Saturday, April 27, 2024

නීතිඥ සංගමය, කම්කරු අයිතිය මැඩළීමට උඩ ගෙඩි දුන්නාද? ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ ප්‍රශ්ණ කරයි!

ඡායාරූපය: ශ්‍රී ලංකාවේ කම්කරු නීති තන්ත්‍රය සහ නීති විද්‍යාව ශ්‍රී ලංකා ආර්ථිකය සහ සමාජ සංවර්ධනය තුල  කම්කරුවන්ගේ ගෞරවය සහ වටිනාකම සුරක්ෂිත කිරීම සඳහා කරන ලද දැඩි අරගලවල ජයග්‍රහණකි.

සේ. පියවර්ධන විසිනි.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව හොර රහසේම ගෙන ඒමට වලිකන කම්කරු අයිතිය මැඩළන නීති ප්‍රතිංස්කරන සඳහා නීතිඥ සංගමය උඩගෙඩි දෙන්නේ ද යන් ප්‍රශ්ණය දැන් මතුව තිබේ. දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන විසින් අතිශය දරුනු පනතක් ලෙස හෙළා දකින ලද ‘ත්‍රස්ත විරෝධී පනත’ සකස් කිරීමට ද නීතිඥ සංගමයේ ප්‍රධානියකු හවුල් වී තිබුණි. එම පනත ගැන  ලාවට ප්‍රකාශයක් කළ නීතිඥ සංගමය කියා සිටියේ වැඩිදුර අධ්‍යනය කොට දීර්ඝ ප්‍රකාශයක් කරන බවයි. එනමුත් එම ප්‍රකාශය දැන් දියවන්නාවේ ගිලී ගොස් තිබෙන සැටියකි.
දැන් ‘ප්‍රජාතන්තවාදය සඳහා නීතිඥයෝ’ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කළ බව පෙනී ගිය කණිෂ්ක වීරසිංහ නම් නීතිඥයකු ආණ්ඩුවේ මර්දනකාරී සැළැස්මට දායක වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ‘ප්‍රජාතන්තවාදය සඳහා නීතිඥයෝ විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.
කම්කරු අමාත්‍යාංශය විසින් කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව 2023 මැයි 10 වැනි දින පැවති උපදේශනයෙදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ඉදිරිපත් කල බව පෙනී යන කරුණු සම්බන්ධයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ’ සම කැඳවුම්කරු ලාල් විජේනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා වෙත 2023 මැයි 23 වන දිනැති සිය ලිපිය මගින් කනස්සල්ල පළකර ඇත. එම උපදේශන සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කළ බව පෙනී ගිය කණිෂ්ක වීරසිංහ මහතාගේ නම් කිරීම සහ ඔහු විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සකස් කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව නීතිඥ කණ්ඩායම ප්‍රශ්න මතු කර ඇත.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති තන්ත්‍රය සහ නීති විද්‍යාව ශ්‍රී ලංකා ආර්ථිකය සහ සමාජ සංවර්ධනය තුල  කම්කරුවන්ගේ ගෞරවය සහ වටිනාකම සුරක්ෂිත කිරීම සඳහා කරන ලද දැඩි අරගලවල ජයග්‍රහණ බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ අවධාරණය කරති. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සුරක්ෂිත කර ඇති සමාජ හා ආර්ථික අයිතිවාසිකම්වල ප්‍රමිතිය කම්කරු නීති මගින් පිළිබිඹු වේ.
මෙම කාරණයට අදාළ ඕනෑම ජාතික කතිකාවක් අයිතීන් ආපස්සට ගෙන යන පසුගාමී එකක් නොවිය යුතු අතර, සාක්ෂාත් කර ඇති සමාජ අයිතීන් එමගින් ක්‍රමානුකූලව වැඩි දියුණු කළ යුතුය. ජාතික වැදගත්කමකින් යුත් මෙම මාතෘකාව සම්බන්ධයෙන් කෙරෙන ඕනෑම මැදිහත්වීමක්, විශේෂයෙන්ම සෘජුව බලපෑමට ලක්වූ සියලුම පාර්ශ්වකරුවන් වන වැඩකරන ජනතාවගේ අදහස් පිළිබිඹු කළ යුතු බව ලිපියේ සඳහන් වේ.
කම්කරු නීතියේ හරය වන්නේ සේවකයා සහ සේවායෝජකයා අතර සම්බන්ධතාවයේ බල අසමමිතිය හේතුවෙන් සිදුවන සූරාකෑමෙන් සේවකයා ආරක්ෂා කිරීම රාජ්‍යයේ කාර්යභාරය ලෙස පිළිගැනීමය. නිෂ්පාදන ශ්‍රමයේ අභිමානය රටේ ආර්ථික ප්‍රතිපත්තියේ ලක්ෂණයක් විය යුතුය.
කම්කරු හා වෘත්තීය සමිති අරගල මගින් දින ගෙන ඇති මූලික ආරක්ෂාවන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ කර්මාන්ත සහ කෘෂිකාර්මික අංශවලට ඇති පීඩනය හමුවේ සිදුකෙරෙන කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිලිබඳ සාකච්ඡා මගින් ක්ෂය කිරීමේ නැඹුරුව පිලිබඳව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ අනතුරු හඟවති.

ලාල් විජේනායක, කේ.එස්. රත්නවේල්, ජයම්පති වික්‍රමරත්න සහ අර්මිසා ටීගල් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ එකමුතුවේ කැඳවුම්කරුවෝ වෙති.

Archive

Latest news

Related news