Thursday, April 25, 2024

රනිල්ගේ තර්ජනයෙන් සිංගප්පූරු සමාගම් 04ක් කොටස් වෙළද පොළ හැර යයි

භූමි කම්පාවක්, කුණාටුවක්, සුනාමියක් වැනි අනතුරක් වේලාසන දැනෙන්නේ ගෙදර ඉන්න බලු පැටියට. ඔහුට එය සංවේදනය වන්නේ පෙරමෝන් (Pheromones) නැමැති රසායනිකය ඉව හරහා දැනීම නිසයි. ඒ වගේම උරග සතුන්ටත් එම පෙරමෝන ඉවෙන් දැනෙනවා. එම නිසා ඉදිරි විනාඩි කිහිපයේ වියහැකි අනතුරෙන් මිදීම සඳහා වහා ඔවුන් කටයුතු කරනවා. බලු පැටියෙක් නම් ඔහු බැඳ තිබෙන දම්වැල කඩාගෙන පැන දුවනවා. නැත්නම් කෑ මොර දෙමින් දඟලනවා. උරගයෙක් නම් ආරක්ෂිත ස්ථානයක් කරා වේගයෙන් ගමන් කරනවා. මොකද ඔවුන් දන්නවා තවත් දුරටත් රැඳී සිටීමෙන් තම ජීවිතය විනාශ වෙන බව.

අනතුර වේලාසන හඳුනා ගත් ආයෝජකයන්

ඒ ආකාරයෙන්ම, ඉදිරියේ ඇති වන අනතුර වේලාසන හඳුනාගත් ආයෝජකයන් තම ආයෝජන ලංකාවෙන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ලංකාවේ නෙස්ලේ සමාගම තම ව්‍යාපාරවලට කිසියම් ආකාරයක අනතුරක් ඇති වීමට නියමිත බව තේරුම් ගෙන පසුගිය දා ලංකාවේ කොටස් වෙළඳපොලින් ඉවත් වීමට තීරණය කරනවා. නෙස්ලේ සමාගම ඔවුන්ගේ කොටස් මිල දී ගෙන තිබෙන ගැණුම්කරුවන්ට නිවේදනය කළේ කොටසක් රුපියල් 1500/- බැගින් සමාගම ආපසු මිල දී ගැනීමට (Buy back) සූදානම් බව. ඔවුන්ගේ ඊලඟ පියවර කුමක් වෙයිද ?

මැයි 17 සිංගප්පූරුවේ Good Hope Holdings සමූහ ව්‍යාපාරයට අයිති සමාගම් හතරක් ලංකාවේ කොටස් වෙළඳපොලින් ඉවත් වී යනවා. ගුඩ් හෝප් (Good Hope PLC), ඉන්දු මැලේ (Indo Malay PLC), සෙලින්සින් (Selinsin PLC) සහ ශාලිමාර් (Shalimar PLC) කියන සමාගම් 04 කොටස් වෙළෙඳපොලින් ඉවත් වන බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට සහ කොළඹ කොටස් වෙළෙඳපොලට නිල වශයෙන් දැණුම් දී තිබෙනවා. ඒ අනුව, ගුඩ් හෝප් සමාගමේ කොටසක් රුපියල් 3,513කටත්, ඉන්දු මැලේ සමාගමේ කොටසක් රුපියල් 2,805කටත්, සෙලින්සින් සමාගමේ කොටසක් රුපියල් 2,593කටත්, ශාලිමාර් සමාගමේ කොටසක් රුපියල් 2,452කටත් ආපසු මිල දී ගැනීමට සූදානම් බව ඔවුන් සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවට දැණුම් දෙනවා. https://www.dailymirror.lk>business >news>singapore-based-Goodhope-Asias-four-subsidies-announce-plans-delist

ජනාධිපතිවරයකු විසින් වැසූ ලෝකයේ එකම කොටස් වෙළෙඳපොල

එසේනම් ඔබට කුමක්ද හිතෙන්නේ? මේ විදේශීය සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවලට පෙරමෝන රසායනිකය ඉවෙන් දැනී තිබෙනවා ද? ඔවුන් තම සමාගම් කඩා වැටීමේ අවදානම දැනී ඊට පෙර ඉවත් කර ගන්නවා වෙන්න බැරිද? හෙට අනිද්දා තව සමාගම් කීයක් මෙහෙම තම ආයෝජන ඉවත් කරගෙන යයිද? කොටස් වෙළෙඳපොල වසා දමන බවට තර්ජනය කළ ජනාධිපතිවරයාට ඒ සඳහා මහන්සි විය යුතු නැත. ඉබේම එය වැසෙනු ඇත. මෙසේ සමාගම් කොටස් වෙළෙඳපොලින් ඉවත් වීම (Delist) ලංකාවේ සිටින ආයෝජකයින්ට සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන පිරිස්වලට හිතකර පණිවිඩයක් නොවෙයි.

සමාගමකට කොටස් වෙළඳපොලට එකතු වීමට හෝ ඉන් ඉවත් වීමට විධිමත් හා නීත්‍යානුකූල ක්‍රමවේදයක් රටේ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභා පනතේ දක්වා තිබෙනවා. ඒ අනුව සමාගමක් ඉවත් වීම ප්‍රශ්නයක් නොවුනත්, සමාගම් මේ ආකාරයෙන් හදිසියේ ඉවත්වීම හරහා ආයෝජකයින්ට යන පණිවිඩය යහපත් නැහැ. මොකද කොටස් වෙළඳපොලක් රටක ආර්ථිකයේ පැවැත්ම කිරා මැන බලන මිණුම් දණ්ඩක් හැටියට සලකනවා.

IMF ඉලක්ක ඉටු වෙයිද ?

ලංකාවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ එකඟතා ගිවිසුමට අනුව 2023-2028 වසර 05 තුළ ඉටු කරගත යුතු ඉලක්ක රාශියක් තිබෙනවා. උදාහරණයක් හැටියට වැඩසටහනේ 06වන වගුවේ (Table 6, pp 46), 2023 වර්ෂය අවසන් වනවිට සෘජු විදේශ ආයෝජන (FDI) ඩොලර් මිලියන 950ක් ලබා ගත යුතු අතර 2024 එය ඩොලර් මිලියන 1,280ක් දක්වා වර්ධනය කළ යුතු වෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) 2022 වර්ෂයේ ඩොලර් බිලියන 1ක් උපයා ගැනීමට ඉලක්ක කළත් වසර අවසන් වනවිට ලබා ගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 783ක්. 2023 වර්ෂය සඳහා ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන 2ක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගැනීමට රජයේ තිබෙන උනන්දුව පේන්නට නැහැ. https://www.investsrilanka.com

වියට්නාමයෙන් පාඩම්

වියට්නාමය 2023 අප්‍රේල් මාසයේ පමණක් ඩොලර් බිලියන 3.4ක ආයෝජන ලබා ගෙන තිබෙනවා. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ ඩොලර් බිලියන 8.88ක ආයෝජන ලබා ගෙන තිබෙනවා. ඉන්දියාව ජනවාරි – මාර්තු කාලය තුළ ඩොලර් බිලියන 1.8ක ආයෝජන කැඳවාගෙන තිබෙනවා. https://www.vietnam -briefing.com ඉන්දියාවේ තෙලෙන්ගානා ප්‍රාන්ත රජය ඕනෑම විදේශ ආයෝජනයක් සඳහා පැය 48ක් තුළ අනුමැතිය ලබා දෙනවා. ලංකාවේ ආයෝජන අනුමැතියක් ලබා ගැනීමට අවුරුදු ගාණක් යනවා. ආයෝජන මණ්ඩලය One Stop Shop එකක් ඇති කරන බව ප්‍රකාශ කලත්, එය Many Stop Shop එකක් වී තිබීම ආයෝජන නොපැමිණීමට එක් හේතුවක්. එම නිසාම ආයෝජන මණ්ඩලය 1978 ආරම්භ කොට 2022 වසර දක්වා අවුරුදු 44ක කාලසීමටම උපයා ගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමේ දී ප්‍රධාන කරුණු තුනක් සලකා බලනවා. රටේ දේශපාලන ස්ථාවරත්වය, එහි සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ රටේ ව්‍යාපාරික වටපිටාව වගේම අදාළ නීති රෙගුලාසිවල පවතින හිතකර බව. මේ කියන්නාවූ කරුණුවලින් එකක් හෝ මේ වනවිට ලංකාවේ පවතිනවා ද?

කීමට ඇත්තේ මේ රජය මේ යන විදිහට පවතින සමාජ ආර්ථික අරබුදයෙන් ගොඩ එනවාට වඩා ඉක්මනින්ම විනාශය කරා යාම නම් පේන්නට තිබෙනවා. රටේ බහුතර ජනයාට මෙය අවබෝධ වන්නේ කවදා ද?

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
19.05.2023
(හුවමාරු කල හැක)

Archive

Latest news

Related news