Friday, November 22, 2024

උඩවලව අලින්ට මන්ද පෝෂනය- ව්‍යපෘතියේ පර්යේෂණ කළමනාකරු; ඕක ගනන් ගන්න දෙයක් නොවෙයි – වනජීවී අධ්‍යක්ෂ

ඡායාරූප මූලාශ්‍රය,SAMEERA WEERATHUNGA.

ආර්ථික අර්බුදය හා ආහාර අහේනිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ට ඇති වී තිබෙන මන්ද පෝෂණ තත්ත්වය මැද, වන අලින්ටද එවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුව තිබේ.

ආහාර නොමැති වීම හේතුවෙන් උඩවලව රක්ෂිත වනාන්තරයේ වෙහෙසන වන අලින්ට මන්ද පෝෂණ තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව උඩවලව අලි පර්යේෂණ ව්‍යපෘතිය සඳහන් කළේය.

“පැටව් 100 ක් ගත්තාට පස්සේ ඒකෙන් 50 කට වඩා වැඩි දෙනෙකුට මන්ද පෝෂණ තත්ත්වයක් නම් එතකොට ඒක ඒ ස්ථානයේ ආහාර ප්‍රශ්නයක් විදියට තමයි අපිට දකින්න පුලුවන්. එක්කෙනෙක් දෙන්නෙක්ට විතරක් වුනානම් ඒ සතුන්ගේ මව්වරුන්ගේ හෝ සතුන්ගේ ඇති වී තිබෙන ලෙඩ රෝගයක් හෝ වෙනත් සංකූලතාවයක් නිසා මේක වෙන්නේ කියලා අපිට හිතන්න පුලුවන්. නමුත් අපිට මෙතනදි පැහැදිලිවම පේනවා ආහාර ප්‍රශ්නයක් නිසා තමයි මේ මන්ද පෝෂණ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා.” යි උඩවලව අලි පර්යේෂණ ව්‍යපෘතියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

උඩවලව රක්ෂිතයේ පවතින ආහාර අලින්ට ප්‍රමාණත්මක නොවීම හා ගුණාත්මක නොවීම යන සාධක මත අලි පැටවුන් මන්ද පෝෂණ තත්ත්වයට පත් වී ඇති බව උඩවලව අලි පර්යේෂණ ව්‍යපෘතිය අනාවරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය,KUMARA PUSHPAKUMARA

උඩවලව රක්ෂිතයේ පවතින ආහාර අලින්ට ප්‍රමාණත්මක නොවීම හා ගුණාත්මක නොවීම යන සාධක මත අලි පැටවුන් මන්ද පෝෂණ තත්ත්වයට පත් වී ඇති බව උඩවලව අලි පර්යේෂණ ව්‍යපෘතිය අනාවරණය කළේය.

“මව් සතාගේ කිරිවල පෝෂණ මට්ටම අඩු බව, පෝෂණ මට්ටම අඩු පැටවු ලැබිලා ඒ අය බාහිර පරිසරය එක්ක දිගින් දිගටම ගැටෙනකොට කටුක තත්ත්වය එක්ක මේගොල්ලන්ගේ ශරීර කෘෂ තත්ත්වයට පත් වෙන්න පුලුවන්, වර්ධනය වීම අඩාල වෙන්න පුලුවන්. නිවැරදි පෝෂණයක් නැති වෙනකොට එයාලගේ වර්ධන වේගය අඩාල වෙලා කෘෂ තත්ත්වයට පත් වෙනවා, එහෙම නැතිනම් මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි මේ මන්ද පෝෂණ සත්තු ඊළඟට තණකොළ කන්න පටන් ගත්තාම ඒගොල්ලන්ට කන්න තියෙන ගුණාත්මක තණකොළ ප්‍රමාණය නොලැබී යාම නිසා දිගින් දිගට මන්ද පෝෂණ තත්ත්වය පැවතිම නිසා අඩු වර්ධනය වෙච්ච සත්තු බවට පත් වෙනවා.”

අහාර ප්‍රමාණවත් නැතිද?

උඩවලව රක්ෂිතයේ පවතින ආහාර අලින්ට ප්‍රමාණත්මක නොවීම හා ගුණාත්මක නොවීම යන සාධක මත අලි පැටවුන් මන්ද පෝෂණ තත්ත්වයට පත් වී ඇති බව ඔහු සඳහන් කළේය.

වැඩුණු අලියෙකු දිනකට ආහාර කිලෝග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නා අතර වතුර ලීටර් 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් පානය කරනු ලබයි.

කාලයත් සමගම උඩවලව වනෝද්‍යානයේ අලින්ට ආහාර ලබා ගැනීමට සුදුසු භූමි ප්‍රමාණය එම සතුන්ට අහිමි වී ගොස් ඇතැයි සමිර වීරතුංග සඳහන් කළේය.

“අලි වාසය කරන්නේ විවෘත තෘණ භුමී හා කටු පඳුරු ආශ්‍රිතව. මේ ස්ථානවල තිබුණ මාන කියන තෘණ, කාලයත් සමග මේ තෘණ භූමිවල ස්වාභාවය වෙනස් වෙන්න පටන් ගත්තා. වෙනස් වෙන්න හේතු තමයි අධික ලෙස ජාතික වනෝද්‍යානයට හරක් ඇතුලු කරලා හරක්ගේ බලපෑම ආවා. හරක් උලා කන්න පටන් ගත්තා, ඒ අයගේ කුර ඒ භූමියට වැදිලා පස මතුපිට නිරාවරණය හා සෝදාපාලුවට ලක්වීම, ඛාදනය වීම හරක් අතින් සිද්ද වෙන්න පටන් ගත්තා. ඊට සාපේක්ෂව තෘණ වගාව අහිමිවෙද්දි ගඳපාන වගේ ආක්‍රමණශීලී ශාක වර්ධනය වෙන්න පටන් ගන්නවා.”

 2012 වසර වන විට උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඉතා හොඳ ශාක වැස්මක් පැවතුණි.

ඡායාරූප මූලාශ්‍රය,KUMARA PUSHPAKUMARA; 2012 වසර වන විට උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඉතා හොඳ ශාක වැස්මක් පැවතුණි.

ප්‍රශ්නය ආක්‍රමණශීලී ශාක වර්ධනය ද?

රක්ෂිත වනාන්තරය තුළ තිබු ගඳපාන ශාකය ව්‍යාප්ත විමේ බලපෑම මත වනෝද්‍යානය තුළ යටි වගාවක් ලෙස පැවති මාන, ගිනි වැනි ශාක තෘණ භූමියට අහිමි වු බව අලි පර්යේෂණ සමීර වීරතුංග කියා සිටියේ.

2012 වසර වන විටත් උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඉතා හොඳ ශාක වැස්මක් තිබු බව කී හෙතෙම අක්‍රමණශිලි ශාක පාලනය කරමින් තෘණ වගාව වර්ධනය කිරීමට බලධාරින් පියවර නොගත් බව ද සඳහන් කළේය.

“සමහර වෙලාවට අපි ගඳපාන ගලවන්න ගියාට පස්සේ බැකෝ යන්ත්‍ර යොදාගෙන මුලු පළාතක්ම නිරාවරණය කරන්න පටන් ගත්තා එක පාරටම. එහෙම භූමිය නිරාවරණය කරනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ගඳපාන කියන ශාකය ඉක්මනින් ගලවලා ගිණි තියලා ඉවත් කරන්න හැබැයි ඒ එක්කම භූමියේ මතුපිට තියෙනවා තෘණ කොටස්වල මව් කොටසවලට හානි වෙලා ඒවත් විනාශවෙලා යනවා.”

රක්ෂිත වනාන්තරය තුළ තිබු ගඳපාන ශාකය ව්‍යාප්ත විමේ බලපෑම මත වනෝද්‍යානය තුළ යටි වගාවක් ලෙස පැවති මාන, ගිනි වැනි තෘණ භූමියට අහිමි තිබේ.

ඡායාරූප මූලාශ්‍රය,SAMEERA WEERATHUNGA; රක්ෂිත වනාන්තරය තුළ තිබු ගඳපාන ශාකය ව්‍යාප්ත විමේ බලපෑම මත වනෝද්‍යානය තුළ යටි වගාවක් ලෙස පැවති මාන, ගිනි ශාක වැනි තෘණ භූමියට අහිමි තිබේ.

උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇති වැව්පිටි ද අක්‍රමණශිලි ශාකවල බලපෑමට ලක්වීම හේතුවෙන් අලින් ප්‍රිය කරන පෝෂණිය තෘණ වගාවක් ඔවුන්ට අහිමි වී ගිය බව ද අලි පර්යේෂකයා පෙන්වා දුන්නේය.

“වැව්පිටිවල වතුර අඩු වෙනකොට අලුත් තෘණ පිටියක් හැදෙනවා. මේක කන්න අලි හරි කැමතියි ඒ වගේම ඒකේ තියෙන පෝෂණිය මට්ටමත් ඉහලයි. හැබැයි පහුගිය අවුරුදු කිහිපයේ උඩවලව ජලාශ වැව්පිටි දෙකේ කන්න නැහැ මොකද වැව්පිටි දෙකත් අක්‍රමණශීලී ශාකවල හසුවෙලා තියෙන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක්.”

සමීර වීරතුංග පවසන ආකාරයට අලි පැටවුන් මුහුණ දෙන මන්ද පෝෂණ තත්ත්වය මෙන්ම ඇතින්නකට අලි පැටවකු පිළිසිඳ ගැනීමට ගන්නා කාල සීමාව ද වැඩි වී ඇති බවට පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇත.

පෝෂදායි ආහාර නොමැතිවීම මෙන්ම පිරිමි අලින් ආහාර සොයා වෙනත් තැන්වලට ගමන් කිරීම ද මෙයට හේතු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

“ආහාරවල හිඟතාවය හා ප්‍රමාණත්මකතාවය අඩු වීම නිසා ගොඩක් වෙලාවට පිරිමි සත්තු ජාතික වනෝද්‍යානය අතහැරලා දාලා වෙනත් වනාන්තර කලාපවලට, ගොවි ගම්මාන ආශ්‍රිත කාලපවලට ගිහිල්ලා ආහාර අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්නවා. පිරිමි අලින්ගේ හා ගෑණු අලින්ගේ ලිංගික කාර්යයේ දී සමානතා දක්වන්න ඕන අවස්ථා කිහිපයක් තියෙනවා පැටියෙක් හදන්න. අන්න ඒ නොගැලපීම් සිද්ද වුණා පසුගිය අවුරුදු කිහිපය තුළ.”

උඩවලව රක්ෂිතය තුළ හා ඒ අවට සිටින ගැහැණු අලි 1000කට වැඩි ප්‍රමාණයක් මෙන්න දාහකට වැඩි පිරිමි අලි සංඛ්‍යාවක් මේ වන විට මන්ද පෝෂණ තත්ත්වයෙන් පීඩා විඳින බව උඩවලව අලි පර්යේෂණ ව්‍යපෘතිය විසින් හඳුනාගනු ලැබ ඇත.

මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් මිය ගිය අලි පැටවුන් මෙන්ම මන්ද පෝෂණ තත්ත්වය නිසා උඩවලව ඇත් අතුරු සෙවන බාරයට ගත් අලි මෙන්ම තවදුරටත් වනෝද්‍යානය තුළ ද මන්ද පෝෂණ තත්ත්වයේ සිටින වන අලි සිටිනා බව පර්යේෂණ කළමණාකාර සමීර වීරතුංග පැවසීය.

වර්ෂය පුරා අලි දැකිය හැකි සංචාරක ආකර්ෂණ මරමස්ථානයක් වු උඩවලව ජාතික වනෝද්‍යානයෙන් ශ්‍රී ලංකාවට ආවේණික වු අලි දැක ගැනීම අහිමි වී යාමේ අවදානමකට මෙම තත්ත්වය හේතු වී ඇති බව ද ඔහු කියා සිටියේය.

උඩවලව ජාතික වනෝද්‍යානය වර්ෂය පුරා අලි දැකිය හැකි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

ඡායාරූප මූලාශ්‍රය,SAMEERA WEERATHUNGA; උඩවලව ජාතික වනෝද්‍යානය වර්ෂය පුරා අලි දැකිය හැකි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

“කලින් කලට ශරීර පිරිහීමට ලක්වෙනවා.”

මේ සම්බන්ධව බීබීසී සිංහල සේවය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් විමසීමක් කළේය.

වන අලින් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ප්‍රතික්ෂේප කළ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කලින් කලට අලි ඇතුන් ගේ ශරිර යම් පිරිහිමකට ලක්වන බව කියා සිටියේය.

“මන්ද පෝෂණ තත්ත්වයක් නෙමෙයි, ශරීරවල කාලෙන් කාලෙට පිරිහිම් ඇති වෙනවා. සීසනල් චේන්ජර්ස් වෙනකොට අනිවාර්යෙන් බෝඩි කන්ඩිෂන් පිරිහීමක් වෙනවා. පිරිමි සත්තුන්ගේ අඩුවෙනුත් ගෑණු සත්තුන්ගේ වැඩියෙනුත් බෝඩි කන්ඩිෂන් පිරිහෙනවා. ඒක සමාන්‍ය ස්වරූපයක්.” යැයි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේය.

එය පාරිසරික හේතු මත සිදුවන දෙයක් බව පවසන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි යම් වැඩි වීමක් සිදුවන විට ඊට අවශ්‍ය පිළියම් යොදමින් ගුණාත්මක හා පෝෂදායි ආහාර මෙන්ම අලි ඇතුන්ට අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

බීබීසී සිංහල සේවයෙනි.

Archive

Latest news

Related news