද්‍රිය ඇතුළු කරමින් සිය කැමැත්තෙන් සංසර්ගයේ යෙදීම භික්ෂුවකට පාරාජිකාවක් වෙනවා. පාරාජිකාවක් කියන්නේ පැවිදි ජීවිතයෙන් පැරදීමයි. පාරාජිකාවකට ලක් වූ භික්ෂුවක් තවදුරටත් සිවුර දැරීමට සුදුසු කෙනෙක් නොවෙයි.
එසේම මෛථුනය (සංසර්ගය) සිදු වුවත්, එය සිදුවුයේ තමන්ගේ කැමැත්තෙන් නොවේ නම් පාරාජිකාවක් වෙන්නේ නැහැ. මෙම ප්‍රථම පාරාජිකාවට ගැහැණු, පිරිමි හෝ පණ්ඩක ආදී ලෙස සමාජභාව භේදයක්, මනුෂ්‍ය, අමනුෂ්‍ය (දේව, යක්ෂ) හෝ තිරිසන් ලෙස භේදයක්, හෝ පණ ඇති කෙනෙක්ද හෝ පණ නැති මල සිරුරක් ද යන්නත් අදාළ වෙන්නේ නැහැ. මේ ඕනෑම කෙනෙකුගේ සිරුරට ලිංගේන්ද්‍රිය ඇතුළු කර ලිංගික හැසිරීම වරදක් වෙනවා.
පාරාජිකා නොවන ලිංගික ක්‍රියා
එසේ වුවත් ශරීරයට ලිංගය ඇතුළු නොකර කරන ස්වයං වින්දනය, අන්‍යොන්‍ය ස්වයං වින්දනය, කලවා සංසර්ගය වැනි ලිංගික ක්‍රියා පාරාජිකාවන් නොවන බවත්, ඒවා ඊට වඩා අඩු විනය වැරැදි ලෙස සැලකෙන බවත් සඳහන් කළ යුතුයි.
මේවා සිදු කිරීම පිළිවෙලින් බරපතලකම අඩුවෙන ලෙස සංඝාදිසේස, ථුලැසි සහ දුකුළා ඇවැත්වලට හේතු වෙනවා. සංඝාදිසේස ඇවැත පාරාජිකාවක් නොවූවද බරපතල ඇවැතක් වෙනවා. ථුලැසි ඇවැත අතරමැදි වරදකි. දුකුළා ඇවැත සුළු වරදකි. පාරාජිකා හැර, මේ ඇවැත් සියල්ලම විනය කර්ම කිරීමෙන් පිරිසිදු විය හැකි ඇවත්ය. බොහෝ විට සිරුර තුළට ලිංගයක් ඇතුළු කිරීමක් නොමැතිව සිදුවන ලිංගික ක්‍රියා මේ යටතට වැටේ. එසේ වුවත් භික්ෂුනියන් සම්බන්ධයෙන් එසේ නොවේ.
මේ නීති බලන විට ස්ත්‍රී පුරුෂ විෂමලිංගික ලිංගික ක්‍රියා වඩාත් බරපතල වැරදි දෙස බැලූ බවත්, පිරිමි සමලිංගික ලිංගික ක්‍රියා එතරම් බරපතල ඒවා දෙස නොබැලූ බවත් පෙනෙනවා. උදාහරණයක් ලෙස ලිංගික හැඟීම් සහිතව කෙනෙකු ස්පර්ශ කිරීම ගනිමු. ස්ත්‍රියක් ස්ත්‍රියක බව දැන ලිංගික හැඟීම් සහිතව ස්පර්ශ කිරීම සංඝාදිසේස ඇවැතක් වෙනවා. පණ්ඩකයෙක් පණ්ඩකයකු බව දැන ලිංගික හැඟීම් සහිතව ස්පර්ශ කිරීම ථුලැසි ඇවැතක් වෙනවා. පුරුෂයෙක් පුරුෂයකු බව දැන ලිංගික හැඟීම් සහිතව ස්පර්ශ කිරීම දුකුළා ඇවැතක් වෙනවා. (බලන්න. පාරාජිකා පාලිය, කායසංසර්ගසංඝාදිසේසය. පිටු 299. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය.)
මේ කාරණා දෙස පවා බැලූ කල පෙනෙන්නේ ප්‍රායෝගික හේතු මත බුදු දහම භික්ෂු ශාසනය තුළ පවා පුරුෂ සමලිංගිකත්වය යැයි වර්තමානයේ අර්ථ දැක්විය හැකි සමහර කාරණා සම්බන්ධයෙන් යම් ඉවසීමක් පෙන්වූ බවයි. එසේ වුවත් මේ කාරණා මම මුල් ලිපියේ මතු කළා මෙන්ම සමලිංගිකත්වය ගැන නූතන සාකච්ඡාවෙන් බොහෝ දුරට වෙනස් වෙනවා.
කර්මය ගැන බෞද්ධ ඉගැන්වීම් සහ සමලිංගිකත්වය
මේ ගැනත් මා විස්තර වශයෙන් මේ ලිපියේ දී සාකච්ඡා නොකළත්, කර්මය යන සංකල්පයේ වැදගත්කම කෙටියෙන් මෙහිදී පැහැදිලි කරන්නම්. පණ්ඩක, උභතොබ්‍යඤ්ජනක අය ලෙස ඉපදීමට කර්මය හේතු වේ යැයි අදහසක් ත්‍රිපිටකයේ ස්ථාන ගණනාවක තිබෙනවා. මෙවැනි අදහසක් කාන්තාවන් ගැනත් එලෙසම තියෙනවා. මේ කාරණය බුද්ධ කාලීන ඉන්දීය භූමි භාගයේ තිබුනු සමාජ තත්වයන් තුළ මෙකී ප්‍රජාවල අයට මුහුණ පාන්නට සිදුවූ සමාජ යථාර්ථයන් තුළ සහ බුදු දහමේ නියාම ධර්ම යන සංකල්පය තුළ තේරුම් ගත යුතු බව මගේ හැඟීමයි.
එල්ජීබීටීඅයිකිවු+ පුද්ගලයන් හෝ ස්ත්‍රීන් ලෙස උපත ලබන්නේ හුදෙක් පව්කාරයන් යැයි අපි සරලව සිතිය යුතු නැහැ. අයිතිවාසිකම් සටනේ ප්‍රගමනය සමග එවැනි කාරණයක් අතීතයේ තිබුනත් දැන් එසේ නොවන බව අපට තර්ක කළ හැකියි. එසේම කෙනෙකු වෙනස් කොට සැලකීමට භාජනය කිරීම කර්මය යන අදහසට බාර දිය යුගයක අපි නැහැ. ඊට වඩා අප බෞද්ධයන් ලෙස සමාජ සාධාරණත්වය ඇති කිරීමට මැදිහත් විය යුතු යැයි මම සිතනවා.
එසේ වුවත් මේ කාරණය ගැන අපි තවදුරටත් සිතා බැලුවහොත්, කෙනෙකුගේ ලිංගිකත්වයට අදාළ අනන්‍යතා උපතින් ඇතිවන දෙයක් බවට යම් අදහසක් මෙයින් අනෙක් අතට ගම්‍ය වෙන බවක් පෙනෙනවා. මෙය බොහෝ දුරට නූතන ජීව විද්‍යාවෙන් ලිංගිකත්වය සහ අපිජාන අතර යම් සම්බන්ධයක් ඇති බවට ඉදිරිපත් කර ඇති අදහසට සමානකමක් ඇති බවට කෙනෙකුට තර්ක කළ හැකියි.
හැරවීමේ ප්‍රතිකාර (conversion therapies) තහනම් කිරීම
ඒ වගේම ත්‍රිපිටකයේ භික්ෂූන්ට පණ්ඩකයා පිරිමියා කිරීමට හෝ පිරිමියා පණ්ඩකයා කිරීමට උත්සාහ කිරීම තහනම් කර තිබෙනවා. මනෝ විද්‍යාව, ආගමික ක්‍රම හරහා සමලිංගිකත්වය සුව කළ හැකි යැයි ලෝකයේ යම් කාලයක අදහසක් තිබුනත්, දැන් එය පිළි ගන්නේ නැහැ. මේ ගැන නූතන විද්‍යාත්මක අදහස මෙන්ම අත්දකින ලද ප්‍රායෝගික යථාර්ථය වෙන්නේ එසේ කිරීමට උත්සාහ කිරීමෙන් පවා එවැනි ප්‍රතිකාර හරහා යන අයට බරපතල මානසික, සහ කායික පීඩනයන්ට මුහුණ පෑමට සහ ඇතැම්විට ඔවුන්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතු වී ඇති බවයි. මෙවැනි තත්වයක් තිබියදී බෞද්ධ භික්ෂූන්ට එවැනි කටයුතුවල යෙදීම ත්‍රිපිටකය හරහාම තහනම් කර තිබීම ඉතා ප්‍රගතශීලී තත්වයක් ලෙස හඳුනා ගත හැකියි.
කාමයේ වරදවා හැසිරීම
කුරුධර්ම ජාතක කතාවේ කුරුධර්මය යනුවෙන් ද හැඳින්වෙන, පංචශීලය කියන්නේ බුදු සමය බිහිවන සමයේ ඉන්දීය භුමි භාගයේ පැවැති ආචාරධර්ම රීති පද්ධතියක් වෙන අතර බුදු දහමට පමණක් සීමා වෙන්නේ නැහැ. එහෙත් අද මෙය ඉතිරි වී ඇත්තේ බුදු දහම සහ ජෛන දහම සමග විතරක් වෙන අතර අවසන් ශික්ෂා පදය මේ දෙපිරිස අතර වෙනස් වෙනවා. නමුත් අපගේ අවධානයට යොමු වන තුන්වන ශික්ෂා පදය එකල පැවැතුනු පොදු අදහසක්. මේ ගැන ත්‍රිපිටකයේ ඇති අදහස වෙන්නේ භාරකාරීත්වයක් යටතේ සිටින කෙනෙකු සමග ලිංගිකව හැසිරීම වැරදි බවයි. සාලෙය්‍යක සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා.
“කාම මිථ්‍යාචාරය මෙසේ ඇතිවෙයි: මවගේ ආරක්ෂාව යටතේ සිටින්නා (මාතුරක්ඛිතා), පියාගේ ආරක්ෂාව යටතේ සිටින්නා (පිතුරක්ඛිතා), මව සහ පියා දෙදෙනාගේම ආරක්ෂාව යටතේ සිටින්නා (මාතාපිතුරක්ඛිතා), සහෝදරයාගේ (භාතුරක්ඛිතා) / සහෝදරියගේ (භගිනිරක්ඛිතා)/ ඤාතීන්ගේ (ඤාතිරක්ඛිතා), ගෝත්‍රය විසින් රකින අය (ගොත්තරක්ඛිතා), කිසියම් ධර්මයක් රකින අය (ධම්මරක්ඛිතා)/ ස්වාමියාගේ ආරක්ෂාව යටතේ සිටින අය (සස්සාමිකා), හෝ දඬුවමක් විඳින අය සමග (සපරිදණ්ඩා), විවාහ ගිවිස ගත් අය සමග ලිංගිකව හැසිරීමෙන් මිථ්‍යාචාරීභාවයට පත් වේ.”
මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ අඩු වයස් දරුවන්, වෙන කෙනෙකුගේ භාරකාරීත්වයේ සිටින අය, යම් විශ්වාසයක් හෝ ප්‍රතිපත්තියක් මත ලිංගික කටයුතුවලින් මිදී සිටින අය, තමන්ට සහකරුවකු සිටින අය, හිරේ හෝ රැඳවුම් භාරයේ සිටින අය, විවාහයකට පොරොන්දු වූ අය සමග ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක් බවයි. මේ ලැයිස්තුව යටතට සමලිංගිකත්වය අයිති වෙන බවට ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. එසේම ලිංගික ශ්‍රමියකු වෙත යාමත් වරදක් යැයි හැඳින්වෙන්නේ නැහැ.
කාමයේ වරදවා හැසිරීම අපරාධ වරදක් බවට පත් කිරීම
යම් රාජ්‍යයක් විසින් එම රටේ පුරවැසියන්ගේ යහපතට යම් කිසි නීති පද්ධතියක් සහ දඬුවම් පද්ධතියක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මැදිහත් වීමට මුල් බුදු සමය කටයුතු කර නැහැ. ඔවුන් නීති පනවා ඇත්තේ භික්ෂු සමාජයට පමණයි. ගිහි සමාජයට පැවිද්දන් විසින් කරන්නේ අදාළ උපදෙස් දීම මිසක්, එම උපදෙස් පිළි නොපදින්නේ නම් දඬුවම් කිරීමට රජුන් සමග එක්වී කටයුතු කිරීම නොවේ. බුදුන් වහන්සේ යනු රජ සැප අතහැර පැවිදි ජීවිතයට පැමිණි කෙනෙක් වෙන අතර, තමන් සහ රාජ්‍ය පාලකයන් අතර සීමාවක් උන්වහන්සේ සෑම විටම පවත්වා ගත්තා. කාමයේ වරදවා නොහැසිරීමට බුදු දහමෙන් ගිහියන්ට උපදෙස් දුන්නත්, එසේ නොකළා යැයි යමකුට සිර දඬුවම් හෝ වෙනත් දඬුවමක් ලබා දීම බුදු දහම අනුමත කරන්නේ නැහැ. කාමයේ වරදවා නොහැසිරීම මෙන්ම, මෛත්‍රියෙන් යුතුව සියලු සත්ත්වයන්ට සැලකීමත් බුදු දහමේ ප්‍රධාන වටිනාකමක් වෙන බව මෙතැනදී මතක් කළ යුතුයි.