Sunday, November 24, 2024

රෝසි සේනානායකගේ රෝස නොවන මිලියන ගණන් වැඩ කිඩ!

සේ.පියවර්ධන විසිනි.
පළාත් පාලන මැතිවරණයේ රනිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ නගරාධිපති  අපේක්ෂිකාව වන රෝසි සේනානායක විසින් මහජන මුදල් මිලියන ගණනින් අපරහණය කර ඇති බව වාර්තා වේ.
එලෙස පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂිකාවක වන ඇය මෑතදී රනිල් රාජපක්ෂගේ පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාවක ලෙස පත් කර ගන්නා ලදී.
නීතියක් සහ රීතියක් ඇති රටක නම් එවැනි දූෂිත පත්වීමක් දුන් ජනාධිපති එය බාර ගත් අපේක්ෂිකාවද වරදකරුවන් විය යුතුය.
රනිල් රාජපක්ෂගේ පාලනයේ නීතිය යනු ඔහුගේ කැමැත්ත පමණක් බව මෙරට දිනක් පාසාම හෙළිදරව් වෙමින් තිබේ. එබැවින් ඇයට ඩබල් ගේමක් සෙල්ළම් කළ හැකිය.
වාර්තාවන අවභාවිතයින් මෙසේය.
2018 සිට 2023 දක්වා ඇය කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කළ කාලය තුළ සේනානායකගේ මුළු විදුලි බිල රුපියල් මිලියන 9කි. එනම් වසරකට මිලියන දෙකක් තරම්ය. මසකට එක්ලක්ෂ පනස් දහසකට වැඩිය.
ඇයගේ නිල නිවස පිරිසිදු කිරීම සඳහා සේවක සේවිකාවන් නම දෙනෙක් යොදා ගෙන තිබේ. කොළඹ මහ නගර සභා ප්‍රතිපාදන අනුව යොදා ගත හැක්කේ සේවක සේවිකාවන් හතර දෙනෙකු පමණි.
මෙම පිරිස ලබා ගෙන ඇත්තේ පුද්ගලික  සමාගමකිනි. එම සමාගමට උක්ත කාලය තුළ රුපියල් මිලියන 15.1ක් (15,107,894) ඒ සඳහා ගෙවා තිබේ.
ඊට අමතරව නිල නිවස ඉදිරිපිට උද්‍යානය පවත්වා ගෙන යෑම සඳහා   විහාරමහාදේවි උද්‍යානයේ සේවකයින් තිදෙනෙකු යොදවා තිබේ. ඒ සඳහා රුපියල් මිලියනයකට (909,000 ) ආසන්න මුදලක් ගෙවා තිබේ.
නගරාධිපතිනි නිල නිවසේ පිරිසිදු කිරීමේ සේවක වියදම් වශයෙන් 2018 දී රුපියල් 947,724, 2019 දී රුපියල් 4,199.499, 2020 දී රුපියල් 3,814.072, 2021 දී රුපියල් 4,608.708, සහ 2022 දී රුපියල් 1,537.890 ගෙවා තිබේ.
 කොළඹ මහ නගර සභාවේ නිසි ක්‍රියා පටිපාටි සහ භාවිතයන්ට අනුව නගරාධිපතිවරයාගේ නිල නිවස පිරිසිදු කිරීමේ රාජකාරි සඳහා සේවක සේවිකාවන් හතර දෙනෙකු පමණක් යොදා ගතයුතු නමුත් රෝසි සේනානායක 12 දෙනෙකු යොදා ගෙන තිබේ.
මෙම තොරතුරු අඩංගු වන්නේ නගර සභාවේ හිටපු එජාප සහ දැන් සජබ මංත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකය. එම  තොරතුරු ලබා ගෙන ඇත්තේ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමක් මගිනි.
හිටපු නගරාධිපතිවරිය රාජ්‍ය මුදල් අවභාවිතය හෝ අනවසර ප්‍රතිලාභ ලබා දීමෙන් දූෂණයක් සිදු කර ඇත්දැයි 1994 අංක 19 දරන (සංශෝධිත) පනතේ 70 වැනි වගන්තිය යටතේ අල්ලස් කොමිසම මගින් සොයා බලන ලෙස එම මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි තිබේ.
මෙසේ දැවැන්ත මුදල් සම්භාරයක් වැය කර ඇත්තේ කොළඹ මහ නගර සභාව දැවුන්ත මූල්‍ය අර්බූදයක ගිලී ඇති අවස්ථාවකය.
කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා)  පසුගිය 06 දා අනාවරණය විය.
අයකර ගෙන නැති හිඟ ආදායම මෙසේය.2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 කි. 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 කි. 2019 වර්ෂයේ මිලියන 4,481.5 කි.  මෙම හිඟ මුදල් වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් පවතී.
එසේම රථගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර තිබේ. 2021 දෙසැම්බර් 31 දින වන විට ආයතන 38 කින් අයකර ගෙන නැති හිග ගාස්තු ආදායම රු. මිලියන 265 කි.
මෙම වසර ගණනාවෙහිම පුරාම නගාධිපතිනිය වූ සේනානායකය.
කොළඹ නගර සභාවෙහි රථගාල් අංශය දූෂනයෙන් පිරී ඇති බව 2016 වසරෙහි දී ට්‍රාන්ස්පරන්සි ලංකා ආයතනය පල කර අපේ රාජ්ජේ අදුරු අහුමුලු නම් ප්‍රකාශනයක් දක්වන්නේ මෙසේය.
‘සෑම පළාත් පාලන ආයතනයකම එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ නගරයේ මං මාවත් දෙපස හා විශේෂයෙන් වෙන් කළ ස්ථාන වල නවතා තැබෙන රථවාහන වලින් නැවතුම් ගාස්තු අයකර ගැනීමයි.
කොළඹ නගර සභාව රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම ටෙන්ඩර් මඟින් පුද්ගලික අංශයට පවරනුයේ ඒ සඳහා පත් කළ රථවාහන පාලිකාවන් සිටියදී වීම විස්මය ජනකය. හේතුව මනා කළමනාකරණයක් ඇතිව සිදුකරන්නේ නම් වාහන නැවතුම් ගාස්තු යනු මහජන සේවාවන් සඳහා යෙදවිය හැකි අතිවිශාල මුදලක් උත්පාදනය කර දෙනු ලබන මාර්ගයක් වීමය.
කොළඹ නගරයේ මේ සම්බන්ධ අකටයුතුකම් හෙළිකිරීමට පෙර සාධනීය උදාහරණයක් ඇසුරෙන් එය පැහැදිලි කළ හැකිය. මහින්ද දොඩම්පේගමගේ නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්වීමට පෙර රථවාහන නැවතුම් ආදායම ලෙස වාර්ෂිකව ලැබුණේ ටෙන්ඩර් මඟින් උපයාගත් රුපියල් ලක්ෂ 35කි. ඔහුට අනුව මෙහි වන අක්‍රමවත් ස්වභාවය වටහාගත් නිසා සිය පාලන කාලය තුළදී වාහන ආදායම් රැස්කිරීමේ අවස්ථාව පුද්ගලික අංශයෙන් යළි පවරාගෙන නගර සභාවේ සේවකයින් මඟින් සිදුකිරීම ආරම්භ විය. එහි ප්‍රථිඵලය වාර්ෂිකව රුපියල් කෝටි අට හමාරක පමණ ආදායමක් උපයා ගැනීමට නගර සභාව සමත්වීමයි. එසේ නගර සභාවේ ඇවිරී තිබුණු ආදායම් මාර්ග විවර කරගනිමින් විනිවිද බවකින් යුක්තව ක්‍රියාකිරීමට හැකිවීම නිසා මහජනයාගෙන් අය කෙරෙන බදු රුපියලකින් හෝ වැඩි නොකර සේවාවන් එලෙසම සැපයීමට නුවරඑළිය නගර සභාව සමත්ව තිබේ.
පුද්ගලික අංශයට ටෙන්ඩර් මඟින් එම අවස්ථාව ලබාදීමේදී පළාත් පාලන ආයතනවලට ලැබෙන ආදායම අහිමිවීම මෙන්ම පාලනය කළ නොහැකි අන්දමින් මහජනයා පීඩාවට පත්කෙරෙන බවද නොරහසකි.
කොළඹ මහනගර සභාවේ රථවාහන පාලිකාවන් සිටියදීම ක්‍රමයෙන් නැවතුම් ස්ථානවල ගාස්තු අයකිරීමේ වරම පුද්ගලික අංශයට පවරා දෙන්නේ දූෂිත නිලධාරීන් හා දේශපාලනඥයින් හවුලේය. ඒ ගාස්තු අයකරන පිරිස් හෝ සමාගම් ඔවුන්ට අත යටින් ලබාදෙන මුදල් කුට්ටි නිසාය. රථවාහන ගාස්තු අයකරන ඇතැම් පිරිස් තමන් සමාගම් යැයි හඳුන්වාගත්ත ද මේවා කූට ලෙස අටවාගත් ජාවාරම් විනා සැබෑ සමාගම් නොවෙන බව අනාවරණය විය.
නගරයට පැමිණෙන මහජනයාට වාහන නැවතුම් පහසුකම් සැපයීම පළාත් පාලන ආයතනයක වගකීමක් වන හෙයින් එය සේවාවක් ලෙස සළකා ඉටු කළ යුතු වන්නේ පීඩාකාරී අන්දමින් ගාස්තු අය නොකරමිනි.
කොළඹ මහනගර සභාව වාහන ගාස්තු අයකරන සමයේ වාහනයක් නවතා තැබීම සඳහා අයකරන ලද්දේ රුපියල් දහයක ගාස්තුවකි. එය පුද්ගලික අංශයට පැවරීමෙන් පසුව ගාස්තුව රුපියල් තිහ පමණ වනතෙක් සියයට තුන්සියයක පමණ
ප්‍රතිශතයකින් ඉහළ දැමුණු අතර අයකෙරුණේ පැය ගණනට බැවින් දෛනිකව වැඩි පැය ගණනක් රිය නවතා තබන ජනයා දැඩිලෙස පීඩාවට පත්විය. එහෙත් මේ සියලු මුදල් අදාල නැවතුම් ස්ථානය බදුගත් ව්‍යාපාරිකයාට හිමිවෙද්දී නගරසභාවට ලැබුණේ වාර්ෂික ටෙන්ඩර් මුදල පමණි.
ටෙන්ඩරය ලබාගැනීමට උපකාර කිරීම නිසා දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට නම් නොමදව සන්තෝසම් හිමිවේ. එහෙත් නගර සභාවට හිමිවිය යුතු විශාල මුදලක් මෙසේ අහිමි වෙද්දී ගෙවිය යුතු මුදල් ද නිසි පරිදි නොගෙවා කෝටි ගණනක හිඟයක් මේ වනවිට නිර්මාණය වී ඇති බවට ද සාක්ෂි වෘත්තීය සමිති සතුය.
වාහන නැවතුම් ස්ථාන ටෙන්ඩර් කිරීමේදී මිලදීගන්නා අය තුටුපහටු කිරීමෙන් තොරව තමන්ට මුදලක් උපයාගත නොහැකි බව දන්නා දේශපාලනඥයින් හා නිලධාරීන් අනුගමනය කරන කදිම උපායක් තිබේ. ඒ ටෙන්ඩර් වටිනාකම අඩුවෙන් දැක්වීමයි.
එය සිදුකරන්නේ කිසියම් ස්ථානයක නවතා තැබිය හැකි වාහන සංඛ්‍යාව අඩුවෙන් තක්සේරු කිරීමෙනි. නිදසුනක් ලෙස වාහන 80ක් නවතා තැබිය හැකි ස්ථානයක් නම් කරන්නේ වාහන 40ක් පමණක් නැවතිය හැකි ස්ථානයක් ලෙසයි. එවිට ටෙන්ඩරයේ වටිනාකම පහළ යන අතර මිලදීගත් අය සමස්ත ධාරිතාවම ආදායම් ඉපයීම සඳහා භාවිතා කරනුයේ කළ උපකාරය වෙනුවෙන් අදාළ පාර්ශවවලට අල්ලස් ගෙවමිනි.
මෙලෙස වාහන නැවතුම් ටෙන්ඩර මඟින් මහා පරිමාණ දූෂණ සිදුකෙරෙන බවට නිදසුන් ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළ ස්ථාන අතර කාසල් රෝහල හා මහ රෝහල අවට ප්‍රදේශය, වොක්ෂෝල් වීදිය වැනි ස්ථාන කුප්‍රකටය.’

 

Archive

Latest news

Related news