1. 2023 මාර්තු 22 දින ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි නාමික අරමුණ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමය. 2018 දී යහපාලන ආණ්ඩුවද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ගෙන ආ නමුත් නැගී ආ සිවිල් සහ දේශපාලන විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට සිදු විය. එයට රාජපක්ෂ පවුල සහ පොහොට්ටුව පවා එයට විරුද්ධ විය. මෙරට ත්‍රස්ත පනත් ගෙන එන ලද අවස්ථා තුනෙහි දී ම ඇමතිවරයෙකු සහ අගමැතිවරයෙකු සහ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ ඒවාට සම්බන්ධ වී තිබේ. ඔහු ජනාධිපති ලෙස ගෙන එන මෙම පනත එම පනත් තුනෙන් භයානකම එක වන අතර එය පිළිසිඳ ගෙන ඇත්තේ ඔහුගේ දේශපාලන ගර්භාෂය තුළය.
2. නව කෙටුම්පතට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් බරපතල විවේචන එල්ල වී තිබුණද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසන්නේ වත්මන් පනතට රනිල් රාජපක්ෂ කිසිදු මූලික වෙනසක් සිදු නොකරන බවයි. පනත් කෙටුම්පත විවාදය සඳහා මෙම මස 16දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුව හොත් එය නීතිය වට පත් වෙයි.
3. මෙම පනත රනිල් රාජපක්ෂ අද මෙරට ගෙන යන මර්දනකාරී දේශපාලනයෙන් වියුක්ත කර හුදෙක් නීතිමය රාමුවක තේරුම් කළ හැකි එකක් නොවේ. පනතෙහි අඩංගු මර්දනකාරී වගන්ති රනිල් රාජපක්ෂගේ විධායක ඒකාධිපතිත්වය යටතේ දෙතුන් ගුණයකින් භයානක බවට පත් වෙයි. දේශපාලනයෙන් තොරව නීතියක් තේරුම් ගත නොහැක.
4. මෙම පනතට සමස්ත විපක්ෂයම විරුද්ධය. සාමූහික විරෝධතාවයන්ට අමතරව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන බවද විපක්ෂ පක්ෂ පවසා තිබේ.
5. 2023 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි මර්දනකාරී ප්‍රධාන ‘උපාය මාර්ග’ තුනක් භාවිතා කර ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි. ඉන් පළමුවැන්න නම් ත්‍රස්තවාදයේ අර්ථය නිර්වචනය නොකිරීමයි. දෙවැන්න නම් ත්‍රස්තවාදය විරෝධී පනත සහ අපරාධ නීතිය අතර පවතින දුරස්ථභාවය බොඳ කිරීම හෝ මකා දැමීමයි. තුන්වැන්න නම්, සාමාන්‍ය පාර්ලිමේන්තු පනතකට මුවා වී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කර ඇති මූලික අයිතිවාසිකම් බොහෝමයක් පාහේ විස්ථාපනය කිරීමයි.
6. පනත් කෙටුම්පත ත්‍රස්තවාදයේ අර්ථය නිර්වචනය කර නැතිවා පමණක් නොවේ. ත්‍රස්තවාදය යන යෙදුම යටතේ ක්‍රියාකාරකම් විශාල පරාසයක් ඊට එක් කර තිබේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදයට සපයන ලද නිර්වචනයට අනුකූල නොවේ. මෙම නොපැහැදිළි බව ඇති කිරීම මෙම පනත, මර්දනය සඳහා මෙවලමක් ලෙස භාවිතා කිරීමට හිතාමතාම කරන ලද සැළැස්මකි.
7. ජාත්‍යන්තර ප්‍රමිතීන් නිර්දේශ කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනයේ දී ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය වෙන් වෙන් කොන්දේසි තුනක සීමාවක පැවතිය යුතු බවයි: 1) ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ත්‍රස්ත-විරෝධී සම්මුතීන් 10 විසින් දක්වා ඇති ‘ වරදයන්ට’ සීමා කිරීම 2) මරණය, බරපතල ශාරීරික තුවාල හෝ ප්‍රාණ ඇපකරුවන් බවට පත් කිරීමේ චේතනාව 3) රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බල කිරීමේ අරමුණින් භීෂණ තත්වයක් ඇති කිරීම, ජනගහනයක් බිය ගැන්වීම යනු ඒවාය.
8. මෙම පනත් කෙටුම්පතෙහි ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් නිර්වචනය මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සපුරා වෙනස්ය. සාමාන්‍ය අපරාධ නීතිය යටතේ දැනටමත් ආවරණය වී ඇති එනම් දේපල හානි, නීති විරෝධී රැස්වීම්, මංකොල්ලකෑම්, සොරකම් කිරීම, සොරකම් කිරීම, ආගමික හෝ සංස්කෘතික දේපළවලට හානි කිරීම ත්‍රස්තවාදය ලෙස වර්ගීකරණය කළ හැකි සීමාව පනත මගින් සෑහෙන තරමින් පුළුල් කර තිබේ ඉන් සමහරක් එනම් රැස්වීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සහ සංචරණයේ නිදහස යනාදිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් මූලික අයිතිවාසිකම්ය. මෙම දිගු ලැයිස්තුව පනත් කෙටුම්පතෙහි ඇති ඉතාමත් භයානක අංගයකි.
9. 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුල්‍ය සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ සඳහන් කර ඇති පරිදි, අවශ්‍ය ඕනෑම ත්‍රස්ත විරෝධී නීතියක ත්‍රස්තවාදයට ඇති නිර්වචනය නිශ්චිත විය යුතු අතර එවැනි පනතක් පවා සාමාන්‍ය අපරාධ ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය යන්න පනත් කෙටුම්පත විසින් බැහැර කර ඇත.
10. මේ සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවන්ගෙන් ඉදිරිපත් වී ඇති ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඇත. එනම් මෙවැනි පනතක දී අපයෝජනයට වඩා බර, අසාමාන්‍ය විධායක බලතල යොදා නොගත යුතුය සහ සාමාන්‍ය අපරාධ වරදවල් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නිර්වචනය කිරීමෙන් වැළකී සිටීම යනු ඒවාය. එම උත්සුකයන් දෙකම මෙම පනත මගින් නොසළකා හැර තිබේ.
11. පනත් කෙටුම්පත මගින් ‘මාධ්‍ය (මුද්‍රිත, විද්‍යුත්, වෙබ් පාදක මාධ්‍ය ආදිය) විකිණීම, සංසරණය කිරීම හෝ බෙදා හැරීම හෝ ඒවා සන්තකයේ තබා ගැනීම, වරදක් සිදු කළ බවට සැලකිය හැකි ‘ත්‍රස්තවාදී ප්‍රකාශන’ කාණ්ඩයක් නිර්මාණය කරයි. පනත් කෙටුම්පත ත්‍රස්තවාදය ප්‍රකාශයට පත් කිරීම හෝ ඒ සඳහා වන ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කිරීමට සලස්වා එය ‘දිරිමත් කරන’ ‘ඕනෑම පුද්ගලයෙකු’ ත්‍රස්තවාදියකු බවට පත් කරයි. මීට අමතරව, පනත යටතේ වරදක් සඳහා භාවිතා කරනු ඇතැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇතිව හෝ රහසිගතව තොරතුරු ‘එකතු කරන’ හෝ ‘සැපයුම්’ කරන ඕනෑම පුද්ගලයෙකු ‘ත්‍රස්තවාදය ආශ්‍රිත ක්‍රියා’ සිදු කර ඇති බවට පනත් කෙටුම්පත අර්ථ දක්වයි. මෙම අර්ථ දැක්වීම් ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්ට බිහිසුණු අනතුරක් ගෙන එයි. මන්ද යත් ජනමාධ්‍යවේදය සඳහා එවැනි තොරතුරු එක් කිරීම සහ තබා ගැනීම අවශ්‍ය වන නිසාය. ත්‍රස්තවාදී යැයි නම් කර ඇති සංවිධානයන්හි ප්‍රකාශයන් පළ කිරීම ජනමාධ්‍ය නිදහසට අයත් නමුත් රනිල් රාජපක්ෂ පනත විසින් එම අයිතිය මර්දනය කරයි.
12. පනත් කෙටුම්පත මගින්, විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ අනෙකුත් නිලධාරීන් විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන කාර්යයන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ සෘජු පාලනයට නතු කර වේ. මෙයින් ගම්‍ය වන්නේ ඒවාට අදාළ යම් වරදක් සම්බන්ධයෙන් වර්තමානයේදී අධිකරණයේ පිළිසරණ පැතීමට පුරවැසියාට ඇති අයිතිය, ජනාධිපතිවරයාට ඇති අසීමිත මුක්තිය නිසා අහිමි විය හැකි බවයි.
13. පනත් කෙටුම්පත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ පහත සඳහන් කවර හෝ නියෝගයකට අනුකූල නොවීම ත්‍රස්තවාදී ක්‍රියා ලෙස දක්වයි: “නිශ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයට ඇතුළු නොවීම; නිශ්චිත ප්‍රදේශයක් හෝ පරිශ්‍රයකින් පිටවීම; නිශ්චිත ප්‍රදේශයක් හෝ පරිශ්‍රයකින් ඉවත් නොවී එම ප්‍රදේශය හෝ පරිශ්‍රය තුළ රැඳී සිටීම; කවර හෝ මාර්ගයක ගමන් නොකිරීම; කිසිවක් ප්‍රවාහනය කිරීමට හෝ කිසිවෙකුට ප්‍රවාහනය නො සැපයීම; නිශ්චිත පොදු ප්‍රවාහන පද්ධතියක ක්‍රියාකාරිත්වය අත්හිටුවීම; කිසියම් වස්තුවක්, වාහනයක්, යාත්‍රාවක් හෝ ගුවන් යානයක් ඕනෑම ස්ථානයක සිට ඉවත් කිරීම.
14. මෙම කාරණා ඉතා පුළුල් අර්ථ දැක්වීමට යටත් කළ හැකි අතර එවැනි නියෝග පැනවීම සදහා අවශ්‍ය පුර්ව කොන්දේසි කිසිවක් කෙටුම්පත් පනතෙහි දක්වා නැත. ඉහත කී ක්‍රියා ත්‍රස්තවාදයට අනිවාර්යයෙන් ම සම්බන්ධ ඒවා නොවුනද, එවැනි කවර හෝ නියෝගයක් අනුගමනය කිරීමට අපොහොසත් වීම පනත් කෙටුම්පත යටතේ ත්‍රස්තවාදී වරදක් වේ. මෙමගින් ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් වෙයි.
15. පනත් කෙටුම්පත යටතේ, ඉහක කී පුළුල් පරාසයක ක්‍රියාවන් පිළිබඳ සැකයන් මත ත්‍රස්තවාදීන් ලෙස පුද්ගලයන් විමර්ශනය කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට, පුද්ගලයන් සීමා කිරීමේ නියෝගවලට යටත් කිරීමට, සංවිධාන තහනම් ලෙස ප්‍රකාශ කිරීමට, තහනම් ස්ථාන ප්‍රකාශ කිරීමට සහ පැනවීමට මත පොලිසියට අවසර ලැබේ.මේ වනාහී පොලිස් රාජ්‍යයක් ගොඩ නැගීමේ තවත් වගන්තියකි.
16. පොලිස්පතිවරයා හෝ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන් හෝ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉල්ලා සිටින ඕනෑම ස්ථානයක්: ”තහනම් ස්ථානයක්” ලෙස පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ හැකිය. තහනම් කරන කාලය සඳහා කාල සීමාවක් නියම කර නොමැත. මේ නිසා උද්ඝෝෂණවලට එරෙහිව කාල සීමා තහනම් සහ විරෝධතා ස්ථානය තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියෝග ලබා ගැනීමට පොලිසියට මහේස්ත්‍රාත්වරයා හමුවට යාමට අවශ්‍ය නොවනු ඇත. මෙමගින් ඕනෑම විසම්මුතියක් මර්දනය කිරීමට රනිල් රාජපක්ෂ රජයට පහසුවෙන් ඉඩ ලැබේ. මෙය ද පැහැදිලිව පොලිස් රාජ්‍යයක ලකුණකි.
17.පනත් කෙටුම්පත විසින් ඕනෑම සංවිධානයක් ‘තහනම් කළ සංවිධාන’ ලෙස ප්‍රකාශ කිරීමට, ‘සීමා නියෝග’ පැනවීමට සහ ස්ථාන ‘තහනම් ස්ථාන’ ලෙස ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට බලය ලබා දෙයි. සංවිධානයක් තහනම් කරන ප්‍රකාශයක් මගින් ඕනෑම පුද්ගලයෙකු එවැනි සංවිධානයක සාමාජිකයෙකු වීම ද තහනම් වෙයි. 1983 දී ජේ. ආර්. ජයවර්ධන විසින් ඔහුගේ පක්ෂය විසින් දියත් කරන ලද කලු ජූලියට සම්බන්ධ යැයි තහනම් කළ ඉතිහාසය මෙමගින් යළි දිග හැරෙනු ඇත. මෙම පනතප සම්මතව තිබුණේ නම් අරගල සමයෙහි පෙරටුගාමී පක්ෂය පමණක් නොව ජවිපෙ පවා තහනම් කරන්නට ඉඩ තිබුණි.
18. ඊට අමතරව සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම තහනම් කිරීම, සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු තහනම් කිරීම, රැස්වීම්, ක්‍රියාකාරකම් සහ වැඩසටහන් පැවැත්වීම තහනම් කිරීම, බැංකු ගිණුම් භාවිතය තහනම් කිරීම, සංවිධානය ගිවිසුම්වලට එළඹීම තහනම් කිරීම, අරමුදල් රැස් කිරීම සහ ප්‍රදාන සහ වරප්‍රසාද ලබා ගැනීම තහනම් කිරීම, සංවිධානයේ අරමුදල් සහ වත්කම් මාරු කිරීම තහනම් කිරීම, එවැනි සංවිධානයක් වෙනුවෙන් උපදේශනයන් (එනම් එකී සංවිධානයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම) කිරීම තහනම් කිරීම සහ එම සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා කිසියම් පුද්ගලයෙකු කිසියම් මුද්‍රණ ද්‍රව්‍යයක් පළ කිරීම තහනම් කිරීම ද ඇතුළත් වේ. තහනම් කරන ද සංවිධානයක් සහමුලින්ම අතුගා දැමීම මෙමගින් අදහස් කරයි.
19.වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා සතු බලයක් වන රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයන්ට (ඩීඅයිජී) පනත් කෙටුම්පත මගින් පවරා ඇත. 2018 යහපාලන කෙටුම්පත මඟින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අවසර තිබුණේ මූලික රැඳවුම් නියෝගය සති 2ක් දක්වා ලබා දීමට පමණය. රනිල් රාජපක්ෂ 2018 තමන්ගේම පනත් කෙටුම්පත ද ඉක්මවා යමින් රැඳවුම් කාලය මාස තුනක් සහ වසරක් දක්වා දීර්ඝ කරමින් මර්දනයට බලය ලබා දෙන බවට මෙය තවත් සාක්ෂියකි.
20. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දුසිම් දෙකක් පමණ සිටින අතර මෙම පනත විසින් ඔවුන් සියල්ලන්ටම රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට බලය ලබා දෙයි. ඉන් සමහර නියෝජ්‍ය පොලිස්පතිවරුන් අධිකරණය හමුවේ වරදකරුවන් බවටද පත්ව තිබේ. මෙම අධීක්ෂණයක් පවත්වා ගත නොහැකි තරමට බලය පුළුල් කිරීමකි. අනෙක් අතට රට පුරාම විරෝධතා ඇති වනු ඇති බවට රනිල් රාජපක්ෂ සතු බිය ද එ්වා මර්දනය කිරීමේ සූදානමද පෙන්වයි.
21. කිසිදු පූර්ව අවසරයකින්, වරෙන්තුවකින් හෝ අධීක්ෂණයකින් තොරව ඕනෑම පුද්ගලයකු, වාහනයක්, යාත්‍රාවක් හෝ දුම්රියක් හෝ කිසියම් පරිශ්‍රයක් හෝ ඉඩමක් සෝදිසි කිරීමට පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ හෝ වෙරළාරක්ෂක නිලධාරියකුට පනත මගින් බලය ලබා දේ. ඒ හා සමානව, සන්නද්ධ හමුදා සාමාජිකයින්ට ඕනෑම ලියවිල්ලක් හෝ ලිපියක් සිය භාරයට ගැනීමට එය ඉඩ දෙයි. වර්ථමානයේදී පොලිසිය ක්‍රියා කරන හිතුවක්කාර මර්දනකාරී අන්දම සැකිල්ලට ගත් විට මෙවැනි අධිකාරයක් කොතරම් දුරට දේශපාලන මෙවලමක් බවට පත් වනු ඇත්ද යන්න සිතීම පවා බිය උපදවයි. මෙම බලය, දේශපාලන සහ හිමිකම් ක්‍රියාධර පිරිස්හි හිස මතට එල්ලා ඇති කඩුවක් බවට පත් වනු ඇත.
22. කවර හෝ පුද්ගලයකු සිදු කරන හෝ කිරීමට සැලසුම් කර ඇති බවට ‘සත්‍ය යැයි විශ්වාස කරන’ තොරතුරු ‘ලැබුවහොත්’ රැඳවුම් නියෝගයක් මගින් බන්ධනාගාරයේ සිටින පුද්ගලයා නැවත පොලිස් භාරයට ගැනීමට පොලිසියට හැකි වන වගන්තියක් ද පනත් කෙටුම්පතෙහි අඩංගු වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වධහිංසා පැමිණවීම් වැනි බොහෝ උල්ලංඝනයන් වාර්තා වී ඇත්තේ පොලිස් අත්අඩංගුවේ දී මිස බන්ධනාගාරයේ නොවන බැවින්, පුද්ගලයෙකු නැවත පොලිස් භාරයට මාරු කිරීමෙන් පුද්ගලයා අපයෝජනයට ගොදුරු වීමේ වැඩි විභවතාවයක් තිබේ.
23. පනත යටතේ කැරෙන මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීම සහ ඒවා විභාග කිරීම සඳහා සමාන්තර ආයතනයක් (ස්වාධීන සමාලෝචන මණ්ඩලය – IRP) පිහිටුවීමට පනත් කෙටුම්පත යෝජනා කරයි. එමගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) බලතල හෑල්ලූ කිරීමේ සට කපට උත්සාහයක් පවතින බව පෙනේ. පසුගිය කාලය පුරා මානව හිමිකම් කොමිසම විසින් මෙරට ජනයාගේ මානව හිමිකම් රැක දීම සම්බන්ධයෙන් ගත් පියවර රනිල් රාජපක්ෂගේ කේන්තියට හේතු වී ඇති බව රහසක් නොවේ.
24. එකී ‘ස්වාධීන’ සමාලෝචන මණ්ඩලය විසින් තමන්ට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දැඩි රහස්‍යභාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය කරන වගන්තියක් පනත් කෙටුම්පතෙහි තිබේ. මෙය චෝදනා කරන ලද උල්ලංඝනයන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම වැළැක්වීමට සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා කරන ලද උත්සාහයකි.
25. පනත් කෙටුම්පතට අනුව අත්අඩංගුවට ගැනීම පිළිබඳ මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුත්තේ ‘රැඳවුම් භාරයට ගෙන’ පැය 72ක් ඇතුළත ය. මෙමගින් මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව ‘අත්අඩංගුවට ගත් හෝ රඳවා තබා ගත් මොහොතේ සිට’ පැය 48ක් ඇතුළත දැනුම් දිය යුතුය යන්න නිශේධ වෙයි. සැකරුවකු රඳවා තබා ගැනීමට රනිල් රාජපක්ෂ පොලිසියට පැය 24ක් වැඩිපුර දී තිබේ.
26. පනත් කෙටුම්පතට අනුව ස්ථාපිත කරනු ලබන අධීක්ෂණ ආයතන, එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සභාපතිත්වය දරන සමාලෝචන මණ්ඩලය සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ස්වාධීන සමාලෝචන මණ්ඩලය මානව හිමිකම් කොමිසම මෙන් ස්වාධීන නැත. පොලිසිය විසින් බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමකට දේශපාලන පත්වීම් ලබන අධීක්ෂණ මණ්ඩලවලට නොහැකි බව වත්මන් පොලිස් කොමිසම සහ අල්ලස් කොමිසම සාක්ෂි දරයි. මෙම සමාලෝචන මණ්ඩල හුදෙක් මර්දනයේ රබර් සීල් බවට පත්වීමේ ඉඩ වැඩිය.
27. මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ‘ත්‍රස්තවාදයට විරුද්ධ’ යන වෙස් මුහුණ ආවරණයක් කොට ගෙන මෙම සටහනෙහි දක්වන ලද බොහෝ කරුණු සම්බන්ධයෙන් බැලීමේදී පනත නීතිය යනු ජනාධිපතිවරයා බවට පත් කරන බව පෙනේ. එය රාජාණ්ඩුවාදී අධිකාරයකි. එමගින් රටෙහි නීතිය නොවැදගත් සාධකයක් බවට පත් වේ. මේ සියල්ලටම වඩා, විරුද්ධ මත දරන්නන්, විවිධ විපක්ෂ දේශපාලන පක්ෂ සහ ඒවා නියෝජනය කරන්නන්, වෘත්තීය සමිති, වෛද්‍යවරුන්ගේ සංගම්, ශිෂ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන් මෙන්ම වෘත්තිකයින් පාලනය කිරීමේ ‘දේශපාලන මෙවලමක්’ බවට මෙම පනත නුදුරේදීම පත් වනු ඇත.
(ඉංග්‍රිසි බසින් පල වූ ලිපි ගණනාවක්ද ඇසුරෙනි)
.