Thursday, November 21, 2024

වසන්ත දිසානායක: 71 කැරැල්ලේ කන්ද උඩ දේශණාකාරයා

ඡායාරූපය: වසන්ත දිසානායක (c) sunanda deshapriya.

වසන්ත දිසානායක (පොඩි දිසා) මට හමු වුනේ රාජගිරියේ ඔහුගේ වෙනස පියස පොත් සාප්පුවේදි ය. මා විසින් මීට පෙර ලියන ලද පොත් කිහිපයක්ද ඔහුගේ පොත් සාප්පුවේ විකිණීමට තිබූ නිසා මා පිළිබඳව විශේෂ හඳුන්වා දීමක් කිරීමට මට සිදු නොවීම භාග්‍යයකි. ඔහු මෙලෙස තම කථාව ආරම්භ කළේය.

මම 1968 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා සාහිත්‍ය හැදෑරුවා. මම සරත් විජේසිංහගේ බැච් එකේ. වරක් විජේවීරට පේරාදෙණියට ආවා ඇවිල්ලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට දේශනයක් තිබ්බා. විජේවර්ධන හෝල් එකේ පන්ති තිබ්බා. සරත් විජේසිංහ ආර්ථීක අර්බුදය පංති කළා. මම පූර්ණකාලීනයෙක් ලෙසට ව්‍යාපාරයේ වැඩ කරපු නිසා අධ්‍යාපනය සම්බන්ධ දේශන අතපසු උනා උසස් අධ්‍යාපනයට යොමු වීමට නොහැකි වුනා.

05දා රෑ 

1971 වෙනකොට මම කෑගල්ලේ දිස්ත්‍රික් උප ලේකම්. පන්ති පවත්වනවා. සංවිධාන කටයුතු කරනවා. සන්නද්ධ වෙනවා. 1971 අප්‍රේල් 5දා මම බලපත්තාවේ හිටියේ. සරතුයි මමයි පිරිසක් එක්ක කෑගල්ල පොලිසියට පහර දෙන්න යනකොට ලොරියක් ආවා. අපි ලොරිය නතර කරන්න හැදුවත් ලොරිය නතර කලේ නැහැ. ඒ නිසා වෙඩි තියන්න සිද්ධ උනා. ආමි ජීප් එකකුත් ආවා. කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාර කාගෙන ජීප් එක ඉදිරියට ධාවනය උනා.

 අපි බලපත්තාවේ සිට ගලිගමුවට එනකොට ගල්ගමුව හන්දියේදි පොලිසියෙන් අපිට වෙඩි තිබ්බා. වෙඩි හුවමාරුව අස්සේ අපි අටුගොඩට ගියා. අපි බලපත්තාව මූලස්ථානය කරගෙන කෑගල්ලේ ස්ථාවර හමුදාවක් නිර්මාණය කලා. ප්‍රදේශයේ මිනිසුන්ගේ සම්පූර්ණ සහයෝගය තිබුණා. ඒකේ 50-60 විතර ආයුධ සන්නද්ධව හිටියා. මිලීෂියාවක් හැදුවා. ස්වේච්ඡා කණ්ඩායමක් හැදුවා.

නිදහස් කලාපයක්

 මේ වන කොට කෑගල්ල පොලිස් ස්ථානය හැර අවට පොලිස් ස්ථාන වලට අපි ප්‍රහාර එල්ල කරලා තිබුනේ. ඉදිරි කාලයේ පින්දෙනිය, බෝගල, බුලත්කොහුපිටිය, අරනායක, රඹුක්කන පොලිස් ස්ථාන වලට පහර දෙන්න සැලසුම් කලා. බෝගල පතලෙන් අපි ජෙලග්නයිට් ලොරියක් පුරවලා බලපත්තාවට ගෙනාවා. ඒ ජෙලග්නයිට්වලින් බැරල් බෝම්බ හැදුවා. බලපත්තාව හරහා ගිය හමුදා ට්‍රක් 3 ඉලක්ක කරලා අපි බැරල් බෝම්බ පිපිරෙව්වත් ඒ ට්‍රක් වලට හානි සිදු වුනේ නැහැ. නමුත් හමුදා ගමන් නැවතුනා. කැරළිකරුවන් ගලිගමුවත් බලපත්තාවත් අතර ගල් බැම්මක් හැදුවා. පාර මැද තාර උණු කරන ගල් මෝලක් දාලා බොරුවට වයර් ඇදලා තිබුනා. සමූපකාර විවෘත කර හාල් ආදි බඩු මිනිසුන්ට ඛෙදා දුන්නත් සති දෙකක් විතර යන විට හාල් ආදිය ලබා ගැනීමේ අභියෝගයට ප්‍රදේශයටම මුහුණ පෑමට සිදුවුණා.

 මම අන්තිමට සරත් විෙජ්සිංහව දැක්කේ 1971 අප්‍රේල් 6 දා. සරත් රතු හමුදාව සමඟ කෑගල්ල පොලීසියට ප්‍රබල ප්‍රහාරයක් දීමේ අරමුණින් පස්සේ බලපත්තාවෙන් බුලත්කොහුපිටිය බලා ගියා. එයාගෙ මරණය පිළිබඳ පණිවිඩය අපට ලැබුනා. මගේ අදහස අනුව ඒක අත්වැරදීමකින් පත්තු වෙච්ච වෙඩිල්ලක්. 

 අපට ආමි එකෙන් හා ගුවන් හමුදාවෙන්, පහර දෙන කොට තව දුරටත් බලපත්තාවෙ ඉදීමට අපහසු උනා. බෝල සමරේ ඇවිල්ලා විල්පත්තුවට පසු බහින්න යෝජනා කළා. තව කිව්වා සනත් බොරළුකැටිය සිංහරාජයට පසු බැසීමට තීරණය අරගෙන බව.

අපි පසු බසින්නට තීරණය කළා. දවල් කාලයෙ සැඟවිලා ඉන්නවා. රෑ ගමන් කරනවා. පයින්ම විල්පත්තුවට යන්න තමයි අපි පියවර ගත්තේ.

සුජාතා – මගේ පෙම්වතිය

1971 මැයි මාසේ වෙසක් දිනයට කලින් දවසේ අපි නාරම්මල මැදගොඩට ආවා. තාවකාලිකව සැඟවිලා හිටියේ තේක්ක කැලයක. සුජාතා හඳගම හිටියේ අපේ කණ්ඩායමේ. එයා මගේ පෙම්වතිය. අපි දෙන්නා විශ්ව විද්‍යාලයේ හිටියේ එකට. එය මට වඩා අවුරුද්දක් ජූනියර්.

හවස හතට විතර ඇය හිටි පැත්තෙන් වෙඩි හ~ක් ඇහුණා. තව කිහිප දෙනෙකුට වෙඩි වැදුනත් අඳුර නිසා මොකවත් පේන්නේ නැහැ. අපේ පිරිස 80 විතර හිටියා ඒ අය දුවන්න ගත්තා. මට ඇහුනා සුජාතාගේ කට හ~. තමන්ව පහු කරගෙන යන අයට එයාගේ තුවක්කුවත් ගෙන යන්න කිව්වා. මම සුජාතාව උස්ස ගත්තා. සුජාතා කිව්වා දිසා මාව ගෙනියන්න එපා ඔයත් වෙඩි කයි මාව කොහේ හරි පඳුරක් අස්සේ තියලා යන්න. මට කරගන්න දෙයක් නැහැ. හමුදාවෙන් දිගටම වෙඩි තියනවා. මම සුජාතාව ඝනව වැවුන පඳුරු අස්සේ හැංගුවා. ඒ කරලා කට්ටිය යළි ප්‍රතිසංවිධානය කලා.

පැයකට විතර පස්සේ හමුදාව ඉවත් උනා. මම සුජාතා ලඟට ඇවිල්ලා එයාගේ තුවාලය බැලූවා. බඩට වෙඩි වැදිලා තිබුනේ. තුවාලයට ප්ලේවින් පෑඩ් එකක් තියලා ටෙට්‍රසයික්ලින් කරලක් කටට දැම්මා. සුජාතා කිව්වා ඒ කරල වෙනකෙනෙකුට දෙන්න ප්‍රවේසම් කරගන්න කියලා. අපි එක්ක හිටපු පුෂ්පා අ~න්න ගත්තා. සුජාතා කිව්වා zඅ~න්න එපා. මාව බේරගන්න උත්සහ කරන්න එපා. මාව මෙතන දාලා ඔයාලා බේරිලා යන්න.

අපි ලී වලින් ස්ටේ‍රචර් එකක් හදලා සැතපුම් දෙකක් විතර සුජාතාව ඒකේ තියාගෙන ගෙනිච්චා. සුජාතා කිව්වා මගේ කටට තිත්ත පිත් ගතියක් දැනෙනවා මගේ පිත්තාශය වෙඩි පාරට කැඩිලා ඇති කියලා.

ජීවිතයක වටිනාකම

සුජාතා පසුවදා වෙනකං පණ අල්ලගෙන හිටියා. පසුවදා 4.30 විතර වෙනකොට අමාරුවෙන් හුස්ම ගත්තේ. මට අමුත්තක් දැනෙනවා කියලා කිව්වා. මම ලීලා, මාලා (ජුලියට්) පුෂ්පා හිටියා. සුජාතා මගේ අත් දෙක උඩ මැරුණා.

අපි මිනිය තියාගෙන මුලූ රෑම හිටියා. උදේ වෙනකොට සුජාතාගේ මිනිය වලලන්න උදැල්ලක් ගේන්න දෙන්නෙක්ව අසල ගමට යැව්වා. ඒ අය හමුදාවට කොටු වෙලා හමුදාව අපිව වට කලා. යළි පසුබසින්න සිදු උනා. අපි සුජාතාගේ මිනිය රෙදි වලින් ඔතලා කැලේ පඳුරක් අසල තියලා ඉක්මනට සමු ගත්තා. පස්සේ මට ආරංචි උනා හමුදාව එයාගෙ මිනිය අරගෙන ගිහිල්ලා වැලලූවා කියලා.

 අපි කුරුණෑගල පල්ලේකැලේ බඹරගල ගල්ගුහාවල සැඟවිලා හිටියා. යළිත් හමුදාව අපිව වටකරා. මම හමුදා සෙබළුන්ට දේශනයක් තිබ්බා. ඒකට හමුදා සෙබළුන් කිව්වේ කන්ද උඩ දේශනය කියලා. මේ දේශනයේදී මම කිව්වා අපේ සටන් අරමුණු. මගේ දේශනය පැය දෙකකටත් වඩා ගියා. ඒ දේශනය සොල්දාදුවන්ට යම් බලපෑමක් කළ බව පසුව මට පෙනී ගියා. එම ගැටුමේදී පැටි්‍රක්ට සහ තවත් කිහිප දෙනෙකුට වෙඩි වැදුනා. පැටි්‍රක් ඔවුන් අල්ලා ගත්තා. පිරිස වනාන්තරේ ඇතුලට ගියා. ලීලාට මැලේරියා වැලදී තිබුණා. ජුලියට් සමඟ 15 ක කණ්ඩායමක් ගල්ගිරීයා කන්දේ නතර කර අපි විල්පත්තුව බලා පිටත්වුනා.

 අපි 1971 ජුනි වෙන කොට ඉඟිනිමිිටිය දක්වා පසු බැස්සා. මේ වන විට අපේ පිරිස 40 විතර ඇති. හමුදාව අපිට වෙඩි තිබ්බා මම මඩගහපොල අබේ එක්ක පඳුරක් ඇතුලට ගියා. හමුදාව අපි හිටපු පඳුරට වෙඩි තිබ්බා වෙඩි පහරින් අබේ මලා. අබේගේ සිරුර වැටුනේ මගේ ඇඟ උඩට. මමත් මලා වගේ හිටියා දිවත් බාගෙට එළියට දාගෙන. මට ඇහුනා සොල්දාදුවෙක් කියනවා සාජන් දෙන්නම මැරිලා යං කියලා. සාජන් කිව්වා මළකඳන් දෙක ගේන්න කියලා.

මරණය අත ළග

සොල්දාදුවා මගේ කකුලෙන් ඇද්දා. මට හිතුනා දැන් එළැඹෙන්නේ මගේ අන්තිම අවස්ථාවයි. මට සුජාතා, විශ්ව විද්‍යලය සරත් විජේසිංහ, ගෙදර සියල්ලම මොහොතකින් මතක් උනා. මම සොල්දාදුවාට ඇගෙව්වා මම මැරිලා නැති වග. මට නියෝග කළා අත් උස්සගෙන පඳුරෙන් එළියට එන ලෙසට. මම එළියට ආපු ගමන් සොල්දාදුවා රයිෆල් එකෙන් මගෙ පිටට ගැහුවා. ඒකේ බෝල්ට් එක  මගේ  පිටේ සමට කා වැදුනා. යට ඇඳුම හැර අනෙක් ඇදුම් ගලවලා මගේ අත් පිටිපස්සට තියලා කිටි කිටියේ බැන්දා. ඊට පස්සේ අතින් පයින් ගැහුවා.

පිටේ කොටු ඇන්දා බයිනෙත්තුවෙන්. පිට පැලිලා ලේ එනවා. මට වතුර තිබහේ දිව ගිලෙන්න වගේ. මම වතුර ඉල්ලූවාම සාජන් මට ගැහුවා. පස්සේ මම දැනගත්තා සාජන්ගේ නම එයාගේ නම සාජන් මරිජාන්.

හමුදාකාරයෝ අබේගේ මල සිරුරත් ගත්තා. මලමිනිය ජීප් එකේ දාගෙන මාවත් ලගින්ම වාඩිකරගෙන මගේ කකුලෙන් ඇදලා එළියට ගන්න හදපු සොල්දාදුවා (වැන්ඩෆුට්) මුරට තිබ්බා. මිනිහා ලන්සි. වැන්ඩෆුට් මට කියනවා “උඹලා මෝඩ සිංහලයෝ. යාපනයට ගහන්න නේ තිබුනේ. එහෙම නං අපිත් එනවා කියලා. මගෙන් වයසත් ඇහුවා. එයා කිව්වා මම ඔස්ට්‍රේලියා යන්න ඉන්නේ මගෙ කෙල්ලත් ඉන්නේ එහේ. උඹලාගේ මල කැරැල්ල නිසා මට යන්න විදියකුත් නැහැ. ඔහු මට යළිත් පහර දුන්නේ නැහැ. මම වතුර ඉල්ලූවාම කිව්වා “මම සොල්දාදුවෙක් මම නියෝගයට කීකරු වෙන්න ඕන ඒ නිසා මට උඹට වතුර දෙන්න බෑ” කියලා.

ඒත් වැන්ඩෆුට් මගේ කිටි කිටියේ තද කරලා තිබ්බ බැමි පොඩ්ඩක් බුරුල් කරා. ගම්මු අපට මඤ්ඤොක්කා ගෙනාවා. ඒවා කාලා යළි ගලිගමුව කෑම්ප් එකට ගියා. මාව දැක්ක හැටියෙම කෑම්ප් එකේ කෝප්‍රල් ජයතිලක “ආ කන්ද උඩ දේශනාකාරයා ආවාද?” මුලින්ම කාලා බීලා ඉමු කියලා කන්න දුන්නා. ඊට පස්සේ කිව්වා දැන් දේශනාව කරන්න කියලා. මම පිළිතුරු දුන්නා මේක අවස්ථාව නොවෙයි කියලා. ඒත් කෝප්‍රල් ජයතිලක කිව්වා දේශනාව යලි තිය යුතු බව. අපිත් එක්ක අත්අඩංගුවට පත් වෙලා හිටපු ලොකු අතුලත් මට කිව්වා දිසා කථාව කරන්න කියලා. මම යළිත් කන්ද උඩ දේශනාව තිබ්බා.

 මාව රදවලා තිබ්බා බෝගම්බර සිර ගෙදර. මාව දැක්ක ඉයන් වික්‍රමනායක කිව්වා මෙයාට ඩිග්රිය අහිමි උනා. විප්ලවය අහිමි උනා. ගර්ල් ෆෙන්ඩ්වත් අහිමි උනා. මාව දිගටම හැදින්නුවේ කන්ද උඩ දේශනාකාරයා කියාල. ඊට පස්සේ කවුරුත් මට පහර දුන්නේ නැහැ. මට අවුරුදු 2 සිර දඩුවමක් ලැබුනා. 1977 දෙසැම්බර් වල මට නිදහස ලැබුනා. මම හිතන්නේ 1971 කැරැල්ල අපි දේශපාලන වශයෙන් ගත්ත වැරදි තීන්දුවක් කියලා.

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි) 

Archive

Latest news

Related news