Friday, March 29, 2024

තොරතුරු පනත, වත්කම් බැරකම් නීතිය අභිබවා යනවා! වත්කම් ප්‍රකාශ ‌දුන් නොදුන් මංත්‍රී නාම ලේඛනය ප්‍රසිද්ධ කරනු! – ‌අභියාචනා අධිකරණය

ඡායාරූපය: එහි අතුලාන්තය අඳුරුය.

තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය අද  එනම් පෙබරවාර් 28දා දුන් තීන්දුවකින් කියැවේ.

වත්කම් බැරකම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඇතුළු තොරතුරු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මුදා හරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ගත් තීන්දුවක් බල හරිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොනු කර තබූ අභියාචනයක් අභියාචනාධිකරණය අද නිශ්ප්‍රභා කරමින් ඒ බව සඳහන් කළේය.

⁣මෙම තීන්දුව ලබා දුන්නේ සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන අභියාචනාධිකරන විනිසුරුවරුන් විසිනි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබානුදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතුළු තොරතුරු ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් මෙයට වසර 05කට පෙර එනම් 2018 ජූනි 21 දා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීමක් කරන ලදී.

ඔහු එහිදී ඉල්ලා සිටියේ,

1. 2018 දී ඔවුන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ අදාළ ප්‍රකාශන භාර දී ඇති පාර්ලිමේන්තු මංත්‍රීවවරියන්ගේ නම් ලැයිස්තුව.
2. 2010 සිට ඔහුගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ භාර දුන් මංත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව.

පාර්ලිමේන්තු තොරතුරු නිලධාරියා විසින් ඒම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට යොමු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව අදාල තොරතුරු මුදා හරින ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීට දැනුම් දෙන ලදී. එම තීන්දුව ගනු ලැබුවේ ⁣තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් වන මහින්ද ගම්මන්පිල, හිටපු විනිසුරු රෝහිණි වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස් ජී පුංචිහේවා සහ සෙල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම මහත්මීන් විසිනි.

එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කළේය.

එහිදී අදාළ තොරතුරු නොදී සිටීම සඳහා ඉදිරිපත් කළ කරුණු 15 අතර පහත සඳහන් කරුණූ ද විය.

“1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් නීති ප්‍රකාශය අනව මෙවැනි තොරතුරු ප්‍රසිද්ධ කිරීම වරදකි. එවැනි තොරතුරු ලබා දීමෙන් පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වේ. තවද මංතීවරුන්ගේ සහ මංත්‍රීවරියන්ගේ ‌පුද්ගලික තොරතුරු අනාවරණය වේ”

එම අභියාචනය ප්‍රතික්ෂේෂ කරමින් සිය තීන්දුව ප්‍රකාශ  කළ අභියාචනාධීකරණ විනිසුරු සම්පත් බී අබේකෝන් කියා සිටියේ ” ඉල්ලා ඇති  තොරතුරු සැපයීම මගින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ අයිතිවාසිකම් සහ වරප්රසාද උල්ලංඝනය වෙනු ඇත යන ස්ථාවරය  සමඟ මට එකඟ වීමට හැකියාවක් නැත” යනුවෙනි.

“කොමිසම විසින් නිවැරැදිව තීරණය කර ඇති පරිදි, නීතියෙන් නියම කර ඇති පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ලබාදීමෙන් ඔවුන් ප්‍රකාශනවල සපයා ඇති තොරතුරු හෙළිදරව් කිරීමක් නොවන බව මගේ අදහසයි. එම පදනම මත ඉදිරිපත් කරන ලද තර්කය ද තොරතුරු දැනගැනීමේ පනතේ අරමුණු නිෂ්ප්‍රභා කිරීමට ගත් උත්සාහයක් බව මට පෙනී යයි.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු මහජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද සහ ජනතාව විසින් නඩත්තු කරන පුද්ගලයින්ය. ඔවුන් සෑම විටම රටේ නීතිවලට අනුකූලව කටයුතු කිරීමටත් අන් අයට අනුගමනය කිරීමට ආදර්ශ සැපයීමටත් අපේක්ෂා කෙරේ.”

මාධ්‍යවේදී චාමර සම්පත් වෙනුවෙන් නීතිඥ නිලූකා දිසානායක මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා සහ නීතිඥ සුභාංගි විමලනාදන් මහත්මිය පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව සහ නියෝජ්‍ය සිලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටි අතර කොමිසම වෙනුවෙන නීතිඥ හිමාලි කුලරත්න සහ නීතිඥ ජයනි ඇල්ලේපොල පෙනී සිටියහ.

(තරිදු ජයවර්ධන විසින්  බෙදා ගත් සටහනක කරුණූ  ද  යොදා  ගැනිනි)

28.02.23

Archive

Latest news

Related news