Thursday, April 25, 2024

“අපි උපයපු ඩොලර් කෝ?” – කුසගින්නේ වැඩ කරන ඇඟලුම් සේවක සේවිකාවෝ -ජයනි අබේසේකර

වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්, ජීවන වියදම ඉහළ යෑමත් හේතුවෙන් අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව සිටිති. මේ ඒ පිළිබඳව කළ සොයාබැලීමකි.

‘නිදහස් වෙළෙඳ කලාපය’ එහි නමයි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු ලෙස සිය උපන් ගමේ නිදහසේ වාසය කළ නොහැකි වූ විට, ඔහු මේ කලාපයට පා තබන්නේ ආර්ථික නිදහසත් සමාජීය නිදහසත් සොයාගැනීමටය.

“මම කලාපෙට ඇවිත් මාස නමයක් විතර වෙනවා. මෑන් පවර් කෙනෙක් විදියට වැඩ කළේ. ඒත් මට හරියට වැඩක් සෙට් වුණේම නෑ. කලින් වත්තල පැත්තේ සැමන් ෆැක්ටරියක වැඩ කළා. හරි අමාරු වැඩ දෙන්නේ. දවසට රුපියල් 1,500ක් දුන්නා. ඒකෙනුත් කම්පැනි එක ට්‍රාන්ස්පෝට්වලට කපා ගන්නවා. උදේ 6ට නවත්වන රෑ වැඩ මුරය උදේ 8.30 විතර වෙනකම් කරන්න ඕන. දැන් නම් මේ ප්‍රශ්න එක්ක මට කිසිම වැඩක් නෑ. කෙහොමත් මම වගේ අයට රස්සාවක් දෙන්න ෆැක්ටරි කැමති නෑ…”

සිය නම, ගම හෝ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වුවද ‘ඇය’ ලෙස උපත ලබා ‘ඔහු’ බවට සංක්‍රාන්තියට පත් මේ තරුණයා, මා සමඟ දිගටම කතා කරයි.

“මම බෝඩ්වෙලා ඉන්නේ මගේ පාට්නර් එක්ක. බෝඩින් ගාස්තුව දැන් 8,500ක් කරලා. ෆෑන් එකයි ෆෝන් එක චාජ් කරගන්න එකයි විතරයි පහසුකමකට තියෙන්නෙ. පුංචි කාමර කෑල්ලක් ඒක. උයන්නෙ එළියේ ළිපක් බැඳලා… ගෑස් නැති වුණා විතරක් නෙවෙයි දැන් අපිට ගෑස් ගන්න බෑ. මට රස්සාවක් නෑ. බෝඩින් ගාස්තු ගෙවන්න බැරි නම් අපිට යන්න කියල තියෙන්නෙ. ඇත්තම කිව්වොත් කන්න බොන්න විදියක් නෑ අපිට. ඒකයි මම මෙහේට ඇවිත් ඉන්නේ මොනව හරි වැඩක් හොයා ගන්න.”

මට ඔහු හමුවූයේ කටුනායක ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා (Stand Up Movement Lanka) සංවිධාන කාර්යාලයේදීය. ආර්ථික අර්බුදය සමඟ කලාපයේ රැකියා අහිමිව ගිය තරුණ තරුණියන් පිරිසක් එහි සිටිති. ඔවුන් සියලු දෙනාටම දිවා ආහාරය සැකසෙන්නේ එම කාර්යාලයෙහි පොදු කුස්සියේය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථීක අර්බුදයට අපි මුහුණ දෙමින් සිටින්නෙමු. අනේක විධ දේශපාලන කලබැගෑනි මධ්‍යයේ කෝවිඩ් වසංගතය විසින් ඇද දැමූ ආර්ථීක අර්බුදයෙන් හිස එසවීමටත් පෙරාතුව පාලක පන්තියේ වැරදි ආර්ථීක කළමනාකරණය විසින් අර්බුදය තීව්‍ර කරනු ලැබිණ. විදේශ මුදල් සංචිත පහත වැටීම, උද්ධමනය දැරිය නොහැකි තරම් ඉහළ යෑම, රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන හිඟය, පැය හත අටක දෛනික විදුලි කප්පාදුව, ආහාර හා අත්‍යාවශ්‍ය සේවාවන්හි හිඟය මෙන්ම මිල අධික ලෙස ඉහළ යෑම, ප්‍රවාහනය අඩපණ වීම යන සියලු ව්‍යාකූලතාවන්ගෙන් වඩාත්ම බලපෑමට හා අවදානමට ලක් වී ඇති කණ්ඩායමක් ලෙස නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයන් හඳුනාගත හැකිය.

“අපි 1200ක් ඇඟලුම් කම්හලේ වැඩ කරනවා. දෙමළ අය අඩුයි. සිංහල අය තමයි ගොඩාක් ඉන්නේ. එයාලා කන කෑම අපිට කන්න අමාරුයි. සමහර වෙලාවට කෑමවල පණුවෝ පවා ඉන්නවා. අපි ඒ ගැන පෙන්නලා දුන්නොත් ඒක තියලා වෙන කෑම එකක් ගන්න කියලා කියනවා.”

පණුවෝ එක්ක කෑම”

කලක් කම්කරු අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සටන් කළ මේ සංවිධානවලට දැන් අතිරේක රාජකාරියක්ද පැවරී තිබේ.

ආර්ථීක අර්බුදය සමඟ කලාපයේ රැකියා අහිමිව ජීවත් වීම අර්බුදයක් වූ බොහෝ ශ්‍රමිකයන්ට කෑම වේල සපයන්නට පවා දැන් කටයුතු කරනුයේ කලාපයේ ශ්‍රමික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති කිහිපයකි. ඔවුන් සියලු දෙනාම පාහේ ඒ වෙනුවෙන් පොදු කුස්සි පවත්වාගෙන යති.

“හැම විදියකින්ම පාරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වයට සාපේක්ෂව බෝඩින් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ආහාරවලට යන වියදම් නතර කරන එක තමයි ගොඩක් අය කළේ. රෑට තේ එකක් බීලා උදේට වැඩට ගිහින් එතනින් දෙන කෑම එක කනකම්..” ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා අශිලා දන්දෙනිය මා සමඟ කීවාය.

“මේ ළමයින්ට දැන් තුන්වේල කන්න නෑ. තනි මව්වරු ඉන්නවා. ගර්භනී කාන්තාවෝ ඉන්නවා. ඒ නිසා පොදු කුස්සිය අපිට කරන්න වෙලා තියෙනවා. ආයතනවලින් දෙන කෑම එක කිසිම පෝෂදායී බවක් නෑ. උදේට දවල්ට වට්ටක්කා, සෝයා මීට්, බත් තමයි කන්න දෙන්නෙ. වතුර බිව්වොත් වෙෂ්රූම් යන්න වෙනවා. වොෂ්රූම් ගියොත් ටාගට් එක කවර් කරන්න බැරි වෙයි කියල බයට මේ ළමයි වතුර බොන්නෙ නෑ.. ” ඒ, ඩාබිඳු සාමූහිකයේ ජාතික සම්බන්ධිකාරීක චමිලා තුෂාරි ගේ හඬය.

දකුණේ ඇඟලුම් ශ්‍රමිකයින් එසේ සිය වේදනාව හෙළි කරද්දී, උතුරේ කම්කරුවන්ගේ අත්දැකීමද එයට නොදෙවෙනිය. ඇය, වව්නියාව හයිඩ්‍රාමනි ආයතනයේ වසර අටක් තිස්සේ වැඩ කරන සේවිකාවකි.

“අපි 1200ක් ඇඟලුම් කම්හලේ වැඩ කරනවා. දෙමළ අය අඩුයි. සිංහල අය තමයි ගොඩාක් ඉන්නේ. එයාලා කන කෑම අපිට කන්න අමාරුයි. සමහර වෙලාවට කෑමවල පණුවෝ පවා ඉන්නවා. අපි ඒ ගැන පෙන්නලා දුන්නොත් ඒක තියලා වෙන කෑම එකක් ගන්න කියලා කියනවා. ඒ කෑම එක අයින් කරත් කෑම ඔක්කෝම උයන්නේ එකටමනේ. වෙනම අලුතින් කෑම දෙන්නේ නෑනේ. කලින් කෑම එකකට රුපියල් 30ක් අඩු කළා. දැන් රුපියල් 46ක් ගන්නවා. රුපියල් 30,000ක වගේ වැටුපක් තමයි ලැබෙන්නෙ. ඒකෙනුත් රුපියල් 2,000ක් 3,000ක් කෑමට යනවා.”

ශ්‍රමයට සරිලන වැටුපක් නොමැති රටේ ආර්ථීකය සරිකරන මෙම තරුණ කාන්තාවන්ට පෝෂ්‍යදායී සහ ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ආහාර ලැබෙන්නේ නැත. අතිබහුතරයක් කාන්තාවන් වැඩකරන ක්ෂේත්‍රයක හදිසි ඔසප් වීමකදි අදින්නට සනීපාරක්ෂක තුවා ලබා දීම හෝ එය දැරිය හැකි මිලකට ගන්නට සැලැස්වීම හෝ කර්මාන්තකරුවන්ට අවශ්‍යය නැත. ඔවුන් හරහා වැඩ ඉලක්ක සපුරා ගැනීම මිස ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබඳ තැකීමක් කර්මාන්තකරුවන්ට හෝ ආණ්ඩුවට නැති බව පැහැදිලිය.

“අපිට පීරියඩ් වුණාම පෑඩ් ගන්න එකත් දැන් අමාරුයි. සමහර වෙලාවට අපේ අතේ සල්ලි තිබුණොත් අපිට සල්ලිවලට ගන්න පුළුවන්. කලින් රුපියල් 10යි. ඊට පස්සේ රුපියල් 15යි. දැන් එකක් රුපියල් 30යි.” ඇය වැඩිදුරටත් පවසන්නීය.

150,000කට රැකියා අහිමියි

කොරෝනා වසංගතය පළමු පහර එල්ල කරන්නේද ආර්ථික අර්බුදය විසින් ඇති කළ පීඩනයේ බරපතළම පහර එල්ල වන්නේද සමාජයේ දුර්වල, අවවරප්‍රසාදිත, සහ තර්ජනයට ලක්ව ඇති කලාපයන් වෙතයි. වෙළෙඳ කලාපය යනු එවන් තැනකි.

ඒ ගැන මා සමග අදහස් දක්වමින් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සභාපති, ඇන්ටන් මාකස් පැවසුවේ ආර්ථික අර්බුදය තුළ නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයන් අද අත්දකින යථාර්ථය කොරෝනා අර්බුදයේම දිගුවක් බවය.

කලාපය තුළ කොව්ඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සමඟ 2021 අප්‍රේල් මස වන තෙක් වසා දැමූ කර්මාන්ත ශාලා නැවත විවෘත කිරීමේදී දුරස්ථතාවය පවත්වා ගැනීමට සේවකයන්ගෙන් 50%ක් පමණක් ගෙන්වීමට ආණ්ඩුව ගත් තීරණය ඔස්සේ සේවායෝජකයෝ, සේවකයන් ඉවත් කිරීමට පියවර ගත්හ.

“ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය ප්‍රසිද්ධියේ කිව්වා ඔවුන්ගේ ඇඟලුම් සේවක සේවිකාවන් ලක්ෂ 5ක් ඉන්නවා මේකෙන් ලක්ෂ 3ක් අයින් කරන්න ඕන කියලා. නමුත් අපේ ඉල්ලීම වුණේ 50%ක් වැඩට ගෙන්වනවා නම් ඉතිරි අයට මූලික වැටුපෙන් 50%ක් හෝ රු. 14,000ක මුදලක් දිය යුතු බවයි. සේවායෝජකයන් මේකට එකඟ වුණා. මේ ක්‍රමය නිසා රැකියා අහිමි වීම විශාල ප්‍රමාණයකින් අපට අවම කර ගන්න පුළුවන් වුණා,” ඇන්ටන් මාකස් පැවසීය.

“ඒත් සමහර සේවායෝජකයින් වසංගතය පාවිච්චි කරල සේවකයන්ට දෙන ප්‍රවාහන පහසුකම් නතර කෙරුවා. ඒ කාලේ පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වුණේ නෑ. අතින් වියදම් කරගෙන සේවකයන්ට වැඩට එන්න තරම් මුදලක් ලැබෙන්නෙ නෑ. අතිකාල නැතුව සේවකයන්ට වැඩ කරන්න සිද්ධ වුණා. ඕඩර්ස් අඩු වුණා. චීනයේ අමුද්‍රව්‍ය මත තමයි අපේ මුළු කර්මාන්ත ව්‍යුහයම රැඳිලා තියෙන්නෙ. වසංගතය එක්ක අමුද්‍රව්‍ය සපයා ගැනීම විශාල අර්බුදයක් වුණා. දිරි දීමනා නැති කළා, පැමිණිමේ දීමනා නැති කළා. ඇතැම් කර්මාන්ත හිමිකරුවන් උදේට දෙන ආහාර වේලත් නැති කළා. මේවා හරහා සේවකයන් විසින්ම වැඩට නොඑන තත්ත්වයක් ඇති කළා. අපිට තියෙන වර්තාවලට අනුව, ඇඟලුම් කර්මාන්තයේ 150,000ක් පමණ රැකියා අහිමි වුණා කොවිඩ් නිසා.”

ශ්‍රී ලංකාව ඇඟලුම් නිමවන්නේ ප්‍රබල සන්නාමකරුවන්ටය. එහෙත් ඔවුන් මහා පරිමාණයෙන් ලබන ලාභයෙන් කොටසක් මෙම බහුපාර්ශ්වීය වෙළෙඳාමේ පහළම ස්ථරය නියෝජනය කරන ඇඟලුම් ශ්‍රමිකයන් වෙත ගලා යන්නේ නැත.

අපි උපයපු ඩොලර් කෝ?”

“මේ අර්බුදයට හේතුව හැටියට ආණ්ඩුව කිව්වේ අපිට ඩොලර් නෑ කියලා. හැබැයි අපේ සේවකයෝ අපෙන් ඇහුවා අපි උපයපු ඩොලර් කෝ කියල. මේක බරපතළ වගේම සාධාරණ ප්‍රශ්නයක්,” ඇන්ටන් මාකස් පෙන්වා දෙයි.

වසංගත සමයේ සියලු ආයතන පමණක් නොව කම්කරු දෙපාර්තමේන්තුව පවා වසා දමා සියලු දෙනා ආරක්ෂිතව නිවෙස්වල සිටියදි අඛණ්ඩව රැකියාවට වාර්තා කරමින් ආදායම් උත්පාදනය කළ ඇඟලුම් ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට සාධාරණයක් ඉටු වී නැතුවා මෙන්ම ආර්ථීක අර්බුදයේ වන්දිය ගෙවීමටද ඔවුන්ට සිදු වී තිබීම මෙහි ඛේදජනක තත්ත්වයයි.

ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධානතම අපනයන කර්මාන්තයක් සහ විදේශ විනිමය මුලාශ්‍රයකි. රට තුළට විදේශ විනිමය ගෙන එමින් ආර්ථීකයේ විශාලම පංගුව දරන්නන් අතර ඇඟලුම් ක්ෂේත්‍රයට හිමි වන්නේ දෙවැනි තැනය. මෙරට දළ දේශිය නිෂ්පාදිතයට 7%ක් එක් කරන ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම, රටේ සමස්ත අපනයන ආදායමෙන් 44%කට වැඩිය. 2022 දෙසැම්බර් වන විට, ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5.6ක ආදායමක් වාර්තා කළ අතර, 2021 සිට 10%ක වැඩි වීමක් සහ 2019 සිට 5.6%ක වැඩි වීමක්, පූර්ව වසංගත සන්දර්භය තුළ පවා වාර්තා කිරීමට සමත්ව තිබේ.

ඇමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, (Department of Commerce) හි දැක්වන පරිදි, “ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය පසුගිය දශක හතර තුළ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇති රටේ ආර්ථිකයේ ප්‍රධාන අංශයන්ගෙන් එකකි. 2021 වසරේ අපනයන වාර්ෂිකව 22.93%කින් ඉහළ යාමෙන් පසු මෙම අංශයේ වටිනාකම ඩොලර් බිලියන 5.42 දක්වා ළඟා විය. ආර්ථික අර්බුදය හේතුවෙන් යෙදවුම් සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් දේශීය සැපයුම් දාමයේ වැඩි ආයෝජන හරහා 2025 වන විට රටේ ඇඟලුම් අංශය ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්ක කරයි.”

එවන් ලාභ උත්පාදනය කරන කර්මාන්තයක කොඳුනාරටිය වන් ඇඟලුම් ශ්‍රමිකයන්, කොවිඩ් වසංගත සමයේදිත් ඉන් නොනැවතී වත්මන් ආර්ථීක අර්බුදය තුළත් විශාලම වන්දිය ගෙවන පිරිස වීම ඛේදවාචකයයි. NEXT, Nike, Victoria’s Secret, Levi’s, PVH (Calvin Klein and Tommy Hilfiger), Ralph Lauren වැනි ගෝලීය සන්නාමයන් සඳහා ගුණාත්මක සහ අගය එකතු කළ ප්‍රධානම නිෂ්පාදකයෙකු ලෙස ලංකාව ගොඩනැගී ඇත්තේ මෙම ශ්‍රමිකයන්ගේ දහඩිය කඳුළිනි. ශ්‍රී ලංකා ආර්ථිකයට අත්‍යවශ්‍ය වූ මෙම කම්කරුවන් බොහෝ දුරට ගෝලීය සැපයුම් දාමයේ සැඟවුණු ශ්‍රම බලකායේ කොටසක් වන අතර ඔවුන් සමාජ ආරක්ෂණයක් නොමැති, යැපුම් මට්ටමට යන්තමින් සරිලන වැටුප පවා ආර්ථීක අර්බුදය තුළ අහිමිව ගිය පිරිසක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව ඇඟලුම් නිමවන්නේ ප්‍රබල සන්නාමකරුවන්ටය. එහෙත් ඔවුන් මහා පරිමාණයෙන් ලබන ලාභයෙන් කොටසක් මෙම බහුපාර්ශ්වීය වෙළෙඳාමේ පහළම ස්ථරය නියෝජනය කරන ඇඟලුම් ශ්‍රමිකයන් වෙත ගලා යන්නේ නැත.

“මේ ගැන ලෝකයෙම විශාල කතිකාවක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ඇතැම් සන්නාමකරුවන් ඔවුන්ගේ ලාභය සේවකයන්ට දීමනාවක් හැටියට ලබා දෙන්නත් කටයුතු කරල තියෙනවා. ඒ වගේම අපනයනකරුවන් අපනයන ආදායම සම්පූර්ණයෙන් රටට ගෙනත් නැහැ. අමුද්‍රව්‍ය ගෙන්වන කොට මිල අධික ලෙස පෙන්වන්නත් ආදායම අඩු කර පෙන්වන්නත් මොවුන් කටයුතු කරල තියෙනවා.” අශිලා දන්දෙනිය අවධාරණය කළාය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පෙන්වා දෙන්නේ, හතර දෙනෙකුගෙන් යුතු පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 85,000ක් පමණ වන පමණ බවත් අද වන විට එය තවත් වැඩී ඇති බවයි.

අවම වැටුප සහ උපරිමය

ඇය සිය නම් ගම් හෙළි කිරිමට අකමැති වූවාය. ඇය ,වව්නියාව ඕමේගා ඇඟලුම් කර්මාන්තශාලාවේ අවුරුදු දෙකහාමාරක කාලයක් වැඩ කළ තරුණියකි. ඇයගේ පියා වකුගඩු රෝගයෙන් පීඩා විඳින අතර පියා තදබල ලෙස අසනීප වූ විටෙක ඇය රැකියාවට නොගියාය. “සති දෙකකට පස්සේ ෆැක්ටරියෙන් මට එන්න කියල පණිවිඩයක් ආවා. ගියාම කිව්වා ඔයාට ඕන පවුල බලන්නද වැඩ කරන්නද කියල මගේ වැඩ නැවැත්තුවා.”

පසුව ඇය හයිඩ්‍රාමනි කර්මාන්තශාලාවේ වැඩට එක්විය. “තාත්තාට වකුගඩු අමාරුව තියෙන්නේ. සතියට දවස් දෙකක් රෝහලේ නවතින්න ඕනේ. තාත්තා රෝහලට අරගෙන යන්නත් සල්ලි නෑ. ලැබෙන රුපියල් 28,000ක මුදලින් කෑම කනවාද, නැත්නම් තාත්තාට බෙහෙත් ගන්නවාද කියලා හිතන්න වෙලා තියෙන්නෙ..”

ශ්‍රී ලංකාවේ ජාතික අවම වැටුප රු. 16,000කි. වෙළෙඳ කලාපයේ එය 19,000 සිට 25,000 දක්වා අගයක් ගනියි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවක සේවිකාවන් 20කගේ නියැදියකින් කළ සමීක්ෂණයෙන් ඒ බව වඩාත් තහවුරු වේ. අතිකාල දීමනා, දිරි දීමනා සහ පැමිණීමේ දීමනා එකතුව එම අගය 30,000- 35,000ත් අතර උපරිම අගයක් ගන්නා බව පැහැදිලි වේ.

සිව් දෙනෙකුගෙන් යුතු පවුලක් නඩත්තු කිරීම පිණිස රුපියල 2500ක් ප්‍රමාණවත් බව වරෙක කැබිනට් ඇමතිවරයෙක් කීවා අපට මතකය. එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පෙන්වා දෙන්නේ, හතර දෙනෙකුගෙන් යුතු පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 85,000ක් පමණ වන පමණ බවත් අද වන විට එය තවත් වැඩී ඇති බවයි.

ඒ අනුව ඇඟලුම් ශ්‍රමිකයන්ගේ අවම ජීවන වියදම හා අවම වැටුප අතර සුවිසල් පරතරයක් ඇති බව පැහැදිලි වේ.

කටුනායක නිදහස් කලාපයේ පමණක් 2020 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ විවිධ හේතු දක්වමින් සේවකයන්ට අහිමි කළ මුදල ඩොලර් මිලියන 24ක් බව ඇන්ටන් මාකස් පෙන්වා දෙයි.

සේවක වැටුප් සොරකම

ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%කට රැකියා සපයන අංශයයි. එය ආසන්න වශයෙන් මේ වන විට 350,000 වන ශ්‍රමිකයන් සේවයේ යොදවන ක්ෂේත්‍රයකි. එහි ශ්‍රමිකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන්ය. මෙම ශ්‍රම බලකායේ අතිබහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවලින් සංක්‍රමණය වූවන් වන අතර ඔවුන් වසර ගණනාවක් කලාපය ආශ්‍රිතව ජීවත් වී තිබුණද එහි ස්ථිර ලියාපදිංචියක් නැත. එනිසාම රජය විසින් ලබා දෙන කිසිදු වරප්‍රසාදයක් හෝ දීමනාවකට ඔවුහු හිමිකම් නොකියති. එපමණක් නොව ඔවුන්ට හිමි සොච්චම් වැටුපද සොරකම් කිරීමට පාලකයන් කටයුතු කළ බවට ක්‍රියාකාරීහු චෝදනා කරති.

කටුනායක නිදහස් කලාපයේ පමණක් 2020 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ විවිධ හේතු දක්වමින් සේවකයන්ට අහිමි කළ මුදල ඩොලර් මිලියන 24ක් බව ඇන්ටන් මාකස් පෙන්වා දෙයි.

“කොවිඩ් පළමු රැල්ලෙදිම මාස තුනක් දක්වා විතරක් සේවකයන්ට අර්ධ වැටුප් ගෙවන්න කම්කරු දෙපාර්තමේන්තුව එක්ක එකඟ වුණත් කම්පැණි කළේ 2020 මැයි ඉඳලා 2021 මාර්තු වෙනකම් කාලයක් පඩි භාග ගෙවපු එක. ඒ අනුව මාස 8ක කාලයක් තිස්සේ සේවකයන්ට අර්ධ වැටුප් ගෙවමින් පැහැදිලිව වැටුප් සොරකම් කිරීමක් කරල තියෙනවා,” මේ වැටුප් සොරකමෙන් පාලකයන් ට්‍රිලියන ගණන් ලාභ ලැබූ බව චමිලා තුෂාරි පවසයි. ඇය පවසන පරිදි, සේවකයන් වැටුප් ලබන්නේ රුපියල් වලින් වුවද ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ කර්මාන්ත හිමියන් ලාභ ලබන්නේ ඩොලර්වලින්ය. එහෙත් එහි ප්‍රතිලාභ කම්කරුවාට නොලැබේ.

වෘත්තීය සමිති ඉල්ලීම මත රුපියල් 10,000ක ආර්ථීක සහන දීමනාවක් කම්කරුවන්ට ගෙවීමට ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කර්මාන්තකරුවන් පියවර ගත්තද ක්‍රමයෙන් මුදල අඩු කර ගෙවීමටද පසුව එය පැමිණිමේ දීමනාවට සම්බන්ධ කරමින්, එක් දිනක් හෝ වැඩට නොපැමිණෙන්නේ නම් සම්පූර්ණ මුදලම කපා හැරීමටද පියවර ගත් අතර එය අඛණ්ඩව ක්‍රියාත්මක නොවූ බව ක්‍රියාකාරීහු පවසති.

පවුල් තුනක හිමිකාරීත්වය යටතේ තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා කිහිපයක්ම, ලංකාවේ කර්මාන්තශාලා වසා දමා බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවලට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.

පවුල් තුනක බලය

“ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 400ක්. එයින් 200ක් ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා. මේ 200න් 120ක් අයිති ප්‍රධාන පවුල් තුනකට. මේ ප්‍රධාන ඇඟලුම් සමාගම් තුන තමයි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මෙහෙයවන්නෙ. ඉතිරි ඇඟලුම් කර්මාන්තශාලා 200න් තවත් කර්මාන්තශාලා 20ක් අයිති වෙන්නෙත් මේ අයටමයි. අනෙක්වා කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා. මේ කර්මාන්තශාලා බොහෝ දුරට කළේ ප්‍රධාන කර්මාන්තශාලාවල උප කොන්ත්‍රාත් වැඩ.” ඇන්ටන් මාක්ස් විස්තර කළේය.

තමන්ට තිබෙන තොරතුරු අනුව මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා හතළිහකට වඩා වැසී ගොස් ඇති බව ඇන්ටන් මාකස් පෙන්වා දෙයි. පවුල් තුනක හිමිකාරීත්වය යටතේ තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා කිහිපයක්ම, ලංකාවේ කර්මාන්තශාලා වසා දමා බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවලට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.

මෙම ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා වැඩි වශයෙන් සේවකයන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව ක්‍රියාකාරීන්ගේ චෝදනාවයි.

අත්හැර යෑමට බල කිරීම

සිය නම හෙළි කිරීමට අකමැති වූ කටුනායක වෙළෙඳ කලාපයේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක් මා සමඟ කියා සිටියේ මහපු ස්ටොක් තවම ඉතිරිව තිබෙන නිසා ඒවා අවසන් වන තෙක් මුලික වැටුප පමණක් දී ආයතනය සේවකයන්ගේ වැඩ නතර කළ බවයි.

“අපිට මාස හත අටක්ම ජොබ් එක නැතුව ඉන්නේ. මෑන් පවර් වැඩත් නෑ. බෝඩින් කුලී ගෙවන්න ඕන. ගෙවල්වලට සල්ලි යවන්න ඕන… ගෙදර දරුවෝ අම්මලා තාත්තලා ඉන්නවා. අපි ගොඩක් වැටිලා ඉන්නේ… ගාමන්ට් ෆැක්ටරි වැහුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? ලයිට් බිල් වැඩි වුණ ගමන් බෝඩින් ගාස්තු වැඩි කරනවා. බඩු මිල හරි අඩු කරනවා නම් ලොකු දෙයක්. අපේ රස්සාව බේරල දෙන්න කියල තමයි රජයේ ආයතනවලින් ඉල්ලන්නේ.”

අවුරුද්දකට අඩු සේවා කාලයක් ඇති සේවකයන්ට වන්දි ලබා දීමක් අනවශ්‍ය හෙයින් පහසුවෙන් වැඩ නතර කිරීමට පාලකයන් කටයුතු කර ඇත.

“උතුරේ සතියට වැඩ දවස් හතරයි. දවස් තුනක් නිවාඩුයි. දවස් හතරෙන් එක දවසක් හරි වැඩට නොගියොත් රස්සාව නෑ. ප්‍රධාන පෙළේ ෆැක්ටරියක් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 4 වෙනිදා ඉඳලා සති දෙකකට වැහුවා. නමුත් දවස් 154ක් සේවකයන්ගේ මූලික වැටුප විතරක් දීලා වැඩ නවත්තලා තිබුණා.” යැයි චමිලා තුෂාරි පවසයි.

“මාර්තු මාසේ දෙවන සතියේ ඉඳලා අවුරුදු 10ට වැඩි සේවකයන් සහ අවුරුදු 5ට අඩු සේවකයන් කැඳවලා කියනවා එයාලගේ වෙනත් ආයතනයකට යන්න කැමතිද නැත්නම් වන්දි ලබා ගෙන අයින් වෙන්න කැමතිද කියලා. දැන් මේ සේවකයන් බොහෝ දෙනෙක් වන්දි අරන් නතර වෙලා තියෙනවා. අදාළ ලිපියේ තියෙන්නේ මේ අයගේ එකඟතාවය මත සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වන්දි දීලා අස්කරනවා කියල විතරයි. නමුත් කිසිම සාකච්ඡාවක් වෙලා නෑ,” චමිලා තුෂාරි වැඩිදුරටත් පවසුවාය.

“කොවිඩ් නිසා 150,000කට රැකියා අහිමි වෙන කොට ඉතිරිව හිටපු 350,000 දෙනාගෙන් 50,000කට පමණ මේ වන විට රැකියා අහිමිව තිබෙන බවයි අපේ තක්සේරුව. රටේ නීතියේ හැටියට මේවගේ අර්බුදයක් තියෙනව නම්, කර්මාන්තකරුවන්ට රැකියා සපයන්න බැරි නම් නිෂ්පාදනයක් නැතිනම් ඇණවුම් නැතිනම් එක්කෝ සේවකයන් කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න ඕන. නැත්නම් කම්කරු කොමසාරිස්ට ලියලා අවසර ගන්න ඕන.” නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සභාපති, ඇන්ටන් මාකස් පෙන්වා දෙයි.

ඒ අනුව වන්දි සුත්‍රයට අනුව වන්දි ගෙවීම කළ යුතුය. එහෙත් මෙය මග හැරීම සඳහා සේවකයන් විසින් රැකියාව අතහැර යන තත්ත්වයට පත් කිරීමට කර්මාන්තකරුවන් කටයුතු කරමින් සිටින බවට ක්‍රියාකාරීහු චෝදනා නගති.

එහෙත් චමිලා තුෂාරි පෙන්වා දෙන්නේ, ඇඟලුම් ඉතා ලාභදායී කර්මාන්තයක් බවයි. “25%ක් වගේ තමයි පිරිවැයට, ප්‍රවාහනයට, සේදුම් හා නැව් ගාස්තුවලට යන්නේ. 75%ක් විතර මේකෙන් ලාභ ලබනවා. ආසියාවේ දුප්පත්ම කොටස තමයි මේ ඇඟලුම් ක්ෂේත්‍රවල නියැලිලා ඉන්නේ. මේ අය නුපුහුණු සේවකයන්. මේකෙන් එළියට බැස්සම වෙනත් රැකියා සඳහා සුදුසුකමක් නෑ,” ඇය වැඩිදුරටත් පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම

කර්මාන්තකරුවන් රැකියා හා අනෙකුත් දීමනා, අතිකාල කප්පාදු කරමින් නියමිත වැඩ කාලසිමාව තුළ උපරිම නිෂ්පාදනයක් අවම ශ්‍රමිකයන් පිරිසකගෙන් බලාපොරොත්තු වීම අතිශය කනගාටුදායකය.

“පියවි සිහියෙන් මේ අයට දැන් වැඩ කරන්න බෑ. ඒ නිසා මත්ද්‍රව්‍ය අරන් තමයි මහන්නේ. එහෙම ගත්තම යක්කු වගේ මහනවා කියල තමයි කියන්නෙ. පැයට ටාගට් එක වැඩි කරා කොවිඩ් කාලේ. දැන් මේගොල්ලෝ මත්ද්‍රව්‍ය භාවිතා කරල ටාගට් එක ඇචීව් කරන්නෙ. උතුරේ ළමයි ඉන්නේ මානසික පීඩනයක. ටාගට් එක කවර් නොකළාම ළමයි ගෙන්නලා කැත විදියට ප්‍රසිද්ධියේ බණිනවා. උතුරේ ළමයෙක් ඒ වගේ සිද්ධියකට මුහුණ දීලා ඒක දරා ගන්න බැරිව ට්‍රිමර් එකෙන් අත කපාගන්නවා. ඉතින් මේ රස්සාව එක්ක පියවි සිහියෙන් ඒ ළමයින්ට ජීවත් වෙන්න බෑ,” ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පවසයි.

මේවා එක්ක අපිට කවුන්සලින් (මානසික උපදේශන) කරන්න වෙලා තියෙනවා. මේ ප්‍රශ්න එක්ක ගෘහස්ත හිංසන වැඩි වෙලා තියෙනවා. ඒත් පොලිසිවලට පැමිණිලි කරන්නේ නෑ. කළාට වැඩක් නෑ, ඒ ගැන තැකීමක් නෑ.

“මේ තත්ත්වය ඇතුළේ රැකියා අනාරක්ෂිතතාවයත් මතු වෙලා තියෙනවා. සේවකයන් අඩකගෙන් වැඩ ගනිමින් වැඩ ඉලක්කවලට යන්න බැරි වෙද්දි එළියේ තව වැඩ කරන්න පිරිස් ඉන්න බව කියමින් සේවකයන් බියට පත් කරනවා.” අශිලා දන්දෙනිය මා සමඟ පැවසුවාය.

“බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම් කලාපයේ සේවිකාවන්ගේ වැඩි වෙලා තිබෙනවා. ඒකට හේතුවක් අනාරක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා තියෙන උපත් පාලන ක්‍රම සඳහා මේ අයට වියදම දැරිය නොහැකි වීම.” අශිලා දන්දෙනිය පෙන්වා දෙයි.

ඇඟලුම් ශ්‍රමිකයන් අතිබහුතරයක් තම පවුල්වල ප්‍රධාන ආදායම් උත්පාදනය කරන්නෝ වෙති. ආර්ථික වශයෙන් ඔවුන් දුර්වලව ඇති පසුබිමක තම පවුලට දෙන දායකත්වය අවම වී හෝ තවදුරටත් එවන් දායකත්වයක් දැක්විය නොහැකි තත්ත්වයට පත්ව ඇත. කටුනායක ඇඟලුම් කලාපය ආශ්‍රිතව මා විසින් සිදුකළ සමීක්ෂණයෙන් පෙන්වන පරිදිද කටුනායක හා වව්නියාවේදී කතා බහ කළ ඇඟලුම් ශ්‍රමිකයන් සියල්ල කියා සිටි පරිදිත් තවදුරටත් පවුලට මුල්‍යමය දායකත්වය සැපයීම ඔවුන්ට අතිශය අසීරු වී ඇත.

එය එම ශ්‍රමිකයන්ට විශාල මානසික පීඩාවක්ව ඇති බව පැහැදිලිය. එනිසාම මානසික උපදේශන ලබා ගැනීම සඳහා ඇඟලුම් ශ්‍රමිකයන් වැඩි වැඩියෙන් තම සංවිධාන වෙත පෙර කවරදාටත් වඩා යොමු වෙමින් සිටින බව ක්‍රියාකාරීහු පවසති.

“බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම් කලාපයේ සේවිකාවන්ගේ වැඩි වෙලා තිබෙනවා. ඒකට හේතුවක් අනාරක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා තියෙන උපත් පාලන ක්‍රම සඳහා මේ අයට වියදම දැරිය නොහැකි වීම.” අශිලා දන්දෙනිය පෙන්වා දෙයි.

“ඒ වගේම අපිට නිශ්චිත වශයෙන්ම සංඛ්‍යා ලේඛන එක්ක ඉදිරිපත් කරන්න නොහැකි වුණත් මේ ශ්‍රමිකයන් ලිංගික වෘත්තිය සඳහා යොමුව ඇති බව පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන්ම මේ කලාපය අවට මසාජ් පාලර්වල කිසිම වේකන්සි එකක් නෑ. ඒවා පිරිලා තිබෙන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන්ගෙන්,” ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

අයිතිවාසිකම් අර්බුදය

වෙළෙඳ කලාපය ආශ්‍රිතව කටයුතු කරන වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන පසුගිය කාලයේදී දිගින් දිගටම පෙන්වා දුන්නේ මේ සේවක සේවිකාවන්ගේ ජීවන සහ රැකියා තත්ත්වය වෙනස් කළහොත් එය මෙම ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම ආර්ථීකයට විශාල පිටුවහලක් වන බවයි. නමුත් ඒ කෙරෙහි ප්‍රමාණවත් අවධායක් යොමු නොවීය. ඒ වෙනුවට ඇඟලුම් ශ්‍රමිකයන්ට සිදුව ඇත්තේ රාජ්‍ය කළමනාකරණයේ වැරදි සහ දේශපාලනික අත්තනෝමතිකකම් හේතුවෙන් උද්ගත වූ දරුණු ආර්ථීක අර්බුදයේද ගොදුරු බවට පත් වීමටය.

ආර්ථික ප්‍රතිසංස්කරණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති මේ මොහොතේ අයිතිවාසිකම් අහිමි, අවවරප්‍රසාදිත මෙම කලාපයන්ගේ සමාජ ප්‍රතිශක්තීකරණය, අවම මානව ප්‍රමිතීන් වර්ධනය කිරීමටද අවධානය යොමු විය යුතුය. මන්ද ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම යනු ඉන්ධන, විදුලිය සහ භාණ්ඩ අඛණ්ඩව සපයා ගැනීමත් ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමත් පමණක් නොව, ඒ වෙනුවෙන් දහඩිය කඳුළු හෙළන කලාපයන්ගේ මානව ප්‍රමිතීන් තහවුරු කිරීමද වේ. ඒ අර්ථයෙන් මෙය හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක් නොව අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් ලෙසද සැලකිය යුතුය.

ජයනි අබේසේකර

[email protected]

Archive

Latest news

Related news