Friday, November 22, 2024

රාජකුමාරී – ජීවත් වීමට තරම් නොවන ජීවිතයක් (Life That Does Not Deserve to Live).

බුද්ධික බණ්ඩාර.
රාජකුමාරිට ව්‍යවස්ථාවෙන් හිමිවන වධහිංසාව, කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකීමට ලක් නොවීමට ඇති අයිතිය (11 වන වගන්තිය), නීතියේ සමාන ආරක්ෂාව (12-1 වගන්තිය) සහ නීතියෙන් ස්ථාපිත නියමිත ක්‍රියා පටිපාටියට අනුව මිස අත්අඩංගුවට නොගැනීමේ අයිතිය ( 13-1 වගන්තිය) හිමිවූයේ නැත. ඇයව බලයෙන් අත්අඩංගුවට ගත්තේය. වධ හිංසා පැමණෙව්වේය. අවසානයේ ඇය මිය ගියේය.
ඇයට ළමයින් තිදෙනෙකි. අපගේ ළමයින් මෙන්ම ඇගේ ළමයිනුත් ඇය එන තෙක් මගබලා සිටින්නට ඇත. ඇයට ජීවිතය ගැන ඇයගේම වූ සිහින තිබෙන්නට ඇත. ඇගේ ළමුන්ගේ අනාගතය පිළිබද බලාපොරොත්තු තිබෙන්නට ඇත. ඇයගේම වූ උනුසුම් ආදරයක් තිබෙන්නට ඇත. ඒත් එසේනම් ඇය ජීවත් වීමට තරම් නොවන ජීවිතයක් වූයේ ඇයි.
මෙය හුදෙක් අත්වැරදීමක්ද? පොලීසිය පමණ ඉක්මවා ක්‍රියා කිරීමක්ද? සම්ප්‍රධායික නොවන අළුතින් මුදල් උපයාගත් පන්තියේ සංස්කෘතික ගැටළුවක්ද? එසේත් නැත්නම් රාජ්‍යය සහ අපගේ ජීවිතය අතර ඇති වෙමින් පවතින නව ආකාරයේ සම්බන්ධයක භයානක මූර්තිමත් වීමක්ද?
සමහරක් මිනිසුන් ජීවත් වීමට තරම් වටිනා ජූජනීය ජීවිත වන්නේත් තවත් සමහරක් ජීවත් වීමට තරම් නොවන ශාපලත් ජීවිත වන්නේත් කෙසේද? එය තීරණය කිරීමට බලය ඇත්තේ කාටද?
ඉතාලියානු දාර්ශනිකයකුවන ජෝර්ජියෝ අගම්බෙන් මෙවන් ශාපලත් එසේත් නැත්නම් අගයක් නොමැති ජීවිත තේරුම් කිරීම සදහා හෝමෝ සාකර් (Homo Sacer) නම් සංකල්පයක් ඉදිරිපත් කරනව. මෙම වචනයේ ලතින් තේරුම තුළ පූජනීය සහ ශාපලත් යන අර්ථ දෙකම තිබෙනව. අගම්බෙන් මෙහිදී ගෙන එන්නේ ආදී රෝමානු නීතිය තුළ තිබෙන මරාදැමිය හැකි නමුත් පූජා කළ නොහැකි (who may be killed yet not sacrificed) යන අර්ථය.
මේ රෑපය හරහා මනුශ්‍ය ජීවිතය ඉවත් කළ හැකි දෙයක, එසේත් නැත්නම් මරා දැමීය හැකි දෙයක, ආකෘතියකින් නීති පද්ධතියට ඇතුලත් කරගන්නවා.
ඒ අනුව හෝමෝ සාකර් කියන්නේ මනුශ්‍ය ජීවිතයක් බැවින් මරා දැමිය හැකි ( මෙම මරා දැමීම මිනී මැරැමක් වන්නේ නැහැ) කිසිම අගයක් නොමැති හෙයින් කැප කළ නොහැකි අයෙකුට. ( කැප කළ හැක්කේ යමකට අගයක් තිබෙනවානම් පමණයි)
අගම්බෙන් මෙම සංකල්පය තවත් සංකල්ප දෙකක් සමග සම්බන්ධ කරනව. එකක් තමයි පරමාධිපත්‍ය බලය. (sovereign power) අනිත් සංකල්පය ව්‍යාතිරේකී තත්වය. (state of exception). පරමාධිපත්‍ය බලය විසින් තමයි ව්‍යාතිරේඛී තත්වය තීරණය කරන්නේ. (“Sovereign is he who decides on the state of exception”)
ව්‍යාතිරේඛී තත්වය තුළ සාමාන්‍ය තත්වයක් තුළ තිබෙන නීති ක්‍රියාත්මක වන්නේ නැහැ. ජීවත් වීමට වටින ජීවිත සහ ජීවත් වීමට තරම් නොවන ජීවිත කුමක්ද යන්න තීරණය වන්නේ ඒ අනුව.
අගම්බෙන් මෙයට ගේන එක් උදාහරණයක් තමයි නාසි ජර්මනිය තුළ ක්‍රියාත්මක වූ අනායාස මරණ වැඩසටහන (euthanasia program). 1940 දී නාසි රාජ්‍යය “ජීවත් වීමට සුදුසු නොවන ජීවිත නැති කිරීම“ (the elimination of life unworthy of being lived) සදහා වූ නීති බලාත්මක කරනව. මෙහිදී මූලික වශයෙන් ඉලක්ක කරන්නේ මානසික රෝග හැදුනු මිනිසුන් සහ සුව කිරීමට නොහැකි රෝග සැදී ඇති පුද්ගලයින්. ඔවුන් එක්වරම හෝමෝ සාකර් තත්වයට පත් වෙනව. ක්‍රමිකව මේ ගණයට පසුව යුදෙව්වන්, සමලිංගිකයන්, ජිප්සි ජන වර්ග ඇතුළු වී සමූල ඝාතනයට පත් වෙනව.
අගම්බෙන් පවසන්නේ ස්වාධිපත්‍ය රාජ්‍ය පමණක් නොව නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පවා ක්‍රියාත්මක වන්නේ මේ පදනම මත බවයි. අපි දන්නව ව්‍යාතීරේඛී තත්වයන් හෝ හදිසි තත්වයන් රජයන් විසින් ප්‍රකාශයට පත් කළ අවස්ථාවලදී අයිතීන් සහිත ජීවිත සහ අයිතීන් රහිත ජීවිත අතර ඉරි ඇදෙන්නේ කොහොමද කියල.
වසංගත තත්වයන්වල රෝගීන් හුදකලා කිරීම් තුළ, ආපදා අවස්ථා වල ප්‍රතිකාර කළ නොහැකි රෝගීන් මරණයට පත් කිරීම් තුළ (උදා – ඇමෙරිකාවේ කැත්රීනා ඛේදවාචකය) ජාතික ආරක්ශා තත්වයන් තුළ ත්‍රස්තවාදීන් ලෙස හදුනාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාකරන විට (War on Terror) අප මෙය දකිනව. මෙවන් අවස්ථාවලදී රජයට පුළුවන් පවතින නීතියට පිටින් පවතින්නට.
රජයන් විසින් ව්‍යාතිරේඛී තත්වයන් පරමාධිපත්‍ය බලය පවත්වාගැනීම සදහා යොදා ගැනීම සමකාලීන දේශපාලනයේ අධිපති ස්වරෑපය බවට පත් වෙමින් යන බව අගම්බෙන් පෙන්වනව. මෙය මූලිකවම පුරවැසියා මත බලය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක්. හිටිලර්ගේ අනායාස මරණ වැඩසටහන (euthanasia program) පිළිබදව අදහස් දක්වමින් අගම්බෙන් පවසන්නේ අතිශය ජනප්‍රිය නොවූ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිටුපස තිබූ ප්‍රධාන පරමාර්ථය නම් නාසීන්ගේ ජාතික සමාජවාදී රජයේ බලය අභ්‍යාස කිරීම බවයි.
මෙනිසා පොලීසිය විසින් රාජකුමාරි සිවිල් අයිතිවාසිකම් රහිත පුද්ගලයෙක් සේ සලකා ක්‍රියා කරන්නේ සරල ලෙස නැතිවුනු රත්තරන් මුද්ද සොයා ගැනීමේ අරමුණින්ම නොවේ. නෙත්තිකුමාර වැනි කෙනෙකුට එය පොඩි දෙයක්. ඉහළ තලයේ ප්‍රභූ දේශපාලන සහ පොලිස් සම්බන්ධතා වලින් ගොඩනැගුනු බල ව්‍යුහයක් තමයි මෙම සොරකම තුළ අර්බුදයට පත්වන්නේ. රාජකුමාරිගේ මරණය එම බලය යලි ස්ථාපිත කිරීමට දරණ ලද උත්සාහයක ප්‍රථිපලයක්. මෙය තාජුඩීන්ගේ සිදුවීමට සමරෑපීයි.
රාජ්‍යය තමන්ගේ පරමාධිපත්‍ය බලය පවතින සිවිල් නීතියට පිටතින් ස්ථාපිත කිරීමට යාමේදී මුලින්ම ඉලක්ක ගත වන්නේ එම සමාජයේ ආන්තික වී සිටින සුළු ජාතිකයන්, පහළ පන්තිකයින්, සංක්‍රමණිකයන්, සමලිංගිකයන්, මානසික ගැටළු තිබෙන පුද්ගලයන්, සිරකරුවන් වැනි ජන කොටස්. රාජ කුමාරි දමිළ වතු කම්කරු කාන්තාවක් වීම අහම්බයක් නොවෙයි.
අගම්බෙන් පවසන්නේ මෙවන් පුද්ගලයින් ඉලක්කකරගෙන සිදුවුනද ඒ හරහා සමස්ත සමාජයේ පොදු දේශපාලනයම ව්‍යුහගත වෙන බවයි.
ඔහු පවසන ආකාරයට නූතන රාජ්‍යයන් ව්‍යාතිරේඛී තත්වයන් නිර්මාණය කරමින් අපගේ ජීව විද්‍යාත්මක තලයේ ජීවිතය bare life [zoe] සහ සමාජ දේශපාලනික තලයේ ජීවිතය qualified life (Bios) තුළට කඩා වදිනව. මේ මොහොතේ අපගේ දේශපාලන අභියෝගය තමයි මෙමගින් සිරගතවන පුරවැසි සමාජය ඒයින් පිටතට ගැනීම.
ශ්‍රී ලංකාවේ වර්තමාන රාජ්‍යය ඒක් පැත්තකින් වෙළදපළ තුළින් රාජ්‍යය ඉවත් විය යුතුයි යන දේශපාලන අලංකාරෝක්තිය ප්‍රවර්ධනය කරමින් තවත් පැත්තකින් ව්‍යාතිරේඛී තත්වයන් නිර්මාණය කරමින් මුළු සමාජයම රාජ්‍යය තුළට උරා ගනිමින් සිටිනව. වර්තමාන රජය ත්‍රස්ථවාදය වැලැක්වීමේ පණත් සංශෝධනය හරහාද සිදු කිරීමට උත්සාහ කරන්නනේ ද මෙයයි ‍
මෙනිසා රාජකුමාරිගේ සිදුවීම හුදෙක් ශොචනීය අහඹු සිදුවීමක් ලෙස සැලකීමට නොහැකියි. එය රාජ්‍ය දිගින් දිගටම පුරවැසි සමාජය මත ව්‍යාතිරේඛී තත්වයන් (state of exception) නිර්මාණය කරමින් පරමාධිපත්‍ය බලය ස්ථිපිත කිරීමේ නිරන්තර උත්සාහයේම තවත් එක් ස්වරෑපයක්. අද දිනයේ රාජ කුමාරි හෙට දිනයේ අප විය හැකියි.
රාජකුමාරිගේ ජීවිතයට සාධාරණයක් ඉල්ලීමේ සටන මේ මොහොතේ අප සැමගෙම සටනක් විය යුත්තේ එබැවිනි.
බුද්ධික බණ්ඩාර මුහුණූ පොතිනි.

Archive

Latest news

Related news