Friday, April 19, 2024

ලංකාවට ඇන්දූ  අයිඑම්එෆ් ජංගිය! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: මූල්‍ය අරමුදල 2010 වසරෙහි ග්‍රීසියට පැන වූ කොන්දේසි නිසා ග්‍රීසිය පත්ලටම ඇද වැටුනි. අටිඑම්එෆ්  පලයව් යන්න විරෝධතාවයන්හි රැව් දුනි. අවසානයේ මූල්‍ය අරමුදල සමාව ඉල්ලා සිටියාය. ( ඡායාරූප ස්තුතිය Reuters/Yiorgos Karahalis & The Wire.)

ජංගිය නොහොත් ලන්කට් එක නොහොත් පැන්ටිය නොහොත් අමුඩය නොහොත් ජොකා නොහොත් යට ඇදුම විලි වසා ගැනීමේ මූලික ඇදුමකි. එය යට ඇදුමක් නිසා අයෙක් එය පෙනෙන්නට ඇඟලාන්නේ නැත.

කට වහරේ බසින් ජංගියක් අන්දනවා යනු කෙනෙකු අමුම අමු ගොනාට ඇන්දවීමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (මෙතැන් සිට මූල්‍ය අරමුදල යනුවෙන් සඳහන් කැරෙන) නොහොත් IMF ලංකාවට අන්දවා ඇති ජංගිය එසේ මෙසේ එකක් නොවේ. කෝටි ප්‍රකෝටි ගණන් වටිනා නන් දෙස රැව්පිළිරැව් දෙන ජංගියකි.

නූතන මර්දනයේ භයංකර මුහුණූවර

රනිල්ට ප්‍රීති!

එම ජංගිය ඇද ගන්නට ලැබීමේ  ප්‍රීති! ප්‍රමෝදයෙන් රනිල් රාජපක්ෂයෝ ද බඩ පිනුම් ගැසීමට එයම ඇඳ ගත්තෝය. චක් ගෝලයින් කිහිප දෙනෙකු සිරිකොතෙන් දුන් රතිංඥා වැල් ගිනි තබා ක්‍රිස්ටලීනා ජොර්ජීවාට ජයවේවා කියා යන්නට ගියෝය. වඩාත් නිවැරදිව කියන්නේ නම් මෙම ජංගිය මසා ඇත්තේ රනිල් රාජපක්ෂ සහ ක්‍රිස්ටලීනා ජොර්ජීවා එකතුවය.

නමුත් ජංගිය පරණ එකකි. බොහෝ රටවලට අන්දා ගැලවුණ එකකි. ගැලවුණා නොව බඩ පැතලිව ගෝස පහතට ගිලා බැස්ස එකකි. ලංකාවටම මේ ජංගිය මෙයට පෙර 16 වතාවක් අන්දවා තිබේ.

වැඩකාර නම් 16 වතාවක් බැරි වෙයිද?

ඉන් පළමු වැන්න 1984 දී ඩොලර් 30,000කි. ගෝටා සහ පවුල එක්ව රට කෑමට පෙර, මූල්‍ය අරමුදලේ වැඩසටහන් 15ක්ම මෙරට පැවතී තිබුණි. 16 වැන්න වූ 2016 යහපාලන ණය ගිවිසුම  ඩොලර් බිලියන 1.5ක් විය. දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ඩොලර් බිලියන 3කි!

රතිංඥා දමා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ජයවේවා යැයි යට කී චක් ගෝලයින් කෑ ගැසූ නමුත් මූල්‍ය අරමුදල විසින් දෙන ඩොලර් බිලියන 03ක ණය වෙනුවෙන් ගෙවිය යුතු සියයට 04ක පොලිය එහෙමමය.

2016 දී සහ 2023 දී ගැයෙන මූල්‍ය අරමුදලේ  ගීය එකම එකකි. එනම් මේ ණය දෙන්නේ මෙරට සර්ව ආර්ථික පිළිවෙත් නිසි තැන තැබීමට යනුය.

මූල්‍ය අරමුදල කොයි තරම් සාර්ථකද යන්න තේරුම් ගැනීමට එය එක් නිදසුනක් පමණි. 2016 දී ණය දුන් එකම කාරණය සඳහාම 2023 දී එමෙන් දෙගුණයක් ණය දී තිබේ. මූල්‍ය අරමුදලේ වැඩ සටහන් සාර්ථක වූයේ ලංකාව දැන් පරාදීසයකි.

ලෝකය පුරාම අසාර්ථක ව්‍යාපෘති

ලෝකය පුරා මූල්‍ය අරමුදල විසින් දෙන ලද බිලියන ගණන් ණය අය කර ගැනීමට බැරිව බොල් ණය බවට පත්ව තිබේ. 1980 සහ 2015 අතර එහි වැඩසටහන් 763 න් 512 ක්ම අතර මඟ ඇණ හිටියේය.  ඉන් 291 ක් නැවත ආරම්භ වුයේ ම නැත.

ආජන්ටීනාවට  මූල්‍ය අරමුදල පැන වූ පටි තදකර ගැනීම් සමාජ විරෝධයකට මඟ පෑදීය.

මූල්‍ය අරමුදලෙහි මහම ණය ගැතියා ආජන්ටීනාවය.  එනමුත් එරට තවම ගොඩවිත් නැත. සමහර විට ‘ගොඩයමු’ සෙට් එකට සෙට් විය හැකි රටකි.

මූල්‍ය අරමුදල, 2018 දී ආජන්ටිනාවට ඩොලර් බිලියන 50ක ණයක් දුන්නේය. නමුත් එරට ඉක්මණින්ම යළි බංකොළොත් විය. 2022 දී එරට යළි ඩොලර් බිලියන 44ක ණයක් මූල්‍ය අරමුදලෙන් ලබා ගත්තේය. තවම ආජන්ටීනාව ගොඩගොස් නැත.

තමන්ද  මෙම මූල්‍ය අරමුදලේ මෙවර ණය වාරික අවසන් වූ වහාම යළි ණයක් ලබා ගන්නා බව දැනටමත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. එනයින්, සිදු වන්නට ඉඩ ඇති දේ ගැන ඔවුන්ටත් ඉවක් වැටී තිබෙන්නට පුළුවන.

ග්‍රීසියට කළ වින්නැහිය!

2010 ග්‍රීසියට යුරෝ බිලියන 90ක ණයක් දීමට මූල්‍ය අරමුදල දැමූ කොන්දේසි නිසා ග්‍රීසියට කොන්දෙන් යෑමට සිදු විය. දුගී බව ඉහළ ගිය අතර බැංකු පද්ධතිය අඩාල විය. අන්තිමේදී “ අප අතින් සිදු වූ වරදට සමාවෙන්න” යැයි එකල එහි ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාදේට කීමට සිදු විය.

මූල්‍ය  අරමුදලෙහි  වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ඇයිද යන්න සළකා බැලීමට අන්තර් ජාතික ආයතනයක් සමීක්ෂණයක්  කර තිබේ. එය මෙහි https://theconversation.com/lots-of-imf-programmes-are-never-completed-because-theyre-unworkable-161905 කියවිය හැක.)

1980 සහ 2015 අතර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන් 763ක් ඇසුරෙන්  කළ සවිස්තරාත්මක අනුකූලතා සමීක්ෂණයකින් පෙන්වූයේ  මූල්‍ය අරමුදල පනවන සෑම කොන්දේසියක්ම වැඩසටහනේ ඇණහිටීමේ සම්භාවිතාව 1.1% කින් වැඩි කරන බවය.

ලංකාව සඳහා මූල්‍ය අරමුදල කොන්දේසි 40ක් පමණ පනවා ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්.ඒ. විජේවර්ධන පෙන්වා දෙයි. එවිට එය ඇණහිටීමේ සම්භාවිතාව වැඩිවන බව අලුතෙන් කීමට දෙයක් නොවේ.

මූල්‍ය අරමුදලේ ණය ව්‍යාපෘති  763න් 512ක් කොට උඩ

එම සමීක්ෂනය පෙන්වා දෙන තවත් කරුණක් නම් 1980 සහ 2015 අතර මූල්‍ය අරමුද දියත් කළ  වැඩසටහන් 763 න් 512 ක් බාධාවන්ට ලක් වූ අතර ඉන් 291 ක් නැවත කිසාදා ආරම්භ නොවූ බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම ගිවිසුමකටම ඇතුල් වන්නේ එය සම්පූර්ණ වන බවට සහතියක් ලබා ගන්නා  පදනම මත බැවින් මෙම කඩා වැටීම් ඉතා ඉහළ අසාර්ථක අනුපාතයකි.

ප්‍රතිසංස්කරණ වැඩසටහන්හි සැලසුම්  නිසාම ඒවා ක්‍රියාත්මක කළ නොහැකි බව එම සමීක්ෂනය තර්ක කරයි. මන්ද යත්  මූලය අරමුදල ඕනෑවට වඩා ප්‍රතිපත්තිමය කොන්දේසි ඇති පනවන නිසාය. ප්‍රතිසංස්කරණ ලැදි ආණ්ඩුවලට පවා ඒවා ක්‍රියාත්මක කිරීම දුෂ්කරය.

මෙම අසාර්ථකත්වයන්ට හේතු වශයෙන් එම සමීක්ෂනය පෙන්වා දුන්නේ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම, මිල පාලනය නිදහස් කිරීම සහ රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසි ක්‍රියාවට නැංවීම  විශේෂයෙන් හේතු වූ බවයි. මක්නිසාද යත්, මෙම කොන්දේසි ක්‍රියාවට නැංවීමට එරෙහිව දේශීය විරෝධයන් බලමුලු ගැන්වෙන බැවිනි.

විරෝධතා මර්දනය මූල්‍ය අරමුදලේ ‌ගිවිසුමහි යටි පෙළය.

ලංකාව අත්දකින අයිඑම්එෆ් රයට්ස්! 

දැන් මෙරට සිදු වෙමින් ඇත්තේද එයයි. අයිඑම්එෆ් රයට්ස් ( එනම් මූල අරමුදල නිසා ඇතිවන කැරලි) යන පදය පවා ව්‍යවහාරයට පැමිණ ඇත්තේ එවැනි අසාර්ථකත්වයන් නිසාය.

2016 දී ලංකාව ණය ලබා ගැනීමේ දී නොතිබූ කොන්දේසිය ගණනාවක් ම මෙවර රනිල් රාජපක්ෂ විසින් මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට ඇතුලත් කර තිබේ. 2016 දී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණන ලෙස කොන්දේසි තිබුණේ නැත. දැන් දැනටමත් රාජ්‍ය ව්‍යවසාය පහක් ලන්සුවට තබා තිබේ.

ලංකාණ්ඩුවට බෑලු. ඉන්දීය ආණ්ඩුුවට අහැකි!

රජය විසින් ව්‍යාපාර නොකළ යුතු යැයි කියමින් රනිල් රාජපක්ෂ මෙරට කේන්ද්‍රීය ව්‍යවසාය තෑගි දෙමින් ඉන්නේ ඉන්දියාවේ සහ චීනයේ රාජ්‍ය ව්‍යවසායන්ටය!

මුල්‍ය අරමුදල මෙම කිසිදු අසාර්ථකත්වයකින් ඉගෙන ගෙන නැත.

රනිල් රාජපක්ෂගේ  දේශපාලන අභිප්‍රාය ක්‍රිස්ටිලීනා සඟවයි!

ලංකාව සමඟ අත්සන් කරන ලද ගිවිසුමට අදාළ වාර්තාවෙහි පළමු පිටුවේම ගිවිසුම රහසිගත බව දැක්වෙන්නේ මෙසේය. “ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනිවිද භාවය පිළිබඳ ප්‍රතිපත්තිය මගින් ප්‍රසිද්ධ කරනු ලබන කාර්ය මණ්ඩල වාර්තා සහ අනෙකුත් ලේඛනයන්හි වෙළඳ පොළ සංවේදී තොරතුරු මකා දැමීමට සහ බලධාරීන්ගේ ප්‍රතිපත්තිමය අභිප්‍රායන් හෙළිදරව් නොකිරීමට ඉඩ ලබා දේ.” ගිවිසුමට අදාල “ අභිප්‍රාය දැක්වෙන ලිපිය” (Letter of Intent) ද ප්‍රසිද්ධ කර නැත.

රනිල්ගේ දේශපාලන අභිප්‍රාය මූල්‍ය අරමුදලට වුවත් සැඟවිය නොහැකිය.

ඉන් කියවෙන්නේ රනිල් රාජපක්ෂගේ ප්‍රතිපත්තිමය අභිප්‍රායයන් හෙළිදරව් නොකිරීමට මූල්‍ය අරමුදල  බැදී සිටින බවයි. එතරම් ම විනිවිද බවකි!

මහාචාර්ය කැරට් අලය සහ දුර්වර්ණ චිත්‍රය

මූල්‍ය අරමුදල විසින් ලංකාවට නිර්දේශ කර ඇති වැඩ සටහන ටක්කෙටම ක්‍රියාත්මක කළ යුතු රනිල් රාජපක්ෂ ද හොරණෑකාර ආචාර්ය මහාචාර්යවරුද අපට කියන්නේ එමගින් මෙරට ඇති සියලු ප්‍රශ්න විසඳෙනු ඇතැයි යන කැරට් අලය පෙන්වමිනි.

නමුත් මූල්‍ය අරමුදල නම් ගිවිසුමට අදාලව රෝස පාට චිත්‍රයක් ඇද නැත. එය දුර්වර්ණය.  රෝස පාට බයිලා ගයන්නේ රනිල් රාජපක්ෂගේ පියරු බබාලා සෙට් එකය. පිටු 151කින් සමන්විත මූල්‍ය අරමුදලේ වාර්තාවෙහි ස්ථාන ගණනාවකදීම කියැවෙන්නේ මෙම වැඩසටහන සාර්ථක වීම වළක්වන බරපතළ අවදානම් තිබෙන බවය.

ඒ මෙසේය:

“  සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, අහිතකර බාහිර පරිසරය, නොකඩවා පවතින ඉහළ උද්ධමනයේ ඉහළ අවදානම සහ අභියෝගාත්මක දේශපාලන හා සමාජ තත්ත්වය සැලකිල්ලට ගත් කළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවදානම් සුවිශේෂී ලෙස ඉහළ ය. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකාවේ දුර්වල වාර්තාව සැලකිල්ලට ගත් කළ, මෙම වැඩසටහන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, ආදායම් බලමුලු ගැන්වීම සහ සංචිත ගොඩ නැගීම සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ ලිස්සා යාමේ අවදානමක් දරයි.”

“කලාපීය ගැටුම් තීව්‍ර වීම, සැපයුම් මාර්ග කඩාකප්පල් වීම සහ ගෝලීය භාණ්ඩ මිලෙහි අලුත් වැඩි වීම හා සම්බන්ධ බාහිර අවදානම් මගින් තවදුරටත් විනිමය අනුපාතික ක්ෂය වීම් සහ උද්ධමනයේ ඉහළ යෑමක් ඇති කළ හැකිය. ලංකාවෙහි මූල්‍ය පද්ධතියේ ඇති දුර්වලතා නිසා, දිගටම උග්‍රවන ගෝලීය ආර්ථික මන්දගාමිත්වය, අපනයන සහ ප්‍රතිසාධනය මත බරක් බවට පත් විය හැක.”

“ප්‍රතිසංස්කරණ තෙහෙට්ටුව සහ ඇතයි කියන ( ඔව්, එහෙම තමයි කියල තියෙනනේ) වංචා- දූෂණ නිසා පැන නගින මහජන අතෘප්තිය නිසා ඇතිවන අලුත් සමාජ නොසන්සුන්තාව සහ දේශපාලන අස්ථාවරත්වය නිසා දේශීය අවදානම් මතු විය හැකිය. ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ දුර්වල වාර්තාව අතිරේක අවදානමක් මතු කරයි. උද්ධමන පීඩනය ඉහළ මට්ටමක පවතින විට, නොකඩවා ඉහළ යන උද්ධමනයේ අවදානම සැලකිය යුතු ය.”

අප කිව්වා නම් හිරේ! ක්‍රිස්ටලීනා කිව්වහම ඇත්ත!

මෙම අවදානම් ගැන අප කීවේ නම් ජනයා බිය වද්දන රාජ ද්‍රෝහීන් වන්නට තිබුණි. රනිල්  රාජපක්ෂගේ නව ත්‍රස්ත පනත යටතේ නඩු පවරන්නටත්තිබුණි. නමුත් රතිංඥා හඬින් පිළිගත් ක්‍රිස්ටිලීනා ජොර්ජීවා කියන නිසා මේ කතාව ඇත්තක් වීමට පුලුවන.

ගිවිසුමේ හොදම කෑල්ල  ඉස්සරහටය. ඊළගට ඒ ගැන බලමු!

දෙවන කොටස: මූල්‍ය අරමුදල ඇන්දූ පා‌ට පාට ජංගිය: තවත් දූෂණ විරෝධී කොමිසමක්

තෙවන කොටස: විකල්ප ආර්ථික මාදිලියක් තිබේද?

Archive

Latest news

Related news