ඡායාරූපය: ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් එච්. හැන්කේ
ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් එච්. හැන්කේ මහතා ලොව සුපතළ ආර්ථික විද්‍යාඥයෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රොනල්ඩ් රේගන් මහතාගේ ආර්ථික උපදේශක කවුන්සලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වශයෙන් 1981-1982 කාලයේ සේවය කළ හැන්කේ මහතා, ව්‍යවහාරික මුදල් මණ්ඩල සහ උද්ධමනය පිළිබඳ විශේෂඥයෙකි.
ඔහු රටවල් ගණනාවකම ව්‍යවහාරික මුදල් මණ්ඩල පිහිටුවීම හා ඒ ඔස්සේ එම රටවල ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සම්බන්ධව අත්දැකීම් සපිරි විද්වතෙකි.
‘ලංකාදීප’ පුවත්පතට අතිවිශේෂ සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇති හොඳම මාර්ගය ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් පිහිටුවීම බවය. තත්කාලීන වැදගත් ආර්ථික තේමා රැසක් ප්‍රශ්න කරමින් ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේ සටහන මෙසේය.
ප්‍රශ්නය:- කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වශයෙන් ඔබ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය තේරුම් ගන්නේ කොහොම ද?
පිළිතුර:- ශ්‍රී ලංකාව උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූන් ඔවුන් අසමත් සහ දූෂිත බව ඔප්පු කර තියෙනවා. ඔවුන් ශ්‍රී ලංකාව ගැඹුරු අර්බුදයකට ඇද දමා තිබෙනවා. ඉදිරියේදී මේ ආකාරයේ ව්‍යසනවලින් ගැලවීම සඳහා ශ්‍රී ලංකාවට කළ හැකි එකම දේ නම්, ආයතන පද්ධතිය වෙනස් කරමින් දේශපාලනඥයන් ආයතනික වශයෙන් සිර කර තබන ක්‍රමවේදයක් අනුගමනය කිරීමයි. ශ්‍රී ලංකාව ඒ සඳහා ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න විමසා බැලීමත් වැදගත්.
ඒ සඳහා ව්‍යවහාරික මුදල් මණ්ඩල ක්‍රමවේදය (Currency Board) යළි හඳුන්වා දිය යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ නිල නාමය 1972 වසරේදී ශ්‍රී ලංකාව ලෙස වෙනස් කරන තෙක් (ඊට පෙර ශ්‍රී ලංකාව හැඳින්වූයේ සිලෝන් ලෙසයි) වසර 1884 සිට 1950 දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක වුණා. ලංකාවේ මේ ආකාරයේ මූල්‍ය මණ්ඩලයක් 1884 වර්ෂයේ මැයි මස 3 වැනි දින පිහිටුවූයේ එවකට ක්‍රියාත්මක වෙමින් පැවැති පෙරදිග බැංකු සංස්ථාව අසමත් වීම හේතුවෙන්.
මදුරාසි බැංකුවේ සහ සෙසු ව්‍යාපාරවල බල කිරීම මත රජයේ මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට යටත් විජිත ආණ්ඩුකාරවරයා යෝජනා කළ අතර, එමගින් රජයේ පාඩු නැවත අය කරගැනීමටත්, අනාගත අර්බුදවලින් වැළැකී සිටීමත් අපේක්ෂා කළා. අධිරාජ්‍යවාදී ආණ්ඩුව එය අකැමැත්තෙන් වුණත් පිළිගත්තා. 1884 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා ලංකා මුද්‍රණ මුදල් ආඥා පනත (Ceylon’s Paper Currency Ordinance (No. 32 of 1884) සම්මත වුණා. ඒත් සමගම මුදල් මණ්ඩලයත් ස්ථාපිත කෙරුණා.
අනෙක් රටවල ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මණ්ඩල මෙන් ලංකාවේ ව්‍යවහාරික මුදල් මණ්ඩලය ද ඉල්ලුම අනුව ඉන්දියානු රුපියලට ගැටගසන ලද ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යමින් මුදල් නෝට්ටු නිකුත් කළා (රුපියල් 5 සිට 1000 දක්වා). එමගින් එහි මුදල් වගකීමෙන් සියයට 110ක ප්‍රතිශතයකට සමාන විදේශ සංචිත පවත්වාගෙන යෑමට පුළුවන් වුණා.
ඉතා වැදගත් දෙය නම්, ලංකාවේ මූල්‍ය පද්ධතිය මත දැඩි අයවැයක් පැනවීම සඳහා මූල්‍ය අධිකාරියට ණය වශයෙන් මුදල් ලබා දීමේ හැකියාවක් ඒ මුදල් මණ්ඩලයට තිබුණේ නෑ. එමගින් සිදු වූ ශුද්ධ බලපෑම නම්, ආර්ථික ස්ථාවරභාවය ඇති වීම. ස්ථාවරභාවය කියන්නේ සියලු දේම නොවුණත් ස්ථාවරභාවය නොමැතිව කිසි දෙයක් නෑ. එම නිසා තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ යළිත් ව්‍යවහාරික මුදල් මණ්ඩලය පිහිටුවීම වැදගත් වෙන්නේ.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවට මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 3 ක ණයක් සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. මේ මූල්‍ය පහසුකමත් සමග ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි යැයි ඔබ සිතනවා ද?
පිළිතුර:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගය ආර්ථිකයන් විනාශ මුඛයට ඇද දමනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මා යටතේ ක්‍රියාත්මක වෙන පර්යේෂණ කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් සාර්ථක වන්නේ කෙසේ ද මැයෙන් 2023 වසරේ ජනවාරිවල සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ප්‍රතිඵලදායක නොවන බවයි.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ එකඟතා වැඩසටහනෙහි ඇතුළත් එකඟතාවලින් කිහිපයක් පසුගිය මාස හයක කාලයේදී ක්‍රියාත්මක කළා. ඒ අනුව ඛනිජ තෙල්, විදුලි ගාස්තු වැඩි කරනු ලැබුවා. එසේම, උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කළා. මෙයත් සමග දුප්පත් ජනතාව සහ වෘත්තිකයන් දැඩි පීඩාවට පත්ව සිටින බවක් පෙනෙනවා. ඔවුන් කියන්නේ පසුගිය කාලයේ පැවැති අධි උද්ධමන තත්ත්වයට සාපේක්ෂව වැටුප් වැඩි නොවූ නිසා ජීවත් වීම අපහසු බව. මෙවැනි පසුබිමක දැඩි ප්‍රතිසංස්කරණ ඔබ අනුමත කරනවා ද?
පිළිතුර:- මා නැවතත් කියන්නේ ශ්‍රී ලංකාවේ අර්බුදය නිරාකරණය සඳහා ඇති එකම මාවත ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමයි. එස්තෝනියව සඳහා 1992 අවුරුද්දේදී ද ලිතුවේනියාව සඳහා 1994 වසරේදී ද බල්ගේරියාව සඳහා 1997 වසරේදී ද මා මැදිහත්ව ව්‍යවහාරික මුදල් මණ්ඩල සකස් කර ඒවා ස්ථාපිත කිරීමට උපකාර කළා. 1849 වසරේදී මොරිසස් රාජ්‍යයේ පළමු මුදල් මණ්ඩලය ස්ථාපිත කළ දා සිට මේ දක්වා මුදල් මණ්ඩල 70කට වැඩි ගණනක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒවා අතරින් මාගේ මැදිහත් වීම මත ස්ථාපිත කළ මුදල් මණ්ඩල 4ක් ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන බව කිව හැකියි.
එස්තෝනියාව 1992 දී එරටේ මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ අතර ඒ සඳහා ගත වූයේ මාසයකටත් වඩා අඩු කාලයක්. එම කාලයේදී එස්තෝනියාවේ මුදල් ඒකකය වූයේ අධි උද්ධමනකාරී තත්ත්වයක් යටතේ පැවැති රුසියානු රූබලය වූ අතර, එරට ඒ අවස්ථාව වන විටවත් ව්‍යවස්ථාවක් සම්මත කර තිබුණේ නෑ.
අලුතින් ව්‍යවහාරික මුදල් මණ්ඩලය පිහිටුවූ පසු එරට සඳහා නිල මුදල් ඒකකයක් එස්තෝනියන් ක්රෝන් (Estonian Kroon) නමින් හඳුන්වා දුන්නා. ඒ ඔස්සේ ක්ෂණික ස්ථාවරභාවයක් ඇති වුණා. මූලදී සැකසංකා ප්‍රකාශ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එස්තෝනියාවේ මුදල් මණ්ඩලය වර්ණනා කළා.
එස්තෝනියාවට යාබද රටක් වන ලිතුවේනියාවත් 1994 වසරේදී ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් පිහිටුවූ අතර, ඒ හරහා රජයේ වියදම්වලට අවශ්‍ය වන්නා වූ අරමුදල් සැපැයීම අවහිර කළා. එම මණ්ඩලය හරහා එරටේ පිස්කල් විනයක් ඇති කිරීමට හැකි වුණා.
1997 දී බල්ගේරියාව අධි උද්ධමනයකට හා බැංකු අංශයේ අර්බුදයකට මුහුණ දුන්නා. ඒත් ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමත් සමගම එරටේ අධි උද්ධමනය ඉතා ඉක්මනින් අඩු වුණා.
1998 වන විට බැංකු අර්බුදය ස්ථාවර වූ අතර වෙළෙඳපොළ අනුපාත ඉහළ මට්ටමක සිට සියයට 2.4ක සාමාන්‍ය අගයක් දකවාත්, විශාල පිස්කල් හිඟය අතිරික්තයක් දක්වාත්, ආර්ථික අවපාතය ආර්ථිකය වෘද්ධියක් ඇති කිරීම දක්වාත්, විදේශ සංචිත තුන් ගුණයකින් වැඩි වීමක් සිදු වුණා. මේ අවස්ථාවේදී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ව්‍යවහාරික මූල්‍ය මණ්ඩල ක්‍රමවේදය ඉතා ඉහළින් අගය කළා.
වර්තමානය වන විට බල්ගේරියාව යුරෝපා සංගමයේ දෙවැනියට දළ දේශීය නිෂ්පාදිතයේ ණය අනුපාතය අඩුම අගයක් වාර්තා කරන රට බවට පත් වෙලා තියෙනවා. ඒ, එරටේ ස්ථාපිත කළ ව්‍යවහාරික මුදල් මණ්ඩලය නිසයි. එහි පළමු තැන සිටින්නේ එස්තෝනියාව.
ප්‍රශ්නය:- ඇතැම් ආර්ථික විශේෂඥයන් තර්ක කරන්නේ ශ්‍රී ලංකාව මීට ඉහතදී අවස්ථා 16කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගත්ත ද ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට අප අපොහොසත් වී ඇති බව. මේ සන්දර්භයේ අයි.එම්.එෆ්. ණය මුදල්වලින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?
පිළිතුර:- ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් 16ම අසාර්ථක වී ඇති පරිද්දෙන් මේ 17 වැනි ණය වැඩසටහන ද අසාර්ථක වෙනවා. වොෂිංටනය ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳන්නේ නෑ. කොළඹ පරිපාලනය විසින් එය විසඳාගත යුතුයි.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව එහි දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියා ඔබ සිතනවා ද?
පිළිතුර:- ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් පිහිටුවීම ඔස්සේ ශ්‍රී ලංකාවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් වැළැකී ඉන්න පුළුවන්. ආයතනික පද්ධතයේ වෙනස්කම් සිදු නොවන්නේ නම්, දේශීය ණය පවා ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සිදු වේවි.
ප්‍රශ්නය:- දිගු කාලීන ණය ස්ථාවරභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බව ඔබ මෑතකදී ප්‍රකාශ කර තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ආණ්ඩුව ණය ස්ථාවරභාවය වෙනුවෙන් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනෙන්නට තියෙනවා. ඒවා ප්‍රමාණවත් නැති ද?
පිළිතුර:- අවශ්‍ය එක් ආයතනික ප්‍රතිසංස්කරණයක් තමයි පූර්ව කොන්දේසි නොමැති. එසේම, සෑම විටම ක්‍රියාත්මක වන ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් පිහිටුවීම. එමගින් ස්ථාවරත්වය ඇති කරනවා. ස්ථාවරත්වය සෑම දෙයක්ම නොවෙන්න පුළුවන්. එහෙත්, ස්ථාවරත්වය නැතිව කිසිවක් කරන්න බෑ. තවදුරටත් ස්ථාවරත්වය හා අයවැය මත ඇති කර ඇති බාධක හේතුවෙන් ඊට අවශ්‍ය වන අනෙකුත් ප්‍රතිසංස්කරණ ක්‍රමිකව ඇති වෙන්න පුළුවන්.
ව්‍යවහාරික මුදල් මණ්ඩලය ඇතුළත දේශපාලනඥයන් වගකීමට බැඳ තබන තත්ත්වයක ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ ආණ්ඩුකරණ දර්ශකයෙහි ඉදිරියට පැමිණෙන්න පුළුවන් වෙනවා. වර්තමානයේදී ආණ්ඩුවේ කාර්යසාධකත්වය, දේශපාලන ස්ථාවරභාවය සහ නිර්ප්‍රචණ්ඩත්වය, නියාමනවල ගුණාත්මකභාවය, නීතියේ ආධිපත්‍යය, වගවීම සහ දූෂණය, පාලනය යන අංශවලට අදාළ ලෝක බැංකු දර්ශකවල ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාම නරක තැන්වල.
ප්‍රශ්නය:- දකුණු ආසියාවේ බලවතා වශයෙන් පසුගිය වසර ගණනාව මුළුල්ලේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇතුළත විශාල භූමිකාවක් ඉටු කරමින් ඉන්නවා. දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල් මුදල් ඒකකය භාවිත කිරීමට කර තිබෙන යෝජනාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ඔබ සිතනවා ද?
පිළිතුර:- නැහැ. එවැනි සැකැස්මක් හරහා ඉන්දියාව සඳහා දේශපාලන පසුබිමක් නිර්මාණය කරන්න පුළුවන්. ඉන්දියාවේ ආර්ථික තාර්කිකත්වය ඉතා සැක සහිතයි. දෙරට අතර වෙළෙඳ කටයුතු සඳහා කවර මුදල් ඒකකයක් සුදුසු ද යන්න රටවල් දෙක විසින්ම දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් තොරව නිදහසේ තීරණය කළ යුතුයි.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවේ අයවැය ප්‍රශ්නය සඳහා යෙදවීමටත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් හරහා ගත් ණය පියවීමටත්, යොදා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. එහෙත්, මීට පෙර එවැනි හැකියාවක් ලැබුණේ නෑ. මෙවර ඒ සඳහා ලබා දී ඇති අවසරයත් සමග දූෂණයට සහ මුදල් අවභාවිත කිරීමට මගක් විවර වන බවට ඇතැම් දේශීය ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඒ ගැන ඔබ දරන මතය කුමක් ද?
පිළිතුර:- ශ්‍රී ලංකාවේ වර්තමාන ආයතනික රාමුව හේතුවෙන් රට බරපතළ දූෂණ යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ හැර තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන අරමුදල් ද මෙම දූෂණ තවදුරටත් වර්ධනය වීමට තුඩු දිය හැකි යැයි අපේක්ෂා කරන්න පුළුවන්. අලුත් ණය ඇවිළෙන ගින්නට ඉන්ධන වක්කරනවා හා සමානයි. මෙම කරුණත් 1884-1950 අතර කාලයේ පැවැති ආකාරයේ ව්‍යවහාරික මුදල් මණ්ඩලයක් හඳුන්වා දීම කාලෝචිත යැයි සිතීමට ඇති තවත් හේතුවක්. මුදල් මණ්ඩලය මගින් දේශපාලනඥයන් පිස්කල් වගකීම්වලට දැඩිව බැඳ තබන අතර, එය දූෂණ විරෝධී ආයතන වශයෙන් ද ක්‍රියාත්මක වෙනවා.
ප්‍රශ්නය:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා අවසන් අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ලංකාව තවදුරටත් බංකොළොත් රටක් ලෙස සැලකිය නොහැකි බව. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා පැවැසුවේ, ඩොලර් අර්බුදය අවසන් බව. මේ ප්‍රකාශ සමග ඔබ එකඟ වෙනවා ද?
පිළිතුර:- වර්තමානය වන විට මූල්‍ය අර්බුදය පහව ගොස් ඇතැයි පෙනී ගිය ද එය ද රවටන සුළු ස්වභාවයක් විය හැකියි. මේ නිසා ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමවේදයකින් තොරව අනාගතයට පියමැන්නොත් ලාංකේය රුපියල් තවත් එක් අර්බුදකාරී මුදල් ඒකකයක් බවට පත් වනු ඇති.
සාකච්ඡා සටහන – උපුල් වික්‍රමසිංහ/ ලංකාදීප