Thursday, May 30, 2024

ටිහාරා සහ මෙලනි. නිවසින් ගිය  තරුණියන් දෙදෙනෙක්. දෛවයන් දෙකක්.

ඡායාරූපය: මෙලනි පැන ගිය පුවත.
බුද්ධික බණ්ඩාර.
දාහත් වියැති මෙලනි කෝඊ ගෙදරින් පැන යනව. දෙමාපියන්ට හිතාගන්නවත් බැහැ ඇයි ඇය ගෙදරින් පැන ගියේ කියල. ඇයට හැම දේම තියෙනව. ඒත් ඇය ගෙදරින් පැනල යනව. ඇයගේ අතුරුදහන් වීම එංගලන්ත පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවතක් වෙනව.
මෙලනි පසු කාලයක නිවසින් පැනයාම ගැන මෙහෙම කියනව. හැටේ දශකයේ ලන්ඩන් කියන්නේ අමුතුම තැනක්. අලුත් අලුත් විලාසිතා, රාත්‍රී සමාජ ශාලා, සංගීතය. ලිංගිකත්වය. මේ හැම දෙයක්ම. එළියේ සමාජය ජීවිතයෙන් පිරිල. ඒ කාලයේ ට්‍රෙන්ඩි වෙන්නනම් හැම දෙයක්ම ප්‍රංශ වෙන්න ඕනේ. ඒත් මගේ අම්මට ඕනවුනේ මාව ඈන් කුමරිය වගේ වෙනව දකින්න.
මම මගේ පෙම්වතා එක්ක පැනල ගියා.  සල්ලි වලට ගන්නට පුළුවන් හැම දේම මට ලැබිල තිබුන. දියමන්ති,  වටිනා ඇදුම්, වාහන. ඒත් මගේ අම්මයි තාත්තයි කිසිම දවසක මට ආදරෙයි කියල කියල තිබුනෙ නැහැ.
හැටේ දශකයේ එංගලන්තයේ සම්ප්‍රධායික වැඩිහිටි පරම්පරාව සහ  තරුණ පරම්පරාව අතර ගැඹුරු පරතරයක් තිබුන. ඔවුන්ට එකිනෙකා සමග සන්නිවේදනය කරන්න භාශාවක් තිබුනේ නැහැ. එකිනෙකාගේ ආශාවන්, අවශ්‍යතාවයන් සහ වගකීම් හදුනාගන්න අවකාශයක් තිබුනේ නැහැ. හරියට අද දවසේ ලංකාවේ වගේ.
මෙලනි වගේම දාසය වියැති ටිහාරාත්  දෙමාපියන්ට රහසින් ගමනක් යනව. ඇගේ පෙම්වතාව හමුවෙන්න. නිවස තුළ ආදරය සහ ජීවිතය අහිමියි. ඇය එසේ සිතුවා විය හැකියි. ඒත් සමාජය තුළ විශ්වාසය සහ ආරක්ෂාව අහිමියි.රේල්පාරක් අයිනේ ඇයගේ ජීවය වියැකුණු සිරුර හමු වෙනව.
නිවස තුළ අහිමි ආදරය සොයාගන සමාජය දෙසට පිය මනින අයට ගෙවන්න වෙන වන්දිය තමන්ගේ ජීවිතය නම් සමාජයක් ලෙස අප සිටින්නේ කොතැනද? අපට තවම බැරිවෙල තිබෙනව නිවසින් පිට සමාජය ආරක්ෂාකාරී තැනක් කරන්න. ඒ වෙනුවට අප කරන්නේ මියගිය ඇය පිට වරද පටවන එක. බොහෝ අයට ගැටඵව වුනේ ඇගේ නිරුවත් සිරුර. ඒත් ඒ හරහා අපි හැමෝම සමාජයක් ලෙසට නිරුවත් වුන බව අපට අමතක කරනව.
ටිහාරා පුවත්පත් තුළ, ගොසිප් සමාජ ජාලා තුළ නැවත නැවත ඝාතනයට වෙනව. ඒත් මෙලනි කෝඊ බටහිර සංගීත ලෝකයේ අනුස්මරණීය ගීතයකට උපත සපයනව. බීට්ල්ස් (Beatles) සංගීත කණ්ඩායමේ පෝල් මැකාට්නි මෙලනිගේ අතුරුදහන්වීමේ ප්‍රවෘත්තිය පත්තරයක දකිනව. ඔහු සහ ජෝන් ලෙනන් එක්ව ඒ සිද්ධිය ඇසුරෙන් ගීතයක් නිර්මාණය කරණව. She ‘s leaving home ඒ ගීතයයි.
බීට්ල්ස්ලා එදා එංගලන්ත සමාජයේ වැඩිහිටි පරම්පරාව සහ තරුණ පරම්පරාව අතර තිබූ ආතතිය නිර්මාණශීලී ලෙස සංවාදයක ස්වරෑපයකින් මෙම ගීතය හරහා මතුකරණව. සංගීත නිර්මාණය තුළදීත් ඔවුන් බටහිර සම්භාව්‍ය සංගීතය සහ පොප් සංගීතය මුහුම් කරමින් මෙම පරම්පරා වෙනස ගෙන එනව. මෙලනිගේ කෝණය මතුවන්නේ පෝල් මැකාට්නිගේ කට හඩින්. ජෝන් ලෙනන්ගේ හඩින් දෙමාපියන්ගේ කෝණය ඉදිරිපත් කෙරෙනව.
මෙම ගීතයේ සුවිශේෂතා කිහිපයක් තිබෙනව. එකක් තමයි මෙම ගීතය ලෝකයේ විශිෂ්ඨතම ගීත ඇල්බමයක් ලෙස සැළකෙන බීට්ල්ස්ලාගේ Sgt. Pepper’s Lonely Hearts Club Band හි ගීතයක් වීම. අනෙක මේ ගීතය තුළ රොක් ගීත සම්ප්‍රධායේ වෙනත් ගීත වල මෙන් පැරණි පරම්පරාවට එරෙහි තරුණ පරම්පරාවේ විරෝධයක් ලෙස නොව පරම්පරා දෙකෙහිම මානසිකත්වයන් ගැඹුරින් ආමන්ත්‍රණය කර තිබීම.
සංගීතය පැත්තෙන් ගත්තොත් සමහර විචාරකයන් මෙම ගීතය ඔස්ට්‍රියානු ශ්‍රෙෂ්ඨ සංගීතඥයකු වන ශර්බට්ගේ (Franz Schubert) සංගීත රචනා සමග සම තත්වයේලා සළකනව.
මෙලනි මේ ගීතය ගැන මෙසේ කියනව.  මම ගොඩක් කාලයක් යනකන් දැනගෙන සිටියේ නැහැ ඒ ගීතය මම ගැන ගීතයක් කියල. ඒ සින්දුව මට අහන්නට බැහැ. ඒ සින්දුව දුක වැඩියි. මගේ දෙමාපියන් මැරිල ගොඩක් කල්. අපි අතර ප්‍රශ්න කවදාවත්ම විසදුනේ නැහැ. ඒ ගීතයේ පද පේලියක් තිබෙනව ඇය බොහෝ කාලයක් හුදකලාවේ ඉදල ගෙදර අතහැර දාල ගියා කියල.  ඒක හරිම අමුතුයි. ඇත්තටම මම ගෙදර හැරදාල ගිය ඇත්තම හේතුව එයයි. කොහොමද ඔවුන් (බීට්ල්ස්ල) මගේ සිතුවිලි හරියටම දැන ගත්තේ.
කලාවට සමාජයක හද ගැස්ම දැන ගන්න තිබෙන්නේ විශ්මිත හැකියාවක්. දවසක් ඒ සින්දුව ඇසුණු මෙලනිගේ මව ඇයට දුරකථනයෙන් කතා කරල කියනව ඒ සින්දුවේ තියෙන්නේ ඇගේ කතාව කියල. ඒ ගීතය හරහා මෙලනිට සහ ඇගේ අම්මාට තම තමන්ගේ සිතුවිලි බෙදාගන්න භාශාවක් නිර්මාණය වෙනව. පරම්පරා දෙකක් එකිනෙකාගේ හද ගැස්මට කලාව හරහා ඇහුම්කන් දෙනව. ඒක විප්ලවයක්.
අපිටත් අද අවශ්‍ය එවැනි විප්ලවයක්. සමාජ පරිකල්පනය වෙනස් කරණ විප්ලවයක්. තමන්ගේ අති පුද්ගලික හැගීම් තමන්ගේ දෙමාපියන් සමග බෙදා ගැනීමට හැකි භාශාවක්, සමාජයක් නිර්මාණය කරන  විප්ලවයක්. ටිහාරාගේ දෛවය නැවත නොලියවෙන අනාගතයක් නිර්මාණය කරන විප්ලවයක්. ඉතින් එවන් අනාගතයක් වෙනුවෙන් අපි ටිහාරා වෙනුවෙන් ගීයක් නිර්මාණය වෙන තෙක් බලා සිටිමු.
බුද්ධික බණ්ඩාර/ FB.
https://www.youtube.com/watch?v=kAtRWeVnrAA

Archive

Latest news

Related news