Wednesday, April 24, 2024

ලාංකික ස්ත්‍රීන් ඕමානයේදී ලිංගික සේවයට විකිණීම ගැන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයෙන් රනිල් රාජපක්ෂ කර අරියි!

සුනන්ද දේශප්‍රිය.
පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වූ  ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් එම පසුගිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් අරම්භ කරන ලද විමර්ශනයෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කර ඇර තිබේ.
පසුගිය පෙබරවාරි 7 දා ජනාධිපති රනිල් රාජපක්ෂ වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් ටොමෝයා ඔබකාටා සහ  සියෝබාන් මුල්ලිලි  යන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනා එම ලාංකික කාන්තාවන් පිළිබඳව කරුණූ සහ ප්‍රශ්ණ  ගණනාවක් ඉදිරිපත් කරන ලදී.
ටොමෝයා ඔබෙකාටා යනු 2021 නොවැම්බර් මාසයේදී ලංකාවේ තොරතුරු ගවේෂණ සංචාරයක ද නියුතු වූ ‘සමකාලීන වහල් ක්‍රමය සහ එහි හේතු සහ ප්‍රතිවිපාක  පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වේ.
සියෝබාන් මුල්ලිලි යනු විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන් ජාවාරම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ  විශේෂ වාර්තාකාරිය වේ.
එම සංදේශයෙහි ඔවුන් මෙසේ සදහන් කරන ලදී.
“ සංචාරක වීසා මත ඕමානයට ගොස් දැන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වා ගෙන යනු ලබන නවාතැනක ඇතුළුව ආරක්ෂිත ස්ථානවල සිරවී සිටින ශ්‍රී ලාංකික තරුණියන් 90ක් පමණ සිටින බව වාර්තා වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල ගෘහ සේවිකාවන් ලෙස රැකියා ලබා දෙන බවට පොරොන්දු වී කාන්තාවන් කිහිප දෙනෙකු ලිංගික සූරාකෑම හෝ බලහත්කාරයෙන් ශ්‍රමය හා වහල් සේවය සඳහා පුද්ගල ජාවාරමට ලක් කර ඇති බවට චෝදනා එල්ල වේ.
“සමහර කාන්තාවන් ලිංගික සහ/හෝ ශ්‍රම සූරාකෑම පිනිස වෙන්දේසිවල විකුණන ලදැයි කියනු ලබන අතර ඔවුන්, ප්‍රමාණවත් ආහාර සහ ප්‍රමාණවත් නිදා ගැනීමේ පහසුකම් නොමැති පුද්ගලික නිවාසවල රඳවා තබා තිබී ඇත.

ලිංගික අල්ලස් 

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නවාතැන් ගැනීමට යාමේදී ඇතැම් කාන්තාවන්ට ඕමානයේ තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව වාර්තා වේ. තම ඉල්ලීම්වලට අවනත නොවන්නේ නම් නවාතැනේ සිටින කාන්තාවන් ඕමාන් පොලිසියට වාර්තා කරන බවට එම තානාපති කාර්යාලයේ නිලධාරියා තර්ජනය කළ බව වාර්තා වේ.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂිත නිවසෙහි දී කාන්තාවන් රැවටීම, ජාවාරම් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා, මිනිස් ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් තෙවැනි ලේකම්වරයා 2022 නොවැම්බර් මස අවසානයේ දී වැඩ තහනම් කළ බව අප දනිමු. සේවය සහ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරන ලද නමුත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඇප මත නිදහස් කරන තිබේ.
“ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන නවාතැනෙහි සිටින කාන්තාවන් සඳහා වාර්තා වී ඇති පරිදි එම නවාතැනේ ප්‍රමාණවත් කොන්දේසි සහ ආරක්ෂාව තිබි නැත. අප ඒ ගැන කනස්සල්ලට පත්ව සිටිමු.
ඔබෙකටා 2021 නොවැම්බරයේදී ලංකාවෙහි කළ දූත මෙහෙවර අවසානයේදී  නිකුත් කළ වාර්තාවෙහි  මෙසේ සඳහන් කර තිබුණි.

බම්බුගහන තානාපතියෝ

 “විවිධ ගමනාන්ත රටවල ගෘහ සේවිකාවන් ලෙස සේවය කළ බොහෝ කාන්තාවන් විසින් හැඳුනුම්පත් ලේඛන සහ වැටුප් රඳවා තබා ගැනීමේ සිට දිගු වැඩ කරන වේලාවන් සහ ශාරීරික, වාචික සහ/හෝ ලිංගික අපයෝජනයන් දක්වා සේවා ස්ථානයේ අපයෝජන සහ සූරාකෑමේ අවස්ථා වාර්තා කරනු ලැබ ඇත. මෙම අපයෝජනයන් ආමන්ත්‍රණය කිරීමේ මූලික වගකීම ගමනාන්ත රටවල් වෙත පැවරෙන අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවලින් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බව පෙනේ. සියලුම නිලධාරීන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලැබී නොමැති බව පැවසෙන අතර සහය පතා ආ සංක්‍රමණික සේවකයන් ආපසු හරවා යැවූ අවස්ථා ද වාර්තා වේ.”
එම වාර්තාවේ ම, විශේෂ වාර්තාකරු රජයෙන් ඉල්ලා සිටියේ සංක්‍රමණික සේවකයින් සූරාකෑමෙන් හා අපයෝජනයෙන් ආරක්ෂා කිරීම සහතික කරන ලෙසයි.
ඕමානයේ දී ලාංකික කාන්තාවන් මුහුණ පෑ ඛේදජනක ඉරණම කල් තියා දැකිය හැකිව තිබූ බවට එම වාර්තාව දෙස් දෙයි. එසේ නමුත් එම සංක්‍රමණික ස්ත්‍රීන්ගේ මුදලින් යැපෙන දේශපාලන ප්‍රධානීන් සහ නිලධර පෙළැන්තිය  එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දුන් එම වැරදි නිවරදි කිරීමට පියවර ගත්තේ නැත.
එම සංදේශය නොසළකා හැරි  රනිල් රාජපක්ෂ සහ ඔහුගේ ඇම්බැට්ට ඇමැතිවරුන් වන අලි සබ්රි සහ මනූෂ නානායක්කාර අඩුම වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විමසන ලද  පහත සඳහන් ප්‍රශ්න වලට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේ වත් නැත.

පිළිතුරු නැති ප්‍රශ්ණ

ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබූ කරුණූ අතර පහත සඳහන් ඒවා ද වේ.
    • ඉහත කී සිදුවීම් සම්බන්දයෙන් සහ ගමනාන්ත රට (ඕමානය) සමඟ එක්ව ගත් පියවරයන් පිළිබඳ විස්තර සපයන්න.
    • බලහත්කාර ශ්‍රමය සහ ලිංගික සූරාකෑමේ අරමුණු සඳහා පුද්ගල ජාවාරමට ගොදුරු වූ කාන්තාවන් ආරක්ෂිතව සහ ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම සහතික කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්නත් අනතුරුව සමාජානුයෝජනය, ආධාර සහ අඛණ්ඩ ආරක්ෂාව පිළිබඳ පියවරයන් සහතික කරන්නේ කෙසේද යන්න සඳහන් කරන්න.
    • ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට මානව හිමිකම් කඩවීම් වාර්තා කිරීම සඳහා පවතින මාර්ග/ප්‍රොටෝකෝල මොනවාද? පළිගැනීම් පිළිබඳ බියෙන් තොරව, ආරක්ෂිතව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවට ශ්‍රී ලංකා රජය සහතික වන ආකාරය කුමක්ද? තවද  රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සියුලර් නිලධාරීන්ට සූරාකෑම වැනි විෂමාචාරය තත්වයන් වැළැක්වීම පිළිබඳ ලබා දෙන පුහුණුව කුමක්ද යන්න සඳහන් කරන්න.
    • ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන නවාතැනේදී ජාවාරමට සහ ශ්‍රම/ලිංගික සූරාකෑමට ගොදුරු වූවන්ට (සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, ආහාර, නෛතික සහ සමාජ-සමාජ සහය ආදිය සම්බන්ධයෙන්) කුමන ආකාරයේ සහය ලබා දෙනවාද යන්න සඳහන් කරන්න;
    • සංක්‍රමණික සේවිකාවන් ජාවාරම් කිරීම වැළැක්වීම සඳහා රාජ්‍යයේ වගකීමට අනුකූල වීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු සපයන්න.
    • රැකියා දීමනා නිරීක්ෂණය කිරීම, රැකියා කොන්ත්‍රාත්තු වලංගු බව සහතික කිරීම සහ ගමනාන්ත රටවල කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ කාන්තා ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ගමනාන්ත වෙත පැමිණීමේදී සහය ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු සපයන්න.
    • ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ විෂමාචාර තහනම් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සහ වෙනත් ක්‍රියාමාර්ග මොනවාද යන්නත් රජය විසින් එවැනි තත්වයන් අධීක්ෂණය කෙතරම් දුරට සිදු කරන්නේද යන්න සඳහන් කරන්න;
    • රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර, කාන්තාවන් සඳහා ආරක්ෂිත සහ විධිමත් සංක්‍රමණය සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි සඳහන් කරන්න;
    • විශේෂයෙන්ම සංක්‍රමණික සේවිකාවන් ජාවාරම් කිරීම වැළැක්වීම, සහ වෙනත් සූරාකෑම්වලට ගොදුරු වූවන් හඳුනා ගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා සිවිල් සමාජයේ කාර්යභාරයට සහාය වීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි සඳහන් කරන්න.
මෙම සන්නිවේදනය සහ ඔබගේ රජයෙන් ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් දින 60ක් ඇතුළත එක්සත් ජාතීන්ගේ සන්නිවේදන වාර්තාකරණ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කරනු ඇති බවත් මෙම සන්නිවේදනයේ පිටපතක් ඕමාන් රජය වෙත යවන ලද බවත් එහි දැක්වේ.
ලංකාණ්ඩුව ඒම ප්‍රශ්ණ කිසිවකුට පිළිතුරු ලබා දුන්නේ නැත.
ලංකාණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බැවින් දැන් එම සංදේශය පමණක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

Archive

Latest news

Related news